නිහතමානිකම දුර්වලකමක්ද නැතහොත් යහපත් ගුණාංගයක්ද?
බයිබලයෙන් පිළිතුරක්
නිහතමානිකම දුර්වලකමක්ද නැතහොත් යහපත් ගුණාංගයක්ද?
අද සමාජය උසස් අය හැටියට සලකන්නේ ආඩම්බර, දැඩි ආත්ම විශ්වාසයක් ඇති අයවයි. ඒ වගේම නිහතමානී නැතහොත් යටහත් පහත් අයව සලකන්නේ දුර්වල, බියගුලු හෝ නිවට අය හැටියටයි. නමුත් ඇත්තටම නිහතමානිකම සැලකිය යුත්තේ දුර්වල, බියගුලු හෝ නිවටකමක් හැටියටද? එසේ නැතහොත් යහපත් ගුණාංගයක් හැටියටද? උඩඟු අහංකාර අය උසස් අයද? බයිබලයේ ඒ ගැන පවසන්නේ කුමක්ද?
සමහර හේතු නිසා ආඩම්බර වීම බයිබලයේ හෙළාදැක නැහැ. උදාහරණයක් හැටියට සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවි තමන්ගේ දෙවි වීම ගැනත්, දෙවි තමන්ව දැනගෙන සිටීම ගැනත් ආඩම්බර වෙනවා. (ගීතාවලිය 47:4; යෙරෙමියා 9:24; 2 තෙසලෝනික 1:3, 4) ඒ වගේම දෙමාපියන්ද තමන්ගේ දරුවන් සත්‍ය නමස්කාරය තුළ ස්ථිරව සිටීම ගැන හා එතුළ දියුණු වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්. (හිතෝපදේශ 27:11) කෙසේවෙතත් ආඩම්බර වීමේ භායානක පැත්තක්ද තිබෙනවා.
ආඩම්බරකම හා නිහතමානිකම අතර වෙනස
ආඩම්බර වීම ගැන සැලකිය යුතු දෙයක් වන්නේ අපි ඕනෑවට වඩා ආඩම්බර වීම අහංකාරය බවට පත් වෙන්න ඉඩ තිබීමයි. සමහරවිට තමන්ගේ ලස්සන, ජාතිය, තරාතිරම, හැකියාවන් හෝ ධනය නිසා කෙනෙක් තමන් ගැන ඕනෑවට වඩා සිතන්න පුළුවන්. (යාකොබ් 4:13-16) එවැනි “අහංකාර” අය ගැන බයිබලයෙත් කතා කරනවා. (2 තිමෝති 3:4) තවදුරටත් ඔවුන් තමන් උසස් කියා සිතීමේ අන්තයටම යනවා.
අනෙක් අතට නිහතමානී අය තමන්ගේ අඩු පාඩුකම් තේරුම්ගෙන, ඒවා පිළිගෙන දෙවි ඉදිරියේ යටහත් පහත් ලෙසයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. (1 පේතෘස් 5:6) ඔවුන් අන් අයගේ යහපත් ගුණාංග දකින විට ඒ ගැන ඊර්ෂ්‍යා නොවී සතුටු වෙනවා. (ෆිලිප්පි 2:3; ගලාති 5:26) තමා කොයි වගේ කෙනෙක්ද කියා තේරුම්ගන්නත් අන් අය සමඟ කිට්ටු සම්බන්ධකමක් පවත්වාගන්නත් පුද්ගලයෙකුට උපකාර කරන්නේ සැබෑ නිහතමානිකමයි.
මේ සම්බන්ධයෙන් යේසුස්ගේ ආදර්ශය සලකා බලමු. යේසුස් පොළොවට පැමිණීමට කලින් ස්වර්ගයේ සිටියේ බලවත් දේවදූතයෙක් ලෙසයි. පොළොවට පැමිණි පසු ඔහු පව් රහිත සම්පූර්ණ කෙනෙක් වුණා. (යොහන් 17:5; 1 පේතෘස් 2:21, 22) ඒ වගේම හැකියාවන් මෙන්ම බුද්ධියක් හා හොඳ දැනුමක්ද ඔහුට තිබුණා. ඒත් ඔහු එවැනි දේවල් ගැන පුරසාරම් දොඩන්නේ නැතුව නිහතමානීව කටයුතු කළා. (ෆිලිප්පි 2:6) ඔහු එක් අවස්ථාවකදී ඔහුගේ ගෝලයන්ගේ පාද පවා සේදුවා. ඒ විතරක් නෙවෙයි කුඩා දරුවන් ගැනත් පෞද්ගලිකව ඔහු සැලකිල්ලක් දැක්වුවා. (ලූක් 18:15, 16; යොහන් 13:4, 5) එක් අවස්ථාවකදී දරුවෙක් ළඟ තබාගෙන යේසුස් මෙසේ පැවසුවා. “කවුරු නමුත් මේ කුඩා දරුවා මෙන් යටහත් වනවා නම්, ඔහු ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේය.” (මතෙව් 18:2-4) ඇත්තටම යේසුස් ඉදිරියේත් ඔහුගේ පියා ඉදිරියේත් උතුම්ම පුද්ගලයෙක් වෙන්නේ උඩඟු කෙනෙක් නෙවෙයි යටහත් පහත් කෙනෙක්.—යාකොබ් 4:10.
නිහතමානිකම යහපත් ගුණාංගයක්
නිහතමානිකමේ ආදර්ශයක් වන යේසුස් දුර්වල, බියගුලු මතෙව් 23:1-33; යොහන් 8:13, 44-47; 19:10, 11) තවදුරටත් ඔහු ඔහුගේ විරුද්ධකාරයන්ගේ ගෞරවයට පවා ලක් වුණා. (මාක් 12:13, 17; 15:5) යේසුස් කිසිවිටකත් උඩඟු ආකාරයෙන් මනුෂ්‍යයන්ට අධිපතිකම් කරන්න ගියේ නැහැ. ඔහුගේ නිහතමානිකම, කරුණාවන්තකම සහ ප්‍රේමය තුළින් ඔහු මනුෂ්‍යයන්ගේ සිත් දිනාගත්තා. (මතෙව් 11:28-30; යොහන් 13:1; 2 කොරින්ති 5:14, 15) අද දිනත් මිලියන සංඛ්‍යාත ජනකායක් යේසුස්ට කීකරු වන්නේ, ඔහුට සැබෑ ප්‍රේමය හා ගැඹුරු ගෞරවය දක්වන නිසයි.—එළිදරව් 7:9, 10.
හෝ නිවට කෙනෙක් වුණාද? කොහෙත්ම නැහැ! සත්‍යය ගැන නිර්භීතව කතා කළ ඔහු මනුෂ්‍යයන්ට භය වුණේ නැහැ. (බයිබලය තුළ අපට දිරිගන්වා තිබෙන්නේ නිහතමානිකම වර්ධනය කරගන්නයි. නිහතමානී නැතහොත් මොළොක් ගුණ ඇති අයට ඉගැන්වීම පහසු දෙයක් වෙනවා වගේම ලැබෙන උපදෙස්ද එවැනි අය අදාළ කරගන්නවා. (ලූක් 10:21; කොලොස්සි 3:10, 12) පළමු ශතවර්ෂයේ සිටි දක්ෂ ගුරුවරයෙකු වූ අපොලොස් එවැනි කෙනෙක්. නිහතමානී අය තමන්ට වඩාත් නිවැරදි උපදෙස් ලැබෙන විට ඒවා පිළිගෙන ඒ අනුව හැඩගැසෙන්න උත්සාහ කරනවා. (ක්‍රියා 18:24-26) ඔවුන් ප්‍රශ්න අසන්න භය වෙන්නේ නැහැ. නමුත් උඩඟු අය ප්‍රශ්න අහන්නේ නැහැ මොකද ඔවුන්ගේ නොදන්නාකම හෙළි වෙයි කියන භයට.
පළමු ශතවර්ෂයේ සිටි ඉතියෝපියානු නිලධාරියාගේ ආදර්ශය සලකා බලන්න. ඔහු තමන්ට නොතේරෙන යමක් දේවවචනයෙන් කියවමින් සිටියා. එවිට යේසුස්ගේ ගෝලයෙක් වන ෆිලිප් ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔබ කියවන්නේ කුමක්ද කියා ඔබ ඇත්තෙන්ම දන්නවාද?” නිලධාරියා මෙසේ පිළිතුරු දුන්නා. “යමෙකු මට මඟ පෙන්නුවොත් මිස, මා එය දැනගන්නේ කෙසේද?” මෙම නිලධාරියා තමාගේ රටේ උසස් කෙනෙක් වුණත් ඔහු පෙන්නුවේ කොතරම් නිහතමානිකමක්ද! ඔහු පෙන්වූ නිහතමානිකම නිසා ඔහුට දේවවචනය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබුණා.—ක්‍රියා 8:26-38.
මෙම ඉතියෝපියානු නිලධාරියාට වඩා වෙනස් ආකාරයටයි යුදෙව් ලියන්නන් හා පරිසිවරු ක්‍රියා කළේ. ඔවුන් හිතුවේ ඔවුන්ට වඩා ආගමික කාරණා ගැන දන්නා වෙනත් අය නැහැ කියලයි. (මතෙව් 23:5-7) ඔවුන් යේසුස්ගේ ගෝලයන්ට යටහත් පහත් ලෙස සවන් දෙනවා වෙනුවට, ඔවුන්ගේ වැරදිමයි සෙව්වේ. මෙසේ උඩඟු ලෙස ක්‍රියා කළ ඔවුන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට බැරි වුණා.—යොහන් 7:32, 47-49; ක්‍රියා 5:29-33.
ඔබ මැටි වගේද නැතහොත් ගලක් වගේද
බයිබලයේ යෙහෝවා දෙවිව කුම්භකාරයෙකුටත් මනුෂ්‍යයන්ව මැටිවලටත් සමාන කර තිබෙනවා. (යෙසායා 64:8) නිහතමානිකම පුද්ගලයෙකුට උපකාර කරනවා දෙවිගේ අතේ තිබෙන යමක් නිර්මාණය කළ හැකි මැටි පිඩක් බවට පත්වීමට. එවැනි කෙනෙකුව දෙවිට අවශ්‍ය ආකාරයට අඹන්න පුළුවන්. නමුත් උඩඟු පුද්ගලයෙකුව කිසිවක් අඹන්න බැරි ගල් වූ මැටි පිඩක් වගේ ඉවත් කරන්න යනවා. මෙසේ ඉවත් වූ කෙනෙක් තමයි පුරාණ ඊජිප්තුවේ සිටි පාරාවෝ. ඔහුගේ උඩඟුකම නිසා ඔහු යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කළා. අවසානයේදී එම ගුණාංගය ඔහුගේම විනාශයට හේතු වුණා. (නික්මයාම 5:2; 9:17; ගීතාවලිය 136:15) මෙම සිදුවීමෙන් පෙනී යන්නේ හිතෝපදේශ පොතෙහි ඇති මේ වදන්වල සත්යයතාවයයි. ‘විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට ප්‍රථමයෙන් අහංකාර සිතද වෙයි.’—හිතෝපදේශ 16:18.
දෙවිගේ සේවකයන් වන අපිත් සමහර අවස්ථාවලදී අහංකාර ලෙස ක්‍රියා කරන්න පුළුවන්. එමනිසා දෙවිගේ සේවකයන් කිසිවිටකත් අහංකාරකම සමඟ පොරබදින්නේ නැහැ කියා කියන්න බැහැ. උදාහරණයක් හැටියට යේසුස්ගේ ගෝලයන් අතර පවා විටින්විට ඔවුන් අතරින් උතුම් පුද්ගලයා කවුද කියා වාද ඇති වුණා. (ලූක් 22:24-27) නමුත් ඔවුන් අහංකාර අය කියා අපට කියන්න බැහැ. මොකද යේසුස් ඔවුන්ට උපදෙස් දුන් විට ඔවුන් එය පිළිගත් අතර ඔවුන්ගේ ආකල්පයන්ද වෙනස් කරගත්තා.
යටහත් පහත් වීමෙන් ලැබෙන විපාක ගැන සලමොන් මෙසේ ලිව්වා. “යටහත් පහත් වීමෙන් සහ යෙහෝවා කෙරෙහි ගරුබිය ඇතිව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.” (හිතෝපදේශ 22:4) නිහතමානිකම හෙවත් යටහත් පහත්කම වර්ධනය කරගැනීම කොතරම් වැදගත්ද! නිහතමානිකම දුර්වලකමක් නොවන අතර එය සිත් ඇදගන්නාසුලු ගුණාංගයක්. නිහතමානී වීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට හැකි වෙනවා සේම සදාකාල ජීවනයද උරුම කරගන්න පුළුවන්.—2 සාමුවෙල් 22:28; යාකොබ් 4:10.
මේ ගැන සිතුවාද?
▪ ආඩම්බර වීමට තිබෙන හේතු සියල්ලක්ම වැරදිද?—2 තෙසලෝනික 1:3, 4.
▪ ඉගෙනගැනීමට නිහතමානිකම දායක වෙන්නේ කෙසේද?—ක්‍රියා 8:26-38.
▪ දෙවිගේ සේවකයන්ට නිහතමානිකම අවශ්‍යද?—ලූක් 22:24-27.
▪ නිහතමානී වීමෙන් ලැබෙන්නේ කුමක්ද?—හිතෝපදේශ 22:4.
[20, 21වන පිටුවේ පින්තූරය]
යේසුස් නිහතමානී කෙනෙක් වූ නිසා දරුවන් ඔහු වෙතට ඇදී ආවා