Skip to content

පටුනට යන්න

ඇත්තටම ගෝලීයකරණයට අපේ ප්‍රශ්න විසඳිය හැකිද?

ඇත්තටම ගෝලීයකරණයට අපේ ප්‍රශ්න විසඳිය හැකිද?

ඇත්තටම ගෝලීයකරණයට අපේ ප්‍රශ්න විසඳිය හැකිද?

“අපේ විශ්ව ප්‍රජාවත් අනෙකුත් සියලුම ප්‍රජාවන් වාගේ ආදර්ශවත් එකක් නොවන්නේ එහි බොහෝ අඩු පාඩුකම් තිබෙන නිසයි. එහි සියලුම වැසියන්ට එක හා සමානව සලකනු ලබන්නේවත් ඒ සියල්ලන්ට දියුණු වීම සඳහා එක හා සමාන ප්‍රස්තා ලැබෙන්නේවත් නැහැ. මිලියන සංඛ්‍යාත ජනයා අද්දකින අහිමි වීම් නිසා තමන් එවැනි ප්‍රජාවක සාමාජිකයන් කියා ඔවුන් සිතන්නේවත් නැහැ.”—“අපේ විශ්ව ප්‍රජාව” යන වාර්තාව ඇසුරෙනි.

විශාල අප්‍රිකානු නගරයක වෙසෙන ෆැටිමා තමා භාග්‍යවත් තැනැත්තියක් ලෙස සලකන්නීය. අඩුම තරමින් ඇයට ශීතකරණයක්වත් තිබේ. නමුත් ඇගේ පවුලේ අය ජීවත් වන්නේ කිරිගරුඬ සොහොන් ගල් තුනක් වටා ටකරමෙන් ආවරණය කරන ලද නිවසකයි. මිලියන භාගයක සෙනඟකට සමානව ඇයත් ජීවත් වන්නේ විශාල සොහොන් පිටියකයි. දැන් සොහොන් පිටිය පවා ජනාකීර්ණ වී ඇත. “පමණට වඩා ජනයා මෙහේ ජීවත් වෙන්න එනවා. විශේෂයෙන් මේ සොහොන් ගෙවල්වල” යැයි ඇය අවලාද නඟයි.

ෆැටිමාගේ නිවසේ සිට කිලෝමීටර් 15ක් එපිටින් සියලුම පහසුකම් සහිත සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තිබේ. එය මනහර ආපන ශාලා හා විශාල ගොල්ෆ් පිට්ටනියකින් සමන්විතයි. ගොල්ෆ් වටයක් ක්‍රීඩා කිරීම සඳහා එම අප්‍රිකානු රටේ වැසියෙකුගේ මාසික ආදායමට වඩා වැඩි මුදලක් වැය වේ. දුගී දුප්පත්කම සැමදා මෙම නගරය බිලිගෙන තිබේ. නමුත් ඉහළ සමාජයේ වැජඹෙන්නන්ගේ ගොල්ෆ් ක්‍රීඩාව සුළුතරයකට නැවුම්බවක් ගෙන දුන්නත් වැඩි පිරිසකට මහ හිසරදයකි. අපේ විශ්ව ප්‍රජාවේ සුඛෝපභෝගීබව හා අන්ත දුගීබව එකට අත් වැල් බැඳ යන්නේ ඉතා අසීරුවෙනි.

ශුෂ්ක දේශගුණයකින් හෙබි මැද පෙරදිග යේමනයේ වාඩි හඩ්‍රාමාවුට් යනු තැනින් තැන ඉපැරණි ගම්මානවලින් යුත් පැරණි වංගු සහිත තවලම් මාර්ගයකි. බැලූ බැල්මට මෙම ගම්බද නිම්නයේ කිසිම වෙනසක් වී නැති බව හැඟේ. නමුත් පිටින් දෙයක් දෙස බලා තීරණයකට එළඹීම රැවටිලි සහිතය. එයට නුදුරින් සයියන් නම් නගරයේ පිහිටි කෞතුකාගාරයේ තිබෙන සියලුම වටිනා වස්තු පිළිබඳ දත්තවල ලැයිස්තුවක් විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් විසින් වෙබ් අඩවියකට ඇතුළත් කරන ලදි. එම උපාධිධාරිනිය එම ගමේම දැරියක් වුවද ඇය ඉගෙනුම ලැබුවේ අ.එ.ජ. ඔහායෝ විශ්වවිද්‍යාලයේය. මේ යුගයේ මිනිසුන්ට හා ඔවුන්ගේ අදහස්වලට ලෝකය පුරා සැරිසරන්න වෙන කවරදාටත් වඩා හැකියාව ලැබී තිබේ.

ඊට කිලෝමීටර් දෙදහසක් පමණ බටහිරින් පිහිටි සහරා කාන්තාරයේ හුදෙකලා පාරක ට්‍රක් රථ තුනක් ඉබි ගමනින් දකුණු දෙසට ඇදෙයි. එම ට්‍රක් රථවල රූපවාහිනි යන්ත්‍ර, වීඩියෝ යන්ත්‍ර හා දීසි ඇන්ටෙනා (satellite dish) ප්‍රවාහණය කරන බව මාෂාල නම් වූ රියැදුරෙක් පැවසුවේය. ඔහු පවා ලෝකය අවට සිදු වන දේ සම්බන්ධව විස්තර දැනගන්නේ අමෙරිකානු ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹීම මගිනි. “මගේ නගරයේ අපි හැමෝටම දීසි ඇන්ටෙනා තියෙනවා” කියා ඔහු විස්තර කරයි. විශ්ව සන්නිවේදන මාධ්‍යයේ ග්‍රහණයට හසු නොවන්නේ ලෝකයේ සුළුතරයක් පමණයි.

ලෝකයේ ඕනෑම තැනකට ගමන් කිරීමේ හැකියාව ඇතුළු අලුත් අදහස්, ප්‍රවෘත්ති, මුදල් හා නවීන තාක්ෂණය වැනි දෑ නිසා අලුත් විශ්ව ප්‍රජාවක් බිහි වී ඇති අතර එයින් ප්‍රයෝජනද අත් වේ. ගෝලීයකරණය යේමනයේ සංස්කෘතිය වැඩිදියුණු කිරීමට දායක වී ඇති අතර එමගින් මාෂාලට සති තුනක ගමනක් සඳහා අමෙරිකානු ඩොලර් 3,000ක් දක්වා ඉපයීමටද මඟ පෑදී තිබේ. නමුත් මුදල් මේ අයුරින් සෑම අය අතටම පත් වන්නේ නැත. ෆැටිමා සහ ඇගේ අසල්වාසීන් ගෝලීයකරණය නිසා අන් අය භුක්ති විඳින සැපවත් ජීවිතය දෙස බලා සිටින්නන් බවට පත් වී ඇත. ඔවුන්ගේ අගහිඟකම් තවමත් ඔවුන්ටම සීමා වූ ප්‍රශ්නයකි.

අපේ විශ්ව ප්‍රජාව තවමත් ආදර්ශවත් පරිපූර්ණ එකක් නොවුවද, දැනට සිදු වෙමින් පවතින ගෝලීයකරණයේ වෙනස්කම් නැවත ආපස්සට හැරවිය නොහැක. මිනිසුන් රූපවාහිනිය නැරඹීම, ජංගම දුරකථන භාවිතය, පරිගණක භාවිතය හා වෙනත් රටවලට සංචාරය කිරීම වැනි දෑ නතර කිරීමට කැමති වේවිද? ජාතීන් තමන්ව ලෝක දේශපාලනයෙන් හා ආර්ථික තත්වයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන හුදකලා ජීවිතයක් ගත කිරීමට කැමති වේවිද? කවුරුත් කිසිසේත් එවැනි වෙනස්කමකට කැමති වන්නේ නැත. ගෝලීයකරණය නිසා භුක්ති විඳින්නාවූ ප්‍රස්තාවන් ඉවතලන්න කිසි කෙනෙකු කැමති නොවන බව නම් පැහැදිලියි. නමුත් ඒ හා බැඳී ප්‍රශ්න ගැන කුමක් කිව හැකිද? මෙය සෑමදෙනාගේම ජීවිත කෙරෙහි බලපාන නිසා එහි ඵලවිපාක කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුව ඇත. එනයින් ගෝලීයකරණය හේතුවෙන් මුහුණ පෑමට සිදු වී ඇති අතුරු ඵලවිපාක ගැන කෙටියෙන් සලකා බැලීම වටී.

පුළුල් වන පරතරය

ලෝකයේ ධනය කිසිමදාක සියල්ලන් අතරේ සමානව බෙදී නැත. නමුත් ආර්ථික ගෝලීයකරණය මගින් ඇති නැති පරතරය තවත් විශාල කර තිබේ. ගෝලීයකරණය මගින් ඇති කරන ලද ලෝක ආර්ථික ක්‍රමයට හවුල් කරගත් සමහර දියුණු වෙමින් පවතින රටවල් ප්‍රයෝජන ලබා තිබෙන බව පිළිගත යුතුයි. විද්වතුන් පවසන ආකාරයට පසුගිය දශකය තුළදී ඉන්දියාවේ දුගී ජනගහනය සීයට 39ක සිට සීයට 26ක් දක්වා අඩු වූ බව දක්නට ඇත. ඒ හා සමානව මුළු ආසියාවේම එයාකාර වර්ධනයක් අද්දැක තිබේ. එක් වාර්තාවක පෙන්නුම් කරන පරිදි 1998දී නැඟෙනහිර ආසියාවේ ජනගහනයෙන්, දවසක ආදායම අමෙරිකානු ඩොලර් 1ක් උපයන පවුල් සිටියේ සීයට 15ක් පමණයි. නමුත් එය අවුරුදු දහයකට පෙර සීයට 27ක් විය. කෙසේවෙතත් ලෝකය පුරාම දක්නට තිබෙන දසුන එතරම් ප්‍රියමනාප නැත.

අප්‍රිකාවේ සහරාවට දකුණින් පිහිටි ප්‍රදේශ ඇතුළු තවත් නොදියුණු ප්‍රදේශවල පසුගිය අවුරුදු 30 තුළදී ආදායම පහත වැටී තිබේ. “පෙර නොවූ විරූ ආකාරයේ මහා ධනස්කන්ධයක් සතු ලෝකයක බිලියන තුනක් පමණ (මුළු ලෝක ජනගහනයෙන් අඩක් පමණ) වූ ජනකායකට, දවසකට අමෙරිකානු ඩොලර් 2කින් හෝ ඊට අඩු ආදායමකින් ජීවත් වීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉඩහැර තිබේ” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කෝෆි ආනන් අදහස් දැක්වූයේය. සමාජය මෙතරම් බෙදී පැවතීමට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ ජනයා තම තමාගේ ආර්ථිකය ගැන පමණක් සිතීමයි. “ලෝකයේ සියලුම ආර්ථික වෙළඳපොළවල් අන්ත දුගීකම නොසලකා හරිනවා” යයි හිටපු එ.ජ. භාණ්ඩාගාරික ලේකම් වන ලැරී සමර්ස් පවසයි. “ප්‍රධාන පෙළේ බැංකු දුප්පත් සමාජවලට සේවය පිරිනැමීමට අකමැති වී තිබෙන්නේ ඔවුන් බලාපොරොත්තු වන මූල්‍යමය සම්පත් ඔවුන්ගෙන් නොලැබෙන නිසයි.”

මනුෂ්‍යයන් හා රටවල් අතර පවා දුප්පත් පොහොසත් වශයෙන් බෙදීම් ඇති කිරීමට මූල්‍යමය සම්පත් හේතු වේ. මෑතකදී අමෙරිකා එක්සත් ජනපදයේ ධනවත්ම පුද්ගලයාගේ ශුද්ධ ආදායම, එම රටේ පුරවැසියන් මිලියන 100කගේ ශුද්ධ ආදායමේ මුළු එකතුව ඉක්මවා ගිය බව වාර්තා වේ. ගෝලීයකරණය ධනවත් බහු ජාතික සමාගම්වල වර්ධනයට අනුග්‍රහය දක්වන නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ සමහර භාණ්ඩ පිළිබඳ ඒකාධිකාරයක් හොබවන්නේ එම සමාගම්ය. උදාහරණයක් ලෙස වර්ෂ 1998දී අමෙරිකානු ඩොලර් බිලියන 262ක් වටිනා දුරකථන ව්‍යාපාරයෙන් සියයට 86ක්ම මෙහෙයවන ලද්දේ සමාගම් දහයක් මගිනි. මෙම බහු ජාතික සමාගම්වල ආර්ථික ස්ථාවරය රජයේ ආර්ථික ස්ථාවරය ඉක්මවා යයි. මානව අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයක් (Amnesty International) අදහස් දැක්වූයේ මෙසේයි. “මානව අයිතිවාසිකම්වලට හා කම්කරු අයිතිවාසිකම්වලට ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඉඩක් නැහැ.”

ලෝකයේ සියලුම ධන සම්පත් සීමිත සංඛ්‍යාවක් අතරේ පමණක් පරිහරණය වීම ගැන මානව අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන කනගාටු වෙති. ධනවත්ම සීයට 20 දුප්පත්ම සීයට 20ට වඩා 74 ගුණයක් වැඩිපුර උපයන සමාජයක ජීවත් වෙන්න ඔබ කැමතිද? රූපවාහිනියට ස්තුතිවන්ත වන්න දුගීභාවයෙන් පෙළෙන එම සීයට 20 ස්ථීර වශයෙන්ම දන්නවා, ඔවුන්ගේ අනෙකුත් ධනවත් සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේද කියා. නමුත් මෙය දැන සිටීම ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීමට පිටිවහලක් වන්නේ නැත. අපේ විශ්ව ප්‍රජාව එයාකාරයි. මෙවැනි දැඩි අසාධාරණකම් මනුෂ්‍යයන් තුළ ඉතිරි කරන්නේ කැලඹීම් හා කලකිරීම් පමණයි.

ගෝලීයකරණය වූ සංස්කෘතිය

තවත් අවධානය යොමු විය යුතු පැත්තක් නම් සංස්කෘතිමය වෙනස්කම් නිසා ඇති වන ඝට්ටන හා ද්‍රව්‍යවාදී සංකල්ප පැතිර යෑමයි. එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම ගෝලීයකරණයේ මූලික ලක්ෂණයකි. මේ සඳහා කදිම උදාහරණය නම් අන්තර්ජාලයයි. අභාග්‍යයකට මෙන් අන්තර්ජාලයේ තිබෙන්නේ ප්‍රයෝජනවත් කරුණු, සංස්කෘතිය හා වානිජ්‍ය සම්බන්ධ තොරතුරු පමණක්ම නොවේ. සමහර වෙබ් අඩවිවලට අසභ්‍ය පින්තූර, ජාති භේදී අදහස් හෝ සූදුව හඳුන්වා දී තිබේ. මින් කිහිපයක ගෙදරදී බෝම්බයක් නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන්ද උපදෙස් සපයා තිබේ. තෝමස් එල්. ෆ්‍රීඩ්මන් ප්‍රකාශ කරන්නේ මෙසේයි. “අන්තර්ජාලයෙන් ඕනෑම වැරදි වැඩක් කිරීමට අවශ්‍ය වන්නේ මවුසය දෙතුන් පාරක් එබීම පමණයි. ඔබට අවශ්‍ය නම්, වෙබ් අඩවිය තුළින් නාට්සි ප්‍රතිපත්තිවලට දිරි දෙන හෝ අසභ්‍ය පොත් පත් තිබෙන පුස්තකාලයක නිදැල්ලේ සැරිසරන්න පුළුවන්. ඔබව වැළැක්වීමට හෝ ඔබට මඟ පෙන්වීමට කිසිවෙක් නැහැ.”

මිනිසුන්ගේ කල්පනාවන් කෙරෙහි රූපවාහිනිය හා චිත්‍රපටිද මහත් බලපෑමක් කරයි. අද චිත්‍රපටි දර්ශනවල බොහෝවිට දකින්න ලැබෙන්නේ අමෙරිකාවේ ප්‍රධාන චිත්‍රපටි නිෂ්පාදක ආයතනයක් වන හොලිවුඩ් ආයතනයේ අදහස්ය. මෙම චිත්‍රපටි දර්ශන, නරඹන්නන්ව සාමාන්‍යයෙන් සුරංගනා ලෝකයකට ගෙන යයි. විනෝදාස්වාදය ලබා දෙන මෙම පුළුල් ක්ෂේත්‍රය බොහෝවිට රුකුල් දෙන්නේ ද්‍රව්‍යවාදයට, සැහැසියාවට හෝ දුරාචාරයටයි. මෙයින් හුවා දක්වන දේවල් බොහෝ රටවල සංස්කෘතියට මුළුමනින්ම නුහුරු යමක් විය හැකියි. නමුත් ආණ්ඩුවලට, අධ්‍යාපනවේදීන්ට හා දෙමව්පියන්ට මෙම බලපෑමෙන් තම දරුවන්ව හා රට බේරාගත නොහැකියි.

කියුබාවේ හවානාහි පදිංචිකරුවෙක් උතුරු අමෙරිකානු ආගන්තුකයෙකුට කියා සිටියේ “අපි එ.ජ. සංස්කෘතියට ආදරෙයි. අපි ඔයාලගේ හොලිවුඩ් නළු නිළියෝ ඔක්කොමලාව දන්නවා” කියායි. බටහිර සංස්කෘතිය ක්ෂණික ආහාර, සිසිල් පැන් වැනි දේවල්ද හඳුන්වා දෙනවා. මැලේසියාවේ එක් ව්‍යාපාරිකයෙක් පැවසුවේ මෙයයි. “බටහිරෙන්, විශේෂයෙන් අමෙරිකාවෙන් එන ඕනෑම දෙයකට අපේ අය ආසයි. ඔවුන් බටහිර කෑම කන්ඩත් බටහිර අය වගේ හැසිරෙන්නත් කැමතියි.” හවානාහි පාසැලක විදුහල්පතිවරයෙක් ඉතා කනගාටුවෙන් මෙසේ පැවසුවේය. “කියුබාව තවදුරටත් දූපතක් කියලා කියන්න බැහැ. දැන් තනි වූ දූපත් නැහැ. දැන් තියෙන්නේ එක ලෝකයක් විතරයි.”

ශීඝ්‍රයෙන් පැතිරෙන බටහිර සංස්කෘතිය මිනිසුන්ගේ ආශාවන් හා අපේක්ෂාවන් කෙරෙහි බලපෑම් කරයි. “දැන් අල්ලපු ගෙදර අසල්වාසීන්ගේ පරිභෝජන රටාවට සමගාමීව යෑමට උත්සාහ දරනවා වෙනුවට, චිත්‍රපටි සහ රූපවාහිනී වැඩසටහන්වල තිරගත වන ධනවතුන්ගේ සහ ප්‍රසිද්ධ අයගේ ජීවන රටාව අනුගමනය කිරීමට වියරු උත්සාහයක් දරනු ලැබේ” යයි 1998 මානව සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. පැහැදිලිවම බහුතරයකට එවැනි ජීවන රටාවක් සිහිනයක් පමණයි.

ගෝලීයකරණය විසඳුමක්ද?

මිනිසුන් විසින් බිහි කරන ලද බොහෝ ව්‍යාපෘතීන් මෙන්ම ගෝලීයකරණයෙන්ද ප්‍රයෝජනවත් මෙන්ම හානිකර ප්‍රතිඵල අත් වේ. එය සමහර රටවලට ආර්ථික ස්ථාවරත්වයක් ගෙන දී තිබෙන අතර, මේ යුගය විශ්ව සන්නිවේදන යුගයක් බවට පත් කර තිබේ. කෙසේ වෙතත් අවශ්‍යතාවලින් පෙළෙන හා දුප්පත් සමාජවලට වඩා මෙනයින් ධනවත් හා ශක්තිමත් සමාජවලට අනුග්‍රහය ලැබී ඇත. ආණ්ඩුවලට වඩා ගෝලීයකරණයෙන් සූක්ෂ්ම ලෙස ප්‍රයෝජන ලබා තිබෙන්නේ අපරාධකරුවන් හා රෝග බෝ කරන වෛරසයි.—22 හා 23 පිටුවල ඇති කොටු බලන්න.

ගෝලීයකරණය මගින් අපේ අසම්පූර්ණ ලෝකයේ ඇති ප්‍රශ්න බොහෝමයක් විශාල කර දැක්වීමට සමත් වී තිබේ. මෙම පවතින ප්‍රශ්නවලට විසඳුමක් සපයනවා වෙනුවට ගෝලීයකරණයත් ප්‍රශ්නයක් වී ඇත. සමාජීය බෙදීම්වල වැඩිවීමත් සමඟ කලකිරීමද වැඩි වී ඇත. සියලුම ආණ්ඩු ගෝලීයකරණයෙන් ප්‍රයෝජන ගැනීමට සටනක යෙදෙන අතර එනයින් විය හැකි හානිදායක ප්‍රතිඵලවලින් රටවැසියා බේරාගැනීමටද උත්සුක වෙති. ඔවුන් සාර්ථක වේවිද? ගෝලීයකරණයට මානුෂික මුහුණුවරක් ලබා දීමෙන් යහපත් ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වේවිද? මතු ලිපිය මේ සම්බන්ධව අදහස් දක්වයි.

[22, 23වන පිටුවේ කොටුව⁄පින්තූර]

සැහැසියාව හා ත්‍රස්තවාදය ගෝලීයකරණය වීම

අභාග්‍යයකට මෙන් වෙළඳ හා වානිජ කටයුතු ප්‍රවර්ධනය කිරීමට තුඩු දුන් දේම සැහැසියාව සඳහාද උපයෝගී කරගත හැක. “බහු ජාතික සංස්ථා ලෝක ආර්ථිකය ගෝලීයකරණය කිරීමට මුල් තැන ගෙන කටයුතු කර තිබෙනවා හා සමානව ‘බහු ජාතික මට්ටමෙන් සංවිධානය වූ අපරාධකරුවන්ද’ ගෝලීයකරණයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සුක වී තිබෙන” බව 1999 මානව සංවර්ධන වාර්තාවේ විස්තර කර තිබේ. සංවිධානාත්මකව කෙරෙන අපරාධ සඳහා ගෝලීයකරණය උපකාරයක් වී ඇත්තේ කෙසේද?

වෙනත් ව්‍යාපාර කරගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීති විරෝධී ලෙස බිලියන ගණන් ලාභ ලැබීමට දැන් අලුත් මං පෙත් විවර වී තිබේ. රටවල් අතර සංචාරය කරන අයගේ සංඛ්‍යාව වැඩිවීම හා රේගු නීති ඉවත් කර තිබීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීති විරෝධී මත්ද්‍රව්‍ය රටකින් රටකට ගෙනයෑම පහසු වී ඇත. එක්දහස් නවසිය අනූ ගණන්වලදී කොකේන් නිෂ්පාදනය දෙගුණයක් වූ අතර ඕපියම්වල නිෂ්පාදනය තෙගුණයක් වී තිබේ. ජාත්‍යන්තර මාෆියා කල්ලි ගණිකා ව්‍යාපාරයෙන් මුදල් කන්දරාවක් උපයාගෙන තිබේ. සෑම වසරකම කාන්තාවන් හා ගැහැනු ළමුන් 5,00,000ක් මේ වෘත්තිය සඳහා බටහිර යුරෝපයේ රටවලට පිටත් කර යවති. මෙයින් බොහෝදෙනෙකු යන්නේ අකමැත්තෙනි.

සංවිධානාත්මක අපරාධ කල්ලි, බහු ජාතික සමාගම් මෙන් ඔවුන්ගේ බලය තහවුරු කරගෙන තිබේ. මෙයින් වැඩිදෙනෙකුට ජාත්‍යන්තර සම්බන්ධකම් තිබෙන අතර, ඔවුන් ලබන ආදායම අවුරුද්දකට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් බව ඇස්තමේන්තු කර තිබේ. මෙම මුදල ප්‍රංශයේ දළ ජාතික නිෂ්පාදනයට වඩා වැඩියි. a

වංක පරිගණක විශේෂඥයන්ටද අන්තර්ජාලය කදිම මෙවලමකි. වර්ෂ 1995දී එක් පරිගණක දූෂකයෙක් (පරිගණක ජාලයක රහසිගතභාවය සොරකම් කරන කෙනෙක්) අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තොරතුරුද අන් අයගේ බැර පත්‍රිකා (credit card) අංක 20,000ක්ද සොරකම් කළේය. ස්පාඤ්ඤයේ බැංකුකරුවෙකු වන ජොසේ ඇන්ටෝනියෝ සෝලා පැවසුවේ මෙසේය. “නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කරන සොරකම්වල අවදානම අඩු අතර, එමගින් වැඩි ලාභයක් උපයාගැනීමට හැකි වී තිබෙනවා.”

ත්‍රස්තවාදීහුද ගෝලීයකරණයේ මෙවලම් උපයෝගී කරගනිති. ලෝක ප්‍රවෘත්තිවලට ස්තුතිවන්ත වන්න, බටහිර රටක සංචාරකයන් කිහිපදෙනෙකුව ඈත එපිට ගම්බද ප්‍රදේශයකදී පැහැරගෙන යෑම වැනි ක්‍රියාවක් මගින් ඕනෑම දේශපාලනික පැමිණිල්ලක් ලෝකයට ක්ෂණිකව දැනුම් දීමට පුළුවන.

අනවශ්‍ය “සංචාරකයන්”

වසංගතවලට හෝ මනුෂ්‍යයන්ට මුළු විශ්වය පුරාම සැරිසරන්න හැකි අතර සමහර වසංගත මාරාන්තිකයි. “මුළු විශ්වයේම වසංගත පැතිර යෑමට මූලික හේතු වී තිබෙන්නේ ශීඝ්‍රයෙන් ලොව පුරා ගමන් කරන මිනිසුන්, භාණ්ඩ හා අදහස් බව” වසංගත පිළිබඳ විශේෂඥ මහාචාර්ය ජොනතන් එම්. මෑන් පැවසුවේය. “ලෝකය දැන් වඩාත් පහසුවෙන් රෝගවලට ගොදුරු වන තැනක් බවට පත් වී ඇත. එමෙන්ම වඩාත් අනතුරුදායක ලෙස අලුත් මෙන්ම පරණ රෝග ජාත්‍යන්තර මට්ටමෙන් පුළුල්ව පැතිර යයි.”

ජාත්‍යන්තර මට්ටමෙන් රෝග පැතිර යෑමේ මෙම අලුත් ප්‍රවණතාවට ඒඩ්ස් වසංගතය තරම් කදිම උදාහරණයක් තවත් නැති තරම්ය. මෙය සෑම වසරකම බිලියන තුනක් පමණ ජීවිත බිලිගනී. අප්‍රිකාවේ සමහර රටවල මෙම වසංගතය තරුණ පුරුෂයන් හා ස්ත්‍රීන්ගෙන් තුනෙන් දෙකක් පමණ ගිලගනියි කියා සෞඛ්‍ය සේවකයන් තුළ බියක් පවතී. “සහස්‍ර ගණනාවක් පුරා වසංගත, යුද්ධ හා සාගත පැවතුණද ඉතිහාසයේ මින් පෙර කවර යුගයකවත් මෙතරම් තරුණ ජීවිත බිලිගෙන නැත” යැයි ඒඩ්ස් සම්බන්ධ එක් මූලාශ්‍රයක (Joint United Nations programme on HIV/AIDS) පැවසේ.

විශ්වයේ සැරිසරන අනවශ්‍ය “සංචාරකයන්,” ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස් පමණක්ම නොවේ. මීට අමතරව සතුන්, ශාක හා කෘමීන්ද උන්ගේ පරිසරය අත්හැර වෙනත් මහාද්වීප ආක්‍රමණය කර තිබේ. ඕස්ට්‍රේලියාවෙන් හොරෙන් ගුවන් ගත කළ විෂ සර්පයින් වර්ගයක් පැසිෆික් දූපත්වලට ගෙන ගොස් දමා තිබේ. මෙම සර්පයින් දැනටමත් ගුවාම් දූපතේ සියලුම කැලෑ පක්ෂීන් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව කියැවේ. දකුණු අමෙරිකාවේ සිට නිවර්තන රටවල් 50කට පමණ ජපන් ජබර ශාකය පැතිර ගොස් ඇති නිසා ඒවා ඇළ මාර්ග අවහිර කර ඇති අතර මත්ස්‍ය ජලාශ විනාශ කිරීමටද හේතු වී ඇත. “මෙසේ බලහත්කාරයෙන් ඇතුල් වන ‘පිටස්තරයන්’ විශ්ව ආර්ථිකයට ඩොලර් බිලියන ගණන් සෑම වසරකදීම පාඩු කරයි. එපමණක්ද නොව එමගින් වසංගත බෝ කිරීමද පරිසරයට මහත් විනාශයක්ද සිදු කරන” බව වාර්තාවක (International Herald Tribune) කියැවේ.

[පාදසටහන]

a “දළ ජාතික නිෂ්පාදනය” යනු අවුරුද්දක් ඇතුළත රටක් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවන් තුළින් ලැබෙන මුළු ආදායමයි.

[පින්තූර]

නීති විරෝධී මුදල් හුවමාරුව

නීති විරෝධී ලෙස සෙල්ලම් බඩුවල මුදල් සඟවා නැව්ගත කර තිබේ

කොකේන් ජාවාරම

විනෝදාස්වාදය සඳහා උපයෝගී කරගන්නා වාහනයක් තුළ නීති විරෝධී ලෙස අමෙරිකානු ඩොලර් 40,00,000ක් වටිනා කොකේන් සඟවාගෙන එක් රටක දේශ සීමාවක් පසු කරන විට අසු විය

ජෛව ත්‍රස්තවාදය

වොෂිංටන් ඩී.සී.වල කැපිටල් හිල්හි හමුදා භටයෝ ඇන්ත්‍රැක්ස් උවදුර ගැන සොයා බලති

බෝම්බ දැමීම

ඊශ්‍රායෙලයේ බස් රථයක් තුළ තිබූ බෝම්බයක් පිපිරී ගියේය

දසත පැතිරෙන ඒඩ්ස්

දකුණු අප්‍රිකාවේ ඒඩ්ස් වෛරසය කොතරම් පැතිර පවතීද යත් සමහර ආණ්ඩුවේ රෝහල් ජනයාව ආපසු හරවා යවනු ලැබේ

සත්ව ආක්‍රමණය

සර්පයින් විශේෂයක් (බොයිගා ඉරෙග්යුලාරිස්) ගුවාම් දූපතේ කැලෑ පක්ෂීන් සියල්ලන්ම පාහේ විනාශ කර දමා ඇත

ජපන් ජබර

මෙම ජලජ ශාකය රටවල් 50ක පමණ ඇළ මාර්ග හා ගං ඉවුරු වසාගෙන තිබේ

[හිමිකම් විස්තර]

නීති විරෝධී මුදල් හුවමාරුව හා කොකේන් ජාවාරම: James R. Tourtellotte and Todd Reeves/U.S. Customs Service; ජෛව ත්‍රස්තවාදය: AP Photo/Kenneth Lambert; පිලිස්සෙන බස් රථය AP Photo/HO/Israeli Defense Forces; දරුවා: AP Photo/Themba Hadebe; සර්පයා: Photo by T. H. Fritts, USGS; ජපන් ජබර: Staff CDFA, California Dept. of Food & Agriculture, Integrated Pest Control Branch

[21වන පිටුවේ පින්තූර]

ආර්ථික අර්ථයකින් සිදු කරන ගෝලීයකරණය ඇති නැති පරතරය පුළුල් කිරීමට හේතු වී තිබේ

[හිමිකම් විස්තර]

UN PHOTO 148048/J. P. Laffont-SYGMA

[24වන පිටුවේ පින්තූර]

ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට අන්තර්ජාලය භාවිතා කරයි