ආදරය නිසා අඹු සැමියන් ලෙස හැසිරීම සුදුසුද?
බයිබලයෙන් පිළිතුරක්
ආදරය නිසා අඹු සැමියන් ලෙස හැසිරීම සුදුසුද?
එක් සමීක්ෂණයකදී විමසුමකට ලක් කළ නහඹරයන්ගෙන් සියයට 90ක් පමණ කියා සිටියේ දෙදෙනාම ආදරයෙන් බැඳී සිටිනවා නම් අඹු සැමියන් ලෙස හැසිරීම වරදක් නොවන බවයි. ජනමාධ්‍යය මගිනුත් බොහෝවිට මේ අදහසම ඉදිරිපත් කරනවා. අචල ආදරයකින් බැඳී සිටී නම් එවැනි හැසිරීමක් සාමාන්‍ය බවයි රූපවාහිනියෙන් හා චිත්‍රපටවලිනුත් නිතරම පෙන්වන්නේ.
ඇත්තෙන්ම දෙවිව සතුටු කිරීමට කැමති අය මඟ පෙන්වීම් සොයන්නේ මේ ලෝකයේ චින්තනයෙන් නොවෙයි. මන්ද ඔවුන් දන්නවා එහි පාලකයා වන යක්ෂයාගේ චින්තනය එය බව. (1 යොහන් 5:19) “සිත සැම දේටම වඩා වංචාසහිතය; ඉතා රෝගාතුරය” යන කාරණයත් ඔවුන් දන්නා නිසා තමන්ගේ හැඟීම් අනුව පමණක් තමන්ව පාලනය වීමට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. (යෙරෙමියා 17:9) ඒ වෙනුවට, සැබවින්ම නැණවත් අය මැවුම්කරුගෙන් හා ඔහුගේ වචනයෙන් උපදෙස් පතනවා.—හිතෝපදේශ 3:5, 6; 2 තිමෝති 3:16.
දෙවිගෙන් ලද දීමනාවක්
“සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්ය. මන්ද, අහසෙහි ආලෝකවල පියාණන් වෙතින් එය බැස එන්නේය” කියා යාකොබ් 1:17 පවසනවා. විවාහය තුළ කායික සබඳතා පැවැත්වීම දෙවිගේ දීමනාවලින් එකක්. (රූත් 1:9; 1 කොරින්ති 7:2, 7) දරුවන් බිහි කිරීමටත්, අඹු සැමියන් අතර මුදු මොළොක් හා සතුට සැනසුම ගෙනෙන ශාරීරික මෙන්ම චිත්ත වේගීය බැඳීමක් ඇති කරගැනීමටත් එය දායක වෙනවා. පුරාණයේ සිටි සාලමොන් රජ ලිව්වේ මෙයයි. “ඔබේ යෞවන කාලයේ භාර්යාව කෙරෙහි සතුටු වෙන්න. . . . ඇගේ පියයුරු සැමවිටම ඔබ පිණවත්වා.”—හිතෝපදේශ 5:18, 19.
එසේනම් යෙහෝවා දෙවි කැමති තමා දුන් දීමනාවලින් අප ප්‍රයෝජන මෙන්ම ප්‍රීතියක් ලබනවා දැකීමටයි. ඒ සඳහා ඔහු අපට අත්‍යවශ්‍ය නීති හා ප්‍රතිපත්තිත් දී තිබෙනවා. (ගීතාවලිය 19:7, 8) “ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ” තැනැත්තා යෙහෝවා දෙවියි. (යෙසායා 48:17) ප්‍රේමයේ පරමාදර්ශය වන අපගේ ස්වර්ගික පියාණන් අපට යහපත හා සතුට ලැබෙන දෙයක් අපෙන් වළක්වයිද?—ගීතාවලිය 34:10; 37:4; 84:11; 1 යොහන් 4:8.
ආකාරුණික වීමක්
පුරුෂයෙක් හා ස්ත්‍රියක් විවාහ වූ විට දෙදෙනා “එක මාංසයක්” වන බව පැවසෙයි. විවාහ නොවී කායික සබඳතා පැවැත්වීම එනම් වේශ්‍යාකමේ යෙදීම මගින්ද “එක ශරීරයක්” වන නමුත් දෙවි ඉදිරියේ එය අපවිත්‍ර ක්‍රියාවක්. * එමෙන්ම එවැනි ආකාරයේ එක්වීමක් ආකාරුණික වීමක් වෙනවා. ඒ කෙසේද?—මාක් 10:7-9; 1 කොරින්ති 6:9, 10, 16.
වේශ්‍යාකම කියන්නේ අවංක බැඳීමකින් තොර හැසිරීමක්. එයින් ආත්ම ගෞරවය කෙලෙසගන්නවා පමණක් නොව රෝග, අනවශ්‍ය ගැබ්ගැනීම් හා සිත්
වේදනාවන්ද ඇති විය හැකියි. සියල්ලටම වඩා එය දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කඩ කිරීමක්. එමනිසා කෙනෙක් වේශ්‍යාකමේ යෙදීම අනිත් තැනැත්තාගේ දැන් හා අනාගත ශුභසිද්ධිය හා ප්‍රීතිය ගැන බිඳක්වත් නොසලකාහැරීමක් වෙනවා.ක්‍රිස්තියානි කෙනෙක් වේශ්‍යාකමේ යෙදෙනවා නම් තමාගේම ආගමේ සිටින තවත් සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ අයිතිවාසිකම උල්ලංගනය කරනවා. (1 තෙසලෝනික 4:3-6) උදාහරණයකට දෙවිගේ සේවකයෙක්යයි කියාගන්න කෙනෙක්, තම සැමියා හෝ බිරිඳ හැර වෙනත් කෙනෙකු සමඟ කායික සබඳතා පැවැත්වීම ක්‍රිස්තියානි සභාවට කැළලක්. (හෙබ්‍රෙව් 12:15, 16) එමෙන්ම වේශ්‍යාකමට හවුල් වන තැනැත්තාගේ සදාචාරමය ස්ථාවරයත් බිඳ දමනවා පමණක් නොව ඒ තැනැත්තා තනිකඩයෙක් නම් අනාගතයේදී නිර්මලව විවාහයට ඇතුල් වෙන්න තිබෙන ප්‍රස්තාවත් ඒ තැනැත්තාට නැති කර දමනවා. එමෙන්ම තමාගේම පවුලේ නම්බුව විනාශ කර දමන ඔහු හෝ ඇය තමා හා හවුල් වන තැනැත්තාගේ පවුලේ නම්බුවත් කෙලෙසා දමනවා. මෙසේ දෙවිගේ ධර්මිෂ්ඨ නීති හා ප්‍රතිපත්ති කඩ කරමින් දෙවිව වේදනාවට පත් කරන එවැනි අය දෙවිට කරන්නේ අගෞරවයක්. (ගීතාවලිය 78:40, 41) නරක හැසිරීමේ දිගින් දිගටම යෙදෙමින් පසුතැවිලි නොවන සියල්ලන්ට යෙහෝවා දෙවි “දඬුවම් පමුණුවනවා.” (1 තෙසලෝනික 4:6) එසේනම්, අපට “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියා බයිබලයේ පවසා තිබීම ගැන පුදුම විය යුතුද?—1 කොරින්ති 6:18.
ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් කෙනෙක්ව ආශ්‍රය කරමින් සිටිනවාද? එසේනම් ඔබ දෙදෙනා එකිනෙකාගේ විශ්වාසය හා ගෞරවය ගොඩනැඟෙන අයුරින් ආශ්‍රය කිරීම වැදගත් නොවේද? මේ ගැනත් සිතන්න. තමාගේ කායික ආශාවන් පාලනය කරගැනීමට නොහැකි වූ පුරුෂයෙක් කෙරෙහි ස්ත්‍රියක් පූර්ණ විශ්වාසයක් තබාගන්නේ කොහොමද? එමෙන්ම තමන්ගේ ප්‍රේමාතුර හැඟීම් පිනවාගැනීමට හෝ එවැනි පුරුෂයෙකුව සතුටු කිරීමට දෙවිගේ නීති උල්ලංගනය කරන ස්ත්‍රියකට ආදරයෙන් හා ගෞරවයෙන් සැලකීමට පුරුෂයෙකුට පහසු වෙයිද?
දෙවිගේ ප්‍රේමණීය ප්‍රමිති එපා කරන අයට තමන් වපුරන දේම නෙළාගන්න සිදු වන බවත් අමතක නොකරන්න. (ගලාති 6:7) “වේශ්‍යාකමෙහි නියැලී සිටින්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 6:18; හිතෝපදේශ 7:5-27) ආදරය නිසා විවාහයට පෙර අඹු සැමියන් ලෙස හැසුරුණු යුවළක් ඇත්තටම පසුතැවිලි වී, දෙවි සමඟ තිබූ තම සබඳතාව යළි ගොඩනඟා ගැනීමටත්, එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරගැනීමටත් අවංක වෑයමක් දරනවා නම් සිත වද දීමේ හැඟීම් පහ වී යා හැකි බව සැබෑවක්. එනමුත් ඔවුන්ගේ අතීත වැරදි හැසිරීමෙන් බොහෝවිට කැළලක් ඉතිරි වෙනවාමයි. එලෙස හැසුරුණු තරුණ යුවළක් දැන් විවාහ වී සිටියත් වේශ්‍යාකමේ යෙදීම ගැන බෙහෙවින් කනගාටු වෙනවා. ‘අපි දෙන්නා හැම තිස්සෙම වාද විවාද ඇති කරගන්නේ අපේ වැරදි හැසිරීම නිසාද’ කියා එම ස්වාමිපුරුෂයා විටින් විට අහනවා.
අචල ආදරය පරාර්ථකාමියි
අචල ආදරයකින් බැඳී සිටින දෙදෙනෙක් අතර ප්‍රේමාතුර හැඟීම් තිබුණත් “අවිනීතව හැසිරෙන්නේ” හෝ “තමන්ගේම කාරණා සොයන්නේ” නැහැ. (1 කොරින්ති 13:4, 5) ඒ වෙනුවට උත්සාහ කරන්නේ අනිත් කෙනාගේ ශුභසිද්ධිය හා සදා සතුට තකා වැඩ කිරීමටයි. එවැනි ආදරයක් තිබෙනවා නම් එකිනෙකා කෙරෙහි ගෞරවය දැක්වීමටත්, දෙවි විසින් විවාහ යහනට සීමා කළ දේට එපිටින් නොයෑමටත් පුරුෂයා හා ස්ත්‍රිය යන දෙදෙනාම පෙලඹෙනවා.—හෙබ්‍රෙව් 13:4.
ප්‍රීතිමත් විවාහ දිවියක් තුළ තිබෙන විශ්වාසයේ හා සුරක්ෂිතභාවයේ හැඟීම් දරුවන් ඉපදෙන විටත් අතිවැදගත්. මන්ද දෙවි අරමුණු කළේ දරුවන් ආදරය සෙනෙහස හා ආරක්ෂාව ඇති පරිසරයක ඇති දැඩි වීමයි. (එෆීස 6:1-4) දෙදෙනෙක් සම්පූර්ණයෙන්ම බැඳී සිටින්නේ විවාහයක් තුළ පමණයි. දිවි ඇති තුරා දුකේදීත් සැපේදීත් ආදරයෙන් හා සහයෝගයෙන් සිටීමට ඔවුන් මුළු හිතෙන් පොරොන්දු වන්නේ හුඟක් වෙලාවට එය වදන් පෙළකට නැඟීමෙනුයි.—රෝම 7:2, 3.
විවාහක යුවළක් අතර ඇති බැඳීම ශක්තිමත් වීමට කායික සබඳතා දායක විය හැකියි. එලෙසම ප්‍රීතිමත් විවාහයක බැඳීම සතුට ගෙන දෙන අර්ථවත් එකක් වන්නේ හිත වද දෙන හෝ මැවුම්කරුට අකීකරු වන හැසිරීමක කලින් නොයෙදී ඇත්නම් පමණයි.
[පාදසටහන]
^ 9 ඡේ. “වේශ්‍යාකම” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙන් අදහස් වන්නේ විවාහ නොවී වෙනත් කෙනෙකු සමඟ ලිංගේන්ද්‍රියන් භාවිතයෙන් මුඛ සංවාසය ඇතුළු සියලුම දුරාචාර හැසිරීම්වල යෙදීමයි.—යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයන් වන 2004 අගෝස්තු 8 පිබිදෙව්! 26වන පිටුව හා 2004 පෙබරවාරි 15 මුරටැඹ 13වන පිටුව බලන්න.
ඔබ මේ ගැන සිතුවාද?
▪ විවාහයට පෙර අඹු සැමියන් ලෙස හැසිරීම ගැන දෙවිගේ අදහස කුමක්ද?—1 කොරින්ති 6:9, 10.
▪ වේශ්‍යාකම හානිදායක වන්නේ මන්ද?—1 කොරින්ති 6:18.
▪ විවාහයට පෙර එකිනෙකාට අචල ආදරයක් පෙන්විය හැක්කේ කෙසේද?—1 කොරින්ති 13:4, 5.