පොලිස් නිලධාරීහු—ඔවුන්ගේ අනාගතය කුමක් වේද?
පොලිස් නිලධාරීහු—ඔවුන්ගේ අනාගතය කුමක් වේද?
පොලිස් නිලධාරීන් නොසිටියා නම් ව්‍යාකූල වූ දාමරික සමාජයක් බිහි වෙයි කියා සිතාගත හැකියි. පොලිස් නිලධාරීන් අද අප අතර සිටින නමුත් මෙලොව ආරක්ෂිත තැනක් කියා පවසන්න පුළුවන්ද? අද ගම්බද පෙදෙස්වල මෙන්ම බොහෝ නගරබද පෙදෙස්වල පවා ජනයා සිටින්නේ තම ආරක්ෂාව ගැන බියෙන් සහ සැකෙනුයි. මැර කල්ලිවලින් හා නම ගිය අපරාධකරුවන්ගෙන් පොලිසිය අපව ආරක්ෂා කරාවි කියා අපට අපේක්ෂා කරන්න පුළුවන්ද? පොලිසිය අප ගමන් කරන වීථි බියකින් සැකයකින් තොරව ගමන් කළ හැකි තැන් බවට පත් කරාවි කියා සිතිය හැකිද? අපරාධ මර්දනය කිරීමට ඔවුන් කරන සටන සාර්ථක වේවිද?
ඩේවිඩ් බේලී මේ ගැන දරන මතය තම කෘතියක (Police for the Future) සඳහන් කරයි. “පොලිසිය අපරාධ වළක්වන්නේ නැහැ . . . පොලිසිය හරියට පිළිකාවකට දමන පැලැස්තරයක් වගේ. . . . අපරාධ වැළැක්වීමට හා අපරාධවලින් සමාජය බේරාගැනීමට පොලිසිය කැප වී සිටියත් මුළුමනින්ම සමාජය ආරක්ෂා කරාවි කියා අපේක්ෂා කළ නොහැකියි.” පොලිසියේ ප්‍රධාන කාර්යයන් වන්නේ වීථිවල මුර සංචාරයේ යෙදීම, හදිසි ඇමතුම්වලට
ප්‍රතිචාර දැක්වීම හා අපරාධ විමර්ශනය කිරීමයි. එහෙත් එම කාර්යයන් තුන මගින් අපරාධ වළක්වාගැනීමට පොලිසිය සමත් වී නැති බව අධ්‍යයනවලින් හෙළි වෙනවා. ඊට හේතුව කුමක්ද?පොලිසියට විශාල සේවක පිරිසක් බඳවාගැනීමෙන් පමණක්ම අපරාධ වළක්වාගැනීමට වෑයම් කිරීම යථාර්ථවාදී නොවන මිල අධික වෑයමක් වේවි. ඇත්තෙන්ම, මුර සංචාරයේ යෙදෙන නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හැකියාවක් තිබෙන විට පවා අපරාධකරුවන් එම වැඩිවීම තුට්ටුවකටවත් ගණන් නොගන්නා බව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම සාපරාධී ක්‍රියාවක් සිදු වූ වහාම එය සිදු වූ ස්ථානයට විගස යෑමෙන් පවා පොලිසියට අපරාධ වැළැක්වීමට හැකි වී නැහැ. විනාඩියක් ඇතුළත අපරාධය සිදු වූ ස්ථානයට පැමිණිය නොහැකි නම් අපරාධකරුවන්ව අල්ලාගැනීමට සමත් නොවන බව පොලිස් වාර්තාවලින් හෙළි වෙනවා. පෙනෙන ආකාරයට, නිලධාරීන්ට එතරම් වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට නොහැකි බව අපරාධකරුවන් දන්නවා. අපරාධ විමර්ශනයද එතරම් සාර්ථක නැහැ. රහස් පරීක්ෂකයන් අපරාධකරුවෙකුගේ වරදසහගත බව ඔප්පු කර අත්අඩංගුවට ගැනීමට සමත් වුණත්, එය අපරාධ වැළැක්වීමට තුඩු දෙන බවක් නම් පෙනෙන්නේ නැහැ. එක්සත් ජනපදය වෙනත් කිසිදු රටකට වඩා අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා නමුත් එහි තවමත් ඉතා ඉහළ අපරාධ ප්‍රතිශතයක් තිබෙනවා. අනික් අතට, ජපානයේ සිර අඩස්සියේ සිටින්නේ ඉතා සුළු පිරිසක් වුණත් එහි සාපරාධී ක්‍රියාවන් සිදු වන්නේ ඉතා අල්ප වශයෙනුයි. ප්‍රජා මුර සේවය වැනි සැලසුම්වලින් පවා කල්පවතින ප්‍රතිඵල අත් කරගෙන නැහැ. මෙය විශේෂයෙන් සැබෑවක් වන්නේ සාපරාධී ක්‍රියා ඉහළ ප්‍රතිශතයක් තිබෙන ප්රදේශවලයි. මත් ද්‍රව්‍ය ජාවාරම හෝ සොරකම වැනි විශේෂිත අපරාධවලට එරෙහිව දැඩි පියවර ගත් විට තාවකාලිකව ඒවායේ අඩුවක් දක්නට ලැබුණද එම තත්වය දිගින් දිගටම පවත්වාගැනීම අසීරු වී තිබෙනවා.
කලින් සඳහන් වූ කෘතියේ පවසා තිබුණ ලෙස, “පොලිසියට අපරාධ වැළැක්වීමට නොහැකි වීම තර්කානුකූලව සිතන ජනයාට පුදුම වීමට හේතුවක් නොවෙයි. සමස්තයක් ලෙස ගත් විට, පොලිසියට හා අපරාධ සම්බන්ධ අධිකරණයට පාලනය කළ නොහැකි සමාජීය තත්වයන් ප්‍රජාවන්හි අපරාධ ප්‍රතිශතය කෙරෙහි බලපෑම් කරන බව පොදුවේ පිළිගැනෙනවා.”
පොලිසිය නොසිටියොත් කුමක් වේවිද?
ඔබව නිරීක්ෂණය කරන්න පොලිස් නිලධාරියෙක් නොමැති නම් ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? නීතිය කඩ කිරීමට ඔබ එය අතකොළුවක් කරගන්නවාද? තම කීර්ති නාමය හා අනාගතය පරදුවේ තබමින් තම රැකියා ස්ථානයේදී නොයෙක් ආකාරයේ වංචනික ක්‍රියා සිදු කරන ඉහළ හා මධ්‍යම පංතියේ ජනයා කොයිතරම් විශාල ප්‍රමාණයක් සිටිනවාද කියා දැනගැනීම ඇත්තෙන්ම පුදුමයට පත් කරවන්නක්. ‘වාහන රක්ෂණ සමාගමකට විශාල වංචාවක් සිදු කිරීමේ අදහසින් සැලසුම් කළ වංචනික ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් 112දෙනෙකුට විරුද්ධව චෝදනා එල්ල කර තිබෙනවා. ඔවුන් අතරේ නීතිඥයන්, වෛද්‍යවරුන්, කශේරු සන්ධිරෝග චිකිත්සකයන්, කාය චිකිත්සකයෙක්, කටු චිකිත්සාව පිළිබඳ වෛද්‍යවරියක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර විධායකවරියක්ද සිටි’ බව ද නිව් යෝක් ටයිම්ස් මෑතකදී වාර්තා කළා.
කලා ලොවේ ධනවත් අනුග්‍රාහකයන්ව කම්පනයට පත් කළ විශාල පරිමාණයෙන් සිදු වූ වංචනික ක්‍රියාවකට තවත් උදාහරණයක් සලකා බලන්න. නිව් යෝක්හි සදබීස් හා ලන්ඩන්හි ක්‍රිස්ටීස් යනුවෙන් හැඳින්වෙන ප්‍රසිද්ධ වෙන්දේසි පොළවල ප්‍රධාන පරිපාලකයන් කෘත්‍රිම වශයෙන් මිල නියම කිරීමේ වරදට හසු වුණා. එමනිසා එම වෙන්දේසි පොළවලට සිදු වනවා වන්දි වශයෙන් ඩොලර් මිලියන සිය ගණනක් ගෙවීමට. සමාජයේ සෑම මට්ටමකම පාහේ මුදලට සන්සිඳිය නොහැකි ගිජුකමක් පවතින බව මින් මනාව පැහැදිලි වෙයි.
බ්‍රසීලයේ රෙසීෆ්වල 1997 පොලිස් වැඩ වර්ජනයේදී සිදු වූ දෙයින් පැහැදිලි වන්නේ බාධකයක් නොමැති නම් බොහෝදෙනෙක් අපරාධ කිරීමට පසුබට නොවන බවයි. ඔවුන්ගේ ආගමික විශ්වාසයන් කුමක් හෝ වේවා ඔවුන්ගේ
හැසිරීම එමගින් පාලනය නොවෙයි. ඔවුන්ට සාරධර්ම හා ප්‍රතිපත්ති දියාරු කිරීම හෝ මුළුමනින්ම නොසලකා හැරීම ප්‍රශ්නයක් නෙවෙයි. එසේ නම් සුළු හෝ මහා පරිමාණ නීති විරෝධී ක්‍රියාවලට නැඹුරු වන මෙම ලෝකයේ බොහෝ රටවල අපරාධවලට එරෙහිව කරන සටනෙන් පොලිසිය කිසිදා ජය නොගන්නේ මන්ද කියා තේරුම්ගත හැකියි.අනික් අතට, සමහර අය නීතිවලට කීකරු වන්නේ ඔවුන් අධිකාරියට ගෞරව කරන නිසයි. ප්‍රේරිතයෙකු වූ පාවුල් රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට පැවසුවේ දෙවිගේ අවසරය ඇතුව පවතින බලධාරීන්ට ඔවුන් යටත් විය යුතු බවයි. මෙසේ කළ යුත්තේ මෙම බලධාරීන් යම් තාක් දුරකට සමාජය විධිමත්ව තබාගැනීමට දායක වන නිසයි. එවන් බලධාරීන් ගැන පවසමින් ඔහු මෙසේ ලිව්වා. “[ඔවුන්] දෙවිගේ සේවකයෙක්ව, වරදකරන්නාට දේව උදහස විදහාපාන දඬුවම් දීමේ ආයුධයකි. එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසාද [ඔවුන්ට] කීකරු විය යුතුය.”—රෝම 13:4, 5, නව අනුවාදය.
සමාජීය තත්වයන් වෙනස් කිරීම
පොලිසිය පිරිනමන සේවයෙන් යම් දුරකට සමාජයට හිතකර බලපෑමක් වන බව නොකිවමනායි. යම් ප්‍රදේශයක නීති විරෝධී මත්ද්‍රව්‍ය හුවමාරුව, ප්රචණ්ඩත්වය වැනි දේවල් මැඩපැවැත්වීමට පොලිසිය සමත් වෙද්දී එහි වෙසෙන ජනයාටද ප්‍රදේශයේ හොඳ නම රැකීම සඳහා වෑයම් කිරීමට එය පෙලඹවීමක් වෙනවා. නමුත් සමාජය ප්‍රතිසංස්කරණය කිරීම, කිසිම පොලිස් බලකායකට කළ නොහැකි දෙයක්.
පොලිස් අධීක්ෂණය අවශ්‍ය නොකරන තරමටම නීතියට ගරු කරන මිනිස්සු සිටින සමාජයක් ගැන සිතේ මවාගන්න පුළුවන්ද? අසල්වැසියන් එකිනෙකා ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වන නිසා ඕනෑම අවස්ථාවක උදව් කිරීමට සූදානම් වන හා කිසිදාක පොලිසියේ උපකාරය පැතීම අවශ්‍ය නොවන ලෝකයක් ගැන සිතන්න පුළුවන්ද? සමහරවිට එය නිකම්ම බොළඳ සිහිනයක් මෙන් පෙනිය හැකියි. නමුත් මෙතැනදී යේසුස්ගේ මෙම වචන මතක් කරගැනීම යෝග්‍යයි. “ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන. නුමුත් දෙවිට සියල්ලම පුළුවන.”—මතෙව් 19:26.
අනාගතයේදී සියලුම ජනයා යෙහෝවා දෙවි විසින් ස්ථාපිත කරන ලද ආණ්ඩුවකට යටත්ව ජීවත් වන කාලයක් ගැන බයිබලය විස්තර කරනවා. ‘ස්වර්ගයේ දෙවි රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය.’ (දානියෙල් 2:44, 45ආ) සියලු අවංක ජනයාට ප්‍රේමය නමැති දෙවිගේ මඟෙහි ගමන් කිරීමට ඉගැන්වීම තුළින් අපරාධවලට තුඩු දෙන සමාජීය තත්වයන් වෙනස් කිරීමට මෙම ආණ්ඩුව සමත් වෙයි. “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේය.” (යෙසායා 11:9) යෙහෝවා විසින් පත් කළ රජ වන යේසුස් ක්‍රිස්තුස්ට ඕනෑම ආකාරයේ අපරාධයක් වැළැක්විය හැකියි. “ඔහු තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේවත් තමන්ගේ කනට ඇසෙන හැටියට නිශ්චය කරන්නේවත් නැතුව ධර්මිෂ්ඨකමින් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චය කරන්නේය.”—යෙසායා 11:3, 4.
එදාට අපරාධ හා අපරාධකරුවන් නැත්තටම නැති වෙයි. තවදුරටත් පොලිස් නිලධාරීන්ව අවශ්‍ය වන්නේ නැහැ. සෑමදෙනාම ‘කිසිවෙකුගෙන් භයක් නොලැබ තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත.’ (මීකා 4:4) බයිබලයේ විස්තර කර ඇති එම “අලුත් පොළොව” තුළ ජීවත් වන්න ඔබත් කැමති නම් දෙවි තම වචනයේ දී තිබෙන පොරොන්දු පරීක්ෂා කර බලන්න හොඳම කාලය දැන්.—2 පේතෘස් 3:13.
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
පොලිස් අධීක්ෂණය අවශ්‍ය නොකරන තරමටම නීතියට ගරු කරන මිනිස්සු සිටින සමාජයක් ගැන සිතේ මවාගන්න පුළුවන්ද?
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අපරාධ හා අපරාධකරුවන් නැත්තටම නැති වෙයි
[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]
පොලිසියට එරෙහිව ත්රස්තවාදීහු
නිව් යෝක් නගරයේ හා වොෂිංටන් ඩී.සී.හි 2001 සැප්තැම්බර් 11වනදා සිදු වූ සිද්ධීන්වලින් පැහැදිලි වන්නේ මහජනයාව ආරක්ෂා කිරීමේදී පොලිසියට විශාලතම අභියෝග එල්ල කරන්නේ ගුවන් කොල්ලකරුවන්, බලහත්කාරයෙන් ප්‍රාණ ඇපකරුවන්ව රඳවාගන්නන් හා ත්රස්තවාදීන් වැනි අය බවයි. ගාල් කරන ලද ගුවන් යානාවලට කඩා පැන ඒවා අත් පත් කරගැනීමට විශේෂිත පුහුණුවක් ලද පොලිස් කණ්ඩායම් සිටිනවා. නොසිතන මොහොතක ගොඩනැඟිල්ලකට ඇතුල් වීම, කඹයක් ආධාරයෙන් වහලේ සිට බිමට පැනීම, ජනේලයෙන් ජනේලයට මාරුවීම, තාවකාලිකව සිහි නැති කරවන අත්බෝම්බ හා කඳුළු ගෑස් ඇසුරුම් වීසි කිරීම වැනි විශේෂිත කුසලතාවන් ඔවුන් ප්‍රගුණ කර තිබෙනවා. බොහෝ අවස්ථාවලදී, එලෙස පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් නොසිතන මොහොතකදී කඩා පැන ත්‍රස්තවාදීන්ව අල්ලාගැනීමට සමත් වී තිබෙන්නේ ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිතවලට සිදු වන හානිය හැකි තාක් දුරට අඩු වන ආකාරයටයි.
[හිමිකම් විස්තර]
James R. Tourtellotte/U.S. Customs Service
[12වන පිටුවේ පින්තූරය]
දෙවිගේ අලුත් ලෝකයේදී අවශ්‍ය නොවන දේවල්