මගේ සහෝදරයාගෙන් හෝ සහෝදරියගෙන් ස්වාධීනව මටම කියා නමක් හදාගන්න බැරිද?
යෞවන අය අසති . . .
මගේ සහෝදරයාගෙන් හෝ සහෝදරියගෙන් ස්වාධීනව මටම කියා නමක් හදාගන්න බැරිද?
“මට ඕන වුණා වෙනම පුද්ගලයෙක් හැටියට නිදහසේ ජීවත් වෙන්න. හැබැයි මගේ අක්කලා වගේ හැම දෙයක්ම කළ යුතුයි කියලා මට නිතරම හැඟුණා. මට හිතුණා මගේ අක්කලාගේ මට්ටමටම වැඩ කරන්න මට කවදාවත් බැරි වෙයි කියලා.”—ක්ලෙයා.
ඔබටත් සිටිනවා හැම දෙයක්ම වගේ සාර්ථකව ඉටු කරන සහෝදරයෙක් හෝ සහෝදරියක්? ඔහු හෝ ඇය වගේ වෙන්න කියා ඔබේ දෙමාපියන් නිතරම ඔබට අවවාද කරනවාද? එහෙමනම්, ඔබේ සහෝදරයා හෝ සහෝදරිය ලැබූ සාර්ථකත්වය සමඟ ඔබගේ වටිනාකම නිතරම සන්සන්දනය කරනු ලබන බව ඔබට හැඟෙන්නට ඉඩ තිබෙනවා.
බැරීගේ a වැඩිමල් සහෝදරයන් දෙදෙනාම හැමෝම අගේ කොට සලකන පාසැලක් වන දේවසේවා පුහුණු පාසැලේ b උපාධිධාරීන්. ඒ වගේම යහපත් ක්‍රිස්තියානීන් වශයෙන් ඔවුන් හොඳ නමක්ද දිනාගෙන තිබුණා. “දේශනා සේවයේදී ඔවුන් වගේ සාර්ථක වෙන්නවත්, ඔවුන් තරම් හොඳින් කතා ඉදිරිපත් කරන්නවත් මට නම් කවදාවත් පුළුවන් වෙන එකක් නැහැ කියලා හිතමින් මම නිතරම මාවම අවතක්සේරු කරගත්තා. අයියලාගේ යාළුවන් ඔවුන්ට එහෙ මෙහෙ යන්න ආරාධනා කළාම මමත් අයියලා පස්සෙන් ගිය නිසා මටම කියලා යාළුවන් ඇති කරගන්න මට අපහසු වුණා. මිනිස්සු මාත් එක්ක සුහදශීලීව කතා කළේ මගේ අයියලා නිසා කියලා මට හිතුණා.”
නිතරම ප්‍රශංසාව ලබන සහෝදරයෙක් හෝ සහෝදරියක් ඔබට සිටී නම්, ඔහුට ඊර්ෂ්‍යා නොකර සිටීම පහසු කාර්යයක් නොවෙයි. බයිබල් කාලවලදී, යෞවන යෝසෙප් තම සහෝදරයන් අතර කැපීපෙනෙන පුද්ගලයෙක් වුණා. ඔහුගේ සහෝදරයන්ට එය මොන වගේ බලපෑමක් ඇති කළාද? ඔවුන් ‘ඔහුට වෛර කිරීමට පටන්ගත් අතර, ඔහු සමඟ සමාදානයෙන් කතා කරන්ට ඔවුන්ට නොහැකි විය.’ (උත්පත්ති 37:1-4) යෝසෙප් නම් නිහතමානි කෙනෙක් වුණා. එහෙත් ඔබේ සහෝදරයා හෝ සහෝදරී තමාගේ සමර්ථකම් ගැන නිතර නිතර ඔබට පැවසීමෙන් ඔබ තුළ තරඟකාරිත්වයේ මෙන්ම අමනාපයේ හැඟීම් අවුස්සන්න පුළුවන්.
සමහර යෞවනයන් මෙවැනි අවස්ථාවලදී කැරලිකාර ස්වභාවයක් පෙන්වනවා. ඒ සඳහා ඔවුන් කරන්නේ වුවමනාවෙන්ම තමන්ගේ ලකුණු මට්ටම පහත වැටීමට ඉඩහැරීම, ටිකෙන් ටික ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වීම අඩු කිරීම, නරක හැසිරීම් රටාවකට යොමුවීම යනාදියයි. යම් යම් දේවල් තම සහෝදරයා හෝ සහෝදරිය වගේම කිරීමට තමන්ට නොහැකි නම්, කිසිම දෙයක් හොඳට කිරීමට උත්සාහ කිරීමෙන්වත් කිසි පලක් නැහැ කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. එහෙත් දිගු කාලීන ප්‍රතිඵල දෙස බලද්දී, කැරලිගැසීමෙන් හානියක් සිදු වෙන්නේ ඔබටමයි. ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් ඇති වෙන ආකාරයකින් ඔබගේ සහෝදරයාගෙන් හෝ සහෝදරියගෙන් ස්වාධීනව කටයුතු කිරීමට ඔබට හැකි වෙන්නේ කොහොමද?
ඔවුන් ගැන සුදුසු ආකල්පයක් ඇති කරගන්න
ඔබගේ සහෝදරයා හෝ සහෝදරිය අන් අයගේ අවධානයට ලක් වෙන ආකාරය දකිද්දී, ඔහු හෝ ඇය පරිපූර්ණ කෙනෙක් කියාත්, ඔබට කවමදාකවත් ඔහුට හෝ ඇයට සමාන වෙන්න බැරි වෙයි කියාත් ඔබ සිතන්න පටන්ගන්න පුළුවන්. එහෙත් ඇත්ත තත්වය ඒකද? “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති” යනුවෙන් බයිබලය කෙළින්ම කියයි.—රෝම 3:23, NW.
ඇත්තවශයෙන්ම, අපගේ සහෝදරයාට හෝ සහෝදරියට මොන තරම් දක්ෂතා හෝ හැකියාවන් තිබුණත්, ඔවුනුත් අප හා “සමාන දුර්වලකම් ඇති මිනිසුන්.” (ක්‍රියා 14:15, NW) ඔවුන්ව ඕනෑවට වඩා උසස් ලෙස සැලකීමටවත් ඔවුන්ට අනිසි ගෞරවයක් පුද කිරීමටවත් කිසිම අවශ්‍යතාවක් නැහැ. පරිපූර්ණ ආදර්ශයක් සැපයූ එකම මනුෂ්‍යයා යේසුස් ක්‍රිස්තුස් පමණයි.—1 පේතෘස් 2:21.
ඔවුන්ගෙන් ඉගෙනගන්න!
ඊළඟට ඔබගේ තත්වය යමක් ඉගෙනගැනීමට තිබෙන අවස්ථාවක් හැටියට දකින්න උත්සාහ කරන්න. නිදසුනකට, යේසුස් ක්‍රිස්තුස්ගේ සහෝදර සහෝදරියන් ගැන මදක් කල්පනා කර බලන්න. (මතෙව් 13:55, 56) ඔවුන්ගේ පරිපූර්ණ අයියාගෙන් ඔවුන්ට කොපමණ දේවල් ඉගෙනගන්නට තිබුණාද! එහෙත්, “ඇත්තෙන්ම ඔහුගේ සහෝදරයෝ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වමින් සිටියේ නැත.” (යොහන් 7:5, NW) සමහරවිට ඔවුන්ගේ උඩඟුකම සහ ඊර්ෂ්‍යාව නිසා ඇදහිල්ල පෙන්වන්න ඔවුන්ට අපහසු වෙන්නට ඇති. “මාගෙන් ඉගෙනගන්න” යනුවෙන් යේසුස් දුන් උදාර ආරාධනය පිළිගත්තේ ඔහුගේ ආත්මික සහෝදරයන් පමණයි. ඒ කියන්නේ ඔහුගේ ගෝලයන් විතරයි. (මතෙව් 11:29) යේසුස්ගේ මාංසික සහෝදරයන් ඔහුව ඇත්තෙන්ම අගය කරන්න පටන්ගත්තේ ඔහුගේ නැවත නැඟිටීමෙන් පසුවයි. (ක්‍රියා 1:14) ඒ වන විට ඔවුන්ට තම සුවිශේෂී සහෝදරයාගෙන් ඉගෙනගැනීමට තිබූ කදිම අවස්ථා බොහොමයක් ගිලිහී ගොස් තිබුණා.
ඊට සමාන වරදක් කායින්ගේ අතිනුත් සිදු වුණා. ඔහුගේ මල්ලී වන ආබෙල් දෙවිගේ විශේෂ සේවකයෙක්ව හිටියා. “යෙහෝවා ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූ” බව එනම් ඒ කෙරෙහි ප්‍රසන්න වූ බව බයිබලයේ සඳහන් වෙයි. (උත්පත්ති 4:4) කෙසේවෙතත්, යම් හේතුවක් නිසා දෙවි “කායින් සහ ඔහුගේ පඬුර නොසැලකුවේය.” එනම් ඒ ගැන කිසිසේත් ප්‍රසන්න වූයේ නැහැ. කායින්ට තිබුණා නිහතමානීව තම සහෝදරයාගෙන් ඉගෙනගන්නට. එහෙම කරන්නේ නැතුව, “කායින් අතිශයින් කෝප” වී තම සහෝදරයාව මරලා දැම්මා.—උත්පත්ති 4:5-8.
ඔබේ සහෝදරයා හෝ සහෝදරිය සමඟ ඔබ කවදාවත් එතරම්ම කෝප නොවන බව නිසැකයි. එහෙත් උඩඟුකම සහ ඊර්ෂ්‍යාව ඔබ තුළ වර්ධනය වෙන්න ඔබ ඉඩ දුන්නොත්, ඔබටත් අනර්ඝ අවස්ථා අහිමි වෙන්න ඉඩ තියෙනවා. ගණිතය සහ ඉතිහාසය වැනි විෂයන් කෙරෙහි විශේෂ දක්ෂකමක් දක්වන, ඔබගේ ප්‍රියතම ක්‍රීඩාවට හපන්කමක් දක්වන, ඒ වගේම ශුද්ධ ලියවිලි පිළිබඳ හොඳ දැනුමක් ලබා සිටින හෝ කතා ඉදිරිපත් කිරීමට හොඳ හැකියාවක් තිබෙන සහෝදරයෙක් හෝ සහෝදරියක් ඔබට සිටී නම්, ඔබ ඔහු හෝ ඇය ගැන ඊර්ෂ්‍යා වීමෙන් වැළකී සිටිය යුතුයි! “ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්” වන අතර, ඉන් ඔබට අත් වෙන්නේ හානියක් විතරයි. (හිතෝපදේශ 14:30; 27:4, නව අනුවාදය) අමනාපයේ හැඟීම්වලට ඉඩ දෙනවා වෙනුවට, ඔබේ සහෝදරයා හෝ සහෝදරියගෙන් ඉගෙනගැනීමට උත්සාහ කරන්න. ඔබට නැති යම් හැකියාවන් හා දක්ෂතා ඔහුට හෝ ඇයට තිබෙන බව පිළිගන්න. ඔබේ සහෝදරයා හෝ සහෝදරිය යම් යම් දේවල් කරන ආකාරය දෙස හොඳින් බලන්න. එහෙම නැත්නම් හොඳම දෙය වෙන්නේ ඔහුගෙන් හෝ ඇයගෙන් උපකාරය ඉල්ලීමයි.
මෙම ලිපියේ කලින් සඳහන් වූ බැරී තම සහෝදරයන්ගේ හොඳ ආදර්ශවලින් ප්‍රයෝජන ලැබුවා. ඔහු මෙහෙම පවසනවා. “සභාවේ අයට සහ දේශනා සේවයේදී හමු වූ අයට උපකාර කිරීමට මගේ සහෝදරයන් නිතරම කැමැත්තෙන් සිටි නිසා ඔවුන් මොන තරම් සන්තෝෂයක් අද්දැක්කාද කියලා මම දැක්කා. ඉතින් මගේ සහෝදරයන්ගේ ආදර්ශය අනුකරණය කිරීමට මම තීරණය කළා. මම රාජ්‍ය ශාලා හා බෙතෙල් නිවාස ඉදි කිරීමේ කටයුතුවල හවුල් වුණා. ඒ තුළින් මා ලැබූ අද්දැකීම් නිසා මට මං ගැනම හොඳ ආත්ම විශ්වාසයක් ඇති වී තිබෙන අතර යෙහෝවා සමඟ තිබෙන මගේ සම්බන්ධයත් ශක්තිමත් වෙලා තියෙනවා.”
ඔබේම හැකියාවන් හඳුනාගැනීම
ඔබේ සහෝදරයාගේ හෝ සහෝදරියගේ හොඳ ගුණාංග අනුකරණය කළොත් ඔබටම කියා පෞද්ගලිකත්වයක් ගොඩනඟා ගැනීමට ඔබට නොහැකි වෙයි කියා සමහරවිට ඔබට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම වෙයි කියා සිතන්න එපා. ප්‍රේරිත පාවුල් පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට “මාව අනුකරණය කරන්න” කියා දිරිගැන්නුවා. (1 කොරින්ති 4:16, NW) ඔවුන් තමන්ගේම අනන්‍යතාව නැති කරගන්නවාට පාවුල් කැමති වූ බව මින් අදහස් වෙනවාද? කිසිසේත් නැහැ. තමාටම ආවේණික වූ පෞද්ගලිකත්වයක් ගොඩනඟා ගැනීමට ඕන තරම් නිදහස තියෙනවා. ඇරත් ඔබේ සහෝදරයා හෝ සහෝදරිය තරම්ම ඔබ ගණිතයට දක්ෂ නැත්නම් ඉන් අදහස් වෙන්නේ ඔබට යම් අඩුවක් තිබෙන බව නොවෙයි. ඔබ වෙනස් බවයි ඉන් අදහස් වෙන්නේ.
පාවුල් මෙම ප්‍රායෝගික අවවාදය සැපයුවා. “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.” (ගලාති 6:4, NW) ඔබටම විශේෂ වූ දක්ෂතා හා හැකියාවන් වර්ධනය කරගැනීම හොඳ අදහසක් නොවේද? වෙනත් භාෂාවක් කතා කිරීමට, සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට හෝ පරිගණකයක් භාවිත කිරීමට ඉගෙනගන්න ඔබට පුළුවන්. එසේ කිරීමෙන් ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කරගැනීමට ඔබට හැකි වෙයි. තවද එතුළින් වටිනා කුසලතාවන්ද ඔබට වර්ධනය කරගන්නට පුළුවන්. දේවල් අකුරටම කරන්න අවශ්‍යයි කියා සිතන්න එපා. එහෙත් යමක් කිරීමේදී එය අවසන් වන තෙක් කර නිම කිරීමටත්, සැලකිලිමත්ව කිරීමටත්, දක්ෂව කිරීමටත් ඉගෙනගන්න. (හිතෝපදේශ 22:29) ඔබ සමහර දේවල්වලට වැඩිය දක්ෂ නොවෙන්න පුළුවන්. එහෙත් හිතෝපදේශ 12:24හි, “කඩිසර අයගේ අත ආණ්ඩු කරන්නේය” යනුවෙන් පවසන බව මතක තබාගන්න.
කෙසේවෙතත් ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඔබේ ආත්මික වර්ධනය වෙතටයි. හැමෝගේම අවධානයට ලක් වන දක්ෂතා බොහොමයක් තියෙන්න පුළුවන්. එහෙත් ආත්මිකත්වය සමඟ බැඳුණු හැකියාවන් කල් පවතින වටිනාකමකින් යුක්තයි. නිවුන් සහෝදරයන් වූ ඒසව් සහ යාකොබ් ගැන කල්පනා කර බලන්න. “ඒසව් හපන් දඩයක්කාරයෙක්ව වනයේ මනුෂ්‍යයෙක්ව සිටි” බැවින්, තම පියාගේ ප්‍රශංසාවට පාත්‍ර වුණා. ඔහුගේ සහෝදරයා වූ යාකොබ් “කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක්” වූ බැවින් ඔහු කාගෙත් අවධානයට ලක් නොවන්නට ඇති. (උත්පත්ති 25:27) ඒසව් තම ආත්මිකත්වය දියුණු කරගැනීමට අසමත් වූ නිසා ඔහුට ආශීර්වාද අහිමි වුණා. යාකොබ් ආත්මික දේවලට ප්‍රේමයක් වර්ධනය කරගත් නිසා යෙහෝවාගෙන් මහඟු ආශීර්වාද ලැබුවා. (උත්පත්ති 27:28, 29; හෙබ්‍රෙව් 12:16, 17) ඉන් අපට ගත හැකි පාඩම කුමක්ද? ඔබගේ ආත්මිකත්වය වර්ධනය කරගනිමින් ‘ඔබේ ආලෝකය බැබළෙන්න සලස්වන්න.’ “එවිට ඔබේ දියුණුව සියල්ලන්ට පෙනෙන්නේය.”—මතෙව් 5:16; 1 තිමෝති 4:15; NW.
කලින් සඳහන් කළ ක්ලෙයා මෙසේ පවසයි. “මුලදී, මගේ අක්කලා අන් අයගේ ප්‍රශංසාව ලබද්දී මම ඔවුන්ව අනුකරණය කරන්න උත්සාහ කළා මිසක, මගේම හැකියාවන් වර්ධනය කරගන්න මම කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒත් සහෝදර ස්නේහය පෙන්වීමේදී ‘සිත් විශාල කරගන්න’ යන ශුද්ධ ලියවිලිමය උපදෙස් පිළිපැදීමට මම පසුව තීරණය කළා. මම මාරුවෙන් මාරුවට සභාවේ විවිධ අයත් එක්ක ක්ෂේත්‍ර සේවයේ යෙදුණා. ඒ වගේම සභාව තුළ යම් අවශ්‍යතා තිබූ අයට උපකාර කිරීමට මම මංසෙව්වා. තවත්, මම කෑම සූදානම් කරලා විවිධ වයස් මට්ටම්වලට අයත් අයට අපේ ගෙදරට එන්න කියා ආරාධනා කළා. දැන් මට මිත්‍රයන් බොහෝදෙනෙක් සිටිනවා. ඒ වගේම මට මං ගැනම හොඳ ආත්ම විශ්වාසයකුත් ඇති වෙලා තියෙනවා.”—2 කොරින්ති 6:13.
ඉඳ හිට ඔබේ දෙමාපියන් ඔබට ඔබේ සහෝදරයා හෝ සහෝදරී වගේ වැඩ කරන්න කියා කියන්න ඉඩ තියෙනවා. එහෙත් ඔබේ දෙමාපියන් කල්පනා කරන්නේ ඔබේ යහපත ගැන බව ඔබ තේරුම්ගත්තොත් ඔබට දැනෙන වේදනාව තුනී කරගන්න පුළුවන් වෙයි. (හිතෝපදේශ 19:11) කෙසේවෙතත් ඔවුන් ඔබව එලෙස සන්සන්දනය කිරීමේදී ඔබට හැඟෙන්නේ කොහොමද කියා ඔබේ දෙමාපියන්ට ගෞරවයෙන් පහදා දීම සුදුසු වෙන්න පුළුවන්. එසේ කළහොත් සමහරවිට ඔබ කෙරෙහි සැලකිල්ල දැක්වීම සඳහා ඔවුන් වෙනත් ක්‍රම පාවිච්චි කිරීමට ඉඩ තියෙනවා.
ඔබ යෙහෝවා දෙවිට සේවය කරනවා නම් ඔහු ඔබ ගැන සලකන බව අමතක කරන්න එපා. (1 කොරින්ති 8:3) බැරී තම අදහස් මෙසේ කැටි කොට දක්වයි. “මම යෙහෝවාට වැඩියෙන් සේවය කරන තරමට මගේ සන්තෝෂයත් වැඩි වෙන බව මට දැනෙනවා. දැන් මිනිස්සු මාව දකින්නේ වෙනම පුද්ගලයෙක් හැටියටයි. ඔවුන් මගේ සහෝදරයන්ව අගේ කරන විදිහටම මාවත් අගේ කරනවා.”
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර තිබෙනවා.
b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සැලසුම් කෙරේ.
[17වන පිටුවේ පින්තූරය]
ඔබේ සහෝදරයා හෝ සහෝදරිය නිතරම හැමෝගේම අවධානයට ලක් වෙනවාද?
[18වන පිටුවේ පින්තූරය]
ඔබේම දක්ෂතා හා ඔබ ආස කරන විෂයන් ගැන උනන්දු වෙන්න
[18වන පිටුවේ පින්තූරය]
ආත්මික කාරණා සම්බන්ධයෙන් ඔබේ දක්ෂතා වර්ධනය කරගනිමින් ‘ඔබේ ආලෝකය බැබළෙන්න’ සලස්වන්න