සාප්පු සොරකම—පාඩු විඳින්නේ කවුද?
සාප්පු සොරකම—පාඩු විඳින්නේ කවුද?
ජපානයේ සාප්පු හිමියෙකුට තම සාප්පුවෙන් පිරිමි ළමයෙක් බඩු සොරකම් කරන විට හසු වූ අතර ඔහු එය පොලිසියට දැනුම් දුන්නා. පොලිස් නිලධාරීන් ආ විට පිරිමි ළමයා බේරීමට පැනලා දිව්වා. පොලිසියත් ඔහු පසුපස පැන්නුවා. පිරිමි ළමයා රේල් පාර හරහා දුවන විට දුම්රියක ගැටි මිය ගියා.
එම සිද්ධිය ප්‍රචාරය වුණාම සාප්පු හිමියා ගත් ක්‍රියාමාර්ගය ගැන සමහරෙක් දොස් කිව්වා. ඒ නිසා ඔවුන්ගේ කෝපය නිවී යනතුරු ඔහුට සාප්පුව වසා දැමීමට සිදු වුණා. ඔහු යළිත් සාප්පුව විවෘත කළ විට ආයෙත් සාප්පු සොරකමේ යන අය එන්න පටන්ගත්තා. ඒත්, මෑතක ඇති වූ සිද්ධිය නිසා සොරුන්ව අසු කර දීමට ඔහු බිය වුණා. ඉන්පසු ඔහුගේ සාප්පුවේ සොරුන් නිතර නිතර ගැවසෙන්න පටන්ගත්තා. වැඩි කල් නොගොස් ඔහුට සාප්පුව වසා දැමීමට සිදු වුණා.
මෙවැනි සිද්ධීන් සිදු වන්නේ ඉඳ හිට බව සත්‍යයක්. නමුත් එයින් එක් දෙයක් පැහැදිලියි. සාප්පුවෙන් බඩු සොරකම් කිරීම නිසා නොයෙකුත් පැතිවලින්ද බොහෝදෙනෙකුටද අනිවාර්යයෙන්ම පාඩු විඳින්න සිදු වෙනවා. මෙම අපරාධය නිසා සිදු වන විශාල පාඩු ගැන අපි සමීප බැල්මක් හෙළමු.
සාප්පු හිමියන්ට වන පාඩුව
ලෝකයේ සෑම තැනකම සිටින සාප්පු හිමියන්ට සෑම අවුරුද්දකම මුදල් බිලියන ගණනින් පාඩු විඳින්න සිදු වෙනවා. සමහරෙකු ගණන් බලා තිබෙන ආකාරයට එක්සත් ජනපදයේ සාප්පු හිමියන්ට පමණක් සිදු වෙන පාඩුව රුපියල් බිලියන 4,000ක් පමණ වෙනවා. තමන්ගේ ලාභයෙන් එතරම් මුදල් ප්‍රමාණයක පාඩුවක් සිදු වන විට ව්‍යාපාරයන්ට සාර්ථක වෙන්න බැහැ. සාප්පු බොහොමයකට එම පාඩුව දරාගත නොහැකි දෙයක්. සොරුන් සාප්පුවලින් බඩු සොරකම් කරන විට එය හරියට සාප්පු හිමියන් තම ජීවිත කාලය පුරා මහන්සි වී උපයාගත් දේ වතුරේ ගියා හා සමානයි.
නිව් යෝර්ක් නගරයේ එක් සාප්පු හිමියෙක් වන ලූක් මෙසේ තම අදහස් පළ කරනවා. “ව්‍යාපාර ලෝකයේ තිබෙන තරඟකාරිත්වය එක ප්‍රශ්නයක්. ඒ මදිවට මේ සාප්පු සොරකම තවත් ප්‍රශ්නයක් වෙලා. කොච්චර කාලයකට මේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ.” ඔහුට විද්‍යුත් ආරක්ෂක පද්ධතියක් සවි කරගැනීම සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් නැහැ. මෙම සොරකමේ නියැලෙන්නන් ගැන ඔහු මෙසේ අදහස් දක්වනවා. “කවුරු හොරකම් කරනවාද කියලා දන්නේ නැහැ. සමහරවිට නිතර බඩු ගන්න එන අය ඒ දේ කරනවා ඇති.”
ලූක් මුහුණ දෙන ගැටලුව ඔහුට එතරම් දෙයක් නොවෙයි කියා සමහරෙකු සිතිය හැකියි. එම අය කියා සිටින්නේ මෙවැනි දෙයක්. “මේ සාප්පුකාරයෝ හොඳට ලාභ උපයනවා. මම මේ බඩුවක් දෙකක් ගත්තයි කියලා එයාලට ලොකු පාඩුවක් එකෙන් සිදු වෙන්නේ නැහැ.” නමුත් ගැටලුව සාප්පු හිමියන්ට ඔය තරම් ලොකු ලාභයක් ලැබෙනවාද යන කාරණයයි.
සමහර රටවල සාප්පු හිමියන් මිල දී ගන්න භාණ්ඩයට සියයට 30, 40 හෝ 50ක මුදලක් එකතු කරනවා. නමුත් එම සියයට ගණනම ශුද්ධ ලාභය ලෙස ලැබෙන්නේ නැහැ. සාප්පු හිමියා භාණ්ඩයට ඇතුළත් කරන අමතර මුදලින් කඩ කුලී, බදු, සේවකයන්ගේ පඩි නඩි, ගොඩනැඟිලි නඩත්තුව, උපකරණ අලුත් වැඩියා කිරීම, රක්ෂණ, විදුලි, වතුර, ඉන්ධන, දූරකථන බිල්පත් සහ ආරක්ෂාව වැනි සෑම දෙයක් සඳහා ගෙවිය යුතුයි. මෙම සෑම ගෙවීමක්ම කළ පසු සාප්පු හිමියාගේ ආදායම හැටියට සමහරවිට ඉතුරු වෙන්නේ සියයට 2ක් හෝ 3ක්. යමෙක් සාප්පුවෙන් බඩු සොරාගන්නා විට සාප්පු හිමියාට ලැබෙන ආදායමට එය බලපායි.
පොඩි පොඩි දේවල් සොරාගත්තට කමක් නැද්ද?
තම මවත් සමඟ සාප්පුවක සිටින කුඩා පිරිමි දරුවෙක් ටොෆි චොකලට් තිබෙන ස්ථානයට තනියම යනවා. එහිදී ඔහු ටොෆි අසුරා ඇති පෙට්ටියකින් ටොෆියක් රැගෙන හෙමින් සීරුවේ තම සාක්කුවට දමාගන්නවා. මෙම පොඩි සොරකමින් සාප්පු හිමියාට පාඩුවක් සිදු වෙනවාද?
එක්සත් ජනපදයේ සුළු ව්‍යාපාර පරිපාලනයේ නියැලෙන්නන් විසින් නිකුත් කරන සඟරාවක මෙසේ සඳහන් කර තිබෙනවා. “බෝල් පොයින්ට් පෑනක් හෝ ටොෆියක් වැනි පොඩි පොඩි දේවල් සොරකම් කිරීමෙන් විශාල පාඩුවක් සිදු වන්නේ නැහැයි කියා පුද්ගලයෙකුට සිතෙන්න පුළුවන්. නමුත් අමාරුවෙන් පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරයකට එය දරන්න බැරි පාඩුවක්.” (Curtailing Crime—Inside and Out නම් සඟරාව) ලැබෙන්නේ ඉතා සුළු
ලාභයක් නිසා මෙම සොරකමෙන් අවුරුද්දකට සිදු වෙන රුපියල් 1,00,000ක පමණ පාඩුව පියවාගැනීමට කුඩා සාප්පු දවසකට තවත් ටොෆි 900ක් විකිණිය යුතුයි. කුඩා පිරිමි ළමුන් හුඟදෙනෙක් ටොෆි හුඟාක් සොරාගන්නවා නම් සිදු වෙන දේ ගැන මොහොතකට සිතන්න. ගන්න දේ කුඩායි නමුත් සිදු වෙන පාඩුව අතිවිශාලයි.දුප්පත් පොහොසත්, උගත් නූගත් සෑම තරාතිරමකම සිටින බොහෝ අය කඩ සාප්පුවලින් සොරකම් කරනවා. මෙයින් ඇති වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද? එක්සත් ජනපදයේ ජාතික අපරාධ මර්දන කවුන්සලය වාර්තා කරන්නේ එම රටේ අසාර්ථක වන ව්‍යාපාරවලින් තුනෙන් එකක් පමණ වසා දැමීමට සිදු වන්නේ සාප්පු සොරකම නිසා බවයි. මෙම තත්වය එම රටට පමණක් සීමා වී නැහැ.
පාරිභෝගිකයා විඳින පාඩුව
සොරකම් නිසා බඩු මිල ඉහළ යනවා. අමෙරිකාවේ සමහර ප්‍රදේශවල පාරිභෝගිකයන් මෙම සොරකම් නිසා අවුරුද්දකට ඩොලර් 300ක වැඩිපුර මුදලක් ගෙවනවා. ඒ කියන්නේ ඔබ දිනකට ඩොලර් 60ක් උපයනවා නම් සොරකම නිසා අවුරුද්දකට වැඩිපුර සතියක් වැඩ කිරීමට ඔබට සිදු වෙනවා කියන එකයි. ඔබට එය දැරිය හැකිද? විශ්‍රාම වැටුපකින් පමණක් ඔබ ජීවත් වනවා නම් හෝ පවුල නඩත්තු කිරීමට වෙහෙසෙන තනි මවක් නම් සතියක ආදායම මෙලෙස අහිමි වීම මොනතරම් කලකිරීමට හේතු වන්නක්ද! ඒත් සිදු වෙන පාඩුව එතැනින් නතර වෙන්නේ නැහැ.
මුළු ගමටම තිබෙන කඩේ වසා දැමීමට සිදු වුවහොත් එය ගමටම පාඩුවක්. වාර්තාවකට අනුව එක්සත් ජනපදයේ කුඩා ගම්මානයක ඔසු සලක සිදු වූ සොරකම් නිසා එය වසාදැමීමට සිදු වුණා. එමනිසා තමන්ගේ බෙහෙත් මිල දී ගැනීමට මහලු හා අබල දුබල අයට වෙනත් ඔසු සලකට යෑම සඳහා කිලෝමීටර දෙකහමාරක දුරක් ගමන් කරන්න සිදු වෙනවා. “රෝද පුටුවේ ඉන්න කෙනෙකුට මෙය කරන්න පුළුවන් දෙයක්ද” කියා එක් නිලධාරියෙක් ඇසුවා.
දෙමාපියන් විඳින විශාල පාඩුව
බෲස් නමැති පුද්ගලයා උසස් සදාචාර ප්‍රමිති අනුව ජීවත් වන කෙනෙක්. ඔහු තම දරුවන්ටත් අවංකව කටයුතු කිරීමට උගන්වනවා. එක් දවසක් ඔහුගේ දුව සොරකම් කරද්දී අසු වුණා. එම පියා මෙසේ පවසනවා. “දිනක් මට දූරකථන ඇමතුමක් ලැබුණා මගේ දුව සාප්පුවෙන් බඩු සොරකම් කරද්දී අසු වුණා කියලා. ඒ වෙලාවේ මට මොනවා වගේ හැඟෙන්න ඇද්ද කියලා හිතලා බලන්න. මගේ ඔලුව ගිනිගත්තා. අපි අවුරුදු ගණනාවක් කැප කළේ ගුණ යහපත් දරුවෙකුව හදන්න. අපේ දුව මේ විදිහට මුරණ්ඩු වෙයි කියලා අපි කවමදාකවත් හිතුවේ නැහැ.”
බෲස් තම දියණිය ගැනත් ඇගේ අනාගතය ගැනත් කල්පනා කළා. ස්වේච්ඡා ආගමික ගුරුවරයෙක් ලෙස ඔහු දැරූ තනතුර පවා ඔහු අත් හැරියා. “මම සභාවට මුහුණ දෙන්නේ කොහොමද? මට දැන් පුළුවන්ද දරුවන් හදාවඩාගන්න විදිහ ගැන ඔවුන්ට උපදෙස් දෙන්න? මම සුදුසු නැහැයි කියලා මට හැඟුණා.” ඔහුගේ දියණිය නම් තමන්ගේ ක්‍රියාකලාපය පියාට කොතරම්
අහිතකර ලෙස බලපානවාද කියා සිතා නැති බවයි පෙනෙන්නේ.සොරකමේ නියැලෙන්නන්ට සිදු වෙන පාඩුව
ඉස්සර නම් යම් පුද්ගලයෙක් සොරකමේ නියැලෙද්දී අසු වුණොත් සාප්පු හිමියන් ඔහුට තදින් අවවාද කර යන්න හරිනවා. නමුත් දැන් තත්වය වෙනස්. අසු වුණ පළමු වතාවේදීම අත් අඩංගුවට ගන්නවා. එවිට තමයි සාප්පු සොරකමේ නියැලෙන්නන් තම වරදෙහි බරපතළකම වටහාගන්නේ. නැටලි නමැති යෞවනියට මෙය අද්දකින්න සිදු වුණා.
නැටලි මෙසේ පවසනවා. “මම හොරකම් කරන්න කරන්න මගේ ආත්ම විශ්වාසයත් වැඩි වුණා. හදිසියෙවත් අහු වුණොත් මම සොරාගන්න මිල අධික ඇඳුම්වල වටිනාකම තරම් මුදල් ප්‍රමාණයක් නඩු ගාස්තුවලට යන එකක් නැහැයි කියලා මම හිතුවා.” ඒත් ඇය සිතූ දේ වැරදියි.
ඇය ගවුමක් සොරකම් කරන විට පොලිසියෙන් පැමිණ ඇගේ අතට මාංචු දමා රැගෙන ගියා. පොලිසියේදී ඇගේ ඇඟිලි සලකුණු ගෙන තවත් අපරාධකරුවන් සමඟ සිර කූඩුවට දැම්මා. ඇගේ දෙමාපියන් පැමිණ ඇප දී මුදවා ගන්න තුරු පැය ගණනක් ඇය සිරකුඩුවේ සිටියා.
මෙම සොරකමේ නියැලෙන්න අදහසක් හෝ තිබෙන අයට නැටලි මෙවැනි උපදෙසක් දෙනවා. “මම කියන දේ අහන්න. සල්ලි දීලා ඇඳුම් ගන්න.” ඔබ සොරකම් කළොත් “ඒ ගැන සෑහෙන කාලයකට දුක් වෙන්න වෙයි” කියා ඇය පවසනවා.
සොරෙක් කියා පොලිසියේ වාර්තා වීම මොනතරම් අපරාධයක්ද? සාප්පු සොරකමේ නියැලීම නිසා ඇති වන අහිතකර ප්‍රතිඵල නිකම්ම යටපත් වෙන්නේ නැහැ. ඇඳුමක වැදුණ පැල්ලමක් හා සමානව එය මැකෙන්නේ නැහැ. මෙවන් පුද්ගලයෙක් විශ්ව විද්‍යාලයකට ඇතුල් වන විට තමාගේ සියලු තොරතුරු ලබා දීමට සිදු වෙයි. එවිට ඔහුගේ සොරකම ගැනත් සඳහන් කළ යුතු වෙනවා. එමනිසා ඔහුට වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය ශාස්ත්‍රය හෝ ගෘහ නිර්මාණ ශිල්පය වැනි වෘත්තීන් තෝරාගැනීමේදී යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි. එවැනි පුද්ගලයන්ට රැකියාව දීමට සමාගම් යම් මැලිකමක් දක්වන්න ඉඩ තිබෙනවා. උසාවියෙන් නියම කරන දඬුවම් විඳීමෙන් පසුත් නැවත සොරකම් නොකෙරුවත් මෙවැනි ගැටලු මතු විය හැකියි.
සොරකම් කරන පුද්ගලයන් හසු නොවුණත් මෙවැනි අවකල් ක්‍රියා නිසා විශාල පාඩුවක් විඳින්න සිදු විය හැකියි. මෙම ලිපි මාලාවේ සඳහන් කළ හෙක්ටර් එය අද්දැක්කා. “මම ලස්සනට වැඩේ කරනවා. කවදාකවත් අහුවෙලා නැහැ.” නමුත් ඔහුගේ කල්ක්රියාවට ප්‍රතිඵල ගෙවන්න සිදු වුණා. ඔහු ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වනවා. “තරුණ අය එක් දෙයක් තේරුම් ගන්න ඕනේ. ඔබ වපුරන දේ තමයි කපා ගන්නේ කියන එක. පොලිසියට ඔබ කවදාකවත් අහු වුණේ නැතත් පාඩු විඳින්න සිදු වෙනවා.”
සාප්පුවෙන් බඩු සොරාගැනීම වින්දනයක් නෙමෙයි. එය අපරාධයක්. මෙම සොරකම නිසා නොයෙක් අය විවිධ පැතිවලින් පාඩු විඳිනවා. යම් කෙනෙක් මෙම අවකල් ක්රියාවේ යෙදෙනවා නම් එය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවරගත යුතුයි. නමුත් සාප්පුවලින් බඩු සොරකමේ නියැලෙන පුද්ගලයෙක් එය සම්පූර්ණයෙන් නවතා දැමීමට අවශ්‍ය ශක්තිය වඩවාගන්නේ කොහොමද? මෙම අපරාධය කවදා හෝ අවසන් වෙයිද?
[23වන පිටුවේ පින්තූරය]
සාප්පුවලින් සොරාගන්න අය නිසා සාප්පුව වසා දැමීමට සිදු වෙනවා
[23වන පිටුවේ පින්තූරය]
සොරකම් කිරීම නිසා හැමෝම පාඩු විඳිනවා
[24වන පිටුවේ පින්තූරය]
සාප්පුවලින් බඩු සොරාගැනීම නිසා ඔබේ අනාගතය අඳුරු වෙයි
[හිමිකම් විස්තර]
Fingerprints: © Morocco Flowers/ Index Stock Imagery