න්‍යෂ්ටික යුධ තර්ජනය කාගෙන්ද?
න්‍යෂ්ටික යුධ තර්ජනය කාගෙන්ද?
“න්‍යෂ්ටික සමූලඝාතනයක් සිදුවීමේ හැකියාව යථාර්ථයකි. . . . මීට දශකයකට පමණ ඉහතදී ශීත යුද්ධය අවසන් වුවද, න්‍යෂ්ටික සමූලඝාතනයක් සිදුවීමේ හැකියාව අද අප අතර පවතී.”—එක්සත් ජාතීන්ගේ හිටපු ආරක්ෂක ලේකම් රොබට් එස්. මැක්නමාරා සහ ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා වූ වොට්සන් ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මහාචාර්ය ජේම්ස් ජී. බ්ලයිට්.
වර්ෂ 1991දී ශීත යුද්ධය නිමාවට පත් වූ අවස්ථාවේ, ලෝක විනාශය සිදු වන වේලාව අඟවන ඔරලෝසුවේ විනාඩි කටුව “මධ්‍යම රාත්‍රියට” පෙර විනාඩි 17ක් ආපස්සට කරකවන ලදි. මෙම ඔරලෝසුවේ පින්තූරයක් බුලටින් ඔෆ් දි ඇටොමික් සයන්ටිස්ට්ස් නම් සඟරාවේ කවරයේ දක්නට ලැබූ අතර, මිනිසාට දැනෙන පරිදි ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට (මධ්‍යම රාත්‍රියට) කොතරම් ළඟදැයි එයින් අඟවයි. එම ඔරලෝසුව 1947දී හඳුන්වා දෙනු ලැබූ අතර, එවකට එහි විනාඩි කටුව මධ්‍යම රාත්‍රියට ළංව තිබූ තැනට වඩා 1991දී විනාඩි කටුව පසුපසට ගෙන එන ලදි. කෙසේවෙතත්, 1991 පටන්, විනාඩි කටුව යළිත් වරක් ඉදිරියට ගෙනෙනු ලැබ තිබේ. නිදසුනක් වශයෙන්, 2002 පෙබරවාරි මාසයේදී, එම ඔරලෝසුවේ කාලය මධ්‍යම රාත්‍රියට පෙර විනාඩි හතක් දක්වා ඉදිරියට ගෙනෙනු ලැබූ අතර, ශීත යුද්ධයේ නිමාවේ පටන් එය ඉදිරියට ගෙනෙනු ලැබූ තුන්වන අවස්ථාව එයයි.
එම විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශකයන්ට එම ඔරලෝසුව ඉදිරියට
ගෙන ඒමට අවශ්‍යතාවක් හැඟුණේ මන්ද? න්‍යෂ්ටික යුද්ධය තවමත් තර්ජනයක්යයි ඔවුන්ට හැඟෙන්නේ මන්ද? එසේනම්, සාමයට තර්ජනය කරන්නෝ කවරහුද?“අවම කිරීම” තුළ යම් රහසක්
“න්‍යෂ්ටික අවි 31,000කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් නඩත්තු කෙරේ” යයි බුලටින් ඔෆ් දි ඇටොමික් සයන්ටිස්ට්ස් නම් සඟරාව පැහැදිලි කරයි. එහි තවදුරටත් මෙසේ කියයි. “මෙම අවිවලින් සියයට අනූපහක්ම තිබෙන්නේ එක්සත් ජනපදයේ හා රුසියාවේය. මේවායින් 16,000කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් තිබේ.” පවතින යුද හිස් සහිත න්‍යෂ්ටික මිසයිල සංඛ්‍යාව පිළිබඳව යම් පරස්පර විරෝධි බවක් ඇතමුන්ට පෙනෙන්නට පුළුවන. මෙම න්‍යෂ්ටික සුපිරි බලවතුන් දැනටමත් තම යුධ හිස් 6,000ක් දක්වා අවම කරගෙන ඇති බව කියා සිටියා නොවේද?
“අවම කිරීම” සම්බන්ධයෙන් පවතින රහස මෙයයි. ජාත්‍යන්තර සාමය උදෙසා වූ කාර්නේජි උපපාදනය මගින් පිළියෙළ කරන ලද වාර්තාවක මෙසේ පැහැදිලි කෙරේ. “මෙහිදී යුද හිස් 6,000ක් නමැති සංඛ්‍යාව ගණනය කිරීමට යුධෝපක්‍රමික අවි අවම කිරීමේ සාකච්ඡා ගිවිසුමට අනුකූල විශේෂ වූ ගණනය කිරීමේ රීති යොදාගැනේ. එසේ වුවත්, ජාතීන් දෙදෙනාම යුධෝපක්‍රමික සහ අමතර ආයුධ දහස් ගණනක් තමන් ළඟ රඳවාගනිති.” (අකුරු ඇල කළේ අපය.) බුලටින් ඔෆ් දි ඇටොමික් සයන්ටිස්ට්ස් සඟරාවේ පවසන පරිදි, “සක්‍රීය යුධ ගබඩාවලින් ඉවත් කරන ලද එක්සත් ජනපද යුධ හිස් සහිත මිසයිලවලින් බොහොමයක්ම සහමුලින්ම ඉවත් කරනවා වෙනුවට වෙනම (අමතර වශයෙන් ගබඩා කර ඇති තවත් යුධ හිස් සහිත මිසයිල 5,000ක් සමඟ) ගබඩා කරනු ඇත.”
එක් මහාද්වීපයක සිට තවත් මහාද්වීපයකට ඍජුවම පහර දීමට හැකියාවක් ඇති, භාවිත කිරීමට සූදානමින් තිබෙන යුධෝපක්‍රමික න්‍යෂ්ටික ආයුධ වෙන් කර තබනවාට අමතරව, වඩාත් සමීප ඉලක්කවලට එල්ල කළ හැකි තවත් යුධ හිස් සහිත න්‍යෂ්ටික මිසයිල සහ වෙනත් උපක්රමික න්‍යෂ්ටික ආයුධ දහස් ගණනක් තිබේ. න්‍යෂ්ටික සුපිරි බලවතුන් දෙදෙනාම සකල ලෝකවාසීන් කිහිප වතාවක්ම විනාශ කර දමන්නට හැකි න්‍යෂ්ටික ආයුධ තමන්ගේ අවි ගබඩාවල තවමත් තබාගෙන සිටින බව රහසක් නොවේ! එවන් අතිභයානක රුදුරු අවි ගණනාවක් තබාගෙන ඒවා නඩත්තු කිරීම නිසා තවත් භයානක තර්ජනයකට අත වැනේ. එය නම් අත්වැරදීමකින් න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල වීමට ඇති හැකියාවයි.
අත්වැරැද්දකින් සිදු විය හැකි න්‍යෂ්ටික යුද්ධය
“එක්සත් ජනපද න්‍යෂ්ටික බලවේගයන් පාලනය වී ඇත්තේ ‘යුධ තර්ජනයක ලකුණු පහළ වුණොත් ප්‍රහාර එල්ල කරන්න’ යන යුධෝපක්‍රමය මගිනි” යයි ඉහත උපුටා දක්වන ලද රොබට් එස්. මැක්නමාරා සහ ජේම්ස් ජී. බ්ලයිට් පවසති. මින් අඟවන්නේ කුමක්ද? “රුසියානු මිසයිල අහසේ පියාසර කරන විට අපගේ යුධ හිස් සහිත මිසයිල ක්‍රියාත්මක කිරීමට සූදානම්,” යනුවෙන් පවසන ඔවුහු, “මෙම යුධ ප්‍රතිපත්තියට අනුව, රුසියානු ප්‍රහාරයේ පළමු තර්ජනයෙන් විනාඩි 15කට නොවැඩි වේලාවක් ඇතුළත අපගේ යුධ හිස් සහිත මිසයිල ප්‍රහාරය ක්‍රියාත්මක කෙරේ” යයි තවදුරටත් කියා සිටිති. එක්සත් ජනපදයේ යුධෝපක්‍රම න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර පිළිබඳ හිටපු නිලධාරියෙක් පවසන පරිදි, “තිබෙන සෑම මිසයිලයකම පාහේ විනාඩි දෙකක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට සූදානමින් තිබේ.”
යුධ තර්ජනයක් ඇතැයි වැරදියට වටහාගැනීමක් නිසා, ඇසිපිය හෙළන සැණෙකින් ක්‍රියාත්මක කළ හැකි මෙම මිසයිල හදිසියේ ක්‍රියාත්මක වීමේ අන්තරායක් තිබේ. “අමෙරිකානු න්‍යෂ්ටික පුහුණු අභ්‍යාසවලදී ඇත්තටම ප්‍රහාරයක් එල්ල කරන ලෙස අණ දීම් කිහිපයක්ම කර තිබෙන්නේ අත්වැරැද්දකිනි” යයි යූ.එස්. නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් සඟරාවේ ලිපියක පැහැදිලි කරයි. රුසියාවේද ඒ හා සමානව සතුරු තර්ජනයක්යයි වැරදියට වටහාගත් අවස්ථා තිබී ඇත. වර්ෂ 1995දී එක් නොර්වීජියානු පර්යේෂණ රොකට්ටුවක් ගුවන්ගත කරනු ලැබූ අවස්ථාවේදී එය සතුරු යුද්ධ තර්ජනයක්යයි වරදවා වටහාගැනීම නිසා රුසියානු ජනාධිපති න්‍යෂ්ටික මිසයිලවලට සම්බන්ධ ප්‍රහාර සංඥා ක්‍රියාත්මක කිරීමට පටන්ගත්තේය.
ප්‍රහාර එල්ල කිරීමට අවි සූදානම්ව තබාගෙන ඇති මෙම යුධෝපක්‍රම නිසා යුද්ධ තීරණ ගැනීමට වගකීමක් ඇති අය මත එල්ල වන පීඩනය අතිමහත්ය. භාග්‍යයකට, අණ දෙන නිලධාරීන් පසුගිය කාලයේදී මෙවන් සංඥා නිසි ලෙස වටහාගත් අතර, මේ නිසා මේ දක්වා
න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැළකී තිබේ. වර්ෂ 1979දී සිදු වූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් එක් පර්යේෂකයෙක් මෙසේ පැහැදිලි කළේය. “වේලාසනින් යුද්ධ සංඥා වටහාගැනීමට ගුවනේ සවි කර ඇති චන්ද්‍රිකා මගින් ගුවනේ කිසිදු සෝවියට් මිසයිලයක් නැති බව පැහැදිලිව පෙන්වූ නිසා, අමෙරිකානු මිසයිල ක්‍රියාත්මක නොකරන ලදි.” එහෙත්, වේලාසනින්ම යුද්ධ තර්ජන මොනවාදැයි කියා බලාගැනීමට හැකි එවන් චන්ද්‍රිකා පද්ධති කල් යත්ම ක්ෂය වී යනවා ඇත. “රුසියාවට අයත් එවන් චන්ද්‍රිකාවල ක්‍රියාකාරිත්වය නැවතී ඇති බවත් ඒවා නියමිත කක්ෂවලින් ඉවතට ගොස් ඇති බවත්” පර්යේෂකයෝ සහ විශ්ලේෂකයෝ බිය පළ කරති. එබැවින්, එක්සත් ජනපදයේ හිටපු උපඅද්මිරාල්වරයා මීට වසර කිහිපයකට පෙරාතුව පැවසුවාක් මෙන්, “වරදවා වටහාගැනීමක්, නිසි වගකීමේ හැඟීමකින් ක්‍රියා නොකිරීම නිසා හෝ අත්වැරදීමක් නිසා සතුරු ප්‍රහාර වැළැක්වීම සඳහා ඔවුන්ට කලින් ප්‍රහාරයක් එල්ල කිරීම හෝ මිසයිල ක්‍රියාත්මක කිරීමේ අවදානම වෙන කවරදාටත් වඩා අද බොහෝ සෙයින් මහත්ය.”න්‍යෂ්ටික සමාජයේ නව සාමාජිකයෝ
ප්‍රධාන න්‍යෂ්ටික යුධ අවි ගබඩාව සුපිරි බලවතුන් දෙදෙනා සතුව තිබුණද, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ චීනය වැනි වෙනත් න්‍යෂ්ටික බලවත්හුද වෙත්. න්‍යෂ්ටික සමාජය ලෙස හැඳින්වෙන මෙම රටවල් න්‍යෂ්ටික බලවතුන් බව ප්‍රකාශයට පත් කළ අතර, මෑතකදී ඉන්දියාව සහ පකිස්ථානයද නව සාමාජිකයන් ලෙසට සැලකීමට පටන්ගැනිණි. මෙම රටවලට අමතරව, ඊශ්‍රායෙලය වැනි වෙනත් රටවල්ද න්‍යෂ්ටික බලය අත් කරගැනීමට වෙහෙසෙමින් සිටින හෝ දැනටමත් න්‍යෂ්ටික බලය සතුව තිබෙන රටවල් හැටියට සැලකේ.
මෙම නව සාමාජිකයන් ඇතුළු න්‍යෂ්ටික සමාජයේ සාමාජිකයන්ගෙන් ඕනෑම කෙනෙක් සම්බන්ධ වන දේශපාලනික ගැටුම් නිසා න්‍යෂ්ටික යුද්ධයක් ඇරඹීමට මඟ පෑදිය හැකියි. “කියුබානු මිසයිල අර්බුදයේ පටන් න්‍යෂ්ටික යුද්ධයක අබියසටම වාගේ පැමිණි උච්චතම අවස්ථාව ඉන්දියාව හා පකිස්ථානය අතර පවතින අරගලය නම් කළ හැකි” යයි බුලටින් ඔෆ් දි ඇටොමික් සයන්ටිස්ට්ස් සඟරාව පැහැදිලි කරයි. වර්ෂ 2002 මුල්භාගයේදී පැවති දරුණු තත්වය දෙස බලන කල, සැබෑ න්‍යෂ්ටික ප්‍රහාරයක් ගැන බොහෝදෙනෙක් බිය පළ කර සිටිති.
මීට අමතරව, මහා පරිමාණයෙන් විනාශ කළ හැකි වෙනත් යුද අවි නිෂ්පාදනය වර්ධනය වීම, න්‍යෂ්ටික බෝම්බ යොදාගැනීමේ අවස්ථා තවත් වැඩිවීමට හේතු වී ඇත. පෙන්ටගනයේ රහසිගත වාර්තාවක් ගැන කතා කරමින්, ද නිව් යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ, “සතුරු ජාතීන් සතුව තිබෙන ජීව විද්‍යාත්මක අවි, රසායනික අවි සහ මහා පරිමාණයෙන් විනාශ කළ හැකි වෙනත් අවි ගබඩා විනාශ කිරීමට න්‍යෂ්ටික අවි යොදාගැනීමේ හැකියාව” දැන් අමෙරිකානු න්‍යෂ්ටික ප්‍රතිපත්තියේ අංගයක් බවට පත්වීමට ඉඩ කඩ ඇති බවය.
වර්ෂ 2001 සැප්තැම්බර් 11වන දා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ද තවත් ආකාරයක න්‍යෂ්ටික තර්ජනයක් ගැන ලෝකයට කියාපෑවේය. බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ ත්‍රස්තවාදී සංවිධාන න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට දැන් උත්සාහ කරමින් සිටින බවයි. නොඑසේනම් දැනටමත් ඒවා ඔවුන් සතුව තිබෙන බවයි. එවැන්නක් විය හැක්කේ කෙසේද?
ත්‍රස්තවාදය හා “විෂකර බෝම්බ”
නීති විරෝධි ලෙස කලු කඩේ විකුණන ද්‍රව්‍යයන් යොදාගනිමින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම කළ හැකිද? ටයිම් සඟරාව පවසන පරිදි, එය කළ හැකියි. න්‍යෂ්ටික ත්‍රස්තවාදය වැළැක්වීමට සකස් කරන ලද එක්තරා කණ්ඩායමක් ගැන එම සඟරාව වාර්තා කළේය. මෙතෙක්, මෙම කණ්ඩායම නිවෙස්වල සාදන ලද බෝම්බ “දුසිමකට වඩා සාදා ඇති අතර,” එසේ කර ඇත්තේ “ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන සාමාන්‍ය සාප්පුවක රාක්කයකින් සොයාගත හැකි තාක්ෂණික ද්‍රව්‍ය හා නීති විරෝධි ලෙස කලු කඩවල විකිණීමට ඇති දේවල් උපයෝගි කරගෙනය.”
න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ කොටස්වලට වෙන් කිරීම නිසා න්‍යෂ්ටික සොරුන් වැඩි කිරීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. “දහස් ගණන් රුසියානු න්‍යෂ්ටික අවි අධි ආරක්ෂක මුරකාවල් යොදා ඇති මිසයිලවලින්, බෝම්බ ප්‍රහාරක යානාවලින් සහ සබ්මැරීන්වලින් ගලවා ඉවත් කිරීම හා ආරක්ෂාව අඩු වෙනත් තැන්වල යළි ගබඩා කිරීම නිසා ඒ තැන්වලින් පවා අධිෂ්ඨානපූර්වක ත්රස්තවාදීන් විසින් ඒවා සොරාගැනීමට පෙලඹීමක් ඇති කරනු ඇත” යයි ටයිම් සඟරාව පවසයි. මෙම න්‍යෂ්ටික අවිවලින් ගලවාගත් කොටස් කුඩා කණ්ඩායම් විසින් රැගෙන නැවත එකතු කළහොත්, එවන් කණ්ඩායම්වලට න්‍යෂ්ටික සමාජයේ පංගුකරුවන් විය හැකි කාලය වැඩි ඈතක නොවේ!
පීස් (සාමය) යන සඟරාවේ තහවුරු කරන්නේ න්‍යෂ්ටික සමාජයට හවුල් වීමට බෝම්බයක් එක්කාසු කිරීමට අවශ්‍ය නැති බවයි. අවශ්‍ය වන එකම දේ නම්, විඛණ්ඩ්‍ය යුරේනියම් හෝ ප්ලූටෝනියම් ස්වල්ප ප්‍රමාණයක් ලබාගැනීමයි. එම සඟරාව මෙසේ සඳහන් කරයි. “නවීන අවි නිපදවීම සඳහා යොදාගැනෙන යුරේනියම් සතුව සිටින ත්රස්තවාදීන්ට ඉතා පහසුවෙන්ම යුරේනියම් සංයෝගයේ එක් අඩක් අනෙක් අඩ මත ගැටීමට සැලැස්වීමෙන් පිපිරීමක් ඇති කළ හැකියි.” මේ සඳහා යුරේනියම් අනූන වූ න්‍යෂ්ටික ද්‍රව්‍යයන් කොතරම් ප්‍රමාණයක් අවශ්‍යද? එම සඟරාව පවසන පරිදි, “කිලෝග්‍රෑම් තුනක් [රාත්තල් හතක්] ප්රමාණවත්ය.” චෙක් සමූහාණ්ඩුවේ, 1994දී නීති විරෝධි ලෙස ප්රවාහණය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද හොර බඩු ගෙන යන්නන් ළඟ තිබී සොයාගත් අවි සෑදීමට ගන්නාවූ න්‍යෂ්ටික ද්‍රව්‍යවල ප්‍රමාණයටම එය දළ වශයෙන් සමානය!
න්‍යෂ්ටික අපද්‍රව්‍ය තවත් ආකාරයක න්‍යෂ්ටික අවියක් බවට පත් විය හැකියි. “විශේෂඥයන්ගේ කනස්සල්ලට හේතු වන කාරණය නම්, මාරාන්තික විකිරණශීලී අපද්‍රව්‍ය සහ සාම්ප්‍රදායික පුපුරන ද්‍රව්‍යවල සංයෝගයකින් ඇති වන මාරාන්තික ප්රතිඵලයයි” යනුවෙන් දි අමෙරිකන් ස්පෙක්ටේටර් පවසයි. මේ ගණයේ අවි, එනම් විකිරණශීලී ද්‍රව්‍ය විසුරුවන උපක්‍රම හැඳින්වෙන්නේ විෂකර බෝම්බ ලෙසටය. මේවා කොතරම් විනාශකාරීද? විෂකර බෝම්බ ක්‍රියාත්මක වන්නේ මෙලෙසය. “පොදුවේ භාවිත කරන ප්‍රබල පුපුරුවන ද්‍රව්‍ය යොදා විකිරණශීලී ද්‍රව්‍ය විසුරුවාහරිනු ලැබේ. එසේ කරන්නේ ඉමහත් පිපිරීමකින් හා තාප ප්‍රවාහයක් විසුරුවාහැරීමෙන් යම් ඉලක්කයක් විනාශ කරනවා වෙනුවට ඒවාට විෂ කැවීමේ අරමුණෙනි.” මෙම පැහැදිලි කිරීම ජපන් පුවත්පතක (IHT Asahi Shimbun) සඳහන් විය. එය තවදුරටත් කියන්නේ මෙසේයි. “ඒවායින් ජනයා මත ඇති වන බලපෑම නම් විකිරණශීලී ද්‍රව්‍යවලට ලක්වීමෙන් ඇති වන රෝගවල සිට ඉතා දරුණු වේදනාවකින් යුතුව සෙමින් සිදු වන මරණයකට ගොදුරු විය හැකියි.” පහසුවෙන් ලබාගත හැකි න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙලෙස භාවිත කිරීම එතරම් හානිදායක නොවන බවට ඇතමුන්ගේ මතය වුවද, න්‍යෂ්ටික ද්‍රව්‍යයන්ගෙන් අනූන ද්‍රව්‍ය කලු කඩෙන් ලබාගැනීමට හැකිව තිබීම බොහෝදෙනෙකුට මහත් හිසරදයක් වී තිබේ. මෑතකදී ලෝ වටා කරන ලද සමීක්ෂණයකට අනුව, ඊට ප්‍රතිචාරය දක්වන්නන්ගෙන් සියයට 60කටත් වැඩි පිරිසකට හැඟෙන්නේ න්‍යෂ්ටික ත්‍රස්තවාදය මීළඟ වසර දහය ඇතුළත සිදු වනු ඇති බවයි.
එසේනම්, න්‍යෂ්ටික තර්ජනයේ අඳුරු වලා පටලය තවමත් ලෝකය වෙළාගෙන තිබේ. වර්ෂ 2003 ජනවාරි 16-22 දක්වා පළ වූ බ්‍රිතාන්‍යයේ ගාඩියන් වීක්ලි කලාපයේ මෙසේ සඳහන් විය. “ශීත යුද්ධයේ අඳුරුම දවස්වලින් එක්සත් ජනපදය නැවතත් න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීමේ සම්භාවිතාව වැඩි වී තිබෙන්නේ දැන්ය. . . . එක්සත් ජනපදය දැන් න්‍යෂ්ටික යුද්ධයක පැටලීම යුක්තිසහගත කිරීමට එන්න එන්නම හේතු මවමින් සිටියි.” එමනිසා, මෙසේ ඇසීම සාධාරණය. එනම්, න්‍යෂ්ටික යුද්ධය වැළැක්විය හැකිද? න්‍යෂ්ටික තර්ජනයකින් තොර ලෝකයක් ගැන කිසියම් බලාපොරොත්තුවක් තිබේද? මෙම ප්‍රශ්න ඊළඟ ලිපියේදී සලකා බැලේ.
[6වන පිටුවේ කොටුව]
දෙවන න්‍යෂ්ටික යුගයක්?
තීරු ලේඛක බිල් කෙලර් (දැන් ද නිව් යෝක් ටයිම්ස්හි විධායක කර්තෘ) ද නිව් යෝක් ටයිම්ස් සඟරාවට ලියමින් කියා සිටියේ ජාතීන් දැන් දෙවන න්‍යෂ්ටික යුගයට ඇතුළු වී ඇති බවය. පළමුවන යුගය 1994 ජනවාරි දක්වා පැවතිණි. එය අවසන් වූයේ යුක්රේනය කලින් සෝවියට් සංගමයෙන් ලබාගත් අවි අත්හැර දැමීමට එකඟ වීමත් සමඟය. දෙවෙනි න්‍යෂ්ටික යුගයක් ගැන ඔහු කතා කරමින් සිටින්නේ මන්ද?
කෙලර් මෙසේ ලියයි. “දෙවෙනි න්‍යෂ්ටික යුගය නිවේදනය කරනු ලැබුවේ 1998දී රාජස්ථානයේ කාන්තාරයේ දිගටම අසන්නට ලැබුණු ගිගුරුම් හඬකිනි. ඒ ඉන්දියාවේ අලුතෙන් පත් වුණු හින්දු ජාතිවාදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ පුපුරවාහැරීම් පහක් අත්හදා බැලීමත් සමඟය. සති දෙකකට පසුව පකිස්ථානයද එයම කළේය.” මෙම අත්හදා බැලීම් කලින් තිබූ න්‍යෂ්ටික යුගයේ කරනු ලැබූ අත්හදා බැලීම්වලට වඩා වෙනස් වූයේ කෙසේද? “මෙම න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනු ලැබුවේ ප්‍රාදේශීය වශයෙන් යම් සටන්කාමී අරමුණු ඉටු කිරීමේ අටියෙනි.”
එසේනම්, තවත් ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනෙකු න්‍යෂ්ටික සමාජයට ඇතුල් වීමෙන් ලෝකය වඩාත් සුරක්ෂිත තැනක් වේවිය කියා සිතන්නට පුළුවන්ද? කෙලර් තවදුරටත් මෙසේ කියයි. “යම් රටක් න්‍යෂ්ටික අවි අලුතෙන් ලබාගනිත්ම න්‍යෂ්ටික රාජ්‍යයක් හා සබැඳි යුද්ධයකට තුඩු දිය හැකි ප්‍රවණතාව වැඩි කරයි.”—“සිදු විය හැකි දේ” 2003 මැයි 4වන දා, ද නිව් යෝක් ටයිම්ස් සඟරාවේ 50වන පිටුව.
මෙම තත්වය තවත් සංකීර්ණ වෙන්නේ උතුරු කොරියාවේද “අලුතෙන් න්‍යෂ්ටික බෝම්බ හයක් තැනීමට ප්‍රමාණවත් ප්ලූටෝනියම්” තිබෙන බවට නම් වූ පුවත පැතිර යෑමත් සමඟය. “උතුරු කොරියාව නව න්‍යෂ්ටික අවි නිපදවීමෙහිලා සාර්ථක වේ යන අවදානම දවසින් දවස වැඩි වෙමින් තිබේ. තවද සමහරවිට එහි පලදායිත්වය පරීක්ෂා කිරීමට එය අත්හදා බලාවිය යන අවදානමද එසේමය.”—2003 ජූලි 18වන දා, ද නිව් යෝක් ටයිම්ස්.
[7වන පිටුවේ පින්තූරය]
වේලාසනින් යුද්ධ සංඥා වටහාගැනීමට ගුවන්ගත කර ඇති චන්ද්‍රිකා දැන් අභාවයට පත් වෙමින් පවතී
[හිමිකම් විස්තර]
AP Photo/Dennis Cook
[7වන පිටුවේ පින්තූරය]
සූට් කේසයක හැඩැති ආදර්ශ න්‍යෂ්ටික බෝම්බයක් ප්‍රදර්ශනය කරන රජයේ නිලධාරියෙක්
[හිමිකම් විස්තර]
NASA photo
[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Earth: NASA photo