Skip to content

පටුනට යන්න

ගෝලීයකරණයේ බලාපොරොත්තු හා අවදානම්

ගෝලීයකරණයේ බලාපොරොත්තු හා අවදානම්

ගෝලීයකරණයේ බලාපොරොත්තු හා අවදානම්

“ගෝලීයකරණය අපේ යුගයේ දැවැන්තම ආර්ථික පෙරළියයි. . . . මුළු ලෝකයේම ජනයාට පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රස්තාවන් මෙමගින් විවෘත වෙනවා.”—මුදල් පිළිබඳ තීරු ලේඛක මාර්ටින් වූල්ෆ් ලියූ ලිපියක් ආශ්‍රයෙනි.

“මිහිතලයේ වෙසෙන අප සියලුදෙනාම එක විශාල පවුලක සාමාජිකයන්. මෙම නව යුගයේ මුළු ලෝකයටම පාරිසරික විනාශ වීම්, සම්පත්වල ඌනතාව, ලේ වැගිරීම් හා දිළිඳුකම වැනි අලුත් අභියෝගයන්ට හා ගැටලුවලට මුහුණ පෑමට සිදු වී තිබෙනවා.”—ජෝර්ජියාවේ ජනාධිපති එඩ්වාඩ් ෂෙවාඩ්නාඩ්සේ.

වර්ෂ 1999 දෙසැම්බර් මාසයේදී උද්ඝෝෂණයක් ඇතිවීම නිසා අ.එ.ජ. සියැටල්හි ලෝක වෙළඳ සංවිධානයේ පැවැත්වූ රැස්වීම අතරමඟදී නතර කිරීමට සිදු විය. මෙම තත්වය මැඩපැවැත්වීම සඳහා කඳුළු ගෑස්, රබර් උණ්ඩ යොදාගැනීමට හා ගම්මිරිස් මිශ්‍ර ද්‍රාවණයක් ඉසීමට පොලීසිය යුහුසුලු වූයේය. අවසානයේදී විරෝධය පෑ සිය ගණනක් අත්අඩංගුවට ගන්නා ලදි.

සියැටල්හි මෙම ප්‍රකෝපකාරි සිදුවීම ඇතිවීමට හේතුව කුමක්ද? රැකියා අහිමි වීමේ තර්ජන, පරිසරය හා සමාජීය අයුක්තිය වැනි කාරණා කිහිපයක් ඊට හේතු විය. මෙම උද්ඝෝෂණය ඇතිවීමට තුඩු දුන් හේතුවට දිය හැකි සරලම විග්‍රහය නම් ගෝලීයකරණයට ඇති බියයි. එනම් ගෝලීයකරණය මගින් මනුෂ්‍යයාට හා පෘථිවියට ඇති කළ හැකි බලපෑම්වලට ඇති බියයි.

ඔවුන්ගේ බිය තවමත් අඩු වී නැත. වර්ෂ 1999 සිට ගෝලීයකරණයට විරුද්ධව නැඟී සිටින්නන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් හා දරුණු වීමක් දක්නට තිබේ. මේ හේතුව නිසා සමහර අවස්ථාවලදී ලෝක නායකයෝ තම සමුළු විරුද්ධවාදීන්ට කඩාකප්පල් කිරීමට අපහසු වන හුදෙකලා ස්ථානවල පැවැත්වීමට තෝරාගනිති.

කෙසේවෙතත් සියලුදෙනා ගෝලීයකරණය තර්ජනයක් ලෙස සලකන්නේ නැත. සමහරුන් මෙය ලෝකයේ ගැටලුවලට මුල ලෙස සලකන අතර තවත් සමහරු මෙමගින් ලෝකයේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන බව විශ්වාස කරති. මෙම මතවාදී අදහස් බහුතරයකගේ ජීවිතවලට ඍජුවම බලපාන්නේ නැති බවත් බොහෝදෙනෙකු තුළ ගෝලීයකරණය සම්බන්ධව ඇත්තේ බොඳ වූ දැනුමක් බවත් පිළිගත යුතුයි. මේ ගැන ඔබගේ දෘෂ්ටිය කුමක් වුවත්, ගෝලීයකරණය ඔබ කෙරෙහි දැනටත් යම් බලපෑමක් කර ඇති අතර අනාගතයේදී එම බලපෑම තවත් ප්‍රබල වෙයි.

ගෝලීයකරණය යන්නෙහි නියම අරුත කුමක්ද?

සමහර අය “ගෝලීයකරණයට” දෙන අර්ථකථනය නම් ලෝක ව්‍යාප්ත මිනිසුන් හා රටවල් අතර වර්ධනය වෙමින් පවතින අන්තර් රඳා පැවැත්ම යන්නයි. පසුගිය දශකය තුළදී මෙම ක්‍රියාවලිය ශීඝ්‍රයෙන් වැඩිවර්ධනය වීමට අත්වැලක් වූයේ දියුණු තාක්ෂණයයි. (19වෙනි පිටුවේ කොටුව බලන්න.) මේ වකවානුව වන විට සීත යුද්ධය නිසා රටවල් අතර පැවති විරුද්ධවාදිකම් බොහෝදුරට මැකී ගොස් ඇත. වෙළඳ භාණ්ඩවල ආනයන හා අපනයන බද්ද අඩු කර හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. එමෙන්ම ලෝකයේ ප්‍රධාන ව්‍යාපාරික වෙළඳපොළවල් දැන් හවුලේ කටයුතු කරන බවද ගමනාගමනය සඳහා වැය වන මුදල අඩු වී ඇති බවද එය වඩාත් පහසු වී ඇති බවද දක්නට ලැබේ.

රටවල් අතර වර්ධනය වන අන්තර් සබඳතා ආර්ථිකමය, දේශපාලනමය, සංස්කෘතිමය හා පාරිසරික ඵල විපාක රැසකට මඟ පාදා ඇත. අභාග්‍යයකට මෙන් මින් ඇති වී තිබෙන සමහර ප්‍රතිඵලවල බලපෑම අහිතකරයි. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක (1999 මානව සංවර්ධන වාර්තාව) විස්තර කර තිබුණේ මෙලෙසයි. “මින් පෙර කවරදාකටත් වඩා මුළු ලෝකයේම ජනතාව අතර කිට්ටු බැඳීමක්, වඩා ක්‍රියාශීලිබවක් හා ඍජුව එළඹීමේ හැකියාවක් ඇත. මෙම හැකියාව හොඳ හෝ නරක අතට බලපෑම් ඇති කළ හැකි අලුත් ප්‍රස්තාවන් ගණනාවක් උදා කර දෙයි.” වෙනත් මිනිස් ප්‍රයත්නයන් හා සමානව ගෝලීයකරණයේද හිතකර හා අහිතකර පැත්තක් තිබේ.

වඩාත් සමෘද්ධිමත් ලොවකට බලාපොරොත්තු

ගෝලීයකරණය මගින් “ලෝකය විද්‍යාත්මක හා සංස්කෘතික පැත්තෙන් ඔප නංවා තිබෙනවා පමණක් නොව බොහෝදෙනෙක් ආර්ථික වශයෙන්ද ප්‍රයෝජන අත් කරගෙන තිබෙනවා” යයි ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබූ අමර්ට්යා සෙන් ප්‍රකාශ කරයි. ඒ හා සමාන අදහසක් 1999 මානව සංවර්ධන වාර්තාව නමැති ප්‍රකාශනයේ දැක්වේ. එහි සඳහන් වූයේ ගෝලීයකරණය මගින් “21වන සියවසේ දුගී දුප්පත්කම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට විශාල ප්‍රස්තාවන් උදා කර දෙයි” යන්නයි. මෙවැනි නිශ්චිත බලාපොරොත්තුවක් තබාගැනීමට හේතු වී තිබෙන්නේ දැනටමත් ගෝලීයකරණය මගින් අත් කර දී ඇති සමෘද්ධියයි. අවුරුදු 50කට පෙර සාමාන්‍ය පවුලක් ලැබූ ආදායම දැන් තුන් ගුණයකින් වැඩි වී තිබේ. a

සමහර විශ්ලේෂකයන් පෙන්නුම් කරන තවත් ප්‍රයෝජනයක් නම් ආර්ථික අන්තර් සබඳතාවක් පවතින විට රටවල් අතර යුද්ධ කිරීමට ඇති නැඹුරුවාව අඩු වන බවයි. තෝමස් එල්. ෆ්‍රීඩ්මන් ඔහුගේ පොතක (The Lexus and the Olive Tree) ගෝලීයකරණයේ ඇති වාසි ගැන පැවසුවේ මෙලෙසයි. “මෙමගින් නූතන ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයකට යුද්ධය වෙනුවෙන් දැරිය යුතු වියදම වැඩි වී තිබෙන නිසා යුද්ධ කිරීමේ ප්‍රවණතාව අඩු වී ඇත. මෙම තත්වය, මින් පෙර නූතන ඉතිහාසයේ කිසිදාක නොවූ විරූ ආකාරයකට ගෝලීයකරණය මගින් ඇති කර තිබේ.”

මිනිසුන් අතර සබඳතා වැඩි වන තරමට සහයෝගීතාව වැඩිවීමේ ඉඩ කඩද වැඩියි. අන්තර්ජාලයේ යම් මූලාශ්‍රයන් තමන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගැනීම සඳහා යොදාගැනීමට මානව අයිතිවාසිකම් පිළිබඳ ඇතැම් සංවිධානවලට හැකි වී තිබේ. නිදසුනක් වශයෙන්, 1997දී ජාත්‍යන්තර ප්‍රඥප්තියක් මගින් බිම් බෝම්බ තහනම් කිරීමේදී, ඉලෙක්ට්‍රොනික තැපෑල උපයෝගි කරගෙන ලෝකය පුරා ඊට සහය දෙන විවිධ කණ්ඩායම්වල උපකාරය ලබාගැනීමට හැකිවීම යම් පමණක සාර්ථකත්වයක් ගෙන දුණි. මෙම ක්‍රියාවට පොදු ජනයා හවුල් කරගැනීම සලකනු ලැබුවේ “ජාත්‍යන්තර මානුෂික ප්‍රශ්නයකට ජනතාව හා ආණ්ඩු උරෙන් උර ගැටී පිළිතුරු සෙවීමේ අලුත් ආකාරයක ජාත්‍යන්තර උපාය කෞශල්‍යයක් ලෙසයි.”

ගෝලීයකරණය මගින් මෙවැනි යහපත් ප්‍රතිඵල ලැබුණද එයින් යහපතකට වඩා අයහපතක් වේයැයි ජනයා තුළ බියක් පවතී.

තවදුරටත් බෙදුණු ලෝකයක් කෙරෙහි බිය

ගෝලීයකරණය කෙරෙහි වැඩියෙන් අවධානය යොමු කළ යුතු වන්නේ එමගින් පෙරට වඩා ඇති නැති පරතරය වැඩි වී තිබීමයි. ලෝකයේ සම්පත් කිසිම සැකයකින් තොරව වැඩි වී ඇති නමුත් ඒවා සීමිත රටවල් ප්‍රමාණයක් හා ජන පිරිසක් අතරේ පමණක් පරිහරණය වේ. ලෝකේ ධනවත්ම 200දෙනාගේ ශුද්ධ ආදායම මුළු ජනගහනයෙන් සීයට 40කගේ (බිලියන 2.4කගේ පමණ) මුළු ආදායමට වඩා වැඩි බව ගණන් බලා තිබේ. තවද ධනවත් රටවල වැටුප් ප්‍රමාණය වැඩි වන නමුත් දිළිඳු රටවල් 80ක ආදායම් මට්ටම පසුගිය වසර දහය ඇතුළත පහත වැටී ඇති බව කියැවේ.

කනගාටුවට හේතු වී තිබෙන තවත් කාරණයක් වන්නේ පරිසරය ගැන සැලකිල්ලක් නොදැක්වීමයි. ආර්ථික අර්ථයකින් ගත් කල ගෝලීයකරණය මගින් ව්‍යාපාරිකයන් තුළ ඇති කර ඇති එකම ඉලක්කය මඩි තර කරගැනීම පමණක් වන අතර පෘථිවිය හා එහි ආරක්ෂාව ගැන ඔවුහු කිසිදු තැකීමක් නොකරති. ඉන්දුනීසියාවේ ජාත්‍යන්තර පාරිසරික අරමුදලේ ප්‍රධානියා වන ආගුස් පර්නෝමො මෙසේ පැවසුවේය. “අපි සංවර්ධනය කරා වේගයෙන් ඇදී යනවා. අපි තව දශකයකට පසු පරිසරය ගැන මනා දැනුමක් ලබාගත්තත් අපට ආරක්ෂා කිරීමට කිසිවක් ඉතුරු වෙයිදෝ යන බියක් මා තුළ තියෙනවා.”

මිනිස්සු ඔවුන්ගේ රැකියා ගැනත් තැවෙති. රැකියා හා ආදායම් තත්වය අවිනිශ්චිතයි. ජාත්‍යන්තර මට්ටමෙන් සබඳතා වැඩි වෙත්ම හා සමාගම් අතර පවතින තරඟය වැඩි වෙත්ම වඩාත් කාර්යක්ෂම මෙන්ම සරල ක්‍රම භාවිතා කිරීමට සමාගම් නැඹුරු වේ. කාලීන අවශ්‍යතාව අනුව සේවකයන් බඳවාගැනීම හා සේවයෙන් පහ කිරීම, ලාභය වැඩි කරගැනීමට වෑයම් දරන වෙළඳ ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලූ කල සාධාරණ යමක් මෙන් පෙනෙන්න තිබේ. නමුත් එමගින් මිනිස් ජීවිත මත පමුණුවන හානිය කිව නොහැකි තරම්ය.

ගෝලීයකරණය මගින් වානිජ වෙළඳපොළට තවත් අවිනිශ්චිත තත්වයක් හඳුන්වා දී තිබේ. එනම් ජාත්‍යන්තර ආයෝජකයින් දියුණු වෙමින් පවතින රටවලට විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළද අනපේක්ෂිත ලෙස එම රටවල්වල ආර්ථිකය කඩා වැටෙන බවක් පෙනෙන්ට තිබූ විට එම මුදල් ඔවුහු ආපසු ලබාගනිති. මෙවැනි මුදල් සම්භාරයක් රටකින් ආපසු ලබාගැනීමෙන් එම රට මෙන්ම අනෙකුත් රටවල්ද වානිජ අර්බුදයකට ලක් විය හැකියි. වර්ෂ 1998 නැඟෙනහිර ආසියාවේ මූල්‍යමය අර්බුදය නිසා මිලියන 13කගේ රැකියා අහිමි විය. ඉන්දුනීසියාවේ රැකියා අහිමි නොවූ අයගේ වැටුප පවා හරි අඩක් දක්වා අඩු කරන ලදි.

මෙම කරුණුවලින් කියාපාන්නේ ගෝලීයකරණය පිළිබඳව බලාපොරොත්තු තැබීමට මෙන්ම එය ගැන බියවීමටද සාධාරණ හේතු ඇති බවයි. ඔබට ගෝලීයකරණය සම්බන්ධව බියවීමට හේතු තිබෙනවාද? නැත්නම් එය ඔබේ ජීවිතය වඩාත් සමෘද්ධිමත් තත්වයක් කරා ගෙන යයි කියා බලාපොරොත්තු විය හැකිද? ගෝලීයකරණය අනාගතය සම්බන්ධව සර්ව ශුභවාදී ආකල්පයක් තබාගැනීමට සාධක ඉදිරිපත් කර තිබෙනවාද? අපේ මීළඟ ලිපියේ මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කෙරේ.

[පාදසටහන]

a කෙසේවෙතත් ලෝක ව්‍යාප්තව කරන ගණනය කිරීම් බොහෝවිට මුළා කරවනසුලු විය හැකියි. ගෙවී ගිය වසර 50 තුළ බොහෝ රටවල පවුල් තමන්ගේ ආදායම ඉහළ ගොස් ඇති බව අද්දැක නැත. එනමුත් වෙනත් අයගේ ආදායම ගත වූ වසර 50 තුළදී දෙගුණ තෙගුණ වී තිබේ.

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෝකේ ධනවත්ම 200දෙනාගේ ශුද්ධ ආදායමේ එකතුව ලෝකයේ මුළු ආදායමෙන් සීයට 40ක් ඉක්මවන බව ගණන් බලා තිබේ.

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

ගෝලීයකරණයට පිටුවහලක් වී ඇති තාක්ෂණය

තාක්ෂණය මගින් පසුගිය දශකය තුළ පණිවිඩ හුවමාරු ක්‍රමයේ විශාල පෙරළියක් කර තිබේ. ලෝකයේ ඕනෑම තැනක වෙසෙන කෙනෙකු වෙත ළඟාවීමට හා තොරතුරු ලබාගැනීමටද එමගින් හැකි කරවයි. මෙම සේවාවන් පහසුවෙන්, කඩිනමින් හා අඩු වියදමකින් ලබාගත හැක.

රූපවාහිනිය පෞද්ගලිකවම තමන් සතු නොවුවද, බොහෝදෙනෙකුට රූපවාහිනියෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබේ. වර්ෂ 1995 වන විට මුළු ලෝකයේම සෑම දහස්දෙනෙකුටම රූපවාහිනි යන්ත්‍ර 235ක් තිබුණු අතර මෙය 1980ට වඩා දෙගුණයකින් වැඩිවීමකි. ලෝකයේ නන් දෙසින් තොරතුරු දුර ඈත එපිට ගම්මානවල ජීවත් වන ජනයාට දැකගැනීමට සැලැස්වීමට කුඩා දීසි ඇන්ටනාවකට (satellite dish) හැකි වී තිබේ. “අද ජාත්‍යන්තර ජන සන්නිවේදන මාධ්‍යය කොතරම් දියුණුද යත් කිසිම රටකට එයින් හුදෙකලා විය නොහැකියි” යයි දේශපාලන ආර්ථිකය පිළිබඳ මහාචාර්ය ෆ්‍රැන්සිස් ෆුකුයාමා පැවසුවේය.

අන්තර්ජාලය සෑම සතියකම අලුතෙන් 3,00,000ක් පමණ අන්තර්ජාලය හා සම්බන්ධ වෙති. මිලියන 700ක් පමණ 2001 වන විට අන්තර්ජාලය හා සම්බන්ධ වේයැයි 1999දී උපකල්පනය කරන ලදි. මෙහි “ප්‍රතිඵලය” ගැන ගත්කරුවෙක් වූ තෝමස් එල්. ෆ්‍රීඩ්මන් පැවසුවේ “ඉතිහාසයේ මින් පෙර කිසිම යුගයකට වඩා දැන් අන් අයගේ ජීවිත, අදහස් හා නිපැයුම් ගැන දැනගැනීමට ජනයාට හැකි වී ඇති” බවයි.

දුරකථනය ප්‍රකාශ තන්තු රැහැන් (fiber optic cables) සහ චන්ද්‍රිකා භාවිතය නිසා දුරකථන සේවාවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී තිබේ. නිව් යෝක් නගරයේ සිට එංගලන්තයට මිනිත්තු තුනක දුරකථන ඇමතුමක් සඳහා 1930දී අමෙරිකානු ඩොලර් 245ක් වැය වුවද 1999දී ඒ සඳහා වැය වූයේ ඩොලර් සත 35ක් පමණයි. රැහැන් රහිත ජාල (wireless networks) නිසා ජංගම දුරකථනද පරිගණක හා සමානව අද බොහෝ ප්‍රචලිතයි. ජංගම දුරකථන කොතරම් බහුල වෙයිද යත් 2002 අවසාන වන විට බිලියනයක් පමණ ජනයා මෙම දුරකථන භාවිතා කරනු ඇති අතර එයින් බොහොමයකට අන්තර්ජාල පහසුකම්ද තිබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ක්ෂුද්‍රචිප (microchip) ඉහත සඳහන් සියලුම පහසුකම් ක්ෂුද්‍රචිප ආධාරයෙන් සෑම විටම දියුණු කරමින් පවතී. පසුගිය අවුරුදු 30 ඇතුළත ක්ෂුද්‍රචිපයක බලය සෑම මාස 18කට වරක්ම දෙගුණ වී තිබේ. මෙතරම් කුඩා ඉඩ ප්‍රමාණයක මෙවැනි විශාල තොරතුරු සම්භාරයක් තැන්පත් කිරීමට මීට පෙර හැකි වී නැත.