Skip to content

පටුනට යන්න

සෙල්ලක්කාරකමට හපන්නු

සෙල්ලක්කාරකමට හපන්නු

සෙල්ලක්කාරකමට හපන්නු

බ්‍රසීලයේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබ කැලෑවක ඇවිදිමින් යද්දී එක්තරා සතුන් රංචුවක් ඔබව වට කරගන්නවා. ඒ අවස්ථාවේ උන් ඔබට අනතුරක් කරයි කියා ඔබ හොඳටම භය වෙනවා. ඒත් කිසි දෙයකට භය වෙන්න එපා. උන් කවදාවත් කාටවත් අනතුරු කරන්නේ නැහැ. උන් ඇවිත් තියෙන්නේ ඔබේ බෑගයේ තියෙන දේ බලන්නයි. මොකද මේ සතුන්ට නිතරම කෑම ඕනේ. ඒ නිසා උන්ට හමු වන පණුවන්, කටුස්සන්, මකුළුවන්, මීයන්, කුරුලු බිත්තර හා පලතුරු වැනි දෑ ආහාරයට ගන්නවා. ඔබ දන්නවාද මේ කා ගැනද කතා කරන්නේ කියලා. මේ අපි කතා කරන්නේ හිවල් වර්ගයකට අයත් කොයෝටියන් ගැනයි.

මේ කොයෝටියාගේ කඳ පමණක් දිගින් අඟල් 26ක් පමණ වෙනවා. ඌගේ වලිගයත් ඒ හා සමානව දිගයි. ඒ වගේම ඌට තියෙන්නේ නැවෙන සුළු දිග හොම්බක්. උන්ව අමෙරිකාවේ නිරිත දිග ප්‍රදේශයේ සිට උතුරු ආර්ජන්ටිනාව දක්වා ප්‍රදේශවල වැඩිපුර දැකගන්න පුළුවන්.

කොයෝටියන්ගේ ගැහැනු සතුන් ගමන් කරන්නේ රංචු හැටියටයි. මෙම රංචුවක 20දෙනෙක් පමණ දැකගන්න පුළුවන්. නමුත් පිරිමි සතුන් හුඟක් වෙලාවට ඉන්නේ වෙන වෙනමයි. හැබැයි තමන්ගේ වර්ගයා බෝ කිරීම සඳහා ගැහැනු සතුන් ඉන්න රංචුවකට එක් පිරිමි සතෙක් එක් වෙනවා. සති හත අටකට පස්සේ පැටවුන් බිහි කරන කාලය එළඹෙද්දී ගැහැනු සතුන් රංචුවෙන් වෙන් වී තම පැටවුන් බිහි කිරීමට සුදුසු නවාතැනක් ගසක අතු අතරේ හදාගන්නවා. එහිදී එක් ගැහැනු සතෙක් වරකට පැටවුන් තුන්හතරදෙනෙක් බිහි කරනවා. ඊට සති හයකට විතර පස්සේ හරි හැටි ඇවිදගන්නවත් බැරි, බූල්වලින් වැසුණු බෝල වගේ ඉන්න මේ පුංචි පැටවුන් තම මව සමඟ රංචුවට එකතු වෙනවා.

කොයෝටියන් ඇවිදින කොට උන්ගේ තියුණු නිය උන්ට ලොකු උපකාරයක්. ඒ වගේම කැලෑවේ යද්දී හැම දෙයක්ම ඉව කරන්න උන්ට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ නිසා ගොවීන්ට නම් තම තිරිඟු වගාවන් හා කුකුල් කොටු මුන්ගෙන් ආරක්ෂා කරගන්න නම් ලෙහෙසි නැහැ. ඒ වගේම දඩයක්කරුවන්ගේ උගුල්වලින් බේරෙන්නත් උන්ට තියෙන්නේ පුදුම මොළයක්. මේ පුංචි කපටි සතුන් දඩයක්කරුවන්ගෙන් බේරෙන්න ඉක්මනින් ගස්වලට නඟිනවා. ඊට පස්සේ උන්ට වෙඩිල්ලක සද්දයක් හරි අත්පුඩියක සද්දයක් හරි ඇහුණු ගමන්ම ගස්වලින් බිමට පැනලා මැරිලා වගේ ඉන්නවා. නමුත් දඩයක්කරුවන් උන් ළඟට එද්දී ඇසිපිය හෙළන සැණින් උන් කැලෑවේ සැඟවෙනවා.

ඔබට බ්‍රසීලයේ සංචාරයකට යෑමට අවස්ථාවක් ලැබුණොත් මේ පුංචි කොයෝටියන්ව බලන්න අමතක කරන්න එපා. උන්ව දැක්කොත් භය වෙන්නත් එපා. උන් ඔබට කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. ඔබ ළඟ තියෙන රසවත් යමක් උන්ට දුන්නොත් උන් එය රස කර කර කයි.