පණිවිඩය හැමෝටම යා යුතුයි
පණිවිඩය හැමෝටම යා යුතුයි
විදුලි පණිවිඩ යැවීමේ ක්‍රමය සොයාගැනීමට පෙර, දුර බැහැරක සිටින කෙනෙකුට පණිවිඩ යැවීම මන්දගාමී මෙන්ම අමාරු දෙයක් වුණා. එසේ වුණේ එම ප්‍රදේශ කරා ගමන් කරන ක්‍රමය මෙන්ම දුර ප්‍රමාණය ඊට බලපෑ නිසයි. දකුණු අමෙරිකාව පුරා අණ සක පතුරුවාගෙන සිටි ඉන්කාවරුන් මුහුණ දුන් අභියෝග සලකා බලමු.
ඉන්කාවරුන් 15වන සියවසේ අගභාගයේ සහ 16වන සියවසේ මුල්භාගයේදී වැජඹෙමින් සිටියේ නවීන දින ආජන්ටිනාවේ පළාත් මෙන්ම ඉක්වදෝරය, කොලොම්බියාව, චිලී, බොලීවියාව සහ අධිරාජ්‍යයේ පුරාණ අගනුවර වන කුස්කෝ පිහිටි පෙරූ යන රටවල් පාලනය කරමිනුයි. බොහෝ දුර බැහැර ස්ථානවලට යන්න තිබුණේ උස් කඳු හෙල් හා ඝන කැළෑ පසු කරමිනුයි. ඉන්කාවරුන්ට ලාමා යන සතා හැර බර අදින වෙන සතුන්වත්, වාහනවත්, ලිඛිත භාෂාවක්වත් තිබුණේ නැහැ. එසේ නම් මේ විශාල රාජ්‍යය තුළ එකිනෙකා පණිවිඩ හුවමාරු කරගත්තේ කොහොමද?
ඉන්කාවරු කතා කළ කෙචුවා භාෂාව මුළු අධිරාජ්‍යයටම තිබූ එකම භාෂාවයි. ඔවුන් පාරවල් හදාගත් අතර එහි ප්‍රධාන මාර්ගය ඇන්ඩීස් උස් බිම් ඔස්සේ කි.මී. 5,000කට වඩා දුරකට දිව ගියා. ඊට සමාන්තරව පැසිෆික් වෙරළ තීරය ඔස්සේ කි.මී. 4,000ක් පමණ දිව යන මාර්ගයක්ද තිබුණා. මේ මාර්ග දෙක සම්බන්ධ කර තිබුණේ එක් එක් ප්‍රදේශවලට අනුව අතුරු පාරවල් සකස් කරමිනුයි. උස් ප්‍රදේශවල පඩි කපා පාරවල් සෑදූ අතර වගුරු සහිත තැන් ඉහළින් පාවෙන පාළම් සහ ප්‍රපාත ඉහළින් සංගිලි පාලම් ඉදි කළා. ඔවුන්ගේ දක්ෂතාව පෙනෙන්නේ ඔවුන් සෑදූ එක් සංගිලි පාලමකින්. එහි දිග මීටර් 45ක් වූ අතර එයට දමා තිබූ සමහර කම්බි මිනිසෙකුගේ සිරුර තරම් ඝනකමයි. මේ පාලම වර්ෂ 1880 වන තෙක් අවුරුදු 500ක් පුරා භාවිත කළා!
ඉන්කාවරුන් පණිවිඩ හුවමාරුව සඳහා කළේ ප්‍රධාන මාර්ගවල කිලෝමීටර් තුනක හෝ හතරක ඈතින් පණිවිඩකරුවන්ව සිටුවීමෙනුයි. මේ අයව හැඳින්නුවේ චාස්කි ලෙසයි. මොවුන් එක් එක්කෙනා දුව ගොස් අනික් තැනැත්තාට පණිවිඩය දුන් අතර දවසකට මෙලෙස කිලෝමීටර් 160ක් පමණ දුරක් ගියා. ඔවුන් මෙලෙස බොහෝ පණිවිඩ වාචිකව දුන්නත් රජයේ කාරණා සම්බන්ධ සංඛ්‍යා ලේඛන ඇතුළත් තොරතුරු දෙනු ලැබුවේ විවිධ වර්ණයෙන් යුත් ගැට සහිත ලණුවලින් සෑදූ කීපූ නම් උපකරණය මගින්. මේ උපකරණයේ තිබුණු හැම ගැටයක්ම දහයේ හෝ සීයේ ඒකකයක් සංකේතවත් කළා. ස්පාඤ්ඤ ජාතිකයන් ඉන්කාවරුන්ව යටත් කරගත් පසු මෙම කීපූ උපකරණය පාවිච්චියෙන් බැහැර වුණා.
‘පාද කඳු පිට අලංකාරයි’
අද දින කෙචුවා භාෂාව කතා කරන මිලියන සංඛ්‍යාත ජනතාවකට වැදගත්ම පණිවිඩය ගෙන යනවා. එය දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියයි. එම රාජ්‍යය මගින් එහි සියලුම යටත්වැසියන්ට සාමය ගෙනෙන්න යනවා. (දානියෙල් 2:44; මතෙව් 24:14) ඉන්කාවරුන් සිටි දේශයේ තවමත් ගමන් බිමන් අපහසුයි වගේම කෙචුවා භාෂාවත් එදා වගේම අදත් බොහෝදුරට වාචික භාෂාවක්. නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් අද දින භාවිතයේ තිබෙන කෙචුවා භාෂාව ඉගෙනගෙන එහි සිටින අයට කතා කරන අතරම එම භාෂාවෙන් නිකුත් කළ කැසට් පට සහ ප්‍රකාශන බෙදාහරිනවා.
මෙම නවීන දින පණිවිඩකරුවන් ගැන මතකයට නඟද්දී සිහිවන්නේ මෙයයි. “යහපත් ආරංචිය ගෙනෙන්නාවූද සමාදානය ප්‍රකාශ කරන්නාවූද යහපත් දේ ගැන යහපත් ආරංචිය ගෙනෙන්නාවූද . . . තැනැත්තාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද?”—යෙසායා 52:7.