Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“විසිවන සියවසේදී දුම්කොළ භාවිතය නිසා මිලියන 100ක් මිය ගොස් තිබෙනවා.”—WORLD HEALTH ORGANIZATION, SWITZERLAND.

▪ “එංගලන්තයේ 1996 සිට 2003 කාලය ඇතුළත රෝගීන් 9,000කට පමණ හෘද සැත්කම් කර තිබෙන අතර එහිදී ඔවුන්ට රතු රුධිරානු ශරීරගත කර තිබෙනවා. රතු රුධිරානු ශරීරගත නොකළ අය සමඟ සසඳන කළ ශරීරගත කළ අයගේ ජීවිත අවදානම් තත්වයක තිබෙන බව අධ්‍යයනවලින් පෙනී ගියා. ඒ අනුව සැත්කමෙන් මාසයකට පසු මිය යෑමේ අවදානම හය ගුණයකින්ද අවුරුද්දකට පසුව මිය යෑමේ අවදානම තුන් ගුණයකින් වැඩි බව සොයාගනු ලැබුවා.—NEW SCIENTIST, BRITAIN.

සාමය අවශ්‍ය කාලයක්

“නත්තල කියන්නේ අපට තියෙන විශේෂ උත්සවයක්. ඒ වගේම අවුරුද්දේ වෙන කවරදාටත් වඩා පවුල් අතර ආරවුල් සහ මතභේද වැඩියෙන් හටගන්න කාලයක්.” එසේ සඳහන් වූයේ දෙමාපියන් වෙනුවෙන් ලියැවුණු ස්වීඩනයේ එක් සඟරාවකයි. එම සඟරාව නත්තල් සමයේදී ලබන අද්දැකීම් ගැන කුඩා දරුවන් සිටින දෙමාපියන් 1,100කගෙන් සමීක්ෂණයක් කළා. එහිදී සියයට 88ක්ම කියා සිටියේ “නත්තල් උත්සවය පවත්වන්නේ කොහේද සහ කොහොමද” කියන කාරණා ගැන යම් මතභේද සහ ආරවුල් හටගන්න බවයි. නත්තල් සමයේදී සීයලා ආච්චිලා තම මුණුපුරු මිණිබිරියන්ට නොයෙකුත් පැණි රස කෑම සහ අනවශ්‍ය තෑගි බෝග දීමෙන් ඔවුන්ව නරක් කරන බවටද සමහර දෙමාපියන් චෝදනා කළා.—එම සඟරාව Vi Föräldrar.

දීමෙන් වැඩි සතුටක්

“ඔබ මුදල් අන් අයට දෙන්න කැමති නම් ඔබට මුදල්වලින් සතුටක් ලැබිය හැකියි” කියා කැනඩාවේ එක් පුවත්පතක මුල් පිටුවේ සඳහන් වී තිබුණා. ඒත් සමීක්ෂණයකින් හෙළි වූ පරිදි බොහෝදෙනෙක් සිතන්නේ තමන්ට සතුටක් අද්දකින්න නම් තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා මුදල් වියදම් කළ යුතු බවයි. ඊට වෙනස්ව තමන් අන් අය වෙනුවෙන් මුදල් වැය කිරීමෙන් ඊටත් වඩා සතුටක් ලබා තිබෙන බව වාර්තා වෙනවා. එම සතුට ලැබීම සඳහා මුදල් කොතරම් ප්‍රමාණයක් වැය කරනවාද යන්න වැදගත් වන්නේ නැහැ. “දිගින් දිගටම කළ අධ්‍යයනවලින් පැහැදිලි වන්නේ මුදල්වලින් සතුටක් ලබාගැනීමට නොහැකි බවයි. කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් තිබුණු පමණින් සතුට දෙගුණ තෙගුණ වන්නේ නැහැ” කියා කලින් සඳහන් කළ පුවත්පතේ තවදුරටත් සඳහන් වෙනවා.—The Globe and Mail.

රජයේ ආයුධ පිට අයටත්

එක්සත් ජනපදයේ රජයේ නිලධාරීන් විසින් හමුදාවට පමණක් භාවිත කිරීමට තිබෙන යුද්ධායුධ රජයට සතුරුකම් කරයි කියා සිතන අයටත් ලබාගැනීමට හැකිද කියා සොයා බැලීමට අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂණයක් කළ බව එක් සඟරාවක සඳහන් වෙනවා. “ඔවුන්ව පුදුමයට පත් කරවමින්” පරීක්ෂණයෙන් හෙළි වුණේ “කිසිම ගැටලුවක් නැතුව ඒ අයට යුද්ධායුධ ලබාගැනීමට හැකි බවයි.” ඒ වගේම ඉතා පහසුවෙන්ම රජය භාවිත කරන “යුද්ධායුධ කට්ටල, න්‍යෂ්ටික හා ජෛව රසායනික අවිවලින් ආරක්ෂාව ලබා දෙන ඇඳුම් කට්ටල, යුද ජෙට් යානා සඳහා අමතර කොටස් සහ වෙනත් යුධ උපකරණ “ ලබාගැනීම සඳහා අවශ්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ එවැනි අයට ලබාගැනීමට හැකි බව සොයාගත්තා. නමුත් ඒවා ජාවාරම්කරුවන් අතට පත් වුණේ කෙසේද යන්න තවමත් ගැටලුවක්. මේ සම්බන්ධයෙන් සමහරදෙනෙක්ව “ප්‍රශ්න කරමින් සිටිනවා.”—New Scientist.

පැරණිතම මැලියම් වර්ගයක්

පුරාණයේ ආචාර පෙළපාලිවල ගමන් කරන රෝම සොල්දාදුවන්ගේ හිස් වැසුම් රිදීයෙන් තැනු ඔලීව කොළවලින් අලංකාර කර තිබුණා. ඒවා එකිනෙක අලවා තිබුණේ අද භාවිත කරන සුපර් ග්ලූ මැලියම් තරම්ම ශක්තිමත් මැලියම් වර්ගයකිනුයි. අවුරුදු 1,500ක් පමණ කාලයක් රයින් ගං පතුලේ තිබුණා යයි විශ්වාස කරන ක්‍රිස්තු පූර්ව පළමු ශතවර්ෂයට අයත් හිස් වැසුමක් ජර්මනියේ එක් කෞතුකාගාරයක (Rhineland Museum in Bonn) තිබුණා. එම කෞතුකාගාරයේ භාණ්ඩ අලුත්වැඩියා කරන්නෙක් වූ ෆ්‍රෑන්ක් විලර් කුඩා කියතක් භාවිත කරමින් එම යකඩ හිස් වැසුමේ කුඩා කොටසක් පරීක්ෂා කිරීමේදී කියතේ රස්නයට එහි රිදී කොළයක් ගැලවුණා. එහිදී කොළය පිටුපස යම් මැලියම් වර්ගයක් තැවරී තිබෙන බව ඔහු දුටුවා. එම මැලියම් වර්ගය සාදා තිබුණේ ගවයන්ගෙන් ලබාගත් තෙල්, ගස්වල මැලියම් සහ තාර වැනි දේවලින් බව පරීක්ෂණ පැවැත්වූ අය සොයාගත්තා.