Skip to content

පටුනට යන්න

කුරුලු පාරාදීසයක අසිරිය!

කුරුලු පාරාදීසයක අසිරිය!

කුරුලු පාරාදීසයක අසිරිය!

ෆීජීහි පිබිදෙව්! ලේඛක විසින්

කිරිටිමාටි හෙවත් ක්‍රිස්මස් දූපත පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේයි. එය අයත් වන්නේ කිරිබාති * නමින් හඳුන්වන දූපත් සමූහයටයි. කුඩා දූපත් 33කින් සමන්විත එහි විශාලතම දූපත ලෙස සැලකෙන්නේ ක්‍රිස්මස් දූපතයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 388ක් වෙනවා. කිරිබාතිවලට අයත් අනිකුත් දූපත් 32කම එකට සම්බන්ධ කළහොත් ක්‍රිස්මස් දූපතෙහි විශාලත්වයට සමාන වන බව කිව හැකියි. කිරිබාතිවලට අයත් දූපත් සමූහයේම ජනගහනය 92,000ක් පමණ වන අතර ඉන් 5,000ක් පමණ දිවි ගෙවන්නේ ක්‍රිස්මස් දූපතෙයි.

කිරිබාතිවලට අයත් එක් දූපතක් හැර අනිකුත් සෑම දූපතක්ම කොරල් දූපත් ලෙස නම් කළ හැකියි. ලෝකයේ විශාලතම කොරල් දූපත් අතරින් ක්‍රිස්මස් දූපතට හිමි වන්නේ පළමු තැනයි!

ක්‍රිස්මස් දූපතේ පිහිටීමේ තවත් විශේෂත්වයක් දැකගත හැකියි. එය ජාත්‍යන්තර දින රේඛාවට ආසන්නව පිහිටා තිබීම නිසා ඔවුන්ගේ දින ගණන් ගැනෙන්නේ අන් රටවලට වඩා දිනයක් ඉදිරියෙනුයි. මේ හේතුව නිසා යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම * වැනි අවුරුද්දේ විශේෂ අවස්ථා සමරන පළමු පිරිස වීමට ඔවුන්ට අවස්ථාව උදා වී තිබෙනවා.

නිවර්තන කලාපවල වෙසෙන මුහුදුළිහිණින්ට මෙම කොරල් දූපත් තම වර්ගයා බෝ කිරීමේ තෝතැන්නක් වෙලා. දුඹුටු මුහුදුළිහිණින් මිලියන 25ක් පමණ බිත්තර දැමීමට මෙහි පැමිණෙන බව කියැවෙනවා.

කුරුල්ලන්ගේ රජ දහනක්

වර්ෂ 1777දී දේශ ගවේෂකයෙක් වූ කැප්ටන් ජේම්ස් කුක් ක්‍රිස්මස් දූපතට ගොඩ බසින විට මෙය ජනාවාස ප්‍රදේශයක් නොව කුරුල්ලන්ගේ රජ දහනක් වී තිබුණා. අවුරුදු ගණනාවක් පුරා මේ ප්‍රදේශය ගැන කුරුල්ලන් හැර වෙන කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ. කැප්ටන් කුක් මෙම දූපත ක්‍රිස්මස් දූපත * ලෙස නම් කළා.

වන ජීවී සංරක්ෂණ ඒකකයේ එක් නිලධාරියෙක් සමඟ මේ දූපතෙහි අපි ගිය චාරිකාව ඉතාමත් සුන්දර අද්දැකීමක් වුණා. අපි වෙරළ දෙසට ගමන් කරන විට සුදු කාඟුල්ළිහිණි රෑනක් අප දෙසට පියඹාගෙන ආවේ හරියට දූපතට අමුත්තන් වූ අපිව පිළිගන්න වගෙයි. තටු ගසමින් උන් අප දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේ, අපේ හැම පියවරක් ගැනම සෝදිසියෙන් සිටිනවා කියා අපට පෙන්වීමට දෝ කියා අපිට සිතුණා.

අපිට වෙරළේ සිට මඳක් ඈතට වෙන්න සිටි දුඹුටු මුහුදුළිහිණියන් රාශියක් දැකගන්න ලැබුණා. දසදහස් ගණන් ළිහිණින් තම වර්ගයා බෝ කිරීමට මෙහි පැමිණෙනවා. නමුත් බිත්තර දැමීමට කලින් මේ කුරුල්ලන් උන්ගේ අනිකුත් සගයන් සියලුදෙනාම එක්රැස් වෙන තෙක් කිචි බිචි ගාමින් දින සති ගණන් අහස් කුසේ පියාසර කරමින් සිටිනවා.

අලුත උපන් පුංචි දුඹුටු මුහුදුළිහිණි පැටවුන් පියාසර කරමින් සැරිසරන්න පටන්ගන්නේ මාස තුනේදීයි. එතැන් පටන් උන්ගේ කාලයෙන් වැඩි හරියක් ගෙවෙන්නේ පියාසර කිරීමටයි. ඒත් උන් බිමට බහින්නේ අවුරුදු පහකට හයකට වතාවක් තම වර්ගයා බෝ කිරීම සඳහායි. උන්ගේ පිහාටුවල අවශ්‍ය තරම් තෙල් නොමැති නිසා වැඩි වෙලාවක් වතුරේ රැඳී සිටින්නේ නැහැ.

තමන්ගේ ආදරණීය පැටවුන්ව හා බිත්තර ආරක්ෂා කරමින් සිටින කළු නිදිළිහිණියන් පිරිසක්වද අපේ නෙත ගැටුණා. මුන් තම පැටවුන් වෙනුවෙන් කැදැල්ලක් තැනුවත් සුදු කාඟුල්ළිහිණින් නම් කැදලි සෑදීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. උන් බිත්තර දැමීමට තෝරාගන්නේ ගස්වල අතුයි. මේ පැටවුන්ගේ දිග නියපොතු නිසා අතුවල රැඳී සිටීමට උන්ට හැකියාව තිබෙනවා. මේ හුරතල් පැටවුන්ව අපි දැක්කේ හරියට පුංචි පුළුන් ගෙඩි වගෙයි. පැටවුන්ගේ අම්මයි තාත්තායි ඊට දෙවෙනි නැහැ. උනුත් හරියට පුළුන් ගෙඩි වගේ බලන්න ලස්සනයි. එත් හොට විතරක් කලුයි.

අපේ චාරිකාවේදී අපිට දියලාවකයා නමින් හඳුන්වන තවත් කුරුල්ලෙක්වත් දැකගන්න පුළුවන් වුණා. මේ කුරුල්ලා උගේ බිත්තර මත වාඩි වෙලා දැඩි විමසිල්ලෙන් අපි දිහා බලාගෙන හිටියා. ලෝකයේ වැඩිම කූඤ්ඤපෙඳ දියලාවකයන් වෙසෙන්නෙත් ක්‍රිස්මස් දූපතේ බව අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම මේ දූපත, රැළසුරු කුලයට අයත් කුරුල්ලන් තම වර්ගයා බෝ කරන ප්‍රධාන ස්ථානයද වෙනවා. මේ දූපතේ තම වර්ගයා බෝ කරන තවත් කුරුල්ලන් වන්නේ, රත්තුඩු ගම්වලයා, වෙස් සුලාවියා, බොර සුලාවියා, රත්පා සුලාවියා සහ බොර නිදිළිහිණියායි. සැහැසි කුලයට අයත් කුරුලු වර්ගයක්ද මේ අතරට එක් වෙනවා.

සැහැසි කුලයේ කුරුල්ලන්ගේ පියාපත් දිගහැරිය විට එහි අගිසි දෙක අතර දුර අඩි හයක් වීම නිසා උන්ට එකවිට ඉහළ නඟින්න අමාරුයි. ඒත් උන් ඉහළට ගියාට පස්සේ ගුවනේ විවිධ දස්කම් පානවා. මෙම කුරුලු වර්ගය සාමාන්‍යයෙන් වතුරට බහින්නෙ නැහැ. දුඹුටු මුහුදුළිහිණියන්ට මෙන් මුන්ගේ පිහාටුත් සෑදී ඇත්තේ වතුරට ඔරොත්තු නොදෙන ආකාරයටයි. මේ නිසා වෙනත් කුරුල්ලන් මහන්සියෙන් සොයාගන්නා කෑම කිසිම හිතක් පපුවක් නැතිව උන් අහසේදී උදුරා ගන්නවා. අනුන්ගේ පහනෙන් එළිය බලන අය කුරුලු ලෝකයෙත් ඉන්නවා කියා ඔබ දැන සිටියාද!

සෙත්කර රන් මහ-ඔලෙවියා නමින් තවත් කුරුල්ලෙක් අපේ සිත් බැඳගත්තා. තම නිජබිම වන ඇලස්කාවෙන් පිටත් වී පැසිෆික් සාගරය හරහා සැතපුම් දහස් ගණන් දුර ගෙවාගෙන කෑම ටිකක් කාලා විඩා නිවාගැනීමට ක්‍රිස්මස් දූපතට පැමිණෙන්න මෙම කුරුල්ලන් පුරුදු වෙලා තියෙනවා. මෙම සංක්‍රමණික කුරුල්ලන්ට මෙතරම් දුරක් ගෙවාගෙන පැමිණීමට හැකි වී තිබෙන්නේ මඟ සොයාගැනීමට උන් සතු සහජ හැකියාව නිසයි.

අපේ සංචාරයේ අරමුණ

අපි නිතරම ක්‍රිස්මස් දූපතට එන්නේ කුරුල්ලන්ව බලන්න නම් නෙවෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයන් වන අපේ යාළුවන්ව බලන්නත් ඒ අය එක්ක රැස්වීම්වලට සහභාගි වෙන්නත් තමයි අපි මෙහෙට එන්නේ. මිනිසුන් එකක් ශුභාරංචිය බෙදාගන්නත් අපි ඒ අය එක්ක හවුල් වෙනවා. ක්‍රිස්මස් දූපත හුදෙකලාවේ පිහිටා තිබෙන නිසා අපේ සාක්ෂිකරුවන්ට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. උදාහරණයකට, අවුරුදු කිහිපයකට කලින් අපේ එක් සාක්ෂිකාර මිතුරියකගේ ස්වාමිපුරුෂයා මිය ගියා. ඒත් අවමංගල්‍ය කතාව ඉදිරිපත් කරන්න වග කිව යුතු කෙනෙක් ඒ දූපතේ හිටියේ නැහැ. නමුත් මිය ගිය අයට බයිබලයේ දී ඇති බලාපොරොත්තුව ගැන අන් අයට කතා කිරීමට එය හොඳ අවස්ථාවක් කියා සිතූ ඇය, එම අවමංගල්‍ය කතාව ඉදිරිපත් කළා.—යොහන් 11:25; ක්‍රියා 24:15.

බයිබල් පරිවර්තන තුනකට අමතරව වෙනත් බයිබල් ප්‍රකාශනත් ඔවුන්ගේ භාෂාව වන ගිල්බටීස් භාෂාවෙන් ඔවුන්ට ලබාගන්න හැකියාව තිබෙනවා. මුළු ලෝකයේම මෙම භාෂාව කතා කරන අය සිටින්නෙ 1,00,000කටත් අඩු පිරිසක් වුණත් ඒ භාෂාවෙනුත් බයිබල් ප්‍රකාශන ලබාගන්න පුළුවන්. වර්ණ හතරකින් යුත් මුරටැඹ නම් සඟරාවද ඒ ප්‍රකාශනවලට ඇතුළත්. ඈත දූපතක තනි වී සිටින මෙම සාක්ෂිකාර කණ්ඩායමට, දෙවි ගැන ඉගෙනගැනීමට පවත්වන ඔවුන්ගේ රැස්වීම්වලටත් අන් අය සමඟ දේවරාජ්‍ය පිළිබඳ ශුභාරංචිය බෙදාගන්නත් මේ පොත් පත් කරන්නේ ලොකු මෙහෙවරයක්.—මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25.

ලන්ඩන් සිට පෝලන්තයට ටෙනිසි හරහා පැය තුනකින් ළඟා වෙන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒත් මෙහි කතා කරන්නේ ක්‍රිස්මස් දූපතෙහි පිහිටා තිබෙන ලන්ඩන්, පෝලන්තය හා ටෙනිසිය ගැනයි. අතීතයේදී මෙහි පැමිණි සංචාරකයන් යුරෝපයේ තිබෙන සමහර නගරවල නම්වලින් ක්‍රිස්මස් දූපතේ සමහර ප්‍රදේශ නම් කළා. බනානා, ලන්ඩන්, පැරිස්, පෝලන්තය, ටෙනිසි වැනි ප්‍රදේශවලට ඒ නම් ලැබුණේ ඒ ආකාරයටයි.

එක් අවස්ථාවකදී මෙහි සිටින වෛද්‍යවරයෙක් එයාගේ වාහනයෙන් අපිව පෝලන්තයට එක්කගෙන ගිය නිසා අපිට ඒ ප්‍රදේශයේ පළමුවෙනි වතාවට සේවය කරන්න අවස්ථාවක් ලැබුණා. සේවය කිරීමට අපිට තිබුණේ පැය දෙකක් තරම් කෙටි කාලයක් විතරයි. මේ කාලය ඇතුළත මෙහි සිටින සෑම කෙනෙක් එක්කම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය බෙදාගන්න අපිට අවශ්‍ය වූ නිසා සෑම ගෙදරකටම අපි ගියේ විදුලි වේගයෙන්. අපේ පණිවිඩයට ඔවුන් සෑම කෙනෙක්ම වගේ දැක්වූයේ හොඳ ප්‍රතිචාරයක්. අපි බෙදා දුන් පොත් පත් ඒ අයගේම භාෂාවෙන් ලැබීම ගැන ඔවුන් හුඟක් පුදුම වුණා.

දුර ඈත පිහිටා තිබෙන මෙම ක්‍රිස්මස් දූපතේ ප්‍රේමණීය වැසියන්ව අපිට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. වෛවර්ණ කුරුල්ලන්ගේ අසිරිමත් පාරදීසයක් වන මෙය අපේ හද බැඳගෙන හමාරයි. බොහෝ කලකට පෙර කැප්ටන් කුක්ට සිතෙන්න ඇත්තේ මෙම දූපත “කුරුල්ලන්ගේ වාසස්ථානයක් පමණක්” කියායි. නමුත් අද ඒ කුරුලු පාරාදීසයට මිනිසුනුත් හිමිකම් කියනවා!

[පාදසටහන්වල]

^ 3 ඡේ. කිරිබාති දූපත්වලට අයත් දූපත් 16ක් කලින් හැඳින්වූයේ ගිල්බට් දූපත් කියලයි. දැන් කිරිබාතිවලට එම ගිල්බට් දූපත් 16ට අමතරව තවත් දූපත්ද අයත් වෙනවා.

^ 5 ඡේ. යේසුස් ක්‍රිස්තුස් දුන් ආඥාවට කීකරුවීමක් හැටියට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම වර්ෂයකම යේසුස්ගේ මරණය සිහි කරනවා.—ලූක් 22:19.

^ 8 ඡේ. ක්‍රිස්මස් දූපත නමින් තවත් දූපතක් ඉන්දියන් සාගරයෙත් දැකගන්න තිබෙනවා.

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ක්‍රිස්මස් දූපත

බනානා

ලන්ඩන්

පැරිස්

පෝලන්ත

ජාත්‍යන්තර දින රේඛාව

[16වන පිටුවේ පින්තූරය]

සැහැසි කුලයට අයත් කුරුලු විගේෂයක්

[හිමිකම් විස්තර]

GaryKramer.net

[17වන පිටුවේ පින්තූරය]

සුදු කාඟුල්ළිහිණියා

[හිමිකම් විස්තර]

© Doug Perrine/ SeaPics.com

[17වන පිටුවේ පින්තූරය]

බොර සුලාවියන්

[හිමිකම් විස්තර]

Valerie & Ron Taylor/ ardea.com

[18වන පිටුවේ පින්තූරය]

දූපතේ සාක්ෂිකරුවන් සමඟ දේශනා සේවයේ හවුල් වෙමින්

[18වන පිටුවේ හිමිකම් විස්තර]

GaryKramer.net