Skip to content

පටුනට යන්න

ලෝක සාමය සිහිනයක් නොවේ!

ලෝක සාමය සිහිනයක් නොවේ!

ලෝක සාමය සිහිනයක් නොවේ!

ගෙවී ගිය සියවස දෙස හැරී බලන්ට අල්ෆ්‍රඩ් නොබෙල්ට පුළුවන් වූවා නම් ලෝක සාමය පිළිබඳ අපේක්ෂාවන් ගැන සුභවාදීබවක් ඔහුට හැඟේවිද? යුද්ධයට විරාමයක් තබන්ට බොහෝදෙනෙකු අවංක වෑයමක් දරා ඇති බව දැනගන්ට ඔහු කැමති වනු ඇති බවට කිසිම සැකයක් නැත. එනමුදු, ඔහුට තිත්ත ඇත්තට මුහුණ දීමටද සිදු වනු ඇත. මහාචාර්ය හ්‍යූ තෝමස් එය සංක්ෂිප්තව මෙසේ දක්වයි. “සමාජ සංවර්ධනය හා දිළිඳුභාවය වෙත ආණ්ඩුවල අවධානය වැඩියෙන් යොමු වූ සියවසක් ලෙස 20වන සියවස හැඳින්වුවද, එය මැෂින් තුවක්කුවලින්, යුධ ටැංකිවලින්, B-52 වර්ගයේ යුධ ගුවන් යානාවලින්, පරමාණු බෝම්බ හා අවසන් වශයෙන් මිසයිලවලින් පාලනය වූ සියවසකි. එය වෙන කවර යුගයකටත් වඩා වැඩියෙන් ලෙයින් හා විනාශයෙන් සනිටුහන් වී ඇත.” තෝමස් තවදුරටත් පවසන්නේ, “මේ අනුව බලන කල මෙම වකවානුව ප්‍රගතියක් සිදු වූ කාලපරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිද නොහැකිද යන්න සම්බන්ධයෙන් බොහෝදෙනා විවිධ මත දරති” යනුවෙනි.

විසිඑක්වන සියවසේ දොරකඩින් ඇතුල් වී සිටින අපට ලෝක සාමය උදෙසා බොහෝ අපේක්ෂාවන් තිබෙනවා නොවේද? එසේයැයි කිව නොහැකිය. නියූ යෝක් හා වොෂිංටන් ඩී.සී. නගරවලට 2001 සැප්තැම්බර් 11වනදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සඳහන් කරමින්, නියුස්වීක් සඟරාව මෙසේ පවසයි. “මිනිසුන්ට පාලනය කළ හැකි මිසයිලයක් හැටියට 767 ගුවන් යානා පාවිච්චි කළ හැකි ලෝකයක තව මොනවා කරන්ට බැරිද? දරුණුම දෙය නම් එය කොහෙත්ම වැළැක්විය නොහැකි වීමය.”

ලෝක සාමය සැබෑවක් වීමට කාරණා දෙකක් ඉටු විය යුතුයැයි සමහරු පවසති. පළමුව, මිනිසුන් සිතන ක්‍රමයේ හා ඔවුන්ගේ හැසිරීම් රටාවේ විශාල වෙනස්කම් සිදුවීම අවශ්‍යය. දෙවනුව, සියලුම ජාතීන් එකම ආණ්ඩුවක් තුළ එක්සත් විය යුතුය. සාමය අත් කරගන්නා කාලයක් ගැන බයිබලය පුරෝකථනය කරයි. එහෙත්, එය සිදු වන්නේ මිනිස් වෑයමකින් නම් නොවේ. මැවුම්කරු වන යෙහෝවා දෙවි ගැන ගීතාවලිය 46:9 මෙසේ කියයි. “ඔහු පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.” දෙවි මෙය ඉටු කරනු ඇත්තේ කෙසේද? අවංක දෙනෝදාහක් ජනයා අනන්ත වාරයක් පැමිණෙන ලෙස යාච්ඤා කළ ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන්ය. එම රාජ්‍යය කෙනෙකුගේ හදවතේ ඇති තත්වයක් නොවේ. එය, දෙවි විසින් පොළොවේ එක් කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සාමය උදා කරනු ලබන සැබෑ ආණ්ඩුවකි. එම ආණ්ඩුවේ යටත් වැසියන් ‘තවත් යුද්ධ ඉගෙනගන්නේ නැති’ බව ප්‍රොපේත යෙසායා පැවසීය. (යෙසායා 2:4) ලෝක ව්‍යාප්ත අධ්‍යාපනික වැඩසටහනක් හේතුවෙන් ‘තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගෙන’ සාමයෙන් වසන්ට ඔවුහු ඉගෙනගන්නෝය.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දැන් පවා එසේ කරති. ඔවුහු විවිධ ජනවාර්ගික කොටස්වලට අයත්ව රටවල් 200කට වැඩි ප්‍රමාණයක විසිර සිටියත් සෙසු මිනිසාට විරුද්ධව අවි අතට ගැනීම ප්‍රතික්ෂේප කරති. යුද්ධයෙන් දෙපළු වී ගිය ලෝකය තුළ පවා ඔවුන්ට තම මධ්‍යස්ථ ස්ථාවරය රැකගැනීමට හැකිවීමෙන් ඔප්පු වන්නේ, සාමය යනු සැබෑ නොවන සිහිනයක් නොව යථාර්ථයක් බවය.

සැබෑ සාමය සම්බන්ධයෙන් වූ බයිබලය මත පදනම් බලාපොරොත්තුව ගැන තවත් දැනගන්ට ඔබ කැමතිද? කරුණාකර මේ සඟරාවේ පස්වන පිටුවේ ඇති ලිපිනයක් යොදාගෙන එහි ප්‍රකාශකයන්ට ලියන්න. එසේ නැතහොත් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න.