Skip to content

පටුනට යන්න

වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද?

වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද?

කොඳු කැඩෙන බරින් යුත් කපු මුට්ට, දෙකට තුනට නැමුණු දහඩිය ගලන කාලවර්ණ දේහ මතින් දරා, තොටුපොළත් නැවත් යා කරන පාලම හරහා ඉහළට ඇදෙන්නේ වෙහෙස වූ දෙපා වාරුවෙනි. වහලුන් බලාගන්නා කංකාණමයාගේ රුදුරු කස පහරේ කිසිදු අනුකම්පාවක්වත් දයාවක්වත් රැඳී තිබුණේ නැත. ‘අ-ම්-මා-හ්’ යයි යටිගිරියෙන් මොර දී හඬන කුඩා දරුවාව ළතෝනි තියන මව් අතින් උදුරාගෙන වෙන්දේසියේ ඉහළම ගැනුම්කරුට විකුණනු ලබයි. එසේ කළේ එකෙකුව නොව දහස් ගණනින්ය. වහල්භාවය ගැන සිතන විට අප මනසට නැඟෙන චිත්ත රූපයේ ම්ලේච්ඡත්වය හා මෘග ගතිය මෙයාකාරය.

වහල් වෙළඳාමේ යෙදුණු හාම්පුතුන් බහුතරයක් ශ්‍රද්ධාවත්යයි කියැවෙන මුත්, එය විහිළුවකැයි කිව හැකිය. ඉතිහාසඥ ජේම්ස් වෝල්වින් මෙසේ ලීවේය. “අප්‍රිකානු වෙරළෙන් නව ලෝකය බලා දියත් වූ වහල් නැව්වල නැඟි යුරෝපීයයන් හා අමෙරිකානුවන් වූ මොවුන්ගෙන් බොහෝදෙනා ලාභදායී මෙන්ම හිරිහැරයක් කරදරයක් නැතුව අප්‍රිකාවේ ව්‍යාපාර කටයුතු කරගැනීමට හැකිවීම ගැන දෙවියන්ට තුති පිදූහ.”

වහල් වෙළඳාමට දෙවි ඉඩ දී තිබෙන බව සමහරු තරයේම කියා සිටියහ. උදාහරණයක් හැටියට, 1842දී මෙතෝදිස්ත රෙපරමාදු සභාවේ සාමාන්‍ය සම්මන්ත්‍රණයකදී කළ කතාවේදී, වහල්භාවය “දෙවි විසින්ම පිහිටෙවූ” එකකැයි ඇලෙක්සැන්ඩර් ම’කේන් කියා සිටියේය. ඒ කතාවේ සැබෑවක් තිබේද? පැහැරගෙන යෑම් හා ගැහැනු ළමුන්ව දූෂණය කිරීම් දෙවි අනුමත කළාද? පපු කැනැති දෙපළු කරවන පවුලේ අයගෙන් වෙන් කිරීම් හා ම’කේන්ගේ දවසේ වහල් වෙළඳාමේ නැතුවම බැරි අංගයක් වූ හිත් පිත් නැති පහරදීම් දෙවි අනුමත කළාද? එපමණක් නොව වර්තමානයේද, කුරිරු ලෙස ශ්‍රමය සූරාකන්නන්ගේ ගොදුරු බවට පත්ව වහලුන් මෙන් දිවි ගෙවන දශලක්ෂ ගණන් ජනයා ගැන කුමක් කිව හැකිද? එවන් අමානුෂික ක්‍රියාවන් දෙවි බලා සිටින්නේ ඇස් කන් පියාගෙනද?

වහල්භාවය හා ඉශ්‍රායෙල්වරු

‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ආණ්ඩු කර’ තිබේ කියා බයිබලය පවසයි. (දේශනාකාරයා 8:9) මිනිසා විසින් මිනිසාව වහල්භාවයේ යොදවාගත් කාලයේදී පමණ, ඉහත දැක්වූ කාරණය වෙන කොයිම කාලයකදීවත් සිදු වීයැයි කිව නොහැකිය. වහල්භාවය ගෙනා දුක්වේදනා දෙස යෙහෝවා දෙවි උදාසීන ලෙස බලා සිටියේ නැත.

ඉශ්‍රායෙල්වරුන් අතරේ පැනනැඟි යම් සිද්ධියක් උදාහරණයක් වශයෙන් සලකා බලන්න. මිසරවරුන් “යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය” කියා බයිබලයෙහි පවසයි. ඉශ්‍රායෙල්වරුද “වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම [දෙවි] වෙතට පැමුණුණේය.” ඔවුන් සිටි දුඃඛිත තත්වය ගැන යෙහෝවා ඇස් ඇර බැලුවේ නැද්ද? “[දෙවි] ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහි [කළේයයි]” බයිබලය කියයි. තම සෙනඟට යෙහෝවා තවදුරටත් මෙසේද කීවේය. “මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි.”—නික්මයාම 1:14; 2:23, 24; 6:6-8.

දරදඬු වහල් බැමිවලින් බැඳ ‘මිනිසා මිනිසාවම ආණ්ඩු’ කිරීම යෙහෝවා අනුමත කර නැති මුත්, දෙවිත් තම සෙනඟ අතරේ වහල් සේවයට ඉඩහැර තිබුණා නොවේද? ඔව්, ඔහු ඊට ඉඩහැර තිබුණේය. නමුත්, ඉශ්‍රායෙල්හි පැවති වහල්භාවය, ඉතිහාසයේ කොටසක්ව තිබූ කෲර ඒකාධිපති වහල්භාවයට වඩා සියක් ගුණයක් වෙනස් එකකි.

දෙවි දුන් ව්‍යවස්ථාවේ හැටියට කෙනෙකුව පැහැරගෙන ගොස් විකිණීම මරණ දණ්ඩනය ලැබිය හැකි වරදකි. එපමණක් නොව, වහලුන්ව ආරක්ෂා කිරීම සඳහා යෙහෝවා මඟ පෙන්වීම්ද දුන්නේය. උදාහරණයක් හැටියට, හාම්පුතෙකු විසින් දරුණු ලෙස තුවාල කරන ලද වහලෙකුව නිදහස් කරහැරිය යුතු විය. හාම්පුතුගේ පහර දීමට ලක්ව වහලෙකු මිය ගියහොත්, දඬුවමක් හැටියට හාම්පුතුව වුවත් මරණයට පත් කළ හැකි විය. යුධ සිරකාරියක වූ ස්ත්‍රියක් වහලියක හෝ භාර්යාවක කරගැනීමට හැකියාවක් තිබුණි. එහෙත් ලිංගික ඕනෑ එපාකම් සතපාගැනීමට හුදෙක් ‘භාණ්ඩයක්’ ලෙස ඇයව යොදාගැනීමට කිසිම ඉඩක් නොවීය. වහලුන්ට ගෞරවයෙන් හා කරුණාවෙන් යුතුව කුලීකරුවන්ට මෙන් සැලකීමට ව්‍යවස්ථාවේ මූලික හරයෙන් සානුකම්පිත ඉශ්‍රායෙල්වරුන්ව පෙලඹෙවූ බව සහතිකය.—නික්මයාම 20:10; 21:12, 16, 26, 27; ලෙවී කථාව 22:10, 11; ද්විතීය කථාව 21:10-14.

සමහර යුදෙව්වෝ තම ණය ගෙවාගැනීම සඳහා කැමැත්තෙන්ම සෙසු යුදෙව්වන්ගේ වහලුන් බවට පත් වූහ. සාගින්නෙන් මෙන්ම දිළිඳුභාවයෙන් පෙළීම බොහෝදුරට මඟහරවා ගැනීමට මේ ක්‍රමය ඉවහල් විය. තවදුරටත්, ඇතැම් කාලවල වහලුන් කැමැත්තෙන් සිටියේ නම් ඔවුන්ව නිදහස් කර හැරීමේ සිරිතක් යුදෙව්වන් අතර විය. a (නික්මයාම 21:2; ලෙවී කථාව 25:10; ද්විතීය කථාව 15:12) වහලුන් සම්බන්ධයෙන් තිබූ මේ නීති රීති පිළිබඳ විවරණයක යෙදෙමින් යුදෙව් විශාරද මෝසෙස් මීල්සින සඳහන් කරන්නේ මෙසේය. “වහලෙකු යනු මිනිසෙකුය යන කාරණය කිසිවිටෙක අවතක්සේරුවට ලක් වී නැත. සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් ඇති පුද්ගලයෙකු සේ ඔහුව සැලකිය යුතු විය. ඊට විරුද්ධව සිටීමට හාම්පුතුටවත් නොහැකි විය.” ඉතිහාසය දුගඳ කර ඇති ම්ලේච්ඡ වහල් ක්‍රමවලට වඩා මෙය මොනතරම් වෙනස්ද!

වහල්භාවය හා ක්‍රිස්තියානීහු

මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් ජීවත් වූයේ රෝම අධිරාජ්‍යයේ යකඩ සපත්තුවලට පෑගෙමිනි. වහල් ක්‍රමය එහි ආර්ථිකයේ අංගයක්ව පැවතුණි. ඒ හේතුවෙන්, සමහර ක්‍රිස්තියානීහු වහලුන්වද ඇතමෙක් හාම්පුතුන්වද සිටියහ. (1 කොරින්ති 7:21, 22) එසේ වූ නමුදු, යේසුගේ ගෝලයන් ම්ලේච්ඡ හාම්පුතුන් වූ බව මෙයින් අදහස් වේද? කොහෙත්ම නැත. රෝමානු නීතිය වහලුන්ට සැලකිය යුතු ආකාරය ගැන කුමක් කීවත්, කුමන නිදහසක් දී තිබුණත්, මේ ක්‍රිස්තියානීහු තමන් යටතේ සිටින අයව තළා පෙළා වධ දී සැහැසික අයුරින් සැලකුවේ නැති බව නම් සැක කරන්න හේතුවක් නැත. ප්‍රේරිත පාවුල් පිලෙමොන්ට කියා ඇරියේ ඔහුගේ වහලා වූ ඔනේසිමස් ක්‍රිස්තියානියෙකු බවට පත්ව ඇති නිසා වහලෙකු ලෙස නොව “සහෝදරයෙකු” ලෙස ඔහුව සලකන හැටියටයි. bපිලෙමොන් 10-17.

මිනිසුන් මිනිසුන්ව වහලුන් කරගැනීම දෙවිගේ මුල් අරමුණ නොවූ බව බයිබලය කියයි. එපමණක්ද නොව, දෙවිගේ නව ලොවේදී වහල්භාවය ක්‍රියාත්මක වන බවට බයිබලයේ කිසිම අනාවැකියක වක්‍රාකාර ඉඟියක්වත් සොයාගැනීමට නැත. ඒ වෙනුවට, අත ළඟ එන පාරාදීසමය කාලයේදී, ධර්මිෂ්ඨ ජනයා “කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.”—මීකා 4:4.

පැහැදිලිවම, කිසිම ආකාරයක පහත් සැලකිල්ලක් සම්බන්ධයෙන් බයිබලය ඇස් කන් පියාගෙන සිටින්නේ නැත. ඒ වෙනුවට, බයිබලය දිරි දී ඇත්තේ, එකිනෙකාට ගෞරව කිරීමටත් සැමෝටම එක හා සමානව සැලකීමටත්ය. (ක්‍රියා 10:34, 35) එහි බැරෑරුම් ලෙස උපදෙස් දී තිබෙන්නේ අන් අය තමන්ට සලකනවාට තමා කැමති ආකාරයටම අනිත් අයටත් සලකන්න කියාය. (ලූක් 6:31) තවදුරටත්, බයිබලය ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්නේ, අන් අයගේ සමාජ පසුබිම කුමක් වුවත්, අනෙකා තමන්ට වඩා උතුමැයි සලකන හැටියටය. (පිලිප්පි 2:3) විශේෂයෙන්ම මෑත සියවස්වලදී බොහෝ ජාතීන් විසින් අනුබල දුන් ම්ලේච්ඡ වහල්භාවය හා සසඳා බලන විට, ඉහත ප්‍රතිපත්ති සහමුලින්ම පරස්පර විරෝධී බව පෙනේ.

[පාදසටහන්වල]

a තම හාම්පුතු සමඟ දිගටම රැඳී සිටීමට ඉඩහැරීමේ සැලසුමෙන් පැහැදිලිවම ඇඟවෙන්නේ ඉශ්‍රායෙල්වරුන්ගේ වහල් ක්‍රමය ම්ලේච්ඡ ස්වභාවයක් නොගත් බවය.

b එදා මෙන් අදත් සමහර ක්‍රිස්තියානීහු හාම්පුතුන්වද අන් අය සේවකයෝවද සිටිති. වත්මනේ සිටින ක්‍රිස්තියානී හාම්පුතෙකු තමන් යටතේ සේවය කරන කෙනෙකුව තළා පෙළන්නේ නැත්තා සේ, මුල් සියවසේ සිටි යේසුගේ ගෝලයන්ද තම සේවකයන්ට සලකන ලද්දේ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අනුව විය යුතුය.—මතෙව් 7:12.