Skip to content

පටුනට යන්න

අදටත් සුන්දර බ්‍රිතාන්‍යයේ ඇළ මාර්ග

අදටත් සුන්දර බ්‍රිතාන්‍යයේ ඇළ මාර්ග

අදටත් සුන්දර බ්‍රිතාන්‍යයේ ඇළ මාර්ග

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

දහනවවන සියවසේ මුල්භාගයේදී එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්ස් යන රටවල් හරහා කිලෝමීටර් 6,000ක් පමණ දුරකට දිව යන ඇළ මාර්ග තනා තිබුණා. ඒවා සෑදුවේ ඇයි? මේ කාලයේදී ඒවා භාවිත කරන්නේ කවුද?

දහඅටවන සියවසේ කාර්මික යුගයේ ආරම්භයත් සමඟම අමුද්‍රව්‍ය හා නිෂ්පාදිත භාණ්ඩ අඩු මිලට හා ඉක්මනින් ප්‍රවාහණය කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟුණා. ඊට කලින් භාණ්ඩ ප්‍රවාහණය කළේ අශ්ව කරත්තවලිනුයි. වැසි කාලයේදී මඩ සහිත පාරවල් එරෙන නිසා ඒ ක්‍රමය පහසු වුණේ නැහැ. නමුත් ඇළ මාර්ගවල යාත්‍රා කිරීමට සාදා තිබුණු බෝට්ටුවක ටොන් 30ක පමණ බරක් ගෙන යා හැකි වූ අතර එය ඇදගෙන යෑමට අවශ්‍ය වුණේ එක අශ්වයෙක් පමණයි.

වර්ෂ 1761දී බ්‍රිජ්වෝටර් නගරයේ ආදිපාදවරයා කිලෝමීටර් 16ක් ඈතින් තිබූ මැන්චෙස්ටර් නගරයේ සිටි පාරිභෝගිකයන්ට තම ආකරවල ගල් අඟුරු ප්‍රවාහණය කිරීම සඳහා ඇළ මාර්ගයක් තැනුවා. එමගින් ආදිපාදිවරයාට මුදල් පැත්තෙන් වාසියක් වුණා පමණක් නොව මැන්චෙස්ටර්හි ගල් අඟුරුවල මිලත් දෙගුණයකින් අඩු වුණා. වර්ෂ 1790දී වඩාත් සංකීර්ණ ඇළ මාර්ග පද්ධතියක් සෑදුවා. පසු කාලෙකදී එම ඇළ මාර්ගයට එංගලන්තයේ ප්‍රධාන ගංගා හතරක් සහ වරායන් පිහිටි කාර්මික ප්‍රදේශය සම්බන්ධ කළා. මෙලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රවාහණ කටයුතු සඳහා ඇළ මාර්ග දායක වූ යුගයක් බිහි වුණා.

ඇළ මාර්ග තැනීම සහ භාවිතය

ජේම්ස් බ්‍රින්ඩ්ලි එවකට ජීවත් වූ දක්ෂ ඉන්ජිනේරුවරයෙක්. ඔහු ඇළ මාර්ග තැනුවේ පිඹුරුපත් හෝ වෙනත් පොත් පත් උපයෝගි කරගෙන නෙවෙයි. තම හැකියාවන් ප්‍රගුණ කරගැනීමෙන් ඔහු කිලෝමීටර් ගණනාවක් දිව යන ඇළ මාර්ග තැනුවා. ඔහුගේ මූලිකත්වයෙන් තැනුණු වාරිමාර්ග, උමං හා ඇළ දොරටු අදටත් දකින්න ලැබෙනවා.

ඇළ මාර්ගයේ යාත්‍රා කළ අඩි 70ක් පමණ දිග අඩි හතක් පමණ පළල ලීවලින් තැනූ වහලක් නොමැති බෝට්ටුවලින් ගල් අඟුරු, හුණුගල්, කිරි මැටි, ලෝපස්, ගඩොල් සහ පිටි වර්ග වැනි දෑ තොග පිටින් ගෙන ගියා. එම බෝට්ටු ඇදගෙන ගියේ ඇළ දෙපැත්තේ ගොඩබිම් තීරයේ ගමන් ගත් අශ්වයන් විසිනුයි. අශ්වයන් ඉතා වේගයෙන් ගමන් කළ නිසා බඩු තොග ඉතා ඉක්මනින් ඇදගෙන යෑමට හැකි වුණා.

මඟීන් 120දෙනෙකුව පමණ ගෙන යා හැකි වඩා දියුණු තත්වයක තිබුණු බෝට්ටු ඇදගෙන යෑම සඳහාත් අශ්වයන්ව යොදාගත්තා. සාමාන්‍යයෙන් පැයකට කිලෝමීටර් 15ක පමණ වේගයකින් අශ්වයන් එම බෝට්ටු ඇදගෙන ගියා. එම බෝට්ටු සාදා තිබුණේ ඕනෑම බාධකයක් ඉවත් කර ඉදිරියට යා හැකි ආකාරයකිනුයි. මෙසේ ඇළ මාර්ග තැනීමත් සමඟ සාමාන්‍ය ජනතාවට පහසුවෙන් හා අඩු මිලකට වැඩි දුරක් ගමන් කිරීමට මුල්ම වතාවට අවස්ථාව උදා වුණා.

බෝට්ටුව නවාතැනක් වී

බෝට්ටුවල සේවය කරන ඔවුන්ගේ කාර්යයන් එතරම් පහසු නොවූ අතර එය අනතුරුදායක වුණා. එපමණක්ද නොව ඔවුන්ට අධ්‍යාපනය ලබන්නවත් මිනිසුන් සමඟ ඇසුරු කරන්නවත් හැකි වුණේ නැහැ.

මෙම බෝට්ටුවල ජීවත් වූ අය එම බෝට්ටු මතුපිට අලංකාර දර්ශන ඇඳ තිබුණා. බෝට්ටුවේ පිටුපස කොටසේ නිදන කාමර සාදා තිබුණා. බෝට්ටුව පදවන්නා ඇතුළු ඔහුගේ පවුලේ අය ජීවත් වුණේ ඒ කාමරයෙයි. සාමාන්‍යයෙන් එවැනි කාමරයක දිග අඩි දහයක් වූ අතර පළල අඩි හතක් වුණා. එමනිසා ඉඩ පිරිමහ ගැනීමට හැකි වන සේ අකුළා තැබිය හැකි ඇඳවල්, බඩු රාක්ක සහ පුටු ඔවුන් දක්ෂ ලෙස සෑදුවා. රාක්ක අලංකාර රේන්දවලින් සරසා තිබූ අතර විසිතුරු පිත්තල භාණ්ඩ ලිප අසල තබා තිබූ නිසා එමගින් ආලෝකය විහිදුණා. සාමාන්‍යයෙන් බෝට්ටුවක බඩු ගෙන යද්දී එය අපිරිසිදු වීමට තිබෙන ඉඩ කඩ වැඩියි. නමුත් බෝට්ටුව පදවන්නාගේ භාර්යාව වෙහෙස වී පවුලේ වැඩ කටයුතු කරන අතරතුරේදීම බෝට්ටුවත් පිරිසිදුව තබාගැනීමට ඇයට හැකි උපරිමය කළා. ඒ නිසා සුක්කානම ක්‍රියාත්මක කිරීමට භාවිත කළ උපකරණයේ පවා දිදුලන බවක් දකින්න ලැබුණා.

ජරාවාස වීම සහ අද තත්වය

වර්ෂ 1825දී ඇළ මාර්ග පද්ධති සාදා නිමවීමට ආසන්නව තිබියදී ජෝර්ජ් ස්ටීවන්සන් විසින් ස්ටොක්ටොන් හා ඩාලින්ටන් යන ප්‍රදේශ අතර දුම්රිය මාර්ගයක් සෑදුවා. එතැන් සිට ඇළ මාර්ග ඔස්සේ ගෙන ගිය දේවල් වසර 20ක කාලයක් පුරා දුම්රිය මාර්ග ඔස්සේ ගෙන යෑමට හැකි වුණා. ඒ හේතුවෙන් ඇළ මාර්ග පාළුවට ගිය අතර සමහර ඇළ මාර්ග දුම්රිය දෙපාර්තුමේන්තුව යටතට පත් කරගත්තා. පළමුවෙනි ලෝක මහා යුද්ධයෙන් පසු මහ මාර්ග තැනීමත් සමඟ ඇළ මාර්ග තවත් පිරිහෙන්න පටන්ගත්තා. එම ඇළ මාර්ග නැවතත් හොඳ තත්වයට පත් වෙයි කියා කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ.

කෙසේවෙතත් පසුගිය අවුරුදු 50 තුළ නොයෙක් පුද්ගලයන් හා කණ්ඩායම් දැරූ වෙහෙස නිසා එය එසේ නොවීම සතුටට හේතුවක්. අදටත් ඇළ මාර්ග හරහා සමහර බෝට්ටුවලින් බඩු රැගෙන ගියත් තවත් බෝට්ටු නිවාස බවට හෝ මඟී යාත්‍රා බවට පත් වී තිබෙනවා. කිලෝමීටර් 3,000ට වඩා දිව යන මෙම ඇළ මාර්ග ඔස්සේ ගමන් කරද්දී බ්‍රිතාන්‍යයේ දර්ශනීය ස්ථාන නැරඹීමට හැකි වෙනවා. මෙම මඟී යාත්‍රාවල පැරණි සම්ප්‍රදායන්වලට අනුව දේවල් සිදු වෙනවා. උදාහරණයකට ඔවුන් ඇළ මාර්ගවල මංගල්‍යයන් පවත්වන නිසා එම ඇළ මාර්ග ජනප්‍රිය වී තිබෙනවා. ඒ නිසා වෙළඳ භාණ්ඩ ප්‍රවාහණය කිරීමට ඇළ මාර්ග යොදාගත් කාලයට වඩා මේ වන විට ඒවා වැඩියෙන් භාවිත කෙරෙනවා. එමෙන්ම වසර 200 කලින් ඒ ඇළ මාර්ග තිබුණු ආකාරයටම නැවත පිළිසකර කර තිබෙනවා.

ඇළ දෙපස පිළිසකර කිරීම හේතුවෙන් ඇවිදීමට යන අයට, සයිකල්කරුවන්ට හා මසුන් අල්ලන්නන්ට එතරම් ප්‍රසිද්ධ නැති කුඩා නගර හා ගම්බද පළාත් දැකගැනීමට හැකි වී තිබෙනවා. ඇළ මාර්ගවල ජල මට්ටම පවත්වාගැනීම සඳහා සාදා තිබෙන ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වනසතුන්ට තෝතැන්නක්. ඇළවල්වල පවා ජලජ ශාක හා නොයෙක් ජීවීන් දැකගන්න පුළුවන්.

බ්‍රිතාන්‍යයේ ඇළ මාර්ග නිසා විශාල වෙනසක් ඇති වුණත් ඉන් බලාපොරොත්තු වූ තරම් හොඳ ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒවා තැනුවේ භාණ්ඩ ප්‍රවාහණය කිරීමට වුණත් දැන් නම් ඒවා යොදාගන්නේ විවේක කාලය ගත කිරීමටයි.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

උමං අතරින් යාත්‍රා කිරීම

ස්වයංක්‍රීයව යාත්‍රා නොකරන බෝට්ටුවක් උමඟක් තුළින් ගෙන යෑම ඉතා දුෂ්කර වුණා. බෝට්ටු පදවන්නන් උමං අතරින් බෝට්ටු ගෙන යෑමට යම් ක්‍රමයක් අනුගමනය කළා. ඔවුන් බෝට්ටුවේ ඉදිරිපස කොටසේ දෙපසින් දිග අතට ලෑලි දෙකක් සවි කර එය තදින් අල්ලාගෙන ලෑලි මත දිගා වී උමඟේ බිත්තියට පාද තද කරමින් බෝට්ටුව ඉදිරියට ගෙන ගියා. බොහෝවිට උමඟේ අඳුර මකන්න ඔවුන් සතුව තිබුණේ එක ඉටිපන්දමක් පමණයි. මේ ආකාරයට බෝට්ටුව ගෙන යද්දී කකුල බිත්තියේ තැබීමට නොහැකි වුණොත් කෙනෙක් වතුරට වැටී උමඟේ බිත්තියට හා බෝට්ටුවේ බඳට හිර විය හැකියි. බ්‍රිතාන්‍යයේ ඇළ මාර්ගවලට සම්බන්ධ උමං බොහෝමයක් තිබෙනවා. එහි තිබෙන දිගම උමඟ කිලෝමීටර් පහක් පමණ වෙයි.

[හිමිකම් විස්තර]

Courtesy of British Waterways

[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දක්ෂ ශිල්ප ක්‍රම

සාමාන්‍යයෙන් ජලය පහත් බිමක සිට උස් බිමකට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඇළ මාර්ගයක් ඉදිරියේ උස් බිමක් තිබෙනවා නම් එම බාධකය මඟහැරීමට ඇළ වෙනත් පැත්තකට හරවන්න සිදු වෙනවා. එවිට ඇළ මාර්ගය වඩාත් දීර්ඝ වෙයි. එසේ නැත්නම් උස්බිමේ උමඟක් සෑදීමෙන්ද ඇළ මාර්ගය තනන්න පුළුවන්. තවත් ක්‍රමයක් වන්නේ ඇළ මාර්ගයේ ජල මට්ටම ඉහළ හෝ පහළ දැමිය හැකි වන සේ ඇළ දොරවල් සෑදීමයි. මෙම ක්‍රමයේදී සිදු වන්නේ බෝට්ටුවක් ඇළ දොරවල් දෙකක් අතරට පැමිණි පසු දොරවල් දෙක වසා එහි ජල මට්ටම ඉදිරියේ තිබෙන ජල මට්ටමට සරිලන ලෙස ඉහළ නැංවීමයි. මේ ක්‍රමය යොදාගෙන බෝට්ටුවක් පහත් බිමක සිට උස් බිමකට හෝ උස් බිමක සිට පහත් බිමකට පහසුවෙන් ගෙන යා හැකියි.

නමුත් ඇළ දොරවල් අබලන් වූ විට ඒවා පිළිසකර කිරීම පහසු නැහැ. නිදසුනකට ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හා ග්ලාස්ගෝ යන නගර දෙක අතර ඇළ දොරවල් 11කින් සමන්විත පැරණි ඇළ මාර්ගයක් තිබෙනවා. එම ඇළ එක් කොනකින් ෆෝර්ත් හා අනිත් කොනෙන් ක්ලයිඩ් මුහුදු තීරයටත් සම්බන්ධයි. එම ඇළ දොරවල් පිළිසකර කිරීමට හැකි වුණොත් යූනියන් නම් තවත් ඇළකට සම්බන්ධ විය හැකියි. නමුත් එය ප්‍රායෝගික දෙයක් නොවන නිසා මිනිසුන් විසින් වෙනත් ක්‍රමයක් අත්හදා බැලුවා. ඒ සඳහා අඩි 115ක් පමණ උස කැරකැවෙන යන්ත්‍රයක් ඔවුන් නිර්මාණය කළා. මේ යන්ත්‍රයට පහත් මට්ටමක සිට ඉහළට හෝ ඉහළ සිට පහළට බෝට්ටු ගෙන ආ හැකියි. එම යන්ත්‍ර මගින් විනාඩි 15ක කාලයක් තුළ බොට්ටු අටක් රැගෙන යා හැකියි.

ලන්ඩනයේ එක් සඟරාවක මෙය හඳුන්වූයේ ඉතා “පුදුම දනවන නිර්මාණයක්” ලෙසයි. මෙය ඉදි කර තිබෙන්නේ බෝට්ටු 20ක් පමණ නවතා තැබිය හැකි වෘත්තාකාර ජල තටාකයකයි.—The Times.

[හිමිකම් විස්තර]

Top right: Courtesy of British Waterways

[16, 17වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බෝට්ටුවේ ගිය විනෝද ගමනක්

මමයි මගේ බිරිඳයි නිවාඩුවක් ගත කරන්න ගිය අවස්ථාවකදී ඇළ මාර්ග හරහා බෝට්ටුවෙන් ගමනක් ගියා. ඒ අවට තිබුණේ හරිම සන්සුන් පරිසරයක්. මේ වගේ බෝට්ටුවකින් පැයක් ඇතුළත යන්න පුළුවන් වෙන්නේ කිලෝමීටර් පහක දුරක් විතරයි. එතරම් අඩු වේගයකින් බෝට්ටුව යාත්‍රා කරන්නේ ඇළ දෙපස ඇති බැම්මට හානි නොවෙන්නයි. බෝට්ටුව යන්නේ කොතරම් අඩු වේගයකින්ද කියනවා නම් ඇළ දෙපස තීරයේ ඇවිදින මඟීන් බෝට්ටුවට වඩා වේගයෙන් ගමන් කරනවා.

බෝට්ටුව හෙමින් යාත්‍රා කිරීමේ ඇති තවත් වාසියක් වන්නේ අවට පරිසරය නැරඹීමට හැකිවීමයි. සාමාන්‍යයෙන් අපි ගමන පටන්ගන්නේ සවුත් වේල්ස්වල බ්‍රෙකන් ඇළෙන් යන බෝට්ටුවකින්. කිලෝමීටර් 50ක් පමණ දිග එම ඇළ අඩි 2,900කට වඩා උස බ්‍රෙකන් කඳු දක්වා දිව යනවා. සමහර අවස්ථාවලදී ජල මට්ටම උස් පහත් කිරීමට තනා තියෙන ඇළ දොරවල් අතරින් යන්නත් සිද්ධ වෙන නිසා අපිට තවත් විනෝද වෙන්න පුළුවන් වුණා.—15වන පිටුව බලන්න.

මෙම බෝට්ටුවල හැම පහසුකමක්ම වගේ තියෙනවා. සමහර බෝට්ටුවල නිදන කාමර දෙකක් තිබෙන අතර ඒවාටම අලළා නාන කාමරයක් සහ වැසිකිලියක්ද සාදා තිබෙනවා. එමෙන්ම ශීත කාලයේදී උණුසුම ලබාගැනීමට ගිනි උඳුනක්ද එහි සවි කර තිබෙනවා. අපේ කෑම අපිම හදාගත්තත් අවශ්‍ය නම් ඇළ දෙපස තීරයේ තියෙන ආපන ශාලාවකින් රස කෑමක් කන්නත් පුළුවන්.

උදේ පාන්දරට ඇළ මාර්ගය හරිම නිස්කලංකයි. ඒ නිසා අවට තිබෙන ගස් කොළන්, කඳු මේ හැම දෙයක්ම ඇළේ වතුරෙන් පෙනෙන්නේ හරියට කණ්ණාඩියකින් පෙනෙනවා වගේයි. ඒ වෙලාවට කුරුල්ලන්ගේ ගී නාදය අපේ දෙසවන් පිනවනවා.

[හිමිකම් විස්තර]

Courtesy of British Waterways

Top right: By kind permission of Chris & Stelle on Belle (www.railwaybraking.com/​belle)

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of British Waterways