Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ ඇයි?

භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ ඇයි?

එක් ආසියාතික රටක භූතයන්ට වන්දනාමාන කරන උත්සවයක් පැවැත්වෙනවා. එම උත්සවය අතරමැදදී ස්ත්‍රීන් දෙදෙනෙක්ට භූතාවේශ වෙන්න පටන්ගන්නවා.

පෝටෝ රිකෝ නම් දූපතේ සිටින මිය ගිය අයගෙන් විචාරන ස්ත්‍රියක් එක්තරා භූත ආත්මයක් කැඳවීමෙන් පසුව ඇය දකින දේ විස්තර කරද්දී කාමරයේ සිටින සියලුදෙනාටම එම භූත ආත්මය වැහී ඔවුන්ව ආවේශ වෙන්න පටන්ගන්නවා.

අද බොහෝ රටවල මෙවැනි ක්‍රියාවලට මිනිසුන්ගේ දායකත්වය බහුලව දකින්න ලැබෙන අතර අද්භූත දේවල් කෙරෙහි මිනිසුන්ගේ තිබෙන විශ්වාසයද වැඩි වන බව පෙනී යනවා. මායාබන්ධන හා අද්භූත දේවල් ඇතුළත් පොත් පත්, ක්‍රීඩා, රූපවාහිනි වැඩසටහන් හා චිත්‍රපට වෙන කවරදාටත් වඩා වැඩි වන බවක්ද පෙනෙන්න තිබෙනවා.

කෙසේවෙතත් ඉහත සඳහන් සෑම දෙයක්ම බයිබලයේ හඳුන්වන්නේ භූතයන් සම්බන්ධ වී කරන ක්‍රියා හැටියටයි. මෙවැනි ක්‍රියාවලින් කිසිදු හානියක් සිදු නොවන බවත් හුදෙක් ආස්වාදයක් ලැබිය හැකි දෙයක් පමණක් බවත් අපි කිසිවිටකත් නොසිතිය යුතුයි. බයිබලයේ භූතයන් කියා හඳුන්වන්නේ දෙවිට අකීකරු වූ දේවදූතයන්වයි. එවන් ක්‍රියාවලට අනුබල දෙන්නේ එම භූතයන් වන නිසා ඒවාට යම් කෙනෙක් සම්බන්ධ වෙනවා කියන්නේ භූතයන් එක්ක ඔහු කටයුතු කරනවා කියන එකයි.—එළිදරව් 12:9, 12.

භූතයන් හා සම්බන්ධ ක්‍රියා මසුන් ඇල්ලීමට භාවිත කරන ඇමවලට සමාන කරන්න පුළුවන්. මසුන් අල්ලන්නෙක් මසුන් අල්ලාගැනීමට විවිධ ඇම භාවිත කරනවා හා සමානව භූතයන්ද මනුෂ්‍යයන්ව නොමඟ යැවීමට විවිධ ක්‍රම යොදාගන්නවා. මෙම භූතයන්ගේ ප්‍රධානියා වන සාතන්ව බයිබලයේ හඳුන්වන්නේ “මේ [දුෂ්ට] සමාජ ක්‍රමයේ දෙවි” ලෙසයි. දෙවි පිළිබඳ සත්‍යය හා ඔහුගේ අරමුණු ගැන මිනිසුන්ට වටහාගැනීමට නොහැකි වන ලෙස සාතන්, මිනිසුන්ගේ මනස් අන්ධ කරනවා.—2 කොරින්ති 4:4.

භූතයන් හා සම්බන්ධ ක්‍රියාවල අරමුණ

දුෂ්ට භූතයන් මෙසේ මිනිසුන්ව නොමඟ යැවීමේ අරමුණ වන්නේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධයට හානි වන සේ අපිව වෙනතකට යොමු කරවීමයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අකීකරු වීම සඳහා ඔවුන් අපිට බලපෑම් කරනවා. ඒ නිසා කෙනෙක් භූතයන් හා සම්බන්ධ ක්‍රියාවල යෙදීමෙන් ඔහු දෙවිගේ අනුමැතිය අහිමි කරගන්නා අතර බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත් වෙනවා. අවසානයේදී අද්දකින්නේ විනාශය පමණයි.—එළිදරව් 21:8.

පෝටෝ රිකෝහි වෙසෙන ලූයිස් මෙසේ පවසනවා. ‘පුංචි කාලේ ඉඳලා මමත් මගේ පවුලේ අයත් භූතයන් හා සම්බන්ධ දේවල හවුල් වුණා. ඒක අපි අදහපු ආගමටත් සම්බන්ධයි. මම හිතුවේ ශාස්ත්‍ර කියන්න මට තියෙන හැකියාව මට ලැබුණු දායාදයක් කියලයි. ඒ නිසා මම අනිත් අය වෙනුවෙන් ලොතරැයි අරගෙන, ඒවා දිනලා ඒ අයට සල්ලිත් හොයලා දීලා තියෙනවා. ඒත් ඒ හැම දෙයකින්ම වුණේ දෙවිගෙන් ඈත් වෙන එක විතරයි.’—යොහන් 17:3.

බොහෝ අය සිතනවා එවැනි ක්‍රියාවලින් කිසිම හානියක් නැහැ කියලා. එමගින් බොහෝ යහපතක් සිදු වන බව ඔවුන් විශ්වාස කරනවා. එමෙන්ම භූතයන් තමන්ට යහපතක් වීමට උපකාර කරයි කියා සිතන ඔවුන් දැනුම, ධනය හා ජීවිතේ සතුට පවා භූතයන් ඔවුන්ට ලබා දෙයි කියා ඔවුන් සිතනවා. නමුත් ලූයිස් පවසන ආකාරයට භූතයන්ගෙන් යම් ප්‍රයෝජනයක් ලබාගන්නවා කියන්නේ තවත් හානියකට මිනිසුන්ට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එකයි.

නිතරම භූතයන්ගේ හිරිහැරවලට ලක්වූ යෞවනයෙක් වන චැඩ් මෙසේ පවසනවා. ‘හැම රැයකම භූතයන් මට හිරිහැර කළා. මම භයානක හීන දැක්කා. මේක මට හරිම කරදරයක් වුණා.’ එවැනි හිරිහැරවලින් අපිට ආරක්ෂා විය හැක්කේ කෙසේද?

ආරක්ෂාව ලැබිය හැකි අයුරු

මෙවැනි දේවලින් ආරක්ෂා වීමට නම් භූතයන් හා සම්බන්ධ සියලු දේවලින් අපි වැළකී සිටිය යුතුයි. (ගලාති 5:19-21) යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට මෙසේ අනතුරු අඟවනවා. ‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් පේනකීමටවත්, මන්තර ගුරුකම්වලටවත්, නිමිති බැලීමටවත්, මැතිරීම්වලටවත් සම්බන්ධ නොවිය යුතුයි. කිසිම කෙනෙක් කොඩිවින, හදි හූනියම් කරන්නවත්, කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත්, මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් නොපෙලඹිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙකුවම යෙහෝවා දෙවි පිළිකුල් කරනවා.’—ද්විතීය කතාව 18:10-12, නව ලොව පරිවර්තනය.

ඉහත සඳහන් දෙවිගේ අනතුරු ඇඟවීමට එකඟව බොහෝ අය භූතයන් හා සම්බන්ධ පොත් පත් හා වෙනත් දේවල් විනාශ කර දැමීමෙන් ආරක්ෂා වීමට පියවර ගෙන තිබෙනවා. කෙන් එවැනිම දෙයක් කළා. ඔහු ඒ ගැන පවසන්නේ මෙසේයි. “මං ගාව තිබුණු බඩුවලින් ඒවට සම්බන්ධයි කියලා හිතුණු හැම දෙයක්ම මම විනාශ කළා.”—ක්‍රියා 19:19, 20 කියවන්න.

මෙවැනි ක්‍රියාවලින් ආරක්ෂාව ලැබිය හැකි හොඳම ක්‍රමය වන්නේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් ගොඩනඟා ගැනීමයි. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය. දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය. පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න. දෙගිඩියාවෙන් සිටින්නෙනි, ඔබේ සිත් පවිත්‍ර කරගන්න.”—යාකොබ් 4:7, 8.

බයිබලයේ තවදුරටත් පවසන්නේ දෙවිගේ සේවකයන් “සාතන්ගේ උපායවල් දැනගෙන සිටින” බවයි. (2 කොරින්ති 2:11; 11:14) මෙසේ දෙවිට ළංව සිටින අය එම උපායන් හඳුනන්නේ දෙවි එවැනි ක්‍රියාවන් ගැන ඔවුන්ව දැනුවත් කර තිබෙන නිසයි. ඒ විතරක් නොවෙයි යෙහෝවා දෙවි සර්වපරාක්‍රම දෙවි නිසා ඔහුගෙන් උපකාර අයදින අයව භූතයන් කරන හිරිහැරවලින් ආරක්ෂා කිරීමටද ඔහුට හැකිකම තිබෙනවා. කලින් සඳහන් කළ චැඩ්ගේ අද්දැකීමත් එයයි. ඔහු පැවසුවේ, “කවුද මට හිරිහැර කරන්නේ කියලා දන්න නිසා ඔවුන්ගේ බලපෑම්වලින් මාව ආරක්ෂා කරන්න කියලා මම යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා” කියායි.—ගීතාවලිය 91:1, 2.

දෙවිට ළංව සිටින සියලුදෙනාටම දෙවි දෙන ආරක්ෂාව නිසා ඔවුන් දැන් ප්‍රීතියක් අද්දකිනවා. ඒ වගේම නුදුරු අනාගතයේදී යෙහෝවා දෙවි භූතයන් සහ ඔවුන්ගේ සියලුම ක්‍රියාවලට සම්බන්ධ අයව විනාශ කර දමන බව දැන සිටීමත් ඔවුන්ගේ සතුටට හේතු වී තිබෙනවා. භූතයන්ගෙන් කිසිම බලපෑමක් එල්ල නොවන සාමය හා සතුට පමණක් රජයන ලොවක ජීවත් වීම ගැන ඔබට සිතාගත හැකිද!—යෙසායා 11:9; එළිදරව් 22:15.