Skip to content

පටුනට යන්න

තායිලන්ත කෑම වේලක රස බලමුද?

තායිලන්ත කෑම වේලක රස බලමුද?

තායිලන්ත කෑම වේලක රස බලමුද?

මැලේසියාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබ තායිලන්තයේ බැංකොක් නුවර ජනාකීර්ණ වීදියක් දිගේ ගමන් කරනවා යයි සිතන්න. හදිස්සියේම ඔබට රස වෑහෙන සුවඳක් දැනේවි. දැන් ඔබ ටිකකට එතන නැවතිලා සුවඳ හමා ආ පැත්තට හැරෙනවා. එවිට ඔබ දකින්නේ එළිමහනේ කෑම හදමින් සිටින කෝකියන්වයි. ඔබ එතැනට ළං වෙද්දී ආකර්ෂණීය පාටවලින් යුත් කෑම වර්ග දකිනවා. එහි ඇති සුවඳ හා පාට නිසා එය රස බලන තෙක් ඔබට ඉවසිල්ලක් නැති බව නම් ස්ථිරයි.

තායිලන්තයේ කෑම වර්ග සාදන්නේ හොඳින් තෝරාගත් පලා ජාති, මුල් වර්ග, කොළ වර්ග, ඇට වර්ග යොදාගෙනයි. ඒ නිසා මේ කෑමවල පැණි රස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස හා දැවිල්ලද අඩංගුයි. එයින් හමන සුවඳ කොතරම්ද කියනවා නම් එවැනි කෑම වේලක රස බලන්න ඔබට සිතෙන බව නම් අනිවාර්යයි. ඒ වගේම තායිලන්තයේ මෙච්චර රසැති කෑම තියෙන්නේ කොහොමද කියලා ඔබට සිතෙයි. එයට පිළිතුරු දැනගැනීමට අපි තායිලන්තයේ ඉතිහාසයට ටිකක් යමු.

විවිධ රටවලින් පැමිණි රසයන්

ආසියාවේ එක් රටක සිට තවත් රටකට සංචාරය කරන බොහෝදෙනා තායිලන්තයට පැමිණෙනවා. අතීතයේදීත් එසේ සිදු වී තිබෙන නිසා චීන, ලාඕස, කාම්බෝජියානු, ඉන්දුනීසියානු හා යුරෝපීය ජාතිකයන් තායිලන්තය හරහා ගමන් කළා. ඒ අයගෙන් සමහරුන් තායිලන්තයේ නැවතී ජීවත් වෙන්න තීරණය කළා. ඒ අය තම මව් රටේ ආහාර වට්ටෝරු තායිලන්තයේදීත් භාවිත කළා. විවිධ වර්ගයේ රසයන් හා සුවඳ ඇති කෑම වර්ග මෙතරම් ප්‍රමාණයක් තායිලන්තයේ දකින්න තිබෙන්නේ ඒ නිසයි.

පසු කලක ඉන්දියානු සංචාරකයන් තායිලන්ත ජාතිකයන්ට හොදි සහිත කෑම පිසින හැටි පුරුදු කළා. දහසයවන සියවස වන විට පෘතුගීසි ජාතිකයන් මිරිස් සහ තක්කාලි තායිලන්තයට රැගෙන ආ බවට විශ්වාස කරනවා. අද වන විට තායිලන්තයේ විවිධ කුළුබඩු යොදාගනිමින් විවිධ වර්ගයේ කෑම ජාති භාවිතයට ගන්නවා. තායිලන්තයට නැඟෙනහිර රටවල්වලින් පැමිණි අයද මිරිස් සහ අඹරාගත් කුළුබඩු භාවිත කරමින් සාදන කෑම ජාති තායිලන්තයට හඳුන්වා දුන්නා. මේ හේතූන් නිසා ලෝකයේ විවිධ රටවල ඇති කෑම ජාති තායිලන්තයේදීම ඔබට භුක්ති විඳිය හැකියි.

විවිධ රසයන්ගෙන් යුත් කෑම

නියම තායිලන්ත කෑම වේලකට සුප් වර්ගයක්, සලාද වර්ගයක්, හොදි වර්ගයක්, සෝස් වර්ගයක් හා යාන්තමට බැඳගත් මස් මාළු හෝ එළවළු ජාතියක් අඩංගුයි. ඒ වගේම ඒ ආහාර වේලට වාෂ්පයෙන් තම්බාගත් සුදු බත් වර්ගයක්ද අඩංගුයි. එයට ඔවුන් පොල් කිරිද යොදාගන්නවා. අතුරුපස සාදාගැනීමට ඔවුන් නිතරම වගේ සීනි, බිත්තර හා පොල් කිරිද යොදාගන්නවා.

පෝෂ්‍යදායි කෑම වේලක් පිළියෙල කිරීමට නම් ඊට අවශ්‍ය ද්‍රව්‍යයන් නිතරම පිරිසිදුව හා අලුත්ව තිබිය යුතුයි. තායිලන්තයේදී නම් මේවා ඕනෑම තැනකින් ලබාගත හැකියි. එහි ඇති වෙළඳසැල්වල අලුත් එළවළු, පලතුරු, මාළු සහ කුළුබඩු ඕනෑ තරම් විකුණන්න තිබෙනවා. ඒ කුළුබඩු අතරට සේර, කොත්තමල්ලි, සුදුළුණු, ඉඟුරු, කරදමුංගු, සියඹලා සහ සූදුරු ඇතුළත්. එමෙන්ම තායිලන්තයේ ආහාරවලට නැතුවම බැරි මිරිස් සහ දෙහි එහි වෙළඳසැල්වලින් ලෙහෙසියෙන්ම ලබාගත හැකියි.

ඔබ තායිලන්තයට යනවා නම් හෝ නිවෙසේදී තායිලන්ත කෑමක් පිළියෙල කරනවා නම් තෝම් යම් ගූං නමින් හඳුන්වන කුඩා ඉස්සන් යොදා සාදාගත් තායි සුප් වර්ගය අත්හදා බලන්න. ඔබට තවත් අත්හදා බලන්න පුළුවන් ගස්ලබු සලාද, බැදපු කුකුල් මස් හෝ තාරා මස් සමඟ නුඩ්ල්ස් සහ ලුණු ඇඹුල් අත ගාගත් මාළු වගේ දේවලුත්. ඒ වගේම “පිම්මේ දුවන අශ්වයා” යන අරුත ඇති මාහෝ නම් ආහාර වර්ගයත් ඔබට අත්හදා බැලිය හැකියි. එය සාදන්නේ ඌරු මස්, ඉස්සෝ, රටකජු සහ අන්නාසි යොදාගෙනයි. එමෙන්ම එය ඉදුණු මිරිස් සහ කොත්තමල්ලි කොළවලින් අලංකාර කර තිබෙනවා. අතුරුපස සඳහා විශේෂ සහල් වර්ගයකට (sticky rice) පොල් කිරි සහ අඹ වර්ගයක් එකතු කර සාදාගත් කෑමක් රස විඳින්නත් ඔබට හැකියි.

තායි කෑමක් ආහාරයට ගත හැකි සුදුසුම ක්‍රමය කුමක්ද? තායිලන්තයේ සමහර පළාත්වල සිටින අය කෑම කන්නේ අතින්. ඔවුන් ඇඟිලිවලින් කුඩා බත් ගුලි සාදාගෙන ඒවා සෝස්වල තවරා එය ඉක්මනින් කටට දා ගන්නවා. නුඩ්ල්ස් කන විට ඒ සඳහා ඔවුන් ලී කූරු දෙකක් භාවිත කරනවා. නමුත් ලී කූරු පාවිච්චි කිරීමට හුරු නැති අය හැන්දක් හා ගෑරුප්පුවක් භාවිත කරනවා.

දැන් ඔබටත් තායි කෑමක රස බලන්න ආසාවක් ඇති වුණාද? මෙම අලංකාර ආසියානු රටේ ඇති ආහාර ගැන ඔබ කියවීමෙන් ඔබට තවත් ආහාර වට්ටෝරු ගැන දැනගන්න ආශාවක් ඇති වන බව නම් ස්ථිරයි.

[23වන පිටුවේ පින්තූර]

1 තෝම් යම් ගූං සුප් වර්ගය

2 ඌරු මස් හා කුඩා ඉස්සන් සමඟ නුඩ්ල්ස්

3 ගස්ලබු සලාද

4 මාහෝ

5 පොල් කිරි හා අඹ මිශ්‍ර කළ බත්