පණුවන්ගේ අපූරු ලෝකය
පණුවන්ගේ අපූරු ලෝකය
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්
ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජින උන් ශුද්ධයයි ප්‍රකාශ කළාය. ඇරිස්ටෝටල් උන්ව හැඳින්වූයේ පොළොවේ බඩවැල් යනුවෙනි. උන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කර ඇතැයි චාර්ල්ස් ඩාවින්හට හැඟිණි. එවන් සුප්‍රකට පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක් වුණේ කුමන සතාද? අප එතරම් ගණනකට ගන්නේ නැති ගැඩවිලායි.
මේ ගැඩවිලන් අප කාගේත් අවධානයට ලක් විය යුතු සත්ව විශේෂයක් බව ඔබට වැටහේවි. උන් සෙවල සහිත හැකිළෙන දිගහැරෙන සත්ව විශේෂයක් බව ඇත්තය. නමුත් පණුවන්ව වඩාත් හොඳින් දැනගන්නවාත් සමඟම ඔබගේ දසුනට අප්‍රසන්න හිරිකිත ගතියකින් යුත් උගේ ගතිලක්ෂණ පවා ඔබගේ මවිතයට මෙන්ම ගෞරවයට හේතු වේවි. ඔබට කරන්නට තිබෙන්නේ බිමට නැමී පස් පිඩැල්ලක් අනිත් පැත්තට හැරවීම පමණි. නැතහොත් කසළ තට්ටුවක් අවුස්සා බැලීම පමණි. එවිට ඔබ ඇතුල් වෙන්නේ පණුවන්ගේ ඒ අපූරු ලෝකයටයි.
මොළය පුංචියි, වැඩ ලොකුයි
ගැඩවිලෙක් දෙස හොඳින් බලන්න. උගේ ශරීරය මුද්දක හැඩැති රවුම් කොටස්වලින් සමන්විත බවත්, තදින් එකට ඇලී තිබෙන කුඩා පැණි වළලු පේලියක් මෙන් බවත් ඔබට පෙනේවි. ඒ එක් එක් කොටසට බලය දෙන්නේ මාංශ පේශි ඛණ්ඩ දෙකකිනි. සමට පහළින් පිහිටා ඇති එක් ඛණ්ඩයක් පණුවාගේ බඳ වටා මුදු සාදයි. මේ පේශි ඛණ්ඩයට යටින් දෙවෙනි ඛණ්ඩය පණුවාගේ බඳ දිගේ විහිදී තිබේ. පණුවා ඉදිරියට ඇදී යන්නේ මෙම එකිනෙකට විරුද්ධව පිහිටා ඇති මාංශ පේශි හැකිළීමෙන් හා දිගහැරීමෙන් වන අතර, මේ නම්‍යශීලී පේශි චලනය වීමේදී එය උගේ සිරුරේ කෙළවර දක්වා ඇදී යන්නේ අපූරු ලතාවකටය.
ඔබ ගැඩවිලෙකුව අතට ගත්තොත්, ඌ ඔබේ අතේ දඟලනවාට කිසි සැකයක් නැත. පණුවෙක් මෙලෙසින් ප්‍රතික්‍රියා කරන්නේ උගේ සිරුර පුරාම සංවේදන අවයව පිහිටා ඇති නිසායි. එක පේශි ඛණ්ඩයක මෙවැනි සංවේදන අවයව 1,900ක් පමණ ඇත. මෙම සංවේදී ඉන්ද්‍රියයන් නිසා පණුවාට යමක් ස්පර්ශ කිරීමටත් යමක රස බැලීමටත් ආලෝකය සොයාගැනීමටත් හැකිය.
පණුවා පස් බදාගෙන ඉදිරියට ඇදෙන්නේ දැඩි කෙඳිවලිනි. පණුවාගේ සෑම ඛණ්ඩයකම ඇති දැඩි කෙඳි ක්‍රියාත්මක වෙන්නේ හරියට පැද යන ඔරුවක හබලක් මෙනි. පණුවා දැඩි කෙඳිවලින් පස් හාරා අල්ලාගෙන, ඉදිරියට ඇදී ගොස් ආපසු දැඩි කෙඳි අත්හරී. මේ දැඩි කෙඳිවල එක් ඛණ්ඩයක් ආධාරයෙන් ඌට ඒ පැත්තට හෝ මේ පැත්තට “හබල් ගැසිය” හැකි අතර, යම් අනතුරක සේයාවක් ඇත්නම්, එක කොනකින් නැංගුරම්ලාගෙන අනෙක් කොනින් හනික හැකිළෙන්නටද පුළුවන. නියම වේගයෙන් නියමිත වෙලාවට කරන මෙම “හබල් ගැසීම” බලා සිටින ඔලිම්පික් ඔරු පදින්නෙකු තුළ ඌ කෙරෙහි යම් ඊර්ෂ්‍යාවක් ඇති කරලන්නට පුළුවන.
යම් කුරුල්ලෙක් පණුවෙකුගේ වලිග කොටසින් කෑල්ලක් හපා දැමුවහොත්, ඇතැම් පණුවර්ගවල එම කොටස යළිත් වැඩේ. නමුත් කිසිවිටෙකත් නැති වී ගිය ඒ පේශි ඛණ්ඩවල ප්‍රමාණයට වඩා වැඩිපුර නම් වැඩෙන්නේ නැත. මින් පෙනී යන්නේ, එක් එක් පේශි ඛණ්ඩවල ඉතා කුඩා විද්‍යුත් ප්‍රේරණයක් ජනනය වන බවත් පණුවාගේ අහිමි වූ එම පේශි ඛණ්ඩයන් නැවත වැඩෙන්නේ උගේ සිරුරේ උපරිම ප්‍රේරණය යළිත් ලැබෙන තුරු පමණක් බවත්ය.
සංවේදී අවයව දහස් ගණන සහ ඉතා සංකීර්ණ ලෙස පිහිටා ඇති පණුවාගේ මාංශ පේශි පද්ධති, උගේ සිරුරේ එක් කොනක මුඛාග්‍රයේ පිහිටා ඇති මස්තිෂ්ක ගැන්ග්ලියම යන කොටසට සම්බන්ධ වී තිබේ. පරීක්ෂණවලින් පෙන්නුම් කර ඇත්තේ පණුවන් සතු ශාරීරික හැකියාවන්ට අමතරව, උන්ට සීමිත මතක ශක්තියක් තිබෙන බවත් අන්තරායන්ගෙන් වළකින්නට පවා ඉගෙනගත හැකි බවත්ය.
එතරම් සෙවල සහිත මන්ද?
පණුවෙකුගේ සෙවල සහිත සිරුරේ මතුපිට ඉතා පිළිකුල්සහගත ලෙස පෙනුණත්, ඇත්තටම මේ නිසයි මේ කුඩා සතාට හුස්මගන්නට හැකි වන්නේ. පණුවාගේ සම කුඩා සිදුරුවලින් යුක්තය. සම අසලින්ම තිබෙන රුධිර නාල වාතයේ ඇති ඔක්සිජන් උරාගනී. නැතහොත් ඔක්සිජන් සංයෝග වී ඇති ජලයෙන් ඔක්සිජන් උරාගෙන කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මෙම වායු හුවමාරුව සිදු වෙන්නේ උගේ සම සෙවල සහිත නම් පමණි. පණුවෙකුගේ සම වියළී ගියොත් ඌ කෙමෙන් හුස්ම හිර වී මිය යනු ඇති.
අනෙක් අතට, තද වැසි සහිත කාලයකදී පණුවෙක් උගේම බෙනය තුළ සිර වුණොත්, ඌට ලැබෙන ජලයේ අඩංගු ඔක්සිජන් සැපයුම සැණෙකින් ක්ෂය වීයනවා ඇත. තදබල වැසි කාලයක පණුවන් පොළොව මතුපිටට බඩගා ඒමට මෙය එක් හේතුවකි. උන් බෙනවලින් එළියට නාවොත් හුස්ම හිර වී මිය යනු ඇති.
දක්ෂ සීසාන්නන්ගෙන් පොළොව පිරී
අපේ ග්‍රහයා තුළ ගැඩවිලන් ප්‍රභේද 1,800කට වඩා සිටී. උන් පෘථිවියේ වියළිතම හා සීතලම ප්‍රදේශවල හැර අන් සෑම ප්‍රදේශයකම වාසය කරයි. දකුණු අප්‍රිකාවේ සැවනා තණබිම්වල පසේ සෑම වර්ග මීටරයකටම සිටින්නේ පණුවන් 70ක් පමණ සුළු සංඛ්‍යාවකි. මේ අතර කැනඩාවේ වානාන්තරවල පොළොවේ වර්ග මීටරයකට පණුවන් 700කට වඩා සංඛ්‍යාවක් සිටින්නට පුළුවන.
නවසීලන්තයේ ගැඩවිලන් ප්‍රධාන ප්‍රභේද තුනකට බෙදා තිබේ. පළමු ප්‍රභේදයට ඇතුළත් වෙන්නේ පොළොව මතුපිට පසේ දිරාපත් වෙමින් තිබෙන කාබනික ද්‍රව්‍ය අතර ජීවත් වන, ඉතා ශීඝ්‍රයෙන් බෝ වෙන ශීඝ්‍රයෙන් එහා මෙහා යන විශේෂයයි. දෙවෙනි සහ වඩාත් සුලභව දක්නට ලැබෙන ප්‍රභේදයට ඇතුළත් වෙන්නේ පසේ මතුපිට සිට තිරස් අතට ගුල් සාදන විශේෂයයි. තුන්වෙනි ප්‍රභේදයට අයත් පණු විශේෂය පොළොව සිරස් අතට හාරා වසර ගණනාවක්, එනම් උගේ මුළු ආයු කාලයම එක් ගුලක ගත කරන්නට පුළුවන. උන් හරියට පණුවන්ගේ ලෝකයේ සිටින අයෝමය පුරුෂයන් මෙනි. පොළොව පසාරු කර යෑමට තරම් හැකියාවක් ඇති ප්‍රබල මාංශ පේශි මුදු උන්ගේ හිස වටා තිබේ. ලෝකයේ විශාලතම පණුවන් දක්නට ලැබෙන්නේ දකුණුදිග ඕස්ට්‍රේලියාවෙයි. මෙම දැවැන්තයාට දිගින් මීටර් 1.5ක් දක්වාද බරෙන් ග්‍රෑම් 500ක් දක්වාද වැඩෙන්නට පුළුවන.
පොළොවේ මතුපිට දඟලමින් යන පණුවන් ක්‍රියා කරන්නේ හරියට සීසාන පුංචි ගොවියන් වගෙයි.
පොළොව මතුපිට තිබෙන කසළ, පස් සහ දිරාපත් වෙන අතුකොළ විකමින් යන පණුවන්ගේ අපද්‍රව්‍ය පොළොවට බැහැර කරන්නේ මහත් පරිමාණවලිනි. එංගලන්තයේ හරිත වනාන්තරවල පස යට වැඩ කරන පණුවන් වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් විස්සක් පමණ තම අපද්‍රව්‍ය බැහැර කරන බව ගණන් බලා තිබේ. වඩාත් සිත්ගන්නේ නයිල් නිම්නයේ වෙසෙන පණුවන්ය. මේ පණු විශේෂය හෙක්ටයාරයකට ටොන් 2,500ක්පමණ අපද්‍රව්‍ය බැහැර කරති. පණුවන් පස් හාරත්ම, පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩියෙන් ජලය උරාගෙන පසේ සරු බව වැඩි වෙයි.විද්‍යාඥයන් සොයාගෙන ඇති දෙයක් නම්, පණුවා ආහාරයට ගන්නාවූ යම් පෝෂණ කොටස් උගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් පැළෑටිවලට පෝෂණය ගෙන දිය හැකි ආකාරවලට පරිවර්තනය කෙරෙන බවය. එමනිසා පණුවන්ගේ අපද්‍රව්‍ය තුළ පැළෑටිවලට සුදුසු ආහාර ඉතා බහුල ප්‍රමාණයෙන් යුක්තය. ඊට අමතරව, දිරාපත් වන කුණු කසළ හා එළවුළුවල ඇති හානිකර ක්ෂුද්‍ර ජීවි විශේෂයන් බොහොමයක් පණුවෙකුගේ බඩවැල් තුළින් ගමන් කරන විට විනාශ වෙයි. මෙසේ, පණුවන් ආහාර බුදින විට සිදු වෙන්නේ පස පිරිසිදු වීමයි. නියම ලෙස පරිචක්‍රීය වෙන යන්ත්‍රයක් මෙන් උන් කසළ කමින් ජීවත් වෙන්නේ පැළෑටිවල පෝෂ්‍යදායක ආහාරද නිෂ්පාදනය කරමිනි.
පණුවාගේ බලය යොදාගැනීම
පණුවාගේ මේ අතිවිශේෂ චක්‍රීය බලයන්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ කර්මාන්තය විසින් මැනවින් ප්‍රයෝජනයට ගැනේ. ඕස්ට්‍රේලියාවේ එක් සමාගමක් අපද්‍රව්‍ය පිරිපහදු කිහිපයක පණුවන් මිලියන 500ගෙන් වැඩ ගනී. මෙම පණුවන් විශේෂයෙන් සකස් කරන ලද කුටීරවල දමා ඇති අතර, ඌරන්ගේ අසූචි හෝ මිනිස් අසූචි, ඉරා දමා ඇති කසළ කොළ සහ වෙනත් කාබනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර පණුවන්ට ආහාර ලෙස දෙයි. මෙම පණුවන් සෑම දවසකම උන්ගේම ශරීරයේ බරෙන් සියයට 50 සිට 100 දක්වා බරක් සහිත ආහාර පරිභෝජනය කරන අතර, එමගින් පැළෑටිවලට ඉතා සාරවත් පොහොර නිපදවයි. සමාගම මෙම පොහොර අලෙවි කරන්නේ මහා පරිමාණවලිනි.
පණුවන්ව ප්‍රයෝජනයට ගත හැකි තවත් ආකාරයක් අධ්‍යයනවලදී සොයාගෙන තිබේ. එය නම් ආහාරයක් වශයෙනි. හරක් මස් තුළ මෙන්ම පණුවන් තුළද ප්‍රයෝජනවත් ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් අඩංගුය. වියළාගත් කල, උන් තුළ ප්‍රෝටීන් සියයට 60ක ප්‍රතිශතයක්ද මේද සියයට 10ක ප්‍රතිශතයක්ද කැල්සියම් සහ පොස්ෆරස්ද අඩංගුයි. දැනටමත් සමහරක් රටවල ජනයා ගැඩවිලන්ගෙන් ව්‍යාංජන සාදා ආහාරයට ගනිති. ලොවේ සමහරක් ප්‍රදේශවල ජනයා ගැඩවිලන්ව බැදගෙන කති. නැත්නම් උන්ව අමුවෙන් පවා කති.
කිසිදා පණුවන් ලොවේ වඩාත් ජනප්‍රියම සත්ව විශේෂය බවට පත් නොවිය හැකි වුවත් උන් නැතිව ගියහොත් ලෝකය මීට වඩා වෙනස් තැනක් බවට පත් වේවි. ඉතින් ඔබ ඊළඟ වතාවේ ශාන්තවත් සුන්දර ගැමි ප්‍රදේශයක ඇවිදින විට, ඔබේ පයට යටින් සිට පොළොව හාමින් සාරවත් කරමින් එහි සුන්දරත්වය පවත්වාගැනීමට මහන්සි වී වැඩ කරන මේ පණු හමුදාව ගැන මදක් සිතන්න.
[30වන පිටුවේ රූප සටහන⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
ගැඩවිලෙකුගේ ශරීර නිර්මාණය
අපිචර්මය
චක්‍රීය මාංස පේශී
මුත්‍රාශය
බඩවැල්
ස්නායු රජ්ජුව
දැඩි කෙඳි
දැඩි කෙඳි මාංස පේශී
සිරස් මාංස පේශිය
[හිමිකම් විස්තර]
Lydekker
J. Soucie © BIODIDAC
[28වන පිටුවේ පින්තූරය]
පණුවන් උන්ගේ දැඩි කෙඳිවලින් “හබල් ගසති”
[29වන පිටුවේ පින්තූරය]
පණුවන් පස හාරන්නේ එහි සශ්‍රීකත්වය වැඩි කරමිනි
[29වන පිටුවේ පින්තූරය]
ඕස්ට්‍රේලියාවේ වඳ වී යන යෝධ ගිප්ස්ලෑන්ඩ් පණුවාට දිගින් මීටර් 1.5ක් දක්වා වැඩෙන්නට පුළුවන
[හිමිකම් විස්තර]
Dr A. L. Yen අනුග්‍රහයෙනි
[30වන පිටුවේ පින්තූරය]
පණුවන් අපද්‍රව්‍ය ශාකවලට ආහාරයක් වන පෝෂණ කොටස් බවට හරවති