Skip to content

පටුනට යන්න

වරද කොතැනද?

වරද කොතැනද?

වරද කොතැනද?

විවාහය කියන්නේ රෝස මල් යහනාවක් නොවෙයි. හොඳින් ගැළපෙන විවාහ යුවළයන් අතර පවා එකඟ නොවීම් ඇති වෙන්න පුළුවන්. එය හරියට තීන්ත ආලේප කර තිබෙන ලෝහයක් යටින් මළ බැඳෙනවා වගෙයි. පිටතින් එය නොපෙනුණත් ටිකෙන් ටික මළ බැඳෙන විට ඒ ලෝහය පළුඳු වී යා හැකියි. ඒ හා සමානව විවාහ ජීවිතයේදී පැනනඟින සමහර ප්‍රශ්න ගැටලු නිසා කෙමෙන් කෙමෙන් විවාහයද පළුදු වෙන්න පුළුවන්. එවැනි ගැටලු ජය ගත හැක්කේ කෙසේද? එය දැනගැනීම සඳහා අපි මුලින්ම ගැටලු ඇතිවීමට හේතු විය හැකි සාධක කිහිපයක් සලකා බලමු.

ගැටලු උග්‍ර වන කාලයක්

අද කාලයේ ජීවත් වන මිනිසුන්ගේ ගතිලක්ෂණ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර අය වන්නෝය.” (2 තිමෝති 3:2-4) ඉහත සඳහන් ගතිලක්ෂණ විවාහයන් තුළටත් කාන්දු වුණොත් ඔවුන් අද්දකින ගැටලු තව තවත් උග්‍ර වෙන්න පුළුවන්.

එක් සමීක්ෂකයෙක් මෙසේ අදහස් දක්වනවා. ‘සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය මඟ පෙන්වීම් වෙන කවරදාටත් වඩා ලබාගන්න පුළුවන් වෙන්නෙත් මේ කාලයේදීයි. හැබැයි විවාහ ජීවිතේ ගැටලු වැඩිම කාලයත් මේ කාලයයි. ඒ නිසා අපිට හිතාගන්න බැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා.’

සැබෑ නොවන සිහින

‘විවාහ ජීවිතේ නියම සතුට භුක්ති විදින්න ඔවුන්ට බැරිවීමට මූලිකම හේතුවක් වන්නේ පෙම්වතුන්ව සිටි කාලයේදී ඔවුන් සිහින ලෝකවල ජීවත් වීමයි’ කියා එක් විවාහ උපදේශකවරයෙක් පැවසුවා. පෙම්වතුන්ව සිටි කාලයේදී කවදාවත් නොදැක්ක වැරදි විවාහයන් පසු ටිකෙන් ටික මතු වෙද්දී හෝ තමන් කලින් බලාපොරොත්තු නොවූ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙද්දී ඔවුන් මහත් සේ කලකිරීමට පත් වෙනවා.

කෙසේවෙතත් බයිබලයේ පවසන්නේ විවාහ යුවළයන්ට “දුක හා වේදනාව” අද්දැකීමට සිදු වන බවයි. (1 කොරින්ති 7:28, The New English Bible) ඊට එක් හේතුවක් වන්නේ අපි සෑම කෙනෙක් අතින්ම අඩුපාඩුකම් සිදුවීමයි. විවාහ වී කාලයක් ගත වන විට එවැනි අඩුපාඩුකම් අනිවාර්යයෙන්ම ඉස්මතු වෙන්න පටන්ගන්නවා.

බොහෝදෙනා විවාහ ජීවිතයට පිවිසෙන්නේ කවදාවත් ඉටු කරගන්න බැරි බලාපොරොත්තු පොදි බැඳගෙනයි. අහස් මාලිගා තනන ඔවුන් සිතන්නේ විවාහ වූ පමණින් ඔවුන්ට ජීවිතේ හැම සතුටක්ම අද්දැකිය හැකි බවයි. නමුත් ඇත්ත එය නොවෙයි! විවාහ ජීවිතේ නියම සතුට අද්දකින්න නම් ඔවුන් දෙදෙනාම ඒ වෙනුවෙන් විශාල වෑයමක් දැරිය යුතු අතර විවාහය තුළ තමන් සතු වගකීම්ද හරි හැටි ඉටු කළ යුතුයි. එසේ නොකර ප්‍රීතිමත් පවුල් ජීවිතයක් අපේක්ෂා කළොත් ඔවුන්ට ඉතිරි වන්නේ කලකිරීම පමණයි.

හොඳ අදහස් හුවමාරුව

ශක්තිමත් විවාහයකට නම් යුවළක් තුළ ප්‍රේමණීය, කාරුණික මෙන්ම විවෘත අදහස් හුවමාරුවක් තිබිය යුතුයි. නමුත් මෙසේ එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා විට ඔවුන් වැළකී සිටිය යුතු දේවල් කිහිපයක්ද තිබෙනවා. පළමු දෙය නම් එකිනෙකා සවන් දෙන බව පෙන්වූවත් ඊට ඕනෑකමින් සවන් නොදී සිටීමයි. දෙවෙනි කාරණය නම් එකිනෙකා කතාබහ කළත් ඔවුන් අවංකව අදහස් බෙදා නොගැනීමයි. ඒ වගේම කතා කළ යුතු නිසා කතා කිරීම හෝ වචනයකින් දෙකකින් සංවාදය අවසන් කිරීමද ඊට ඇතුළත් වෙනවා. ඒ විතරක් නොවෙයි කිසිම වැදගැම්මකට නැති කාරණා ගැන බහින්බස් වීම්, වරදවා වටහාගැනීම්, සැර වචනවලින් බැණවැදීම් හා කතා නොකර සිටීමෙනුත් ඔවුන් වැළකී සිටිය යුතුයි.

කනගාටුදායක ලෙස බොහෝ යුවළයන් එකිනෙකාගේ යහපත් දේවලට තම අගය පළ කිරීමට අසමත් වෙනවා. අද හුඟක් භාර්යාවන් ගෙදර දොර වැඩවලට අමතරව රැකියාවලද නිරත වන නිසා ඔවුන් දැඩි කලකිරීමකින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි තම අවශ්‍යතාවන් ගැන සැමියා කිසිම සැලකිල්ලක් නොදක්වන බවද භාර්යාවන්ට හැඟෙනවා.

විවාහ ජීවිතේ මුහුණ දෙන ගැටලු ජය ගෙන ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කෙසේද? ඒ පිළිබඳව බයිබලයේ දෙන මඟ පෙන්වීම් දැන් අපි සලකා බලමු.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සමහර අය සවන් දෙන බව පෙන්වූවත් ඊට ඕනෑකමින් සවන් නොදෙන අතර කතාබහ කළත් අවංකව අදහස් බෙදා නොගනියි

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සතුට අත් කරගැනීමට කිසිදු උත්සාහයක් නොදරා බොහෝ අය විවාහයේ සතුට අපේක්ෂා කරනවා