Skip to content

පටුනට යන්න

තනිවම සත්‍ය සෙවූ මයිකල් සර්වෙටස්

තනිවම සත්‍ය සෙවූ මයිකල් සර්වෙටස්

තනිවම සත්‍ය සෙවූ මයිකල් සර්වෙටස්

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

වර්ෂ 1553 ඔක්තෝබර් 27වනදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරේදී මයිකල් සර්වෙටස්ව කණුවක බැඳ පිළිස්සුවා. මරණ දණ්ඩනය නියම කළ ගුයිලායුමේ ෆැරල් නමැති පුද්ගලයා අවට සිටි ජනයාට පැවසුවේ මෙයයි. “[සර්වෙටස්] බුද්ධිමත් පුද්ගලයෙක්. තමන් උගන්වන්නේ සත්‍ය කියා ඔහු තුළ නිසැකකමක් තිබුණා. ඒත් ඔහු යක්ෂයාගේ උපායන්ට හසු වුණා. . . . පරෙස්සම් වෙන්න, ඔයගොල්ලන්ටත් මේ දේ වෙන්න පුළුවන්!” මෙවැනි දරුණු දණ්ඩනයක් ලබන්න තරම් මයිකල් සර්වෙටස් කළ වරද මොකක්ද?

මයිකල් සර්වෙටස් මෙලොව එළිය දුටුවේ වර්ෂ 1511, ස්පාඤ්ඤයේ විලාන්වා ඩි සිජෙනා නම් ගම්මානයේ. කුඩා අවධියේදීම ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස කැපී පෙනුණා. පුද්ගලයන්ගේ ජීවන තතු හෙළි කරන විද්වතෙක් මෙසේ පවසනවා. “14වන වියේදී ග්‍රීක්, ලතින් හා හෙබ්‍රෙව් භාෂා පිළිබඳ හැදෑරූ ඔහුට දර්ශනය, ගණිතය හා දේවධර්මවාදය පිළිබඳ හසළ දැනුමක් තිබුණා.”

සර්වෙටස් නහඹර විය පසු කිරීමට පෙරම හුවාන් ඩි ක්වින්ටනා නම් පූජකවරයාගේ සහයක ලෙස කටයුතු කළා. ක්වින්ටනා ස්පාඤ්ඤ පාලකයා වූ පස්වන චාල්ස්ගේ පෞද්ගලික පූජකවරයායි. ඔහුත් සමඟ නිල සංචාරයන්වල සහභාගි වූ සර්වෙටස්ට ස්පාඤ්ඤයේ තිබූ ආගමික බෙදීම් දැකගැනීමට හැකි වුණා. එවකට ස්පාඤ්ඤයේ සිටි යුදෙව්වන්ව හා මුස්ලිම් භක්තිකයන්ව එක්කෝ රටින් පිටුවහල් කළා නැතහොත් කතෝලික ධර්මය වැලඳගැනීමට ඔවුන්ට බල කළා. *

අවුරුදු 16දී සර්වෙටස් ප්‍රංශයේ ටුලූස් විශ්ව විද්‍යාලයට ඇතුල් වී නීතිය හැදෑරුවා. එහිදී ඔහුට ප්‍රථම වතාවට සම්පූර්ණ බයිබලයක් දැකගැනීමට හැකි වුණා. එවකට බයිබලය කියවීම තහනම් කර තිබුණත් ඔහු රහසින්ම එය කියෙව්වා. එක් වතාවක් කියෙවූ පසු ඔහු “බයිබලය දහස් වතාවක් නැවත නැවත කියවිය” යුතු බවට අදිටන් කරගත්තා. සමහරවිට ඔහු කියවන්නට ඇත්තේ හෙබ්‍රෙව් හා ග්‍රීක් යන මුල් භාෂාවන්ගේ පිටපතක් වූ කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලය විය හැකියි. ලතින් පරිවර්තනයත් ඔහු කියවන්න ඇති. * ඔහු බයිබලය අධ්‍යයනය කළ විට ස්පාඤ්ඤයේ පූජකයන්ගේ පහත් සදාචාරය දැකගැනීමට හැකි වුණා. ඒනිසා කතෝලික ධර්මය කෙරෙහි ඔහු තුළ තිබූ භක්තිය නැති වී ගියා.

කතෝලික ධර්මය ගැන සර්වෙටස්ට තිබූ සැකයන් තවත් තහවුරු වුණේ පස්වන චාල්ස් රජුගේ කිරුළු පැළඳ වීමේ උත්සවයේදීයි. ස්පාඤ්ඤ රජුට ශුද්ධ රෝම අධිරාජ්‍යයේ පාලකයා ලෙස කිරුළු පැළඳුවේ හත්වන ක්ලෙමන්ට් පාප්වරයායි. සිහසුණේ සිටි පාප්වරයා රජුව පිළිගත් අතර රජු ඔහුගේ පාද සිම්බා. සර්වෙටස් එදා දුටු දේ ගැන පසු කාලයක මෙසේ ලීවා. “මහජනයා පිරී සිටින වීථි දිගේ රාජකීය පෙරහැරකින් පාප්ව රජවරුන්ගේ කර පිටින් ගෙන යන විදිහ මගේ ඇස් දෙකින්ම දැක තිබෙනවා.” සුවිශේෂ තුළ තිබෙන දේට වඩා මෙය කොතරම් පටහැනි ක්‍රියාවලියක්ද කියා සර්වෙටස්ට තේරුම් ගියා.

ආගමික සත්‍ය සෙවීම

කලකිරීමට පත්ව සිටි සර්වෙටස් සන්සුන්ව ක්වින්ටනාගෙන් අයින් වී තනිවම සත්‍ය සෙවීමට මූලික පියවර ගත්තා. ක්‍රිස්තුස්ගේ පණිවිඩය ලබා දිය යුත්තේ දේවධර්මවාදීන්ටවත් දර්ශනවාදීන්ටවත් නොව තේරුම්ගෙන පිළිපදින සාමාන්‍ය ජනයාට බව ඔහු විශ්වාස කළා. එමනිසා ඔහු මුල් භාෂාවෙන් තිබූ බයිබල් පිටපත් හොඳින් ගවේෂණය කර ඊට පටහැනි විශ්වාසයන් ප්‍රතික්ෂේප කිරීමට අදිටන් කරගත්තා. “සත්‍යය” නමැති වචනය හා ඊට සමාන අරුත් දෙන වචන ඔහුගේ පොත් පත්වල වෙනත් වචනවලට වඩා වැඩි වාර ගණනක් භාවිත කර තිබීම උනන්දුවට කාරණයක්.

ඉතිහාසය හා බයිබලය පිළිබඳව සර්වෙටස් කළ අධ්‍යයනයන් මගින් ක්‍රිස්තියානි ධර්මය පළමු ශත වර්ෂ තුන ඇතුළත දූෂණය වී තිබෙන බව ඔහු නිගමනය කළා. බොරු ඉගැන්වීම් ක්‍රිස්තියානි ධර්මයට ඇතුල් කිරීමටත් ත්‍රිත්වය ප්‍රධාන ඉගැන්වීමක් ලෙසට පිළිගැනීමටත් කොන්ස්ටන්ටයින් සහ ඔහුගෙන් පසුව පත් වූ අය මූලිකත්වය ගෙන ක්‍රියා කළ බව ඔහු වටහාගත්තා. වයස අවුරුදු 20දී සර්වෙටස් ත්‍රිත්වයේ දෝෂ යන මැයෙන් තම පළමු පොත නිකුත් කළා. ඔහුව කතෝලික සභාවේ ප්‍රධාන සතුරෙක් ලෙස සැලකුවේ ඒ නිසයි.

සර්වෙටස්ට කාරණා හොඳින් තේරුම්ගැනීමට හැකියාවක් තිබුණා. ඔහු ලියා තිබෙන දෙයින් එය පැහැදිලි වෙනවා. “බයිබලයේ කොයිම ස්ථානයකවත් ත්‍රිත්වය යන වචනය භාවිත කර නැහැ. . . . අප දෙවිව දැන හඳුනා ගත යුත්තේ පණ්ඩිතයන්ගේ දර්ශනවාදී අදහස්වලින් නෙමෙයි, ක්‍රිස්තුස් තුළිනුයි.” * ඒ වගේම ශුද්ධාත්මය පුද්ගලයෙක් නොව එය දෙවිගේ බලය ලෙස ඔහු පෙන්වා දුන්නා.

සර්වෙටස්ගේ අදහස්වලට යම් යහපත් ප්‍රතිචාරයන් නොලැබුණා නොවෙයි. රෙපරමාදු දේවගැතියෙක් වන සෙබස්ටියන් ෆ්‍රෑන්ක් ලීවේ මෙයයි. “ස්පාඤ්ඤ ජාතික සර්වෙටස් තර්ක කරන ආකාරයට, දෙවි යනු එක පුද්ගලයෙක්. නමුත් රෝමානු පල්ලිය පවසන්නේ එක පුද්ගලයෙක් තුළ පුද්ගලයන් තුන්දෙනෙක් සිටින බවයි. මම සර්වෙටස්ගේ තර්කයට එකඟයි.” හොඳ ප්‍රතිචාර ලැබුණත් කතෝලික මෙන්ම රෙපරමාදු සභාවන් ඔවුන්ගේ ප්‍රධාන ඉගැන්වීමක් දෝෂාරෝපණයට ලක් කළ නිසා සර්වෙටස්ට සමාව දුන්නේ නැහැ.

සර්වෙටස් බයිබලය අධ්‍යයනය කළ නිසා පල්ලියේ තවත් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ අතර රූප භාවිතයත් බයිබලයට එකඟ නැහැයි කියා ඔහු ප්‍රකාශ කළා. ත්‍රිත්වයේ දෝෂ නමැති පොත නිකුත් වී අවුරුද්දකුත් මාස හයක් ගත වූ පසු සර්වෙටස් කතෝලික සහ රෙපරමාදු සභාවන් ගැන මෙසේ පැවසුවා. “සභා දෙකේම හැම ඉගැන්වීමක්ම මම අනුමත කරන්නේ නැහැ. නමුත් හැම එකක්ම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. දෙගොල්ලන්ටම සත්‍ය වගේම බොරු ඉගැන්වීම්ද තිබෙනවා. හැමෝම දකින්නේ අනිත් අයගේ වැරදි මිසක් තමන්ගේ වැරදි නෙමෙයි කියන කාරණයත් අප පිළිගත යුතුයි.” මේ හේතුව නිසා ඔහු සත්‍ය සෙව්වේ කිසිවෙකුගේවත් උපකාරයක් නොමැතිවයි. *

ඔහු සත්‍ය සෙවීමට අවංක උත්සාහයක් ගත්තද යම් වැරදි නිගමනයන්ට එළඹුණු අවස්ථා තිබෙනවා. එක් උදාහරණයක් පෙන්වනවා නම් ඔහු සිතුවේ අර්මගෙදොන් සහ ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය ඔහුගේ ජීවිත කාලය තුළ පැමිණෙයි කියලා.

විද්‍යාත්මක සත්‍යයන් සෙවීම

තම සතුරන්ගෙන් බේරී යෑමට සර්වෙටස් ඔහුගේ නම වෙයානෝවානස් ලෙසට වෙනස් කර පදිංචිය සඳහා පැරිස් නුවරට ගියා. එහිදී ඔහු කලාව හා විද්‍යාව පිළිබඳව උපාධි ලබාගත්තා. විද්‍යාව සම්බන්ධයෙන් ඔහුට කුතුහලයක් තිබුණා. ඒනිසා ඔහු මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය තේරුම්ගැනීමට එය කොටස්වලට කපා පර්යේෂණය කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෙණහලු තුළින් රුධිර සංසරණය සිදු වෙන ආකාරය විස්තර කළ මුල්ම යුරෝපීය ජාතිකයා ඔහුයි. ක්‍රිස්තියානි ධර්මය නැවත ගෙන ඒම නමැති මුල් කෘතියට ඔහු එම විස්තරය ඇතුල් කළා. මෙම නව සොයාගැනීමෙන් වසර 75කට පසු විලියම් හාවි විසින් රුධිර සංසරණ පද්ධතිය සොයාගත්තා.

සර්වෙටස් ටොලමිගේ භූගෝල විද්‍යාව පිළිබඳව නව කෘතියක්ද ලියනු ලැබුවා. එය ඉතාමත් සාර්ථක කෘතියක්. මේ හේතුව නිසා සමහරුන් සර්වෙටස්ව භූගෝල විද්‍යාවේ යම් අංශ හා ඊට ආවේණික සංස්කෘති අධ්‍යයනය කිරීමේ පුරෝගාමියා ලෙසත් හැඳින්නුවා. පලස්තීනය වගා කිරීමට නොහැකි නිසරු දේශයක් ලෙස සර්වෙටස් විසින් හඳුන්වා තිබීම ගැන ජිනීවා නුවරෙහි පැවැත්වූ ඔහුගේ නඩු විභාගයේදී ඔහුට චෝදනා කළා. එවිට ඔහු කියා සිටියේ ඔහුගේ ප්‍රකාශය අදාළ වන්නේ ඔහු විසූ කාලයට මිසක් මෝසෙස් විසූ කාලයට නොවෙයි කියායි.

ඒ වගේම ඔහු ඖෂධ පිළිබඳ සම්මත නිබන්ධන යන පොත රචනා කළා. එම උපදෙස් ඖෂධ තැනීම සඳහා උපකාරවත් වුණා. එහි තිබූ දැනුම කොතරම් වටිනවාද කියනවා නම් ඔහුව ඖෂධ හා විටමින් භාවිතයේ පුරෝගාමියා ලෙස හඳුන්වනවා. සර්වෙටස්ට නොයෙකුත් ක්ෂේත්‍රයන්වල තිබූ හසළ දැනුම ගැන එක් ඉතිහාසඥයෙක් මෙසේ පැවසුවා. “ඔහු මෙතෙක් පහළ වූ බුද්ධිමතුන් අතුරින් කෙනෙක්. එමෙන්ම විශ්ව දැනුමට මහඟු සේවාවක් ඔහු විසින් ඉටු කළා.”

ප්‍රබල සතුරුකමක්

සත්‍ය සොයන අයට නිතරම විරුද්ධවාදීන්ගෙන් සතුරුකම් එල්ල වී තිබෙනවා. (ලූක් 21:15) සර්වෙටස්ට සතුරන් හුඟදෙනෙක් සිටියා. ජිනීවා නුවර රෙපරමාදු ධර්මය ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ජෝන් කැල්වින් ඉන් එක් අයෙක්. ඉතිහාසඥ විල් ඩියුරන්ට් කැල්වින් පිළිබඳව මෙසේ අදහස් දක්වනවා. “ඔහු ආධිපත්‍යය පවත්වාගෙන ගියේ නීතිය මාර්ගයෙන් නොව ඔහුගේ දැඩි පෞද්ගලිකත්වයට අනුවයි. ඔහු අන් අයගේ ආගමික නිදහසට කිසි ඉඩක් දුන්නේ නැහැ. ඔහු රෙපරමාදු භක්තිකයෙක් වුණත් ක්‍රියා කළේ පාප් කෙනෙක් ලෙසයි.”

සර්වෙටස් හා කැල්වින් පැරිසියේදී මුණ ගැසෙන්න ඇත්තේ ඔවුන්ගේ තරුණ වියේදි කියා විශ්වාස කරනවා. ආරම්භයේ පටන්ම ඔවුන් අතර පෞද්ගලිකත්වයේ ගැටුම් තිබුණා. සර්වෙටස්ගේ පරම සතුරා වුණේ කැල්වින්. ක්‍රිස්තියානි ධර්මය වෙනස්කම්වලට ලක් කිරීම සඳහා කැල්වින් මූලිකත්වය ගෙන කටයුතු කළද සර්වෙටස් කතෝලික සභාවට විරුද්ධව කළ චෝදනා කැල්වින් හෙළා දැක්කා. සර්වෙටස් වෙස් මාරු කරගෙන ප්‍රංශයෙන් පළා ගියේ ඉතා අමාරුවෙන්. ඔහු එසේ පළා ගියත් ඔහුගේ කතෝලික සතුරෝ ඔහුගේ රූපයට සමාන පඹයෙක් තනා පුලුස්සනු ලැබුවා. කෙසේ හෝ මිනිසුන් ඔහුව හඳුනාගත් අතර කැල්වින්ගේ බලය රජයන ජිනීවා නුවර ඔහුව සිරගත කළා.

සර්වෙටස් සිරගෙදර සිටින විට කැල්වින් ඔහුට අමානුෂික ලෙස වධ හිංසා කළා. සර්වෙටස්ගේ නඩු විභාගයේදී තම මතයන් වැරදි බව ඔප්පු කිරීමට ශුද්ධ ලියවිල්ලෙන් කාරණා ඔප්පු කරන්න කියා සර්වෙටස් කැල්වින්ට අභියෝග කළා. ඒත් එම අවස්ථාවේ කැල්වින් අසමත් වුණා. නඩු විභාගයෙන් පසු සර්වෙටස්ව කණුවක බැඳ පුලුස්සා දැමීමට අණ කළා. සර්වෙටස් කතෝලිකයෙක් හැටියට ආගමික මතයන්ට විරුද්ධව කතා කිරීම නිසා කතෝලික සභාවට ඔහුව මරාදැමීමට තරම් කෝපයක් ඇති වුණා. ඒත් ඔවුන්ට හැකි වුණේ ඔහුගේ රූපය පමණක් පුලුස්සා දමන්නයි. නමුත් රෙපරමාදු සභාව විසින් ඔහුව පණ පිටින් පිලිස්සුවා. මෙවැනි දෙයක් සිදු කළේ සර්වෙටස්ට පමණයි කියා සමහර ඉතිහාසඥයන් පවසනවා.

ආගමික නිදහසේ පුරෝගාමියා

කැල්වින් තම සතුරාව තුරන් කර දැමුවත් ඔහුට තම ආධිපත්‍ය රැකගැනීමට නොහැකි වුණා. සර්වෙටස්ව අසාධාරණ ලෙස ඝාතනය කිරීම ගැන යුරෝපයේ බුද්ධිමත් පුද්ගලයන් කෝපයට පත් වුණා. ඒ වගේම පුද්ගලික නිදහස ගැන කතා කරන අය තරයේ කියා සිටියේ කිසිම පුද්ගලයෙකුව තම ආගමික විශ්වාසයන් නිසා ඝාතනයට ලක් නොකළ යුතු බවයි. ආගමික නිදහස වෙනුවෙන් ඔවුන් පෙරට වඩා සටන් කරන්න අදිටන් කරගත්තේ මේ හේතුව නිසයි.

ඉතාලි ජාතික කවියෙකු වූ කැමිලෝ රෙනාටෝ මෙසේ තම විරුද්ධත්වය ප්‍රකාශ කළා. “දෙවිවත් ඔහුගේ ආත්මයවත් මෙවැනි කුරිරු ක්‍රියාවක් හරියි කියා පිළිගන්නේ නැහැ. තමන්ව හඳුනන්නේ නැතැයි කියා කියූ අයටවත් යේසුස් එසේ සැලකුවේ නැහැ.” ප්‍රංශ ජාතික මානව හිතවාදියෙක් වූ සෙබස්ටියන් ශැතිලොං මෙසේ පවසනවා. “ඝාතනයකින් ඉගැන්වීමක් රැකගන්න බැහැ. එයින් සිදු වෙන්නේ පුද්ගලයාගේ ජීවිතය නැති වෙන එක විතරයි.” සර්වෙටස් පවා මෙවැනි දෙයක් පැවසුවා. “බයිබල් ප්‍රතිපත්තියක් කැඩූ පලියට මිනිහෙකුව මරණ එක වැරදියි. ආගමික නායකයන් පවා වැරදි මාර්ගයේ ගොස් තිබෙනවා.”

සර්වෙටස්ගේ මරණයෙන් ඇති වූ බලපෑම සම්බන්ධයෙන් එක් පොතක මෙසේ ලියැවී තිබෙනවා. “සර්වෙටස්ගේ මරණය හතරවන සියවසේ තිබූ සමාජ ක්‍රමය වෙනස් මඟකට ගෙනාවා. අද සමාජයේ පුද්ගලයන්ට තම කැමැත්ත අනුව කටයුතු කිරීමේ භාග්‍ය උදා කළේ සර්වෙටස්ගේ මරණයයි කියා පැවසිය හැකියි.”—එම පොත Michael Servetus—Intellectual Giant, Humanist, and Martyr.

වර්ෂ 1908දී සර්වෙටස්ව ඝාතනය කළ ස්ථානයේ සිට කිලෝමීටර පහක පමණ දුරින් පිහිටි ප්‍රංශයේ අන්මාස් නම් නගරයේ ඔහුගේ ප්‍රතිමාවක් ගොඩනැඟුවා. එම ප්‍රතිමාවේ මෙසේ කොටා තිබෙනවා. ‘භූ විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක්, කායික විද්‍යාඥයෙක් වූ මයිකල් සර්වෙටස් තම විද්‍යාත්මක සොයාගැනීම් තුළින් මිනිසාට මහඟු මෙහෙවරක් ඉටු කළා. දුප්පත් රෝගීන් සඳහා කැප වී සේවය කළා. තමන් හිතන පතන විදිහත් තම හෘදය සාක්ෂියත් පාලනය කිරීමට කිසිවෙකුටත් ඔහු ඉඩ දුන්නේ නැහැ. ඔහු තම විශ්වාසයන් සෙලවීමට කාටවත් ඉඩ තැබුවේත් නැහැ. සත්‍ය වෙනුවෙන් තම ජීවිතය පවා පුද කෙරුවා.’

[පාදසටහන්වල]

^ 5 ඡේ. කතෝලික ධර්මය ප්‍රතික්ෂේප කළ යුදෙව්වන් 1,20,000ක් ස්පාඤ්ඤ බලධාරීන් විසින් පිටුවහල් කළ අතර මුස්ලිම් භක්තිකයන් දහස් ගණනක් කණුවල බැඳ පුලුස්සා දැමුවා.

^ 6 ඡේ. වර්ෂ 2004 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපයේ “පරිවර්තනයට රුකුල් දුන් අතිවිශේෂ මෙවලමක් වූ කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය” නමැති ලිපිය බලන්න.

^ 11 ඡේ. යේසුස් ක්‍රිස්තුස් ගැන ප්‍රකාශයක් යන සර්වෙටස් විසින් රචිත පොතේ ත්‍රිත්වය සංකීර්ණ හා වියවුල් සහගත ඉගැන්වීමක් බවත් එය සනාථ කිරීමට “කිසිදු වචනයක්” නැති බවත් ඔහු සඳහන් කළා.

^ 13 ඡේ. සර්වෙටස් සිරගෙයි සිටින විට ඔහුගේ අවසන් ලිපිය නිම කළේ මෙයාකාරයටයි. “මයිකල් සර්වෙටස්, තනි වුණත් මගේ එකම රැකවරණය ක්‍රිස්තුස්.”

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවිගේ නම භාවිත කළ සර්වෙටස්

සත්‍ය සෙවීමට සර්වෙටස් ගත් වෑයමේ තවත් ප්‍රතිඵලයක් වූයේ ඔහු යෙහෝවා යන දෙවිගේ නම භාවිත කිරීමයි. විලියම් ටින්ඩේල් පංච පුස්තකය පරිවර්තනය කරද්දී දෙවිගේ නම ඊට ඇතුළත් කළා. මාස කිහිපයකට පසු සර්වෙටස් ත්‍රිත්වයේ දෝෂ නම් පොත මුද්‍රණය කරන විට ඔහු දිගටම යෙහෝවා යන නාමය භාවිත කර තිබෙනවා. ඔහු මෙසේ සඳහන් කරනවා. “יהוה [මෙම හෙබ්‍රෙව් අකුරුවලින් කියවෙන] අති ශුද්ධ නමෙහි අරුත මෙයයි, . . . ‘ඔහුට ඕනෑම දෙයක් කළ හැකියි,’ ‘හැම දෙයක්ම ඇතිවීමට සලස්වනවා,’ ‘ජීවිතය ලැබෙන්නේ ඔහුගෙන්ය.’” ඔහු මෙසේද සඳහන් කළා. “යෙහෝවා යන නාමය අදාළ වන්නේ පියාට පමණයි.”

වර්ෂ 1542දී සර්වෙටස් සාන්ටේස් පාග්නීනස් විසින් ප්‍රසිද්ධ ලතින් බයිබල් පරිවර්තනයක් සංස්කරණය කළා. (එය පහත පෙන්වා තිබෙනවා). ඔහු එම පරිවර්තනයේ තීරු සටහන්වල දෙවිගේ නම ඇතුළත් කළා. ඒ වගේම ගීතාවලිය 83:17හි “ස්වාමීන්” යන වචනය සඳහා තීරු යොමු සටහන්වල ඔහු යෙහෝවා යන නම ඇතුළත් කළා.

ඔහුගේ අවසන් පොතෙහි දෙවිගේ නම වන යෙහෝවා පිළිබඳව මෙසේ සඳහන් වෙනවා. “අතීතයේ හුඟදෙනෙක් මේ නම භාවිත කළ බව පැහැදිලියි.”—එම පොත The Restitution of Christianity.

[පින්තූරය]

අන්මාස් නගරයේ ප්‍රතිමාව

[18වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤයේ සිටි මුස්ලිම්වරුන්ව බලහත්කාරයෙන් බව්තීස්ම කළ ආකාරය නිරූපනය කරන 15වන සියවසේ කැටයමක්

[හිමිකම් විස්තර]

Capilla Real, Granada

[19වන පිටුවේ පින්තූරය]

“ත්‍රිත්වයේ දෝෂ” නමැති පොතේ පළමු පිටුව

[හිමිකම් විස්තර]

From the book De Trinitatis Erroribus, by Michael Servetus, 1531

[20වන පිටුවේ පින්තූරය]

සර්වෙටස් පෙණහලු තුළින් රුධිර සංසරණය සිදු වෙන ආකාරය අධ්‍යයනය කළා

[හිමිකම් විස්තර]

Anatomie descriptive et physiologique, Paris, 1866-7, L. Guérin, Editor

[20වන පිටුවේ පින්තූරය]

සර්වෙටස් ලියූ “සම්මත නිබන්ධන” යන පොත ඖෂධ විද්‍යාවට විශාල රුකුලක් වුණා.

[21වන පිටුවේ පින්තූරය]

ජෝන් කැල්වින් සර්වෙටස්ගේ පරම සතුරා බවට පත් වුණා

[හිමිකම් විස්තර]

Biblioteca Nacional, Madrid

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Biblioteca Nacional, Madrid