වැලපීම වරදක්ද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
වැලපීම වරදක්ද?
“තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.”—1 තෙසලෝනික 4:13.
මියගිය අයට බයිබලයෙහි බලාපොරොත්තුවක් දී තිබේ. යේසුස් සිදු කළ නැවත නැඟිටීම් මෙන්ම ඔහුගේ ඉගැන්වීම්, මළවුන්ව යළි ජීවනයට ගෙනෙනු ලබන කාලයකට යොමු දක්වයි. (මතෙව් 22:23-33; මාර්ක් 5:35, 36, 41, 42; ලූක් 7:12-16) මෙම බලාපොරොත්තුව අපට බලපෑ යුත්තේ කෙසේද? ඉහත උපුටා දක්වා ඇති ප්‍රේරිත පාවුල්ගේ වචනවලින් අඟවන්නේ ප්‍රේමනීයයෙකු මියගිය විට මෙම බලාපොරොත්තුවෙන් සැනසීමක් ලබාගත හැකි බවයි.
ඔබේ ප්‍රේමනීයයෙකු මියගොස් ඇත්නම්, එවැනි ඛේදවාචකයක් සමඟ ඇති වන සිත් වේදනාව ඔබට දැනී ඇති බවට කිසිම සැකයක් නැත. තෙරේසාගේ සැමියා වයස අවුරුදු 42දී, හෘද සැත්කමකින් ටික දවසකට පසු මියගියේය. ඇය මෙසේ පවසයි. “ඒක නම් පුදුම කම්පනයක්! එකපාරටම අමුතු භයක් දැනුණා. ඒ වගේම දරාගන්න බැරි වේදනාවකුත් ඇති වුණා. එන්න එන්නම වේදනාව වැඩි වුණා. මම සෑහෙන්න ඇඬුවා.” මෙවැනි ප්‍රතික්‍රියාවලින් අඟවන්නේ මළවුන් නැවත නැඟිටුවන බවට යෙහෝවා දී ඇති පොරොන්දුව කෙරෙහි මද විශ්වාසයක් ඇති බවද? පාවුල්ගේ වචනවලින් අදහස් කරන්නේ වැලපීම වැරදි දෙයක් බවද?
බයිබලයේ සඳහන් වැලපුණාවූ කීපදෙනෙක්
බයිබලයේ සඳහන් වැලපුණාවූ අයගේ ආදර්ශ සලකා බැලීමෙන් එම ප්‍රශ්නවලට අපට උත්තර සොයාගත හැක. බොහෝ වාර්තාවලින් පෙනී යන්නේ එදා තමන්ගේම පවුලේ කෙනෙකු මියගිය විට පවුලේ අනික් අය යම් කාලපරිච්ඡේදයක් පුරා වැලපුණ බවයි. (උත්පත්ති 27:41; 50:7-10; ගීතාවලිය 35:14) මෙම වැලපීමත් සමඟ ඇති වූ හැඟීම් බොහෝවිට තීව්‍ර ඒවා විය.
ඇදහිලිවන්ත මිනිසුන් කීපදෙනෙකු ප්‍රේමනීයයෙකුගේ මරණය සම්බන්ධයෙන් වැලපුණු අයුරු සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, මළවුන් නැඟිටුවීම සඳහා දෙවිට හැකියාවක් තිබෙන බව ආබ්‍රහම් බලවත් ලෙස විශ්වාස කළේය. (හෙබ්‍රෙව් 11:19) මෙවැනි විශ්වාසයක් තිබුණත් ඔහුගේ බිරිඳ “සාරා” මියගිය විට ඔහු ඇය “නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.” (උත්පත්ති 23:1, 2) යාකොබ්ගේ ප්‍රියතම පුත් යෝසෙප් මියගිය බව පවසමින් ඔහුගේ අනික් පුත්‍රයන් බොරුවක් ගෙතූ විට, යාකොබ් “තමාගේ වස්ත්‍ර ඉරාගන, . . . තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය.” (උත්පත්ති 37:34, 35) වසර ගණනක් ගෙවී ගිය පසුව වුවත් යාකොබ්ට තම ආදරණීය පුත්‍රයාගේ මරණය සිහි වූ විට බලවත් දුකක් ඇති විය. (උත්පත්ති 42:36-38) දාවිත් රජද අම්නොන් සහ අබ්සලොම් යන තම පුත්‍රයන් දෙදෙනා මියගිය විට එළිපිටම බලවත් ලෙස ශෝක වූයේය. ඔවුන් දෙදෙනාම දාවිත්ටත්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් සිත් වේදනා දී තිබුණා වුවත්, ඔවුන් ඔහුගේ පුත්‍රයන්ව සිටි නිසා ඔවුන්ගේ මරණය ඔහු තුළ මහත් ශෝකයක් ඉපදවිය.—2 සාමුවෙල් 13:28-39; 18:33.
මෝසෙස්ගේ මරණයේදී ඉශ්‍රායෙලිතයන් ඔහු ගැන දවස් 30ක් අඬා වැලපුණු බව ද්විතීය කථාව 34:8හි අපට පවසයි. මේ හා සමානව මුළු ඉශ්‍රායෙල් ජාතියම වැලපුණු අවස්ථා ගැන බයිබලයේ වාර්තා වේ.
අන්තිම ආදර්ශය වශයෙන් යේසුස් ක්‍රිස්තුස් ගැන සලකා බලමු. ඔහුගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස් මියගියේය. එවිට ලාසරුස්ගේ සහෝදරියන් වූ මාර්තා හා මරියා මෙන්ම ඔවුන්ගේ මිතුරන් හඬා වැලපෙන අයුරු දුටු විට යේසුස් ‘ආත්මයෙන් සුසුම් ලා කැලඹුණේය.’ ඉන් ටික වේලාවකට පසුව තම මිතුරාව තමා විසින් යළි ජීවත් කරවන බව දැන සිටියත් ‘යේසුස් ඇඬුවේය.’ යේසුස් තම ආදරණීය මිතුරියන් දෙදෙනා වූ මාර්තාට හා මරියාට ප්‍රේම කළේය. එබැවින් ඔවුන්ගේ සහෝදරයාගේ මරණය ගැන ඔවුන් සිත් වේදනාවෙන් සිටින බව දුටු විට ඔහු තුළත් දැඩි දුකක් ඇති විය.—යොහන් 11:33-36.
ආබ්‍රහම්, යාකොබ්, දාවිත් සහ යේසුස් යන මේ සියලුදෙනාම යෙහෝවා කෙරෙහිත්, ඔහුගේ පොරොන්දු කෙරෙහිත් මහත් විශ්වාසයක් තැබුවත්, ඔවුහු දුක් වූහ. ඔවුන්ගේ වැලපීම ආත්මිකව දුර්වලව සිටින බවට ලකුණක්ද? ඔවුන්ගේ ශෝකවීමෙන් අඟවන්නේ නැවත නැඟිටීම කෙරෙහි ඔවුන්ට මද ඇදහිල්ලක් තිබෙන බවද? කොහෙත්ම නැත! ප්‍රේමනීයයෙකු මියගිය විට වැලපීම ස්වාභාවික ප්‍රතික්‍රියාවකි.
අප වැලපෙන්නේ ඇයි?
මිනිසා මිය යා යුතුයි කියා දෙවි කිසිදා අරමුණු කළේ නැත. ආදම් සහ ඒවට ප්‍රකාශ කළ පරිදි යෙහෝවාගේ මුල් අරමුණ වූයේ, ප්‍රේමනීය, සන්තෝෂවත් පවුලකින් පූර්ණ මනහර පාරාදීසයක් බවට පොළොව පරිවර්තනය කිරීමයි. මරණය අද්දකිනු ඇත්තේ, එම මුල් යුවළ යෙහෝවාට අකීකරු වීමට තීරණය කළා නම් පමණයි. (උත්පත්ති 1:28; 2:17) කනගාටුදායක ලෙස ආදම් සහ ඒව අකීකරු වූ අතර, එම අකීකරුකම හේතුවෙන් ‘සියල්ලන් කෙරෙහි මරණය පැමුණුණේය.’ (රෝම 5:12; 6:23) මෙබැවින් විඳිය යුතුයි කියා අරමුණු නොකළ මරණය ඇත්තෙන්ම කෲර සතුරෙකි.—1 කොරින්ති 15:26.
එසේ නම්, මරණය අසාමාන්‍ය සිද්ධියකි. තමන්ට කිට්ටුවෙන් සිටි කෙනෙකු මැරුණු විට, ඔහුට හිතවත් අයගේ හදවත් තුළ අධික ශෝකයක් ඇතිවීම සාධාරණ දෙයකි. එය ඔවුන්ගේ ජීවිතයේ විශාල රික්තයක් ඇති කරයි. ඉහත සඳහන් කළ වැන්දඹුව වූ තෙරේසා ඇගේ සැමියා සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය. “නැවත නැඟිටවීමේදී එයාව දකින්න ලැබෙන බව මට හොඳටම විශ්වාසයි. ඒත් දැන් එයා නැතුව හරිම පාළුයි. ඒකයි තියෙන ලොකුම වේදනාව.” දෙමාපියෙකු මියගිය විට එය අපේ මිය යෑමේ ස්වභාවය ගැන අපට සිහිගැන්විය හැකියි. තරුණයෙකුගේ මරණය අපට විශේෂයෙන්ම වේදනාවක් ගෙන දෙන්නේ, ඔහුට ඔහුගේ සම්පූර්ණ ආයු කාලය භුක්ති විඳීමට නොහැකි වීම නිසයි.—යෙසායා 38:10.
ඇත්තෙන්ම, මරණය අසාමාන්‍ය දෙයක් නිසා ඉන් වේදනාවක් ඇතිවීම අපේක්ෂා කළ හැකි දෙයකි. එමෙන්ම, වැලපීම නැවත නැඟිටීම කෙරෙහි මද ඇදහිල්ලක් තිබෙන බවට ලක්ෂණයක් වශයෙන් යෙහෝවා සලකන්නේ නැත. ආබ්‍රහම්, යාකොබ්, දාවිත්, ඉශ්‍රායෙල් ජාතිය හා යේසුස්ගේ ආදර්ශවලින් අප දුටු පරිදි, අපේ හදවත්වල ඇති වන වේදනාව පිට කිරීම අප ආත්මිකව දුර්වලව සිටින බවට ලක්ෂණයක්ද නොවේ. a
කෙසේවෙතත්, මරණය හේතුවෙන් ක්‍රිස්තියානීන් වන අප ශෝක වුවත්, “බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන්” අපි ශෝක නොවන්නෙමු. (1 තෙසලෝනික 4:13) මළවුන්ගේ තත්වය පිළිබඳව අප තුළ ව්‍යාකූලත්වයක් නොමැති නිසා අප අනිසි ලෙස ශෝකවීමේ අන්තයටම යන්නේ නැත. ඔවුන් වේදනාවෙන් හෝ සිත්තැවුලෙන් නොසිටින බවත් ශාන්ත දාන්ත ගැඹුරු නින්දක පසුවනවා හා සමාන තත්වයක සිටින බවත් අපි දන්නෙමු. (දේශනාකාරයා 9:5; මාර්ක් 5:39; යොහන් 11:11-14) “නැවත-නැගිටීමද ජීවනයද” වන යේසුස් ‘[සිහිවීමේ, NW] සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ව’ යළි ජීවත් කරවනවා කියා දුන් තම පොරොන්දුවට එකඟව ක්‍රියා කරනු ඇති බවටද අප තුළ පූර්ණ විශ්වාසයක් තිබේ.—යොහන් 5:28, 29; 11:24, 25.
එබැවින්, මේ කාලයේදී ඔබ ශෝකයෙන් සිටින්නේ නම් යෙහෝවා ඔබේ වේදනාව තේරුම්ගන්නා බව ඔබ දැන සිටින නිසා සැනසෙන්න. මෙම දැනුම හා නැවත නැඟිටීම පිළිබඳ ඔබේ බලාපොරොත්තුව තුළින් ඔබේ ශෝකය තුනී වී ඔබේ ප්‍රේමනීයයාගේ අහිමි වීම දරාගෙන සාර්ථකව කටයුතු කිරීමට හැකියාව ලැබේවා!
[පාදසටහන]
a ශෝකයට සාර්ථකව මුහුණ දීමට උපකාරයක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට . . . නම් විවරණිකාවේ 14-19 දක්වා පිටු බලන්න.