Skip to content

පටුනට යන්න

දිවි සුරකින ජලය සොයා

දිවි සුරකින ජලය සොයා

දිවි සුරකින ජලය සොයා

මීට අවුරුදු 2,000කට වඩා වැඩි කාලයකට ඉහතදී, 30,000ක ජනගහනයකින් යුත් සමෘද්ධිමත් නගරයක් අරාබි කාන්තාරයේ ප්‍රමුඛ ස්ථානයක් බවට පත් විය. එය පෙට්‍රා නගරයයි. වසර පුරාම දැඩි වියළි දේශගුණයක් පවතින එම නගරයට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 150ක් වැනි සුළු ප්‍රමාණයක් වුවත්, එහි වැසියෝ තමන්ට ලැබෙන සෑම ජල බින්දුවකින්ම උපරිම ප්‍රයෝජන නෙළා ගත්හ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පෙට්‍රා නගරය දිනෙන් දින සමෘද්ධිමත් නගරයක් බවට පත් විය.

පෙට්‍රා නගරයේ වාසය කළ නැබටියන්වරුන්ට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ජල සැපයුම් පද්ධතියක් නොතිබිණ. ඔවුන් දැවැන්ත වේලි තැනුවේ නැත. එහෙත් ජලය පරෙස්සමින් රැස් කරන ආකාරය ගැනත් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ආකාරය ගැනත් ඔවුහු දැන සිටියහ. තමන්ට ලැබෙන එක වැසි බින්දුවක්වත් අපතේ නොයවා කුඩා ජලාශ, දිය අඟල්, ඇළවල් හා ජල ටැංකි යනාදියට ඒවා එක්රැස් කරගන්නා ලදි. පසුව එම ජලය ඔවුන්ගේ ඉඩම් කැබලිවල වගා කටයුතු සඳහා යොදාගනු ලැබීය. ඔවුන් ඒ කාලයේදී භාවිත කළ ළිං හා ජල ටැංකි මොනතරම් දක්ෂ ලෙස සාදා තිබෙනවාද කියනවා නම්, අද පවා අරාබි කාන්තාරයේ තැනින් තැන යමින් වාසය කරන බෙඩුවින් ජාතිකයෝ ඒවා පාවිච්චි කරති.

“පෙට්‍රාහි ජලය භාවිතයට ගෙන තිබෙන ආකාරයෙන් කියාපාන්නේ එහි සැඟවුණු විශිෂ්ටත්වයයි. එහි වැසියන්ට සුවිශේෂ වූ හැකියාවන් තිබූ බව ඒවායින් පෙනෙයි” කියා ජල විද්‍යාඥයෙක් පුදුමයෙන් යුතුව පැවසුවේය. මෑතකදී ඉශ්‍රායෙලයේ විද්වතුන් පිරිසක් නැබටියන්වරුන් සතු වූ දක්ෂතාවලින් තමන්ට ප්‍රයෝජන ගත හැකිද කියා සොයා බැලූහ. කලාතුරකින් මිලිමීටර් 100ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබූ නෙගෙබ් ප්‍රදේශයේ වගා කිරීමටද නැබටියන්වරු සමත් වූහ. ශීත ඍතුවේදී ලැබෙන වැසි ජලය ඉතා දක්ෂ ලෙස යොදාගනිමින් නැබටියන්වරුන් හෙල්මළු ක්‍රමයට වගා කර තිබූ බිම් කොටස් දහස්ගණනකින් සමහරක් ශස්‍ය විද්‍යාඥයන් විසින් පරීක්ෂා කර තිබේ.

අප්‍රිකාවේ සහිල් නමැති ජනපදයේ වාසය කරන ගොවීන් නැබටියන්වරුන්ගේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගනිමින් සිටී. කෙසේවෙතත් ජල සංරක්ෂණයේදී යොදාගන්නා නවීන ක්‍රමවලින්ද ඒ හා සමාන ප්‍රතිඵල නෙළාගත හැකිය. අප්‍රිකානු වෙරළ ආසන්නයේ පිහිටි කැනරි දූපත්වලට අයත් ලාන්සාරොටේ නමැති දූපතේ වෙසෙන ගොවීන් වර්ෂාව නොලැබෙන ප්‍රදේශවල මිදි සහ අත්තික්කා වගා කරන ක්‍රමය ඉගෙනගෙන තිබේ. රවුමට හාරන ලද කුඩා වළවල්වල මිදි හෝ අත්තික්කා පැළ සිටුවා, ගිනි කඳුවලින් නිකුත් වූ අළු තට්ටුවකින් එම වළවල් වසයි. එසේ කරන්නේ ජලය වාෂ්ප වී යෑම වැළැක්වීම සඳහාය. එමෙන්ම පිනිවලින් වෑස්සෙන ජල බින්දු මුල් මගින් උරාගැනීමටද එය උපකාරවත් වේ. එනිසා හොඳ අස්වැන්නක්ද ලබාගත හැක.

නොදියුණු ශිල්ප ක්‍රමවලින් විසඳුම්

ශුෂ්ක දේශගුණයකට අනුව හැඩගැසීම සම්බන්ධයෙන් කලින් සඳහන් කළ වාර්තාවන්ට සමාන වාර්තා ලොව නන් දෙසින් ලැබේ. මීට උදාහරණ වශයෙන් ඉන්දියාවේ තාර් කාන්තාරයේ ජීවත් වන බිෂ්නොයි වැසියන්වද, කෙන්යාවේ වාසය කරන ටුර්කානා ස්ත්‍රීන්වද, අමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇරිසෝනාහි ජීවත් වන නවාජෝ ඉන්දියානුවන්වද සඳහන් කළ හැක. වැසි ජලය රැස් කිරීම සම්බන්ධයෙන් සියවස් ගණනාවක් තිස්සේ ඉගෙනගත් ශිල්ප ක්‍රම ඔවුන් සතු වේ. කෘෂිකර්මාන්තයේදී මතු වන ජල ප්‍රශ්නය විසඳීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවලට වඩා ඔවුන්ගේ එම පැරණි ක්‍රම වඩාත් ඵලදායී බව තහවුරු වෙමින් පවතී.

විසිවන සියවස වේලි තැනීමේ යුගයක් විය. විශාල ගංගාවල ජලය මිනිසුන්ගේ විවිධ කටයුතු සඳහා යොදාගනු ලැබීය. එමෙන්ම දැවැන්ත වාරිමාර්ග පද්ධතිද සංවර්ධනය කර තිබේ. එක් විද්‍යාඥයෙකු විසින් කරන ලද ගණන් බැලීමකට අනුව, ලොව පුරා තිබෙන ගංගා හා ඇළ දොළවලින් සියයට 60ක් මිනිසුන් විසින් විවිධ කටයුතු සඳහා විවිධාකාරයෙන් යොදාගෙන තිබේ. ඇතැම් ව්‍යාපෘතිවලින් යම් ප්‍රයෝජන ලැබී තිබුණත්, ඒවායින් පරිසරයට හානි සිදු වී තිබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙයි. සිදු වී තිබෙන ප්‍රධානතම හානිය වන්නේ දශලක්ෂ ගණනකට උන්හිටි තැන් අහිමි වීමයි.

යහපත් අරමුණු ඇතුව එවන් ව්‍යාපෘති ආරම්භ කළත්, ජලය මත යැපෙන ගොවීන්ට ඒවායින් ඵල ප්‍රයෝජන ලැබෙන්නේ කලාතුරකිනි. ඉන්දියාවේ වාරිමාර්ග ව්‍යාපෘති ගැන සඳහන් කරමින් හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි මෙසේ පැවසුවේය. “පසුගිය අවුරුදු 16 පුරා අපි විශාල මුදල් කන්දරාවක් වැය කර තිබෙනවා. නමුත් මිනිසුන්ට එයින් ප්‍රයෝජන ලැබී නැහැ. වගා කිරීමට හා වෙනත් කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස ජලය ලැබී නැහැ. නිෂ්පාදනය වැඩි වී නැහැ. මිනිසුන්ට ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යෑමට එය උපකාරවත් වී නැහැ.”

අනිත් අතට, පැරණි ශිල්ප ක්‍රමවලින් වැඩි ප්‍රයෝජන අත් කරගත හැකි බවත් ඒවායින් පරිසරයට එතරම් හානියක් සිදු නොවන බවත් ඔප්පු වී තිබේ. ප්‍රදේශවාසීන් විසින් ඉදි කර තිබෙන කුඩා වැව්වලින් හා වේලිවලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බව චීනයෙන් වාර්තා වේ. එවන් කුඩා වැව් හා වේලි ලක්ෂ හැටක් චීනයේ ඉදි කර ඇත. ඉශ්‍රායෙලයේ වැසියන් ස්ථානෝචිත ප්‍රඥාව යොදාගනිමින්, එකම ජලය විවිධ කටයුතු සඳහා යොදාගනී. මුලින්ම සේදීම් කටයුතු සඳහා යොදාගත් ජලය, පසුව සනීපාරක්ෂක කටයුතු සඳහාද අවසානයේදී කෘෂිකර්මය සඳහාද යොදාගනී.

ජල හිඟයට තවත් ප්‍රායෝගික විසඳුමක් වන්නේ ජල කාන්දු පද්ධති ක්‍රමයයි. මෙම ක්‍රමයේදී පස ආරක්ෂා වන අතර, සම්ප්‍රදායික ක්‍රම හා සසඳන කල ජලය වැය වන්නේ සියයට පහක් පමණි. වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල විශාල වශයෙන් ජලය අවශ්‍ය උක් හෝ බඩ ඉරිඟු වගා කරනවා වෙනුවට, එතරම් ජලය අවශ්‍ය නොවන ඉදල් ඉරිඟු හෝ මෙනේරි වැනි බෝග වගා කිරීමෙන් ජලය නැණවත් ලෙස ඉතිරි කරගත හැක.

නිවෙස්වල හා කර්මාන්ත ශාලාවලද භාවිත කරන ජලය ඉතිරි කරගැනීම සඳහා මහත් වෑයමක් දැරිය යුතු නැත. උදාහරණයක් හැටියට, කඩදාසි නිපදවන කර්මාන්ත ශාලාවක් එහි භාවිත කරන ජලය නැවත පාවිච්චියට ගන්නවා නම්, අපතේ යන ජලයෙන් සියයට 99ක්ම ඉතිරි කරගත හැක. එමෙන්ම, ජලය ලීටර් එකක් පමණ යොදාගෙන කඩදාසි කිලෝග්‍රෑම් එකක් නිපදවීමට පුළුවන. මෙක්සිකෝවේ මෙතෙක් භාවිත කළ සම්ප්‍රදායික ක්‍රමයට තනන ලද වැසිකිළි වෙනුවට, ජලය තුනෙන් දෙකක් ඉතිරි කරගත හැකි වැසිකිළි තැනීමට පියවර ගෙන තිබේ. එමෙන්ම සැලකිය යුතු ප්‍රමාණයකින් ජල පරිභෝජනය අඩු කරගැනීමේ අරමුණින් මිනිසුන්ව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙක්සිකෝවේ දියත් කර ඇත.

සාර්ථක විසඳුමක් සඳහා

ජල අර්බුදය ඇතුළු බොහෝ පාරිසරික ගැටලු විසඳීම සඳහා මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් සිදු විය යුතුය. මෙහිදී මිනිසුන් ආත්මාර්ථකාමී නොවී, අන් අය ගැන සිතමින් අවශ්‍ය අවස්ථාවලදී යම් කැප කිරීම් කිරීමට කැමති විය යුතුය. එමෙන්ම, මතු පරම්පරාව ගැන සිතා පෘථිවි ග්‍රහයාව රැකගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ යුතුය. සැන්ඩ්‍රා පොස්ටල් විසින් ලියන ලද පොතක (Last Oasis—Facing Water Scarcity) මේ ගැන මෙසේ සඳහන් වේ. “අප තේරුම් නොගන්නා හා සම්පූර්ණයෙන්ම අපට තේරුම්ගත නොහැකි ස්වාභාවික සම්පත් පිළිබඳව සංකීර්ණ තීරණ ගැනීමේදී, ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීමක් සපයන ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය වේ.”

ජලය සම්බන්ධයෙන් එවන් ප්‍රතිපත්ති මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම එක රටකට පමණක් කළ හැකි දෙයක් නොවේ. ගංගා ගලා බසින්නේ දේශ සීමා හරහා නිසා අසල්වැසි රටවල සහයෝගයද මේ සඳහා අවශ්‍ය වේ. “ජල පරිමාව හා එහි ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වී තිබීම, ලෝක ප්‍රජාවම මුහුණ පාන ගැටලුවක් ලෙස සැලකිය යුතුයි” කියා ඉෂ්මායිල් සරාගිල්ඩිං විසින් සකස් කරන ලද ජල අර්බුදයට විසඳුම් (ඉංග්‍රීසියෙන්) නමැති වාර්තාවේ සඳහන් වේ.

මුළු ලෝකයටම බලපාන අර්බුදයකට පිළියම් සෙවීමේදී සියලුම රටවල සහයෝගය ලබාගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කෝෆි අන්නන් පවසයි. “ගෝලීයකරණයට ලක් වී තිබෙන අද ලෝකයේ ප්‍රශ්න විසඳීමේදී විවිධ රටවල් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පටන්ගත් තැනම පවතී. ‘ජාත්‍යන්තර ප්‍රජාව’යන වචනය අර්ථවත් කරවමින් අප සහයෝගයෙන් කටයුතු කිරීම තවත් ප්‍රමාද කළ නොහැක” කියා ඔහු සඳහන් කරයි.

අපට නිරෝගි හා සන්තෝෂවත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා පිරිසිදු ජලය ඇති තරම් තිබීම අත්‍යවශ්‍ය වුවත් ඒ සඳහා එය පමණක් ප්‍රමාණවත් නොවේ. එවන් ජීවිතයක් භුක්ති විඳීමට නම් මිනිසුන් මුලින්ම කළ යුතු දෙය වන්නේ ජලය මෙන්ම ජීවිතය යන අනර්ඝ දේවල් අපට දී තිබෙන තැනැත්තා අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමයි. (ගීතාවලිය 36:9; 100:3) එමෙන්ම, කෙටි කාලීන වාසි ප්‍රයෝජන තකා පොළොව සහ එහි සම්පත් සුරා කන්නේ නැතිව, අපේ මැවුම්කරු අපේ මුල් දෙමාපියන්ට උපදෙස් දුන් පරිදි එය ‘වවමින් රැක බලාගත’ යුතුය.—උත්පත්ති 2:8, 15; ගීතාවලිය 115:16.

සදා දිවි සුරකින ජලය

ජීවය රඳා පවතින්නේ ජලය මත නිසා, බයිබලය සංකේතමය භාෂාවෙන් එයට මහත් වැදගත්කමක් දී තිබීම ගැන පුදුම විය යුතු නැත. අපට මුලින්ම ජීවිතය භුක්ති විඳින්න තිබූ ආකාරයෙන්ම නැවතත් ජීවිතය භුක්ති විඳීම සඳහා මේ සංකේතමය ජලයේ උල්පත අප හඳුනාගත යුතුය. එමෙන්ම, ‘ස්වාමිනි, ඒ වතුර මට දෙන්න’ කියා යේසුස්ට පැවසූ ස්ත්‍රියගේ ආකල්පය විදහාපෙන්වීමට අපත් ඉගෙනගත යුතුය. (යොහන් 4:15) මුල් සියවසේ සිදු වූ එම සිද්ධිය සැලකිල්ලට ගන්න.

අදත් ලෝකයේ නන් දෙසින් සංචාරකයන් බැලීමට පැමිණෙන, වර්තමානයේ නාබ්ලස් ලෙස හඳුන්වන නගරයේ පිහිටා තිබෙන ගැඹුරු ළිඳක් අසල දිනක් යේසුස් ටිකක් විවේක ගැනීමට නතර විය. ඒ අවස්ථාවේදී සමාරිතානු ස්ත්‍රියක්ද එම ළිඳෙන් ජලය ගෙන යෑමට පැමිණ සිටියාය. මුල් සියවසේ සිටි ස්ත්‍රීන් බොහෝදෙනෙකු කරන්නාක් මෙන් ඇයත් තමන්ගේ නිවසට අවශ්‍ය කරන ජලය ගෙන යෑමට දිනපතාම පාහේ මෙම ළිඳට පැමිණි බවට සැකයක් නැත. කෙදිනකවත් සිඳී නොයන උල්පතකින් නික්මෙන “ජීවනදායක වතුර” ඇයට ලබා දෙන්න තමන්ට පුළුවන් බව යේසුස් ඇයට පැවසුවේය.—යොහන් 4:10, 13, 14.

“ජීවනදායක වතුර” ගැන දැනගන්න ඒ ස්ත්‍රියට මහත් ආශාවක් ඇති විය. එහෙත්, යේසුස් කතා කළ “ජීවනදායක වතුර” භෞතික වතුර නොවීය. “ජීවනදායක වතුර” කීමෙන් යේසුස් අදහස් කළේ මිනිසුන්ට සදාකාල ජීවනය ලබා දෙන ආත්මික සැපයුම්ය. කෙසේවෙතත්, ජීවිතය පූර්ණ ලෙස භුක්ති විඳීමට සංකේතමය වතුර මෙන්ම භෞතික වතුරද අවශ්‍යය වේ.

භෞතික ජලය හිඟ වූ අවස්ථා කිහිපයකදීම දෙවි ඔහුගේ සෙනඟට ජලය ලබා දුන්නේය. සීනයි කාන්තාරය හරහා පොරොන්දු දේශය කරා ගමන් කරමින් සිටි ඉශ්‍රායෙල් ජාතික මහත් සරණාගත පිරිසකට දෙවි ආශ්චර්යවත් ලෙස වතුර ලබා දීම එක් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක. (නික්මයාම 17:1-6; ගණන් කථාව 20:2-11) තවද, දෙවිගේ අනාගතවක්තෘවරයෙකු වූ එලිෂා යෙරිකෝවේ දූෂ්‍ය වී තිබූ ළිඳ ආශ්චර්යවත් ලෙස පිරිසිදු කළේය. (2 රාජාවලිය 2:19-22) පසුතැවිලි වූ ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියේ සිට ආපසු තමන්ගේ මව්බිමට පැමිණෙමින් සිටි අවස්ථාවේදීද දෙවි ඔවුන්ට ‘වනයෙහි ගංගා’ ඇති ප්‍රදේශ ඔස්සේ යෑමට මඟ පෙන්නුවේය.—යෙසායා 43:14, 19-21.

අද අපේ පෘථිවි ග්‍රහයාට අවශ්‍යව තිබෙන්නේ හිඟ නොවන ජල සැපයුමකි. අපව මැවූ යෙහෝවා දෙවි අතීතයේදී ජල හිඟයන් පැවති අවස්ථාවලදී ඒවාට විසඳුම් ලබා දුන්නේය. එනිසා අනාගතයේදීද ඔහු එසේ කරයි කියා අපට සිතිය හැකිද? ඔහු එසේ කරන බවට බයිබලය අපට සහතික කරයි. තමන් පොරොන්දු වී තිබෙන රාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරන කාලය ගැන විස්තර කරමින් දෙවි මෙසේ පවසයි. “මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි. . . . එසේ කරන්නේ [යෙහෝවාගේ] හස්තය මේක කළ බවද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] ඒක හටගැන්වූ බවද ඔවුන් එක්ව දැක, දැනගෙන, සිතට ගෙන, තේරුම්ගන්න පිණිසය.”—යෙසායා 41:18, 20.

ඒ කාලයේදී මිනිසුන්ට “බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය” කියා බයිබලයේ පොරොන්දු කර තිබේ. (යෙසායා 49:10) තවද ලොව පුරා ක්‍රියාත්මක වන එම නව පාලනයට ස්තුතිවන්ත වෙන්න ජල අර්බුදයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇත. පොළොවට පැමිණෙන්න කියා යාච්ඤා කිරීමට යේසුස් අපට ඉගැන්වූ රාජ්‍යය මගින් ‘මෙතැන් පටන් සදාකාලයටම යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද’ මුළු පොළොවම පාලනය කරනු ඇත. (යෙසායා 9:6, 7; මතෙව් 6:9, 10) මෙහි ප්‍රතිඵලයක් හැටියට පොළොව පුරා වෙසෙන ජනයා ජාත්‍යන්තර ප්‍රජාව යන වදනේ සැබෑ අර්ථයට එකඟව සහයෝගයෙන් ක්‍රියා කරනු ඇත.—ගීතාවලිය 72:5, 7, 8.

අපි දැන්ම ජීවනදායක වතුර සෙවීමට පියවර ගන්නවා නම්, සෑම කෙනෙකුටම ඕනෑ තරම් ජලය ලැබෙන කාලය දෙස මහත් ආශාවෙන් බලා සිටිය හැක.

[26වන පිටුවේ පින්තූර]

ඉහළ: ජලය සංරක්ෂණය කරන ආකාරය ඉපැරණි පෙට්‍රා වැසියෝ දැන සිටියහ

පහළ: නැබටියන්වරුන් විසින් සාදන ලද පෙට්‍රාහි ඇළක්

[හිමිකම් විස්තර]

Garo Nalbandian

[26වන පිටුවේ පින්තූර]

වැසි නොලැබෙන ප්‍රදේශවල ඇතැම් බෝග වගා කරන ආකාරය කැනරි දූපත්වල ගොවියෝ දනිති

[29වන පිටුවේ පින්තූර]

“ජීවනදායක වතුර” ලබා දීමට තමාට හැකි බව යේසුස් මේ ස්ත්‍රියට පොරොන්දු වූ අවස්ථාවේදී, ඔහු එයින් අදහස් කළේ කුමක්ද?