Skip to content

පටුනට යන්න

බයිබල් ප්‍රමිති අනුව ජීවත් විය යුත්තේ ඇයි?

බයිබල් ප්‍රමිති අනුව ජීවත් විය යුත්තේ ඇයි?

යෞවන අය අසති . . .

බයිබල් ප්‍රමිති අනුව ජීවත් විය යුත්තේ ඇයි?

ඔබ යහළුවන් දෙදෙනෙක් සමඟ පාසැලේ ආපන ශාලාවේ කෑම කමින් සිටිනවා කියා සිතන්න. එක යහළුවෙක් පාසැලට අලුතින් පැමිණි පිරිමි ළමයෙක් දිහා බලාගෙන ඉඳලා ඔබට මෙහෙම කියනවා.

“එයා නම් ඔයාට කැමතියි වගේ. බලන විදිහෙන්ම ඒක කියන්න පුළුවන්.”

ඒත් එක්කම දෙවෙනි යහළුවා මෙහෙම කියනවා. “එයා තාම කා එක්කවත් යාළු නැහැ.”

“අපරාදේ! මම යාළු වෙලා හිටියේ නැත්නම් මට එයත් එක්ක ඕනෙම විදිහේ සම්බන්ධයක් ඇති කරගන්න එක ගැන මම දෙපාරක් හිතන්නේ නැහැ” කියලත් ඇය පවසනවා.

ඊට පස්සේ ඇය අසන්නේ ඔබ අසන්න අකමැතිම දෙයක්.

“ඇයි ඔයා තාම කා එක්කවත් යාළු වෙලා නැත්තේ?”

ඔබ දන්නවා ඔවුන් ඒ ප්‍රශ්නය ඔබෙන් අහයි කියලා. පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න ඔබත් කැමතියි. ඒත් නිසි වයසට එන තෙක් එවැනි දෙයක් පටන් නොගෙන සිටීම තමයි සුදුසුම දේ කියා ඔබට කියා දී තිබෙනවා. එහෙම නොවුණා නම් . . .

නැවතත් දෙවෙනි යහළුවා මෙහෙම අහනවා. “ප්‍රශ්නෙකට තියෙන්නේ ඔයාගේ ආගම නේද?”

‘එයාට හරියට මගේ හිත කියවන්න පුළුවන් වගෙයි’ කියා ඔබට සිතෙනවා.

“ඔයාට ඉතිං හැම වෙලාවෙම බයිබලේ, බයිබලේ, බයිබලේ තමයි. ටිකක් විනෝද වෙන එකේ තියෙන වරද මොකක්ද?” කියා නැවතත් පළමු යහළුවා කියනවා.

බයිබල් ප්‍රමිති අනුව ජීවත් වෙන්න උත්සාහ කිරීම නිසා ඔබත් මෙවැනිම තත්වයකට මුහුණ දී තිබෙනවාද? එවන් අවස්ථාවකදී ඔබ ක්‍රියා කළේ කෙසේද?

වැරදි ක්‍රියාවක් නොකිරීමට හේතුව විශ්වාසයෙන් යුතුව පැහැදිලි කළා

ටිකක් අපහසු වුණත් උපරිමයෙන් ඔබේ විශ්වාසය ගැන ඔවුන්ට පැහැදිලි කළා

ඔබේ යහළුවන් සිතන ආකාරය නිවැරදි බවත් බයිබල් ප්‍රමිති නිසා සතුට ලැබිය හැකි අවස්ථා අහිමි වී ඇති බවත් ඔබ තීරණය කළා

බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීම ඇත්තෙන්ම වටිනා දෙයක්ද යන්න ගැන ඔබ කවදා හරි කල්පනා කර තිබෙනවාද? ඇනීටා * නම් යෞවනියට මෙහෙම හැඟුණා. “මගේ යාළුවන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහැ. ඒගොල්ලන් කරන දේවල් ගැන කාටවත් වග කියන්න ඕනෙත් නැහැ. ඒ නිසා මට දැනුණේ මම බයිබල් ප්‍රමිතිවලින් කොටු වෙලා කියලයි. මගේ යාළුවෝ ගත කරපු නිදහස් ජීවිතයට මගේ හිත ඇදිලා ගියා.”

බයිබල් ප්‍රමිති ජීවිතයට වැදගත්ද?

දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් දෙයක්ද කියා එක් අවස්ථාවකදී බයිබල් ලේඛකයෙක් වූ ආසාෆ්ට හැඟුණා. ඔහු මෙසේ පැවසුවා. “මන්ද මම පුරසාරම් දොඩන අය ගැනද දුෂ්ටයන් කිසි කරදරයක් නැතිව සිටිනවා දකින විටද ඊර්ෂ්‍යා වුණෙමි. මම පිරිසිදු සිතක් ඇති කරගත්තේද අහිංසකයෙකු මෙන් දෑත් සෝදාගත්තේද නිකරුණේය.”—ගීතාවලිය 73:3, 13, නව ලොව පරිවර්තනය, NW.

යම් අවස්ථාවලදී එවැනි සිතුවිලි මිනිසුන්ට ඇති විය හැකි බව දෙවි තේරුම්ගත් නිසා ආසාෆ්ගේ එම සිතුවිලි බයිබලයේ වාර්තා කර තැබුවා. කොහොමවුණත් අවසානයේදී ආසාෆ් දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වීම හොඳම දේ බව තේරුම්ගත්තා. (ගීතාවලිය 73:28) ඔහු එවැනි නිගමනයකට එළඹුණේ කෙසේද? නුවණැති ආසාෆ් තමන්ම වැරදි කර ඉන් පාඩම් ඉගෙනගැනීමට උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු අන් අයගේ අතින් සිදු වූ වැරදිවලින් පාඩමක් ඉගෙනගත්තා. (ගීතාවලිය 73:16-19) ඔබටත් එසේම කළ හැකිද?

අන් අයගේ වැරදිවලින් ඉගෙනගැනීම

දාවිත් රජ ආසාෆ් මෙන් නොවේ. ඔහු පාඩම් ඉගෙනගත්තේ දෙවිගේ ප්‍රමිති කඩ කර ඉන් අනිසි ප්‍රතිඵල ලැබුණායින් පසුවයි. දාවිත් ඔහුගේ එක් සේවකයෙකුගේ භාර්යාව සමඟ දුරාචාරයේ යෙදුණු අතර ඔහුගේ එම වරද සැඟවීමට උත්සාහ කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු දෙවිවත් අන් අයවත් වේදනාවට පත් කළා. එමෙන්ම ඔහුත් ඒ ගැන හුඟක් දුක් වුණා. (2 සාමුවෙල් 11:1–12:23) දාවිත් පසුතැවිලි වූ පසු දෙවි දාවිත්ගේ හැඟීම් බයිබලයේ වාර්තා කර තැබුවේ අපේ ප්‍රයෝජනය සඳහායි. (ගීතාවලිය 51:1-19; රෝම 15:4) එයින් පෙනී යන්නේ අන් අයගේ වැරදිවලින් පාඩමක් ඉගෙනගැනීම ඥානවන්තම දෙය බවයි. එමෙන්ම බයිබලයේ අපට මඟ පෙන්වන්නෙත් එලෙස ක්‍රියා කිරීමටයි.

ආසාෆ් මෙන් වීමටත් දාවිත් මෙන් නොවීමටත් ඔබට හැක්කේ කෙසේද කියා පැහැදිලි කර දීමට යෞවනයන් කිහිපදෙනෙකු පැවසූ මෙම අදහස් සලකා බලන්න. මෙම යෞවනයන් ටික කලකට දෙවිගේ ප්‍රමිති අත්හැර විවාහයට පෙර ලිංගික සම්බන්ධකම්වල යෙදුණු අයයි. දාවිත් මෙන් ඔවුනුත් පසුව තමන්ගේ වැරදි හැසිරීම් අත්හැර දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙනවා. (යෙසායා 1:18; 55:7) ඔවුන් පවසන දේ සලකා බලන්න.

පිබිදෙව්!: එවැනි වැරදි කිරීමට ඔබව පෙලඹුවේ කුමක්ද?

ඇනීටා: “මගේ පාසැලේ හැම ළමයෙකුටම ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මම දැක්කේ ඒ අය හුඟක් සතුටින් ඉන්නවා වගෙයි. මම ඒ අය එක්ක ඉන්න කොට දැක්කා ඔවුන් එකිනෙකා සිප වැලඳගෙන ආදරය කරනවා. එතකොට මට තනිකමක් වගේම ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ නිසා මම කැමති පිරිමි ළමයෙක් ගැන දවල් හීන මවන්න මම පටන්ගත්තා. මේ ආසාව ඉටු කරගන්න ඔහු එක්ක ඕනෑම ආකාරයේ සම්බන්ධයක් ඇති කරගන්න මම පෙලඹුණා..”

මයික්: “මම ලිංගික කාරණා උලුප්පා දක්වන පොත් පත් කියෙව්වා, වැඩසටහන් බැලුවා, ඒ වගේම මගේ යාළුවන් එක්ක ලිංගික දේවල් ගැන කතා කළා. මේ නිසා මේවා ගැන මට ලොකු කුතුහලයක් ඇති වුණා. මම ගැහැනු ළමයෙක් එක්ක තනියෙන් ඉන්න කොට ලිංගික හැඟීම් ඇවිස්සෙන තරමට කිට්ටු ඇසුරක් පවත්වන්නත් සීමාව පනින්න කලින් මට මාව පාලනය කරගන්න පුළුවන් වෙයි කියලත් හිතුවා.”

ඇන්ඩෘ: “මම පුරුද්දක් හැටියට අන්තර්ජාලයෙන් කාමුක දර්ශන බැලුවා. මත්පැන්වලටත් ඇබ්බැහි වුණා. ඒ වගේම බයිබල් ප්‍රමිති එතරම් ගණන්ගන්නේ නැති යාළුවන් එක්ක මම සාදවලට සහභාගි වුණා.”

ට්‍රේසි: “මම අවුරුදු 16දී යාළු වෙලා හිටිය පිරිමි ළමයා තමයි මගේ මුළු ලෝකයම වුණේ. මම දැනගෙන හිටියා විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියලා. ඒත් මම ඒක එපා කළේ නැහැ. එහෙම දෙයක් කරන්න මම කවදාවත් හිතලා තිබුණේ නැති වුණත් මගේ හැඟීම් පාලනය කරන්න මට බැරි වුණා. මම කරන්නේ වරදක් නේද කියන එක මට මොහොතකට අමතක වුණා.”

පිබිදෙව්!: ඔබ ගත කළ ඒ ජීවිතෙන් ඔබ සතුටක් ලැබුවාද?

ඇනීටා: “මම මුලින්ම හිතුවේ මම දැන් නිදහස්, මගේ යාළුවන් එක්ක මට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලයි. ඒත් අන්තිමේදී මට මාවම එපා වුණා. මගේ හිත මට වද දෙන්න පටන්ගත්තා. මින් ඉදිරියට මම පිරිසිදු කෙනෙක් නෙමෙයි කියන හැඟීම මට ඇති වුණා. මට කවදාවත් ඒ නැති වුණු දේ ලබාගන්න බැහැ.‘මම මං ගැනම හිතාගෙන හිටියේ කොච්චර ඉහළින්ද,’ ‘ඇයි මම යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය ප්‍රතිපත්ති අත්හැරියේ’ කියන ප්‍රශ්න නිතරම මගේ මනසට නැඟුණා.”

මයික්: “මට අන් අය ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ. මම කරන දේවල්වලින් අනික් අයට වෙන බලපෑම ගැන මම ගණන් නොගෙන ඉන්න උත්සාහ කළා. ඒත් මගේම ආසාවන් පස්සේ ගිය එකෙන් මම කළේ අනික් අයව වේදනාවට පත් කරපු එකයි. මට නින්ද ගියෙත් නැහැ. ඒ වගේම ලිංගික දේවල්වලට තිබුණු මගේ ආසාවත් අඩු වෙලා ගියා. අන්තිමේදී මට ඉතුරු වුණේ වේදනාවයි ලැජ්ජාවයි විතරයි.”

ඇන්ඩෘ: “වැරදි ආසාවන් පස්සේ යන එක හරිම පහසු දෙයක් වුණා. හැබැයි ඒත් එක්කම මගේ හිත මට වද දුන්නා. ඒ වගේම මට මං ගැනම කලකිරීමක් ඇති වුණා.”

ට්‍රේසි: “මම කරපු දේවල්වලට වන්දි ගෙවන්න වැඩි කල් ගියේ නැහැ. මගේ යෞවන කාලයම නාස්ති වුණා. මටත් මගේ පෙම්වතාටත් හුඟක් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලයි මම හිතුවේ. ඒත් අපි දෙන්නාට ඉතුරු වුණේ දුක වේදනාව හා කනස්සල්ල විතරයි. යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති අනුව මට කටයුතු කරන්න තිබුණා නේද කියලා හිතහිතා මම හුඟක් ඇඬුවා.”

පිබිදෙව්!: බයිබල් ප්‍රමිතිවලින් තමන් කොටු වෙලා කියලා සිතන යෞවනයන්ට ඔබ දෙන අවවාදය කුමක්ද?

ඇනීටා: “බයිබල් ප්‍රමිති නොසලකා හැර ජීවිතය සාර්ථක කරගන්න බැහැ. දෙවිගේ උපදෙස් පිළිපදින විට දෙවි ඒ ගැන කොච්චර සතුටු වෙනවාද කියලත් දෙවිගේ උපදෙස් ප්‍රතික්ෂේප කිරීමෙන් අත්වන ප්‍රතිඵල ගැනත් හිතලා බලන්න. ඔබ කරන දෙයින් ඔබට විතරක් නෙවෙයි අනික් අයටත් ලොකු බලපෑමක් ඇති කරනවා කියන එක මතක තියාගන්න. දෙවිගේ උපදෙස් එපා කළොත් හානි වෙන්නේ ඔබටමයි.”

මයික්: “ඔබේ යාළුවන් හුඟක් සතුටින් ඉන්නවා වගේ පෙනෙන්න පුළුවන්. ඒත් ඒ පෙනුමට විතරයි. දෙවි ඔබට දීලා තියෙන නිර්මලකමයි ගෞරවයයි ඔබේ ආසාවන් නිසා නැති කරගෙන කිසිම වටිනාකමක් නැති කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම ඔබේ ගැටලුව ගැන දෙමව්පියන් එක්ක හරි අද්දැකීම් තිබෙන වැඩිහිටියෙක් එක්ක හරි කතා කරන්න. ඔබ අතින් වරදක් සිදු වුණොත් ඉක්මනින් ඒ ගැන කතා කර වරද හදාගන්න. ඔබ දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වුණොත් සන්සුන් මනසක් ඇතිව ඉන්න පුළුවන් වෙනවා කියන එක නම් ස්ථිරයි.”

ඇන්ඩෘ: “ඔබට එතරම් අද්දැකිම් නැති නිසා ඔබට හිතෙයි ඔබේ යාළුවන් ගත කරන්නේ හරිම ප්‍රීතිමත් ජීවිතයි කියලා. ඔවුන්ගේ හැසිරීම් ඔබට ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා යාළුවන්ව තෝරාගන්නා විට ඥානවන්ත වෙන්න. දෙවි කරෙහි විශ්වාසය තියලා කටයුතු කළොත් ඔබට හුඟක් වේදනාවලින් වැළකෙන්න පුළුවන්.”

ට්‍රේසි: “‘එහෙම දෙයක් මට නම් වෙන්නේ නැහැ’ කියලා නම් හිතන්න එපා. දවසක් මගේ අම්මා මට තදින්ම කිව්වා මම කරන දෙයින් මට හුඟක් වේදනාවලට මුහුණ දෙන්න සිදු වෙයි කියලා. මට එදා හුඟක් කේන්ති ගියා. මම හිතුවේ මම උගුල්වලට හසු වෙන්නේ නැහැ කියලයි. ඒත් මම අහු වුණා. ඒ නිසා දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වෙන්න. එසේ කරන අයව ඇසුරු කරන්න. එහෙම කළොත් ඔබට හුඟක් සතුටින් ඉන්න පුළුවන්.”

බයිබල් ප්‍රමිති ආරක්ෂාවක්ද?

ඔබ බයිබල් ප්‍රමිති අනුව ජීවත් වන නිසා ඔබ ඔබේ යහළුවන්ගේ සමච්චලයට ලක් වෙනවා නම් ඔබෙන්ම මෙසේ අසාගන්න. බයිබල් ප්‍රමිති අනුව ජීවිත ගත කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඔවුන් බයිබලය කියවා තිබෙනවාද? දෙවිගේ ප්‍රමිති පිළිපැදීමෙන් අත්වන ප්‍රයෝජන ගැන ඔවුන් සොයා බලා තිබෙනවාද? දෙවිගේ ප්‍රමිති කඩ කිරීමෙන් අත්වන ඵල විපාක ගැන දන්නවාද? නැත්නම් ඔවුන් කරන්නේ අනික් හැමෝම කරන දේද?

“වැඩිදෙනෙකුගේ කීම අසා” වැරදි දේ කරන මිනිසුන් ගැන ඔබ දන්නවා ඇති. (නික්මයාම 23:2NW) ඒත් ඔබට ඊට වඩා වෙනස් පුද්ගලයෙක් විය හැකිද? ඔබට එය කළ හැක්කේ කෙසේද? එසේ කළ හැක්කේ බයිබල් ප්‍රමිති පිළිපදිමින් ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගැනීමෙනුයි.’ (රෝම 12:2) දෙවි “සන්තෝෂවත් දෙවි” නිසා ඔහු කැමති අපි සන්තෝෂයෙන් සිටිනවා දකින්නයි. (1 තිමෝති 1:11; දේශනාකාරයා 11:9) දෙවි බයිබලය තුළ ඔහුගේ ප්‍රතිපත්ති සඳහන් කර තිබෙන්නේ ඔබේම ප්‍රයෝජනය සඳහායි. එම ප්‍රමිති ඔබව යම් තාක් දුරකට කොටු කර ඇති බවක් හැඟෙන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ නම් ඒවා පිළිපැදීමෙන් ඔබේ ජීවිතය හුඟක් අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට හැකිවීමයි.

ඇත්තටම ඔබට බයිබලය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකියි. එහි ඇති ප්‍රමිති අනුව ඔබේ ජීවිතය ගත කරනවා නම් ඔබ දෙවිව සතුටට පත් කරනවා විතරක් නොවෙයි ඉන් ඔබට මහත් ප්‍රයෝජන ලැබෙන බව නොඅනුමානයි!—යෙසායා 48:17.

[පාදසටහන]

^ 17 ඡේ. මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීම ඔබට අභියෝගයක් වන්නේ ඇයි?

▪ බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීම හොඳම දේ බවට ඔබ ඔබටම සහතික කරගත යුත්තේ ඇයි?