සත්ව ලොවේ නිම් හිම් නැති සෙනෙහස
සත්ව ලොවේ නිම් හිම් නැති සෙනෙහස
ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්
මිනිසුන්ට නම් තම දරුවන්ව හදා වඩා ගන්න අවුරුදු 20ක පමණ කාලයක් කැප කරන්න සිදු වෙනවා. නමුත් සතුන් අතුරින් බොහොමයක් උන්ගේ පැටවුන්ට අවශ්‍ය කරන පෝෂණය හා පුහුණුව ලබා දීමට කැප කරන්නේ මාස කිහිපයක් පමණයි. තම පැටවුන් හදා වඩා ගැනීමට සමහර සතුන් සෑම වසරකම ගනු ලබන අපමණ වෙහෙස කොතෙක්දැයි දැනගැනීමට නිදසුන් කිහිපයක් සොයා බලමු.
1. සුදු කෝකා මේ පින්තූරයේ සිටින කෝකාට නම් ග්‍රීෂ්ම කාලයට විවේකයක් ඇත්තෙම නැහැ. පුංචි එවුන්ගේ බඩ කට පිරවීමට ගෙම්බන්, පුංචි මාළුවන්, කටුස්සන් හෝ තණකොල පෙත්තන් වැනි සතුන්ව රැගෙන ඒමට ළඟපාත තිබෙන විලට වරින් වර යෑමට සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි, වරින් වර කැදැල්ල අලුත් වැඩියා කරන්නත් උන්ට සිදු වෙනවා. මුල් සති කිහිපය තුළ පුංචි පැටවුන් තම ශරීරයේ බර ප්‍රමාණයෙන් අඩක් තරම් ආහාර ප්‍රමාණයක් දවසකට අනුභව කරන නිසා මවත් පියාත් දවස පුරා ආහාර රැගෙන කූඩුවට නිතර ඇවිත් යනවා. පොඩි එවුන් ඉගිලෙන්නට ඉගෙනගත් පසු පවා තවත් සති කිහිපයක් තම දෙමාපියන්ගෙන් යැපෙනවා.
2. චීටා බොහෝවිට පැටවුන් ලැබුණු පසු පියා උන්ව අත හැර යයි. පැටවුන්ව රැකබලා ගන්නේ උන්ගේ මව විසින්. සාමාන්‍යයෙන් පැටවුන් තුන්දෙනෙකු හෝ පස්දෙනෙකු සිටියි. පැටවුන්ට කිරි දීම සඳහා සෑම දිනකම පාහේ තමාව පෝෂණය කරගැනීමට අවශ්‍ය ගොදුරු අල්ලාගැනීමට සිදු වන්නේ ඇයටමයි. මෙය පහසු කාර්යයක් නෙමෙයි. මන්දයත් ඌ ගොදුරු අල්ලාගැනීමට දරන වෑයම් බොහෝවිට අසාර්ථක වෙනවා. ඒ විතරක් නොවෙයි, තමන් නැති අතරේ තම පැටවුන්ව ඩැහැගැනීමට මාන බලන සිංහයින්ගෙන් සහ වෙනත් දඩයක්කරුවන්ගෙන් තම පැටවුන් රැකගැනීමට දින කිහිපයකට වතාවක් තම වාසස්ථානය අත් හැර වෙනත් ස්ථානයකට යෑමටද ඌට සිදු වෙනවා. මෙම පැටවුන්ට මාස හතක් වන විට ගොදුරු සොයා ගන්නා ආකාරය උන්ට පුහුණු කරනවා. මෙය දවසින් දෙකින් නිමවන කටයුත්තක් නොවෙයි. ඒ සඳහා අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් පැටවුන් අවුරුද්දක හෝ අවුරුදු එකහමාරක කාලයක් තම මව සමඟ ජීවත් වෙනවා.
3. පුංචි ගෙඹිතුරුවා ගෙඹිතුරුවායි උන්ගේ පැටවුන්වයි වෙන් කරන්න නම් බැහැ. පුංචි ගෙඹිතුරු පැටවුන් බිත්තරයෙන් එළියට ආ විගස උන්ගේ පාවෙන කූඩුව අත් හැර සැප පහසුව සඳහා දෙමාපියන්ගේ පිට උඩට නඟිනවා. ඉන්පසු පැටවු ටික උන්ගේ මවගේ හෝ පියාගේ තටු අතරට කොහොමහරි රිංගාගන්නවා. මව හෝ පියා පීනන විට පැටවුන්ට උණුසුම සහ ආරක්ෂාව ඉන් ලැබෙනවා. ආහාර සෙවීමට කිමිදෙන විට මාරුවෙන් මාරුවට මව හෝ පියා පැටවුන්ව තියාගන්නවා. වැඩි කල් නොගොස් පැටවුන්ද කිමිදී තම ආහාර සොයාගැනීමට ඉගෙනගත්තත් උන්ගේ දෙමාපියන් සමඟ තිබෙන බැඳීම කාලයකට පවතිනවා.
4. ජිරාෆ් සාමාන්‍යයෙන් ජිරාෆ් එක් වතාවකට එක් පැටියෙකුට වඩා දමන්නේ කලාතුරකින්. එයට හේතුව, මෙහි තිබෙන පින්තූරයෙන් දැකිය හැකියි. අලුත උපන් ජිරාෆ් පැටවෙකුගේ බර කිලෝග්‍රෑම් 60යි. උස මීටර දෙකයි. ඉපදී පැයකට පසු පැටවා තම දෙපයින් සිටගන්නා අතර මවගෙන් කිරි උරා බොන්නටත් පටන්ගන්නවා. ඉපිදී වැඩි කල් යෑමට පෙර පැටවා තණ කෑමට පටන්ගත්තද නව මසක් යනතුරු මව ඌව රැකබලා ගන්නවා. තමන්ට යම් අනතුරක් සිදු වෙයි කියා දැනුණ විට පුංචි ජිරාෆ් පැටවා මවගේ කකුල් අතරට රිංගාගනියි. එහෙම කරන්නේ දඩයක්කරුට තම මවගෙන් ලැබෙන පා පහර නිසා ඌට ආරක්ෂාවක් ලැබෙන බව ඌ දන්නා නිසයි.
5. පිළිහුඩුවා පැටවුන්ට කවන්න මාළු ඇල්ලීමේදී පිළිහුඩුවන් වෙහෙස මහන්සි වී තෝරා බේරා මාළු අල්ලනවා. කුරුලු මවයි පියයි අලුත උපන් පැටවුන්ට අඟලක් තරම්වත් නැති කුඩා මාළු පමණක් කෑමට දෙන බව කුරුලු අධ්‍යයනයේ යෙදෙන්නන් සොයාගෙන තිබෙනවා. කුරුලු මව හෝ පියා පරෙස්සමින් තම හොටෙන් මාළුවාගේ ඔළුව පිටතට සිටින සේ මාළු රැගෙන එනවා. මේ
නිසා කුසගින්නේ සිටින පැටවුන්ට මාළුවාව පහසුවෙන් ගිල දැමීමට හැකි වෙනවා. මාළුවාගේ හිස කොටස පළමුවෙන් කුරුළු පැටවාගේ කටට දමන නිසා එය ගිලීමට ඌට පහසුයි. පැටවුන් ටිකෙන් ටික ලොකු වන විට කුරුලු මවයි පියයි ප්‍රමාණයෙන් ටිකක් විශාල මාළුන්ව ගෙන එනවා. ඒවගේම කෑම දෙන වාර ගණනද ක්‍රම ක්‍රමයෙන් වැඩි කරනවා. මුලදී පැටවුන්ට විනාඩි 45කට වරක් ආහාර දෙනු ලබනවා. නමුත් පැටවුන්ට දවස් 18ක් පමණ පිරෙන විට කෑම කන්න පුදුම ආශාවක් ඇති වෙනවා. උන් විනාඩි 15න් 15ට මාළුන්ව කෑමට ගන්නවා! මෙම පින්තූරයේ සිටින පිළිහුඩු පැටව් කූඩුවෙන් එළියට ගිහිල්ලා තමන්ගේ ආහාර සොයාගන්න පටන් අරගෙන. ඔබට හිතෙන්න පුළුවන් දැන් කුරුලු දෙමාපියන්ට විවේකයක් ලැබේවි කියලා. ඒත් පිළිහුඩුවන්ට කොහෙන්ද එතරම් වාසනාවක්! උන් ඒ කාලයේදීම නැවතත් පැටවුන්ව රකින්න පටන්ගන්නවා.ඇත්තෙන්ම එක් එක් සතුන් තම පැටුවන් රැකබලා ගන්නා ආකාරය ගැන සෑම තොරතුරක්ම දැනගන්න ලැබී නැහැ. නමුත් ස්වභාවික පරිසරය ගැන හදාරන පර්යේෂකයන් කියා සිටින්නේ සතුන් ඉවෙන් කටයුතු කළත් උන් තුළ තිබෙන දරු සෙනෙහස ප්‍රබල බවයි. දෙවි සතුන්ට එවැනි හැකියාවක් ලබා දුන්නා නම් මිනිස් දෙමාපියන් ඊට වඩා හොඳින් තම දරු පැටවුන්ව රැකබලා ගනීවි කියා ඔහු අපේක්ෂා නොකරයිද?