බයිබලය විශ්වාස කිරීමට හේතු
2. අවංකභාවය
විශ්වාසයක් ගොඩනැඟෙන්නේ අවංකභාවය මතයි. ඒත් දිගටම අවංකව කටයුතු කර තිබෙන පුද්ගලයෙක් ඔබේ විශ්වාසය දිනාගෙන තිබුණත් ඔහු එක බොරුවක් පැවසුවොත් ඔබ තවදුරටත් ඔහු කෙරෙහි විශ්වාසය තබනවාද?
බයිබලය ලියූ ලේඛකයන් සෑම දෙයක්ම නොවළහා පැවසුවා. ඔවුන් ලියූ දේවල් සත්‍යය බවට මෙය හොඳ සාක්ෂියක්.
අඩුපාඩුකම් සහ දුර්වලකම්.
බයිබල් ලේඛකයන් ඔවුන් අතින් සිදු වූ අඩුපාඩුකම් හා දුර්වලකම් වාර්තා කළා. මෝසෙස් ඔහු අතින් සිදු වූ වරදක් හා ඒ නිසා ඔහුට අත් විඳින්න සිදු වූ විපාකය ගැන වාර්තා කර තිබෙනවා. (ගණන් කතාව 20:7-13) එමෙන්ම දුෂ්ටයන් සාර්ථක වෙනවා දුටු විට ඔවුන් කෙරෙහි තමන්ට ඊර්ෂ්‍යාවක් ඇති වූ බව ආසාෆ් සඳහන් කළා. (ගීතාවලිය 73:1-14) තවත් ලේඛකයෙක් වන යෝනා දෙවිට අකීකරු වූ බවත් පසුතැවිලි වූ පව්කාරයන් කෙරෙහි දෙවි කරුණාව පෙන්වූ විට ඔහු ඊට අකමැති වූ බවත් ඔහුම වාර්තා කළා. (යෝනා 1:1-3; 3:10; 4:1-3) එමෙන්ම මතෙව් වාර්තා කරන්නේ යේසුස්ව අත්අඩංගුවට ගත් රාත්රියේදී තමන් ඔහුව අතහැර ගිය බවයි.—මතෙව් 26:56.
තමන්ගේ ජාතිය වන ඊශ්‍රායෙල් සෙනඟ මැසිවිලි නඟන කැරලිකාර සෙනඟක් බව හෙබ්‍රෙව් ලියවිලිවල (පරණ ගිවිසුම) ලේඛකයන් සඳහන් කළා. (2 ලේකම් 36:15, 16) මෙම ලේඛකයන් කාරණා පැවසීමේදී ඔවුන්ගේ ජාතියේ පාලකයන්ගේ වැරදි පවා සැඟවූයේ නැහැ. (එසකියෙල් 34:1-10) ඒ හා සමානව පළමුවෙනි සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි සාමාජිකයන් මෙන්ම වගකීම් දැරූ අය අතර තිබූ ප්‍රශ්න ගැන යේසුස්ගේ අනුගාමිකයන් වාර්තා කළා. එමෙන්ම සමහර ක්‍රිස්තියානි සභාවල තිබූ ප්‍රශ්න ගැන පවා අවංකව ඔවුන් වාර්තා කළා.—1 කොරින්ති 1:10-13; 2 තිමෝති 2:16-18; 4:10.
යෝනා තමන්ගේ දුර්වලකම් වාර්තා කළා
ඇත්ත ඇති සැටියෙන්.
බයිබල් ලේඛකයන් සමහර විෂයන් වඩාත් සිත්ගන්නා ආකාරයෙන් පැවසීම සඳහා කාරණා වැඩි කොට පැවසුවේ නැහැ. තමන්ව මෝඩයන් හා පහත් අය ලෙස එදා සමාජයේ අය සැලකූ බව පැවසීමට පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් පසුබට වූයේ නැහැ. (1 කොරින්ති 1:26-29) යේසුස්ගේ ගෝලයන්ව “නූගත්, සාමාන්‍ය මිනිසුන්” ලෙස ගණන් ගත් බව බයිබල් ලේඛකයන් නොවළහා පැවසුවා.—ක්‍රියා 4:13.
යේසුස් ගැන වාර්තා කළ අය ඔහු කෙරෙහි අන් අයගේ සිත් ඇදගන්නා ආකාරයෙන් තොරතුරු වාර්තා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සාමාන්‍ය පවුලක උපත ලැබූ බවත් එවකට තිබූ ප්‍රසිද්ධ පාසැලකින් සිප් සතර හැදෑරුවේ නැති බවත් වාර්තා කළා. එමෙන්ම ඔහුගේ ඉගැන්වීම් බොහෝදෙනෙක් ප්‍රතික්ෂේප කළ බවත් ලේඛකයන් වාර්තා කර තිබෙනවා.—මතෙව් 27:25; ලූක් 2:4-7; යොහන් 7:15.
බයිබලය ලියවී තිබෙන්නේ අවංකව අදහස් දැක්වූ අයගෙන් බවට බොහෝ සාක්ෂි තිබෙනවා. බයිබලය කෙරෙහි විශ්වාසය තැබීමට ඔබට මෙය හේතුවක් වුණාද?