හදිස්සි ගොඩබැස්වීමක්!
හදිස්සි ගොඩබැස්වීමක්!
සීසාර් මුන්යොස් පැවසූ පරිදි
මෙක්සිකෝවේ මොන්ටරේ නගරයේ වෙසෙන මගේ පවුලේ අය සමඟ සතුටින් නිවාඩුවක් ගත කිරීමෙන් පසුව, මෙක්සිකෝ නගරයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ආපසු ඒමට මම සූදානමින් සිටියා. එහි සේවය කිරීම මට ලැබී තිබෙන වරප්‍රසාදයක්. එදා 2002 දෙසැම්බර් 1වන දායි. මම අංක 190 දරන ගුවන් යානයට ගොඩ වුණා. එය ගුවන්ගත වුණේ ප.ව. 7:00ටයි.
පැය එකහමාරකට ටිකක් අඩු කාලයක් පුරා බාධාවකින් තොරව පියාසර කිරීමෙන් පසුව ගුවන් යානය ක්‍රමානුකූලව පහළට ගමන් ගන්න පටන්ගත්තා. හැබැයි හිටිහැටියේම එය එකපාරටම උඩට ගමන් කරන්න පටන්ගත් අතර, යානය යටින් ඇති වූ විශාල ශබ්දයක් නිසා අපි සියලුදෙනාම තිගැස්සුණා. ඊළඟට, ගුවන් යානයේ රෝද පද්ධතිය සහිත කුටියේ පියන් විවෘත කිරීමට බැරි වූ බව ගුවන් නියමුවා නිවේදනය කළා. ඒවා හිර වෙලා තිබුණා! සමහර මඟීන් හුඟාක් භය වෙලා අඬන්න පටන්ගත්තා. වෙනත් අය ශබ්ද නඟා යාච්ඤා කළා. ඊළඟට කුමක් වේවිද කියා මම කල්පනා කළා.
රෝද පද්ධතිය තිබෙන කුටියේ පියන් විවෘත කිරීම සඳහා ගුවන් යානය ගැස්සීමකට ලක් කළ යුතු බව යානයේ නියමුවා අපිට දැනුම් දුන්නා. ඉතින් මෙක්සිකෝ නගරය උඩින් පියාසර කරන ගමන් ඔහු පැයක පමණ වෙලාවක් පුරා ගුවන් යානය උඩටත් පහතටත් දෙපැත්තටත් පද්දවමින් ගැස්සීමකට ලක් කළා. මෙම ගැස්සීම විනෝද උද්‍යානවල කතුරු ඔන්චිල්ලා එහෙම පදිද්දී ඇති වන ගැස්සීමට වඩා හුඟාක් දරුණු වුණා. එය කොහෙත්ම විනෝදාත්මක අද්දැකීමක් නම් වුණේ නැහැ! ඊටපස්සේ ගුවන් නියමුවා මෙහෙම නිවේදනයක් නිකුත් කළා. “පියන් විවෘත නොවූ බව ඔබට කනගාටුවෙන් දැනුම් දෙන්න සිදු වෙනවා. දැන් අපට කරන්ට තියෙන එකම පිළියම තමා රෝද පද්ධතිය නොමැතිව හදිස්සි ගොඩබැස්වීමක් සිදු කිරීම.” විශාල අනතුරක් වේවි කියා සිතමින් අපි එකිනෙකා දිහා කලබලයෙන් බැලුවා.
හදිස්සි ගොඩබැස්වීමකදී කළ යුතු දේවල් පිළිබඳව අපට උපදෙස් ලැබුණා. අපි සපත්තු ගලවලා, හානියක් සිදු කළ හැකි දේවල් අහක් කරලා, ඔවුන් යෝජනා කළ විදිහට අසුන්ගත්තා. ධාවන පථයේදී අනිවාර්යයෙන්ම අනතුරක් වෙයි කියලා මට හිතුණා! ඒ මොහොතේදී මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එවිට මට ලොකු සන්සුන් බවක් දැනුණා.—පිලිප්පි 4:6, 7.
කෙනෙක් මරණාසන්නව සිටියදී ඔහුට අතීතය මතක් වන බවත්, තමා කළ නොකළ දේවල් ගැන සිතමින් ඔහු කනගාටු වන බවත් මම නිතර අහලා තිබුණා. මා ළඟින් අසුන්ගෙන සිටි තරුණියට මම රාජ්‍ය බලාපොරොත්තුව ගැන කතා නොකළ නිසා මට දුක හිතුණා. මම බේරුණොත් සාක්ෂි දැරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නවා කියලා මම අධිෂ්ඨාන කරගත්තා. යෙහෝවා දෙවිට මම උපරිම සේවයක් කරමින් සිටියාද යන්න ගැනත් මම කල්පනා කළා.
ගුවන් යානය ගොඩබැස්වීමේදී, මම දැක්කා මිනිස්සු හුඟදෙනෙක් බලාගෙන ඉන්නවා. ගිනි නිවන රථ හා ගිලන් රථ සූදානම් කරලා තිබුණා. ගුවන් යානයේ කඳ ධාවන පථයේ වදිද්දී මුළු යානයම ගැස්සුණා. යානයේ ලෝහමය කඳ ධාවන පථයේ වැදී ලිස්සා යද්දී ගිනි පුපුරු විසි වුණා. යානය සිසිල් කරවීම සඳහා ධාවන පථයේ දෙපැත්තේ තිබූ ගිනි නිවන රථවලින් වතුර විදින්න පටන්ගත්තා.
ඉතාමත්ම අවදානම් සහිත මොහොතකට මුහුණ දීමෙන් පසුව ගුවන් යානය නතර වුණා. මෙම හදිසි අවස්ථාව සාර්ථක ලෙස හැසිරවීමට නියමුවාට හැකිවීම ගැන අපට මොන තරම් ප්‍රීතියක් හා සහනයක් දැනුණාද කිවහොත් එකපාරටම මහත් අත්පොළසන් නාදයකින් අපි ප්‍රතිචාරය දැක්වුවා. ඉන් අනතුරුව ගුවන් යානයෙන් වහාම පිට වෙන්න කියා අපට දැනුම් දුන්නා. අපි විගස පිටවීමේ දොරටු ගාවට ගොස් ලිස්සන බෝට්ටුවක් වැනි දෙයක ආධාරයෙන් යානයෙන් බැස ආරක්ෂාව සඳහා ධාවන පථය දෙපැත්තේ තිබෙන තණ පිට්ටනි දෙසට ගියා.
ආරක්ෂා සහිත දුරක සිට දේවල් නිරීක්ෂණය කරමින් සිටි මම, අද්දැකීමට සිදු වූ දේවල් හේතුවෙන් වෙවුලමින් සිටියා. ක්‍රියා විරහිත වූ ගුවන් යානය ධාවන පථය හරහා ඇල වෙලා තියෙන හැටි මට පෙනුණා. භාග්‍යයකට මෙන්, මඟීන්ගෙන් තුවාල වුණේ ස්වල්පදෙනෙකුට පමණයි. අනික ඒවාත් සුළු සුළු තුවාල. කම්පනයට පත් වූ වෙනත් මඟීන්, අසල තිබූ ගිලන් රථවලින් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියා.
මම හිතාගෙන හිටියේ රාත්‍රී 9:00ට පමණ නිවසට පැමිණීමටයි. නමුත් මම පැය හතරක් ප්‍රමාද වුණා. වෙච්ච හැම දෙයක් ගැනම හිතනකොට මට ජීවත් වෙන්න ලැබුණ එක ගැන මම සතුටු වෙනවා! මෙම අද්දැකීම හේතුවෙන් හැම දෙයක් ගැනම හොඳින් කල්පනා කර බැලීමට මාව පෙලඹී තියෙනවා. ජීවිතය කොතරම් අස්ථිරයිද කියා මට පැහැදිලි වුණා. විනාඩි ස්වල්පයක් ඇතුළත සියල්ල අහිමි වී යා හැකි අතර ඒ ගැන සිතද්දී, අප කොතරම් අසරණද යන්න අවබෝධ වෙනවා. තමන් බේරෙයිද නැද්ද යන්න සැක සහිත වන විට, තමන් ජීවිතය ගත කළ ආකාරය වෙනස් කිරීමට හෝ දෙවි ඉදිරියේ හොඳ නාමයක් තනාගැනීමට කාලය නොතිබෙන්නට පුළුවන්. මගේ ජීවිතය ප්‍රඥාවන්ත අයුරින් ගත කිරීමටත්, මගේ දෙවි වන යෙහෝවාගේ සේවයේ මා ගත කරන සෑම දවසක්ම වටිනා ආකාරයකින් ගත කිරීමටත් මට තිබෙන ප්‍රස්තාව මම දැන් බොහෝ සෙයින් අගය කරනවා.—ගීතාවලිය 90:12.