ළමා විය අහිමි වූ කල
ළමා විය අහිමි වූ කල
“ළමා විය භුක්ති විඳීම දරුවන්ගේ මූලිකම අයිතිවාසිකමකි.”—“වේගවත් කළ දරුවා,” සිංහලෙන් නැත.
සෑම දරුවෙකුටම ළමා වියේ කෙළිලොල්බව හා සුන්දරත්වය භුක්ති විඳීමේ අවස්ථාව හිමි විය යුතුයි. ඔබත් එයට එකඟ විය හැකියි. කෙසේවෙතත් කුඩා පිරිමි ළමුන් හා ගැහැනු ළමුන් බොහෝදෙනෙකුට එවන් ප්‍රීතිමත් ළමා වියක් අද්දකින්න නොලැබීම කනගාටුදායකය. යුද්ධයෙන් පීඩා විඳින දරුවන් දහස් ගණනකගේ, ඇතැම්විට දශලක්ෂ ගණනකගේ ළමා වියේ සුන්දර සිහින බොඳ වී යෑම ගැන සිතා බලන්න. වහල් මෙහෙකාරකමට හා ළමා හිංසනයට ගොදුරු වන දරුවන් ගැනත් සිතා බලන්න.
නිවසට වඩා වීදිවල ජීවත් වීම වඩාත් සුරක්ෂිතයි කියා හැඟෙන නිසා අකමැත්තෙන් වුවද වීදිවල වාසය කරන දරුවෙකුට ජීවිතය ගැන හැඟෙන ආකාරය අපගෙන් බොහෝදෙනෙකුට සිතාගන්න බැරි තරම්ය. ආදරය හා රැකවරණය අවශ්‍ය කරන අවධියක සිටින එවැනි දරුවන්ට සිදු වී තිබෙන්නේ ඔවුන්ව ගොදුරු කරගැනීමට මාන බලන රුදුරු මිනිසුන්ගෙන් ආරක්ෂා වෙමින් වීදිවල ජීවත් වන ආකාරය ඉගෙනගැනීමටයි. ගැටලුවලින් පිරි මේ කාලයේ ළමා විය නිමක් නැති දුක් වේදනාවලින් පිරී පවති.
“මට මගේ ළමා කාලයට ආයෙත් යන්න ඇත්නම්”
විසි දෙහැවිරිදි කාමන් ඇගේ ළමා විය පසු කළේ දැඩි දුෂ්කරතා මැදය. a ඇයටත් ඇගේ අක්කාටත් පියාගේ හිංසාවලින් බේරීමටත් මව ඔවුන්ව නොසලකා හැරීම නිසාත් අකමැත්තෙන් වුවද මහ පාරට බැසීමට සිදු විය. එලෙස වීදිවල ජීවත් වීමේදී මුහුණ දීමට සිදු වන අනතුරු මැද වුවද මේ ගැහැනු ළමුන් දෙදෙනාට, නිවෙස්වලින් පලා යන බොහෝ දරුවන් හසු වන ඇතැම් උගුල්වලින් බේරීමට හැකි විය.
ඇත්තටම ළමා කාලයේ සුන්දර මතකයන් නොමැති නිසා, ඇගෙන් ගිලිහී ගිය එම කාලය ගැන කාමන් බොහෝ සේ දුක් වෙයි. “ළදරු කාලයේ ඉඳන් වයස අවුරුදු 22 වෙන තුරු මට කිසිම දෙයක් භුක්ති විඳින්න ලැබුණේ නැහැ. මම දැන් විවාහ වෙලයි ඉන්නේ. මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වුණාට මම හුඟාක් ආසයි පොඩි ගැහැනු ළමයි කරන දේවල් කරන්න. බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න මං හරි ආසයි. දෙමාපියන් මාව ආදරයෙන් සිප වැලඳගන්නවාට මම කැමතියි. මට මගේ ළමා කාලයට ආයෙත් යන්න ඇත්නම්” කියා ඇය ශෝකයෙන් පවසයි.
කාමන් හා ඇගේ අක්කා වගේ දුක් වේදනා විඳින දරුවන් විශාල පිරිසක් සිටිති. ඔවුන් ජීවත් වෙන්නේ වීදිවලය. ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ගෙන් උදුරාගෙන තිබේ. මෙවැනි දරුවන්ගෙන් බොහෝදෙනෙක් බඩ වියත රැකගැනීම සඳහා අපරාධවලට හවුල් වෙති. ඉතා බාල වියේදී පවා දරුවන් අපරාධවල නියැලෙන බව පුවත් වාර්තාවලින් හා සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වීම තැතිගන්වන්නකි. එම ගැටලුව තවත් දරුණු වන්නේ තවත් ගැටලුවකිනි. එනම් නහඹර වියේ පසු වන ගැහැනු ළමුන් බොහෝදෙනෙකු මව්වරුන් බවට පත්වීම නමැති ගැටලුවයි. ඇත්තෙන්ම ඔවුන් මව්වරුන් වුණාට තවමත් දරුවන්ය.
සැඟවුණ සමාජ අර්බුදයක්
විවිධ දුක් ගැහැට අද්දකින ළමයින්ට අවසානයේදී බොහෝදුරට වාසය කිරීමට සිදු වන්නේ දරුවන්ව ඇති දැඩි කරනු ලබන තැන්වලයි. මෙවැනි ළමයින් දවසින් දවස වැඩිවීම පුදුමයක් නොවේ. ඕස්ට්‍රේලියාවේ පළ වන පුවත්පතක (Weekend Australian) කතු වැකියේ මෙසේ වාර්තා විය. “දෙමාපියන්ගේ රැකවරණය නොමැති දරුවන් වැඩිවීම අප නොදැනුවත්වම විශාල ගැටලුවක් බවට පත් වී තිබේ. කැඩී බිඳී ගිය පවුල්වල දරුවන් බොහෝදෙනෙක් එම කැඩුම් බිඳුම් අතර සිර වී අසරණව සිටිති.” එම පුවත්පතේ තවදුරටත් මෙසේද සඳහන් විය. “දරුවන්ව ඇති දැඩි කරනු ලබන තැන්වල සිටින සමහර දරුවන්ට මාස ගණනාවකට, ඇතැම්විට අවුරුදු ගණනාවකට පවා ඔවුන්ව බලාගන්න අය සමඟ කතා කරන්නවත් අවස්ථාවක් ලැබී නැත. එවැනි ස්ථානවල සිටින ඇතැම් දරුවෝ තැනින් තැනට මාරු වෙති. කවදාවත් ඔවුන්ට ස්ථිර වාසස්ථානයක් ලැබෙන්නේ නැත.”
දහතුන් හැවිරිදි එක් දැරියකව දරුවන්ව ඇති දැඩි කරනු ලබන නිවෙස් 97කට මාරු කර ඇති බව වාර්තා වේ. එසේ මාරු කර තිබෙන්නේ අවුරුදු තුනක් වැනි කෙටි කාලයක් ඇතුළතදීය. ඇතැම් ස්ථානවල ඇයට ගත කරන්න ලැබුණේ එක් රැයක් පමණි. අන් අය තමන්ව ප්‍රතික්ෂේප කරන බවක් හා අනාරක්ෂිත බවක් ඇයට තදින්ම දැනුණු බව ඇය දැන් සිහිපත් කරයි. ඇය හා සමානව දරුවන්ව ඇති දැඩි කරනු ලබන තැන්වල සිටින දරුවන් බොහෝදෙනෙකුට ඔවුන්ගේ ළමා විය අහිමි වී ඇත.
ළමා විය අහිමි වී යෑමේ ශෝකජනක තත්වය දවසින් දවස වැඩි වන අතර, මෙය විද්වතුන්ගේ කතා බහට ලක්වීම ගැන පුදුම විය යුතු නැත. ඔබ දෙමාපියෙකු නම් මෙම දරුණු තත්වය දෙස බලා, ඔබේ දරුවන්ට නිවහනක් හා ජීවිතයේ අවශ්‍ය දේවල් ලබා දෙන්න ඔබට හැකි වී තිබීම ගැන ඔබ සතුටු විය හැකියි. එනමුත් තවත් අනතුරක් ඇත. වර්තමාන ලෝකයේ දරුවන්ට ළමා විය මුළුමනින්ම පාහේ අහිමි වී නැත. ඇතැම් අවස්ථාවලදී සිදු වන්නේ එය වේගවත් කර තිබීමයි. මෙය සිදු වන්නේ කෙසේද? එමෙන්ම එහි ප්‍රතිවිපාක මොනවාද?
[පාදසටහන]
a නම් වෙනස් කර ඇත.