අරුම පුදුම දිවි රැකගන්නෙක්
අරුම පුදුම දිවි රැකගන්නෙක්
නැමීබියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
නිරිතදිග අප්‍රිකාවේ පිහිටි නැමීබියානු කාන්තාරයේ හමන සුළං පිරිසිදුය, නැවුම්ය. අද පැහැදිලි දවසකි. ඉර උදාවත් සමඟම උෂ්ණත්වයත් කෙමෙන් කෙමෙන් වැඩි විය. මෙහි බැලූ බැලූ අත දක්නට තිබෙන්නේ වැලි කඳු හා සුළඟින් රටා මවා තිබෙන බොරලු පස්වලින් ගහන තැනිතලාය. අප අවට පරිසරය හරිම පුදුමාකාරයි. අර ඈත පෙනෙන කොළ ගොඩ මොකක්ද? ළං වී බැලූ විටයි අප දැනගත්තේ අප දැක තිබෙන්නේ ලෝකයේ තිබෙන අරුම පුදුම ශාකවලින් එකක් බව. එහි නම වෙල්විචියා මිරාබිලිස්. මෙම ලතින් විද්‍යාත්මක නාමයේ මිරාබිලිස් යන වචනයේ තේරුම “පුදුමාකාරයි” යන්නයි.
මෙම වෙල්විචියා ශාක ඉබේම වැවෙන්නේ ඇන්ගෝලාවේ හා නැමීබියාවේ කාන්තාර ප්‍රදේශවල පමණයි. මෙම ශාක අනෙක් සියලුම ශාකවලට වඩා බෙහෙවින් වෙනස්ය. විද්‍යාඥයන් මෙම ශාක අද්විතීය ශාක කුලයකට හා වර්ගයකට අයත් බවත් එම කුලය සෑදී තිබෙන්නේ එකම ශාක විශේෂයකින් බවත් පවසයි. “දළ වශයෙන් ශාක විශේෂ 3,75,000ක් පමණ මනුෂ්‍යයන් සොයාගෙන තිබෙනවා. නමුත් වෙල්විචියා තරම් උද්භිද විද්‍යා අංශයේ උනන්දුව පුබුදුවාලූ එමෙන්ම මිනිසාගේ ශාක වර්ගීකරණයට අභියෝගයක් එල්ල කළාවූ තවත් ශාකයක් නැති තරම්” කියා ක්‍රිස් බෝර්න්මන් වියලුණු දේශයක පුංචි පාරාදීසයක් වන වෙල්විචියා (සිංහලෙන් නොමැත) යන නමින් යුත් ඔහුගේ පොතෙහි සඳහන් කළේය.
වෙල්විචියා ශාකය හරියට ගසක මුලක් වටා කොළ ගොඩක් රැස් කර තිබෙනවා වගේ පෙනිය හැකියි. නමුත් ඇත්තවශයෙන්ම මෙම ශාකයට තිබෙන්නේ කොළ දෙකක් පමණයි. කාන්තාරයේ හමන සුළං නිසා මෙම කොළ තීරුවලට ඉරී තිබෙනවා දැකගත හැකියි. දකුණු අප්‍රිකාවේ භාවිත කරන අෆ්රිකාන්ස් භාෂාවෙන් මෙය හඳුන්වන්නේ ට්වීබ්ලාකන්නිඩුවෙට් කියාය. මෙහි තේරුම “කොළ දෙකයි, මිය නොයයි” යන්නයි. මේ නම මෙයට කදිමට ගැළපේ! සමහර දවස්වලදී මෙම කාන්තාරවල දහවල් කාලයේදී උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 40 දක්වා ඉහළ නඟියි. රාත්‍රි කාලයේ පවතින දරුණු සුළඟ අඩු කිරීමට ගස් කොළන් නොමැති නිසා එහි සීතල ඉවසිය නොහැකි තරම්ය. බොහෝ ශාකවල පැවැත්ම සඳහා මුල්වලින් උරාගන්නා ජලය මත ඒවා රඳා සිටියද වෙල්විචියා එසේ නොවෙයි. නැමීබියානු කාන්තාරයට අවුරුද්දකට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 25කට වඩා අඩුයි. සමහරවිට මෙහි වසර ගණනාවකට වැසි වසින්නේ නැත! මෙම අසීරු කාලගුණික තත්වය යටතේ වෙල්විචියා ශාකය වැඩෙන අතර එහි පත්‍ර නිතරම කොළ පාටින් දිස් වෙයි. මෙය මෙසේ වන්නේ කෙසේදැයි විද්‍යාඥයින් වසර ගණනාවක් පුරා කල්පනා කර තිබේ. මෙයට පිළිතුර විය හැක්කේ නිතිපතා කාන්තාරය හරහා අලුයම හමන මුහුදු සුළඟත් සමඟ එන තද පින්න, වෙල්විචියා ශාකයේ කොළ උරාගැනීමයි.
වෙල්විචියා ශාකයේ පත්‍ර හැළී අලුත් පත්‍ර හටගන්නේ නැත. මෙම ශාකයේ මුලින්ම හටගන්නා පත්‍ර දෙක එහි ජීවිත කාලය පුරාම වැඩෙමින් පවතියි. මෙම රෝල් වී ඇති කොළයක් දිගහැරිය විට එහි දිග මීටර් 8.8කට වැඩි විය. වෙල්විචියා පත්‍රයේ අග කොටස දිරුවේ නැත්නම් සිදු වන දේ ඔබට සිතාගත හැකිද! එක් විද්‍යාත්මක සඟරාවක (Veld & Flora) විස්තර කර තිබෙන්නේ “අවුරුදු 1500ක් පවතින වෙල්විචියා ශාකයකට එහි පත්‍රයක් මීටර 225 තරම් දිගට වැඩීමට සලස්වන්න පුළුවන්” බවයි. ඇත්තටම එම ශාකයට එතරම් කල් පැවතිය හැකිද? “වෙල්විචියා ශාක සෙමෙන් වැඩෙන අතර ඒවා බොහෝවිට අවුරුදු 1,000ක සිට 2,000ක පමණ කාලයක් පවතින” බව එක් පොතක් (The World Book Multimedia Encyclopedia) තහවුරු කරයි.
වෙල්විචියා ඇත්තවශයෙන්ම අරුම පුදුම දිවි රැකගන්නෙකි. කාන්තාරයේ තිබෙන මෙවන් දුෂ්කර තත්වයන් මැද්දේ වුවත් දිගු කලක් පුරා මෙම ශාකයට පැවතීමට තිබෙන හැකියාවට හේතුව කුමක්ද? මූලිකවම ඒ සඳහා අපගේ ස්තුතිය පිරිනැමිය යුත්තේ ප්‍රඥා පූර්ණ මැවුම්කරු වන යෙහෝවා දෙවිටයි. ‘මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස ගස් කොළන් ආදිය’ හටගන්වන්නේ ඔහුයි.—ගීතාවලිය 104:14.