Skip to content

පටුනට යන්න

නොසිතූ ලෙස සඟරාවකින් ලැබූ උපකාරය

නොසිතූ ලෙස සඟරාවකින් ලැබූ උපකාරය

නොසිතූ ලෙස සඟරාවකින් ලැබූ උපකාරය

බෙනින්හි පිබිදෙව්! ලේඛක විසින්

▪ වයස අවුරුදු 23ක් වූ නොයෙල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. තම පාසැල් දිවියෙන් සමුගත් සැණින් පූර්ණකාලීන දේවසේවකයෙක් වීමට ඔහු තීරණය කළා. නමුත් ඔහුට වියහියදම් පිළිබඳ ගැටලුවක් මතු වුණා. ඒ කාලයේදීම වගේ පිබිදෙව්! සඟරාවේ “රැකියාවක් සොයාගැනීමට ක්‍රම පහක්” යන මාතෘකාවෙන් යුත් ලිපිය පළ වුණා. * එම ලිපිය අගය කළ ඔහු එය කිහිපවතාවක්ම කියවූ අතර එය ඔහුට උපකාරවත් වුණේ නොසිතූ විරූ ආකාරයෙනුයි.

දිනක් නොයෙල් දේශනා සේවයේ යෙදෙද්දී ඔහුට පෞද්ගලික පාසැලක අධ්‍යක්ෂකවරයෙකුව මුණගැසුණා. නොයෙල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරුවෙක්ද කියා ඔහුට දැනගන්න ඕනේ වුණා. සාක්ෂිකරුවන් ඉගැන්වීමට හුඟක් දක්ෂ අය බව ඔහු දැන සිටි නිසා ඔහුගේ පාසැලේ ගුරුවරයෙකුගේ අඩුව පිරවීම සඳහා නොයෙල් දන්නා හඳුනන කෙනෙක් සිටිනවාද කියා ඔහු ඇසුවා. නොයෙල් නැහැ කියා පිළිතුරු දුන්නත් අධ්‍යක්ෂකවරයා ගත් කටටම මෙසේ ඇසුවා. “ඔයා කැමති නැද්ද?”

නොයෙල් කවදාවත් පාසැලක උගන්වා තිබුණේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට ඔහු කතා කරද්දී ගොත ගහනවා. සාමාන්‍යයෙන් බෙනින් රටේ පාසැලක ගුරුවරයෙක් වීමට නම් තමන් ගොතනොගසන බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහතිකයක් තියෙන්න අවශ්‍යයි. නමුත් එම අධ්‍යක්ෂකවරයා නොයෙල්ට මෙසේ පැවසුවා. “ගිහින් සහතිකය ගන්න. එතකොට ඔයාට රැකියාව ලැබෙයි.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා සේවය සඳහා හොඳ පුහුණුවක් ඔවුන් පවත්වන රැස්වීම්වලදී ලබනවා. එය ඔවුන් හඳුන්වන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැල ලෙසයි. සෑම සතියකම පවත්වන ඒ පාසැලෙන් ප්‍රයෝජන ලබන නොයෙල් රැස්වීම්වලදී දක්ෂ ලෙස කතා ඉදිරිපත් කරනවා. ඒ වුණත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ පරීක්ෂණයට නොයෙල් මුහුණ දුන්නේ විශාල චකිතයකින්.

ඔහුගේ අවස්ථාව පැමිණි විට පරීක්ෂකවරයා ඡේද කිහිපයක් ලකුණු කළ සඟරාවක් ඔහුට දී ශබ්ද නඟා එය කියවන්න කියා පැවසුවා. ලිපිය දුටු නොයෙල්ට එය අදහාගන්න බැරි වුණා. ඔහුට ලැබුණේ ඔහු මින් පෙර කිහිපවිටක්ම කියවා තිබූ “රැකියාවක් සොයාගැනීමට ක්‍රම පහක්” යන ලිපියයි. චතුර ලෙස ලිපිය කියවූ ඔහුට අවසානයේදී සහතිකය හිමි වුණා.

පසුව එම පරීක්ෂකවරයා පැවසුවේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරන සෑම සඟරාවක්ම ඔහු කියවන බවයි. ඒ වගේම ඔහු මෙසේද පැවසුවා. “ඒ සඟරාවල තොරතුරු සහ එය ලියා ඇති ආකාරය කදිමයි. මේ වගේ පරීක්ෂණ සදහා මම ඒවා නිතරම භාවිත කරනවා.”

ඉන්පසුව නොයෙල් ගුරුවරයෙක් වුණා. ඔහු ඊළඟ වසරෙත් එම පාසැලේම රැඳී සිටිනවාට අධ්‍යක්ෂකවරයා කැමති වුණත් නොයෙල්ගේ සැලසුම් වෙනස් වුණා. ඊට හේතුව සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට ඔහුට ආරාධනයක් ලැබීමයි.

[පාදසටහන]

^ 3 ඡේ. වර්ෂ 2005 ජූලි 8 පිබිදෙව්! කලාපයේ පිටු 4-9 බලන්න.