බන්ධනාගාර අර්බුදයකට මුහුණ පායි
බන්ධනාගාර අර්බුදයකට මුහුණ පායි
“අපරාධවලට විසඳුමක් වශයෙන් තව තවත් බන්ධනාගාර ඉදි කිරීම, මාරාන්තික රෝගයකට විසඳුම් වශයෙන් තව තවත් සුසාන භූමි ඉදි කිරීම හා සමානයි.”—පුනරුත්ථාපන විශේෂඥ, රොබට් ගාන්ජි.
මිනිස් අයිතිවාසිකම් ගරු කොට සලකන බව පෙන්වමින් සිටියත්, බොහෝ අවස්ථාවලදී යථාර්ථය සඟවන ලොවක වෙසෙන ජනයා කනට අමිහිරි වදනක් වන “සිරගෙය” යන වචනය වෙනුවට කනට මිහිරි වෙනත් වදන් යොදාගන්නවා අද අපට අසන්න ලැබේ. සිරගෙයක් ගැන කතා කිරීමේදී ජනයා වැඩි කැමැත්තක් දක්වන්නේ එය “වෘත්තීය පුහුණුව” හා “සමාජ සේවා” සපයන “රැඳවුම් මධ්‍යස්ථානය” ලෙස හෝ “පුනරුත්ථාපන කඳවුර” ලෙස හැඳින්වීමටයි. මිනිසුන් තුළ පිළිකුලක් ඇති කරවන වදනක් වන “සිරකරුවා” යන වචනය වෙනුවට බන්ධනාගාරගත “නේවාසිකයා” යන වචනය යොදාගැනීමට වැඩි මනාපයක් දක්වනු ලැබේ. එහෙත් බන්ධනාගාරයන්, බරපතළ ගැටලු බොහොමයකට මුහුණ දී තිබෙන බව ඒවායේ සැබෑ තත්වය සෝදිසි කර බලන විට ඔබට වැටහෙනු ඇත. බන්ධනාගාරවල සිටින වැරදිකරුවන්ව නඩත්තු කිරීම සඳහා අධික වියදමක් දැරීමට සිදු වුවත්, ඔවුන්ව බන්ධනාගාරගත කිරීමේ අරමුණ අද ඉටු වී නොමැති තරම්ය.
සිරගෙවල් පිහිටුවීමේ අරමුණ කොතෙක් දුරට ඉටු වී තිබෙනවාද කියා සමහරු ප්‍රශ්න කරති. නීති කඩ කිරීම නිසා දශලක්ෂ අටකට වැඩි පිරිසක්ව ලොව පුරා සිරගත කර තිබුණත්, බොහෝ රටවල සිදු වන අපරාධ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී නැති බව ඔවුහු පෙන්වා දෙති. එපමණක්ද නොව, සිරගෙවල්වල සිටින බොහෝදෙනෙකුව සිරගත කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ නිසා වුවත්, නගරවල මත්ද්‍රව්‍ය වෙළඳාම සරුවට කෙරීගෙන යයි.
කෙසේවෙතත්, වැඩිදෙනා කියා සිටින්නේ වරදකරුවන්ට සිර දඬුවම් දිය යුතු බවයි. යුක්තිය ඉටු කිරීමට නම් වරදකරුවන්ව සිරගත කළ යුතුයි කියා ඔවුහු සිතති. අපරාධකරුවන්ව සිරගත කිරීමට මිනිසුන් තුළ තිබෙන දැඩි වුවමනාව එක් මාධ්‍යවේදියෙක් හැඳින්වූයේ “සිර දඬුවම් නියම කිරීමේ උමතුව” කියායි.
සිර දඬුවම් නියම කරන්නේ, වරදකරුවන්ට දඬුවම් කිරීම, සමාජය ආරක්ෂා කිරීම, අනාගත අපරාධ වැළැක්වීම හා අපරාධකරුවන්ව පුනරුත්ථාපනය කිරීම යන පරමාර්ථ හතර මුල් කරගෙනය. පුනරුත්ථාපනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නීතිගරුක පුරවැසියන් ලෙස ජීවත් වීමටත් නිදහස් වීමෙන් පසු සමාජයට වැඩදායක පුද්ගලයන් වීමටත් සිරකරුවන්ට ඉගැන්වීමයි. ඉහත සඳහන් පරමාර්ථ අද ඉටු වෙනවාද කියා අපි දැන් සලකා බලමු.