Skip to content

පටුනට යන්න

එදා සහ අද ගොවියා

එදා සහ අද ගොවියා

එදා සහ අද ගොවියා

ඔබ ආහාර මිල දී ගන්නවාද නැත්නම් වගා කරනවාද? කලින් පරම්පරාවල සිටි බොහෝදෙනෙක් ආහාරයට ගත්තේ ඔවුන්ම වගා කළ දේවලුයි. නමුත් දැන් බොහෝ රටවල වගා කටයුතුවල නියැලෙන්නේ පුද්ගලයන් පනස්දෙනෙකුගෙන් එක් අයෙකු පමණයි. ඊට හේතුව විවිධ කර්මාන්තවල ලබා ඇති විශාල දියුණුවයි. එනම් බොහෝ රටවල් කාර්මීකරණය වී තිබීමයි.

මුල් කාලයේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ක්‍රමාණුකූල වර්ධනයක් තිබූ අතර පසුව එය ශීඝ්‍ර වර්ධනයක් ලැබුවා. එම දියුණුව මිලියන ගණනක් පවුල්වලට තදින් බලපෑ අතර එම තත්වය අදටත් එසේමයි. එම දියුණුව මිනිසුන්ට බලපා ඇත්තේ කෙසේද කියා වටහාගැනීමෙන් අද ලෝක තත්වය හොඳින් අවබෝධ කරගැනීමට අපට හැකියි.

තාක්ෂණය කළ පෙරළියක්

තම පවුලේ අය වෙනුවෙන් වගා කිරීම පසෙකට තල්ලු වීමට මූලිකවම හේතු වූයේ 12වන සියවසේදී යුරෝපයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ විශාල පෙරළියයි. එය ආරම්භ වූයේ ගොවියන් තම වගා කටයුතු සඳහා ගොනුන් වෙනුවට අශ්වයන්ව යොදාගැනීමත් සමඟයි. අශ්වයන් වඩාත් ශක්තිමත් නිසා වේගයෙන් සහ වැඩි වේලාවක් වැඩ කිරීමට උන්ට හැකියි. එමනිසා වැඩි අස්වැන්නක් ලබාගැනීමට ගොවියන්ට හැකි වුණා. යකඩ නඟුල් යොදාගැනීම නිසාද කලින් වගා කිරීමට නොහැකි වූ බිම් අස්වැද්දීමට ඔවුන්ට හැකි වුණා. ඒ කාලයේ ලැබූ තවත් දියුණුවක් වූයේ පස සාරවත් කරන බෝංචි, ග්‍රීන් පීස් වැනි රනිල කුලයට අයත් බෝග හඳුන්වා දීමයි. ඒවායින් පස වඩාත් සරු වූ අතර ඉතා ඉහළ අස්වැන්නක්ද ලැබුණා.

එම නවීන ක්‍රම යොදාගත් නිසා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි අස්වැන්නක් ලැබුණා. ඒ නිසා ඔවුන් ඒවා අලෙවි කරන්න පටන්ගත්තා. එම අලෙවි මධ්‍යස්ථානවල ආහාර මිල දී ගැනීමේ පහසුකම් තිබූ නිසා වෙනත් නිෂ්පාදකයන්ද ඒ ස්ථානවලට එන්න පටන්ගත්තා. මෙසේ එම ස්ථාන ක්‍රමානුකූලව නගර බවට පත් වුණා. පසු කාලවලදී වගා කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමටද මඟ පෑදුවේ එම දියුණුවයි.

ඉංග්‍රීසි ජාතික ජෙත්‍රෝ ටෙල් 1700 ගණන්වලදී අශ්වයන් විසින් ඇදගෙන යන බීජ සිටුවන යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. ඒ නිසා අතින් සිටුවීමේදී සිදු වන බීජ අපතේ යෑම නතර වුණා. පසුව 1831දී ඇමරිකානු ජාතික සයිරස් මැක්කොමික් අශ්වයන් විසින් ඇදගෙන යන අස්වැන්න නෙළන යන්ත්‍රයක් හඳුන්වා දුන්නා. එය දෑකැත්තෙන් කපනවාට වඩා පස්ගුණයකින් වේගවත්. එම කාලයේදීම වෙළෙඳුන් දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් ප්‍රදේශයේ සිට යුරෝපයට පොහොර රැගෙන ආවා. මෙසේ යන්ත්‍ර සූත්‍ර හා පොහොර භාවිතය නිසා වගාවන්වලින් පුදුමාකාර අස්වැන්නක් ලැබුණා. නමුත් එම දියුණුව ජනයාට බලපෑවේ කෙසේද?

බහුල අස්වැන්න නිසා අඩු මුදලට ඕනෑ තරම් ආහාර නගරවල සිටි ජනයාට සපයන්න හැකි වුණා. එම තත්වය බ්‍රිතාන්‍යයේ ආරම්භ වූයේ 1750 සිට 1850 පමණ කාලයේදීයි. ඒ කාලයේදී දහස් ගණන් පවුල්වලට දියුණු නගරවලට ගොස් ගල් අඟුරු ආකරවල, යකඩ කර්මාන්ත ශාලාවල, නැව් නිෂ්පාදනය කරන කර්මාන්තවල සහ රෙදි පිළි කර්මාන්ත ශාලාවල වැඩ කිරීමට සිදු වුණා. එමෙන්ම නවීන යන්ත්‍රෝපකරණ ලබාගැනීමට වත්කමක් නොතිබූ ගොවියන්ට තම අස්වැන්නෙන් ලැබුණේ සුළු මුදලයි. වැය කළ මුදලවත් පියවාගැනීමට ඔවුන්ට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා අකමැත්තෙන් හෝ තම ගොවිතැන අතහැර ජනාකීර්ණ මෙන්ම අසනීපවලට ගොදුරු වීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට යන්න ඔවුන්ට සිදු වුණා. කලින් අන් අයගේ ඇසුර භුක්ති විඳිමින් වැඩ කළත් දැන් ඔවුන්ට වැඩ කිරීමට සිදු වී තිබෙන්නේ තනිවමයි. ඔවුන්ගේ දරුවන්ට පවා පැය ගණනාවක් කර්මාන්ත ශාලාවල වැඩ කිරීමට සිදු වුණා. මෙම තත්වය ඉතා ඉක්මනින් වෙනත් රටවල්ද අද්දකින්න පටන්ගත්තා.

විද්‍යාව ඊට දායක වූ ආකාරය

කෘෂිකර්මය පිළිබඳව පර්යේෂණ කිරීමටද 1850 ගණන්වලදී ධනවත් ජාතීන් පියවර ගත්තා. එය අපගේ කාලය දක්වා සිදු වෙමින් පවතිනවා. උදාහරණයකට වැඩි අස්වැන්නක් ලබා දෙන හා රෝගවලට ඔරොත්තු දෙන බෝග නිෂ්පාදනය පිළිබඳව ඔවුන් අධ්‍යයනය කළා. එමෙන්ම නිශ්චිත වගාවන් සඳහා නයිට්‍රේට් හා ෆොස්පේට් කොපමණ ප්‍රමාණයක් යෙදිය යුතුද කියාත් ඔවුන් සොයාගත්තා. කලින් වල් පැළ ගැලවීම සඳහා බොහෝ සේවකයන්ව යොදාගැනීමට ගොවියන්ට සිදු වුණත් වල් පැළ මර්ධනය කිරීම සඳහා පර්යේෂකයන් නවීන ක්‍රම සොයාගත්තා. ඒ නිසා බොහෝදෙනෙකුට තම රැකියා අහිමි වුණා. කෘමීන් පණුවන් හා ගුල්ලන් වැනි සතුන් දැන් ගොවියන්ට ඒ හැටි තර්ජනයක් නොවෙයි. වගාවට එරෙහි වන එවන් ඕනෑම සතුරෙකුව විනාශ කිරීමට කෘෂි රසායන ද්‍රව්‍යය දැන් ඔවුන් සතුයි. *

සත්ව ගොවිපොළ හිමියන්ද එම වෙනසට මුහුණ දී තිබෙනවා. එළදෙනුන්ගේ කිරි දොවාගැනීමට වෙනම යන්ත්‍රද ඔවුන්ට කෑම දීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රමද තිබෙන නිසා එළදෙනුන් 200ක් බලාගැනීමට අවශ්‍ය වන්නේ පුද්ගලයන් දෙදෙනෙකු පමණයි. එමෙන්ම ගවයන් හා ඌරන්ගේ බර ශීඝ්‍රයෙන් වැඩි කිරීම සඳහා අවශ්‍ය ආහාර හා නිශ්චිත උෂ්ණත්වය ලබා දෙමින් කොටුවල ඇති කිරීමේ ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

වැඩියෙන් පල දරන බීජ මෙන්ම නවීන පන්නයේ යන්ත්‍රෝපකරණ භාවිතය නිසා පුදුම සහගත අස්වැන්නක් ලබාගැනීමට ගොවියන්ට හැකි වුණා. ඒ නිසා තමන් යටතේ වැඩ කරන සේවකයන් සංඛ්‍යාව අඩු කර පෙරටත් වඩා වැඩි ලාභයක් ඉපයීමටද ඔවුන්ට හැකි වුණා. නමුත් එම දියුණුව මිනිසුන්ට බලපා තිබෙන්නේ කෙසේද?

වෙනස් වූ ජීවන රටාවක්

යන්ත්‍රෝපකරණ බොහෝ ගොවියන්ගේ ජීවිත වෙනත් මඟකට යොමු කර තිබෙනවා. ගොවියන් සහ සේවකයන්ගෙන් බොහෝ පිරිසකට දැන් නවීන යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරන්න හා නඩත්තු කරන්න ඉගෙනගැනීමට සිදු වී තිබෙනවා. ඔවුන් එකට වැඩ කළ කාලය නිමා වෙලා. දැන් ඔවුන් වැපිරීමේ සිට නෙළාගැනීම දක්වා වැඩ කරන්නේ තනිවමයි.

වර්තමානයේ බොහෝ රටවල සිටින ගොවීන් ඉහළ අධ්‍යාපනයක් ලැබූ ව්‍යාපාරිකයන්. විශාල අස්වැන්නක් ලබා දෙන බෝග වර්ග එකක් හෝ දෙකක් පිළිබඳ ඔවුන් විශේෂඥයන්. ඔවුන් ඒ සඳහා අවශ්‍ය ඉඩම්, ගොඩනැඟිලි හා යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් විශාල මුදලක් යොදවා තිබෙනවා. කෙසේනමුත් ඔවුන්ට තම කාර්යය නොකඩවා කිරීමට තවත් පිරිසක් මත යැපෙන්න සිදු වී තිබෙනවා. ඔවුන්ගේ අස්වැන්නේ මිල, පෙනුම හා ප්‍රමාණය තීරණය කරන්නේ වෙනත් විශාල වෙළඳ සමාගම් විසිනුයි. එමෙන්ම මෙම ගොවීන්ට උපදෙස් දීමට කෘෂිකාර්මික ඉන්ජිනේරුවන් හා අවශ්‍ය පොහොර, කෘමිනාශක හා උසස් වර්ගයේ බීජ සැපයීමට වෙනම සමාගම්ද තිබෙනවා. ඒ අනුව බලද්දී වර්තමාන ගොවියා තම මුතුන්මිත්තන්ට වඩා විශාල දියුණුවක් ලබා තිබෙනවා. ඒ වුණත් ඔවුන් තවමත් ගැටලුවලින් මිරිකී සිටිනවා. සමහරුන් වගාවන් සඳහා භාවිත කරන නවීන ක්‍රමවලින් ඇති විය හැකි හානි කර ප්‍රතිඵල ගැන බියෙන් පසු වෙනවා.

ඔහු තවමත් අර්බුදයක

ධනවත් රටවල සිටින බොහෝ ගොවියන්ද තවමත් සිටින්නේ විශාල අර්බුදයකයි. ඊට හේතුව විශාල පරිමාණයේ සමාගම් සමඟ තරඟ කිරීමට ඔවුන්ට නොහැකි වීමයි. තමන් දිගටම කරගෙන ආ ගොවිතැන අත්හැරීමට තිබෙන අකමැත්ත නිසා සමහරුන් වෙනත් කුඩා ව්‍යාපාරද ආරම්භ කර තිබෙනවා. සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබා දීම, අත්කම්, කාබනික පොහොර යොදා නිපදවන ආහාර මෙන්ම මල් සහ වෙනත් දෑ ඊට අයත්.

දිලිඳු රටවල ජනයාගෙන් සියයට 80ක් පමණ තම දිවි රැකගන්නේ ගොවිතැන් කිරීමෙනුයි. එවැනි රටවල තිබෙන ජාත්‍යන්තර සමාගම් හොඳම ඉඩම්වල දියුණු තාක්ෂණ යොදාගනිමින් වෙනත් රටවල් සඳහා වගා කරන නිසා සමහර ගොවියන්ට තම භාවිතය සඳහා වගා කිරීමට ඉතුරු වී තිබෙන්නේ නිසරු හෝ කුඩා බිම් ප්‍රමාණයක් පමණයි.

මීට සියවස් ගණනාවකට පෙර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදු වූ පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල විශාල පිරිසක් ගම අත්හැර නගරයේ පදිංචියට පැමිණෙමින් සිටිනවා. එය සමහරුන්ට වාසිදායක වුණත් තවත් අයට නම් එය වේදනාකාරී අද්දැකීමක්. එවැනි අයට අවශ්‍ය සහනය හා උපකාර පිරිනැමීමට හැකි වී තිබෙන්නේ ආණ්ඩු අතළොස්සකට පමණයි. එමනිසා සෑම කෙනෙකුගේම ජීවිත වඩාත් යහපත් තත්වයකට ගෙන ඒමට හැකි පාලනයක්, එනම් දෙවිගේ පාලනය මිනිසුන්ට කොතරම් අවශ්‍යද කියා ඉන් පැහැදිලියි.—යෙසායා 9:6.

[පාදසටහන]

^ 10 ඡේ. පිබිදෙව්! සඟරාව මගින් යම් නිශ්චිත වගා ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

[23වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙයාකාර ප්‍රතිඵල

යූසීබියෝ ජීවත් වන්නේ ඇන්ඩීස් නමැති ප්‍රදේශයේයි. ඔහු ගොවියෙක් වන අතර ඔහුට ගවයන් 14දෙනෙක්ද සිටිනවා. ඔහු ඒ ගැන මෙහෙම කියනවා. “උන් හැම එකෙකුටම නමක් තියෙනවා. ගොවිතැන් කරන්න මම හරි ආසයි. අපිට අවශ්‍ය එළවළු අපිම වගා කරගන්නවා. මමයි මගේ භාර්යාවයි අහළ පහළ අය ගොවිතැන් කරන කොට උදව් වෙනවා. ඒ අයත් අපිට උදව් කරනවා. අපි කාටවත් යන්ත්‍ර සූත්‍ර නැහැ. අපි හාන්නේ ගවයන්ගෙනුයි. සමහර තැන් අපි අතින්ම සකස් කරගන්නවා.

“එක සැරයක් වසංගතයක් නිසා අපේ ගවයන් හුඟදෙනෙක් මැරුණා. ඒ නිසා මම පශුවෛද්‍ය පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ අපේ එක සතෙක්වත් අසනීප වෙලා මැරුණේ නැහැ. මම දැන් ගමේ අනික් අයගේ සතුන්ටත් බේත්හේත් කරනවා. අපි චීස් හදලා ගමේ කඩවල්වලට දානවා. අපිට ලොකු ආදායමක් නැති බව ඇත්තයි. ඒ වුණත් අපේ පවුලේ අටදෙනාටම ඇති තරම් කන්න බොන්න තියෙනවා.”

රිචඩ් ජීවත් වෙන්නේ කැනඩාවේ. ඔහු එහි හෙක්ටයාර් 500කට වැඩි ප්‍රදේශයක වගා කරනවා. වපුරන කාලයේ සහ කපන කාලයේ ඔහු එක සේවකයෙකුව වැඩට ගන්නවා ඇරෙන්න අනිකුත් සියලුම දේ ඔහු කරන්නේ තනිවමයි.

ඒ ගැන ඔහු කියන්නේ මෙහෙමයි. “දැන් කාලේ වගා කරන කොට වැඩි වෙහෙසක් දැනෙන්නේ ඇඟට නෙමෙයි මනසටයි. මගේ ට්‍රැක්ටරයයි ගොයම් කපන වාහනයයි වායුසමනය කරලයි තියෙන්නේ. ඒ නිසා දූවිලිවත් පොඩි පොඩි සත්තුවත් මගේ ඇඟේ වදින්නේ නැහැ. මට අඩි 30ක් පළල යන්ත්‍ර තියෙනවා. ඒවායින් දවසක් ඇතුළත හෙක්ටයාර් 65ක ප්‍රමාණයක් වපුරන්න හෝ කපාගන්න පුළුවන්. හැබැයි ඒ යන්ත්‍ර නැතුව නම් මට කිසි දෙයක් කරගන්න බැහැ. මට තියෙන ලොකුම භයත් ඒකයි. කාලෙන් කාලෙට ඒවා අලුත්වැඩියා කරන්න මුදල් ණයට ගන්න සිද්ධ වෙනවා. නමුත් බැරි වෙලාවත් දේශගුණය එක පාරට වෙනස් වුණොත් වෙළඳපොළේ මිල පහළ ගියොත් ණය පොළිය වැඩි වුණොත් ඒවා ආයෙත් ගෙවන්න පුළුවන් වෙයිද කියලා කවුද දන්නේ? මේ වගේ තත්වයන් නිසා හුඟක් අයට පවුල් ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. තවත් අය දිවි නසාගෙන තියෙනවා.”

[21වන පිටුවේ පින්තූරය]

මැක්කොමික් 1831දී නිෂ්පාදනය කළ අස්වැන්න නෙළන යන්ත්‍රය නිසා එහි ක්‍රියාකාරිත්වය පස්ගුණයකින් වේගවත් වුණා

[හිමිකම් විස්තර]

Wisconsin Historical Society, WHi-24854