මා කළ නිහඬ සේවයේ සිට අතිවිශිෂ්ඨ සේවයකට
මා කළ නිහඬ සේවයේ සිට අතිවිශිෂ්ඨ සේවයකට
පැවසුවේ ඇන්ඩෘ හොග්
“අපිට කවදා හරි න්‍යෂ්ටික අවි භාවිත කරන්න සිද්ධ වුණොත් ඒකෙන් අදහස් කරන්නේ අපේ මෙහෙයුම අසාර්ථකයි කියන එකයි” කියා අපේ අණ දෙන නිලධාරියා පැවසුවා. ඒ නිසා න්‍යෂ්ටික යුද්ධයක් කිරීම කොතෙක් දුරට සාධාරණද කියා අප අතර සාකච්ඡාවක් ඇති වුණා. මම මේ වන විට සිටියේ ඇමරිකානු හමුදාවේ සබ්මැරීන් භටයෙකු ලෙස සේවය කරමිනුයි. එය නිහඬ සේවය කියාද හඳුන්වනවා. ඊට හේතුව අපි යුධ මෙහෙයුම් කරන්නේ රහසිගතව නිසයි. මම මේ සේවයට බැඳුණේ කොහොමද කියලා මුලින්ම කියන්නම්.
මම ඉපදුනේ 1944දී ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ පිහිටි ෆිලදෙල්ෆියාවලයි. මගේ පියාත් සීයාත් මාමාත් යුද හමුදාවේ සේවය කර තිබූ නිසා ඔවුන් එය සැලකුවේ උසස් සේවයක් ලෙසයි. කුඩා කාලයේදී මම ළඟපාත නාවික හමුදා කඳවුරක් නරඹන්න ගියා. මම මුලින්ම සබ්මැරීනයක් දැක්කේ එදයි. කවදා හරි මමත් සබ්මැරීනයක සේවය කරනවා කියලා එදා අධිෂ්ඨාන කරගත්තා. මම උසස් පාසැල් අධ්‍යාපනය හදාරන අවුරුද්දේම මාව ඇමරිකාවේ නාවික පුහුණු විද්‍යාලයට තෝරාගත්තා. ඉන් අවුරුදු හතරකට පසු එනම් 1966 ජූනි මාසයේදී මම එයින් සමත් වුණා.
මම නාවික හමුදාවේ න්‍යෂ්ටික බලය පිළිබඳව හා සබ්මැරීන් ක්‍රියා කිරීම පිළිබඳව පුහුණුවක් ලැබුවා. පසුව මම මාරි ලී කාටර් සමඟ 1967 අප්‍රියෙල් මාසයේදී විවාහ වුණා. ඇය අදටත් මගේ ආදරණීය බිරිඳයි. වර්ෂ 1968දී මාව යූ. එස්. එස්. ජැක් නමැති සබ්මැරීනයේ සේවය කිරීමට පත් කළ අවස්ථාවේදී ළමා කාලයේ සිට මා තුළ තිබූ සිහිනය සැබෑ වුණා කියලා මට හිතුණා. ඊට අවුරුද්දකට පසුව මාරි, අපේ වැඩිමහල් දියණිය වන ඇලිසන්ව බිහි කළා.
මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ අණ දෙන නිලධාරියා 1971දී යූ. එස්. එස්. ඇන්ඩෘ ජැක්සන් නමැති සබ්මැරීනයේ ඉන්ජිනේරුවෙකු ලෙස කටයුතු කිරීමට මාව පත් කළා. දිනක් අපි ගැඹුරු මුහුදේ ගමන් කරමින් සිටියා. මධ්‍යම රාත්රියේදී පමණ මමත් තවත් නිලධාරීන් කිහිපදෙනෙකුත් ටිකක් විවේක ගනිමින් සිටිද්දී අපිට අමුතු ශබ්දයක් ඇහුණා. ඒත් එක්කම අනතුරු ඇඟවීමේ නළාව ක්‍රියාත්මක වුණා. “සබ්මැරීනයේ එක් කුටියක ගින්නක් ඇති වෙලා!”
සබ්මැරීනයේ කාර්මික හා ඉලෙක්ට්‍රෝනික කටයුතු සියල්ලක්ම වගේ භාරව තිබුණේ මට නිසා මම ඉක්මනට එතැනට ගියා. සබ්මැරීනය තුළ ඔක්සිජන් නිපදවන යන්ත්‍රයක ගින්නක් හටගෙන! ඒ නිසා මමත් තව තුන්දෙනෙකුත් එකතු වෙලා ගිනිගන්නා සුළු දේවල් එතැනින් ඉක්මනින් ඉවත් කළා. කාටවත් අනතුරක් නොවීම ගැන අපි සතුටු වුණා. එවන් තත්වයකට මුහුණ දුන්නත් අපට ලැබී තිබූ පුහුණුව නිසා අපගේ මුර සංචාරය සාර්ථකව නිම කළා.
වෙනත් දේකට සිත යොමු කිරීම
සෑම සතියකම අපේ පැවරුමට අමතරව වෙනත් කාර්යයක යෙදෙන්න අපට අවස්ථාව සලසා දී තිබුණා. එසේ කළේ අපේ රාජකාරියේ ඇති පීඩනයෙන් මිදීමටයි. මම සාමාන්‍යයෙන් ඒ කාලය යෙදෙව්වේ සුප්‍රකට හමුදා නිලධාරීන්ගේ ජීවිත කතා කියවීමටයි. නමුත් සාමකාමී පුද්ගලයෙකු වන යේසුස් ගැන කියවීමට මම තීරණය කළා. ඒ සඳහා මම බයිබලයේ සුවිශේෂ පොත් කියවන්න පටන්ගත්තා. ඒ බයිබලය මට ලැබුණේ නාවික හමුදා විද්‍යාලයෙන් සමුගැනීමේ දවසේදීයි. නමුත් එය කියවන්න කියවන්න මට තව තවත් ප්‍රශ්න මතු වුණා මිස ඒවාට පිළිතුරු නම් ලැබුණේ නැහැ.
දිනක් සබ්මැරීනයේ අප කළ මුර සංචාරය අවසානයේදී එහි අණ දෙන නිලධාරියා රැස්වීමක් කැඳවා පැවසූ දේ මාව පුදුමයට පත් කළා. ඔහු මෙහෙම කිව්වා. “මහත්වරුණි, අපේ ඉන්ජිනේරු නිලධාරියා වන ඇන්ඩෘ හොග් ඇමරිකානු නාවික හමුදාවේ උසස්ම කාර්යය සඳහා පත් කර ඇති බව දැනුම් දෙන්න කැමතියි.
නාවික හමුදාවේ විශේෂ ප්‍රහාරක සබ්මැරීනයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා ඔහුයි.”යූ. එස්. එස්. ලොස් ඇන්ජලීස් නමැති සබ්මැරීනයේ නිෂ්පාදන කටයුතු සිදු වෙමින් තිබුණේ වර්ජිනියා ප්‍රාන්තයේ නිව්පෝට් නිව්ස්වලයි. ඒ නිසා මගේ අලුත් පැවරුම සඳහා අපේ මුළු පවුලටම එහි පදිංචියට යන්න සිද්ධ වුණා. එහි ඉන්ජිනේරු වැඩකටයුතු පරීක්ෂා කිරීමත් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු පිළියෙල කිරීමත් පුහුණු කටයුතු සැලසුම් කිරීමත් මගේ වැඩ කොටසට අයත් වුණා. ඒවා ඉතා සංකීර්ණ දේවල් වුණත් මම එයින් තෘප්තියක් ලැබුවා. මේ කාලයේදී තමයි අපේ පුතා ඩෲ ඉපදුනේ. දැන් මම දෙදරු පියෙක්. මම නැවතත් දෙවියන් ගැන සිතන්න පටන්ගත්තා. ‘මිනිසුන් යුද්ධ කරනවාට දෙවි කැමතිද, කෙනෙක් මැරුණාට පස්සේ මොකද වෙන්නේ, ඇත්තටම නිරයක් කියලා දෙයක් තියෙනවාද’ යන ප්‍රශ්න මට මතු වුණා.
මගේ ප්‍රශ්නවලට පිළිතුරු
ඒ කාලයේදීම වගේ මගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ගැන සාකච්ඡා කරන්න පටන්ගත්තා. දවසක් මම ගෙදරට ඇමතුමක් දෙද්දී ඇය මට මෙහෙම කිව්වා. “බයිබලය ගැන උගන්වන ගැහැනු අය දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා “
“කොයි පල්ලියෙන්ද” කියලා මම ඇහුවා.
එතකොට ඇය කිව්වා “එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියලා.
සාක්ෂිකරුවන් ගැන මම දැනගෙන හිටියේ නැති වුණත් බයිබලය ගැන ඉගෙනගන්න මට අවශ්‍ය වුණ නිසා මම කිව්වා “එයාලට හවස් වරුවක එන්න කියන්න” කියලා. ඊට දවස් කිහිපයකට පස්සේ ඒ දෙන්නගෙන් එක් කෙනෙක් එයාගේ ස්වාමිපුරුෂයත් එක්ක අපේ ගෙදර ආවා. පසුව මමයි මාරියි එයාලත් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා.
එම සාකච්ඡාව නිසා අවුරුදු ගණනාවක් පුරා මට තිබුණ ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයෙන් ලැබුණා. උදාහරණයකට කෙනෙක් මිය ගිය විට ඔහු ‘කිසිවක් දන්නේ නැති බවත්’ යේසුස් පැවසූ ලෙස ඔහු ගැඹුරු නින්දක පසු වන බවත් මම ඉගෙනගත්තා. (දේශනාකාරයා 9:5, නව ලොව පරිවර්තනය; යොහන් 11:11-14) ඒ නිසා කෙනෙක් මිය ගිය විට ස්වර්ගයට යන්නේ නැති බවත් නිරයක දුක් නොවිඳින බවත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඇතුව මරණය නමැති ‘නින්දේ’ පසු වන බවත් මම තේරුම්ගත්තා.
පසුව මාරියි මමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. එම රැස්වීම්වලට විවිධ ජාතීන්ට, සංස්කෘතීන්ට හා විවිධ අධ්‍යාපනික මට්ටම්වලට අයත් අය පැමිණෙනවාත් ඔවුන් සාමයෙන් එකමුතුව දෙවිට සේවය කරනවාත් අපි දැක්කා. “ඇත්තෙන්ම බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලින් මිනිසුන්ට මොන තරම් යහපතක් සිදු වෙනවාද කියා” මටයි මගේ බිරිඳටයි වැටහුණා.—ගීතාවලිය 19:7-10.
තීරණයක් ගැනීමට කාලය
වර්ෂ 1973දී අරාබි ඉශ්රායෙල් යුද්ධය ඇවිළුණු විට ප්‍රහාරයකට සූදානමින් ඇමරිකානු සබ්මැරීන් මතෙව් 6:9, 10) ඒත් ඒ යාච්ඤාවේ නියම තේරුම මම එදා දැනගෙන හිටියේ නැහැ. නමුත් දේවරාජ්‍ය කියන්නේ ස්වර්ගයේ පිහිටුවා තිබෙන ආණ්ඩුවක් බවත් නුදුරු අනාගතයේදී එමගින් දුෂ්ටකම් කරන අයව ඉවත් කරන බවත් එම රාජ්‍යය මගින් මේ මුළු පොළොවම පාලනය කිරීමට නියමිත බවත් දැන් මම දන්නවා.—දානියෙල් 2:44; 7:13, 14.
අත්ලාන්තික් සාගරයේ සීරුවෙන් තබා තිබුණා. එයින් මහ විනාශයක් වීමට ඉඩ තිබුණා. කෙසේනමුත් මේ පොළොවට ස්ථිර සාමයක් ලබා දීමට මිනිස් ආණ්ඩුවලට නොහැකි බවත් එය කළ හැක්කේ දෙවිගේ රාජ්‍යයට පමණක් බවත් මම වටහාගත්තා. ‘ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත පොළොවෙහිද සිදු වේවා’ කියා බොහෝවිට මමත් යාච්ඤා කරලා තියෙනවා. (බයිබලයේ දෙවන කොරින්ති 10:3, 4හි සඳහන් වචන මගේ හිතට තදින්ම කාවැදුණා. ක්‍රිස්තියානීන් ‘යුද්ධ කරන්නේ මාංසික ලෙස නොවේ’ කියා එහි සඳහන් වන අතර ‘අප කරන යුද්ධයේ ආයුධ මාංසික ඒවා නොව නමුත් දෙවි නිසා ඒවා ඉතා බලවත්’ කියාත් සඳහන් වෙනවා. එම ආයුධ සංකේතාත්මක ඒවා බව මම ඉගෙනගත්තා. ඒවාට “ආත්මයේ කඩුව” ලෙස හඳුන්වන බයිබලයද ඇතුළත්.—එෆීස 6:17.
මම තෘප්තියක් ලැබූ මේ වෘත්තියෙහි දිගටම නියැලෙනවාද නැත්නම් බයිබලයෙන් ඉගෙනගත් දේට අනුව මගේ ජීවිතය වෙනස් කරනවාද කියා තීරණයක් ගැනීමට කාලය උදා වුණා. ඒ ගැන මම දෙවිට ගොඩක් යාච්ඤා කළා. සාමකාමී මිනිසෙක් වෙන්න මට අවංක ආශාවක් තිබෙනවා නම් දෙවි කැමති විදියට දේවල් කළ යුතුයි කියා මම තීරණය කළා.
මගේ අලුත් “යුධ සේනාධිපති”
මමයි මාරියි දෙවිට යාච්ඤා කරලා ඉදිරිය ගැන හිතලා තීරණයක් ගත්තා. එය නම් අපේ ශ්‍රේෂ්ඨතම “යුධ සේනාධිපති” වන යෙහෝවා දෙවිට සේවය කිරීමයි. අපි දෙන්නම දෙවිට කැප වෙන්න තීරණය කළා. පසුව මම අස්වීමේ ලිපිය භාර දුන් අතර තීරණය ලැබෙන තුරු මාව වර්ජිනියා ප්‍රාන්තයේ නෝෆොල්ක්වලට මාරු කෙරුවා. මගේ තීරණය ගැන සෙසු නිලධාරීන් බොහෝදෙනෙකුට ප්‍රහේලිකාවක් වුණා වගේම ඔවුන් ඊට විරුද්ධ වුණා. තවත් අය අවංකවම මගේ තීරණයට ගරු කළා.
මගේ අස්වීම භාරගත් බව 1974දී මට දැනුම් දුන්නා. එම අවුරුද්දේම වර්ජිනියා ප්‍රාන්තයේ හැම්ප්ටන්වල පැවති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැවැත්වූ “දෙවිගේ අරමුණ” නමැති දිස්ත්‍රික් සමුළුවේදී අපි දෙන්නම බව්තීස්ම වුණා. (මතෙව් 28:19, 20) එය අපේ ජීවිතයට අලුත් ආරම්භයක් ලබා දුන්නා.
අලුත් අභියෝග
ඒ වෙද්දී අපේ දරුවෝ දෙන්නම පොඩියි. ආදායම් මාර්ගයක් තිබුණෙත් නැහැ. අතේ තිබුණ මුදලත් ප්‍රමාණවත් වුණේ මාසයකට දෙකකට විතරයි. මම රැකියා කිහිපයකටම අයදුම් පත් යැවූ අතර ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මට ඉක්මනින්ම එක් සමාගමකින් රැකියාවක් ලැබුණා. එහි වැටුප කලින් ලැබුණු වැටුපෙන් භාගයයි. ඒ වුණත් අපේ පවුලට ඒක ප්‍රමාණවත් වුණා.
මමයි මාරියි දෙවිගේ සේවය තුළ වැඩි වැඩියෙන් හවුල් වූ අතර එය තවත් වැඩි කරන්න අපිට අවශ්‍ය වුණා. අපි හඳුනන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර පවුලක් වර්ජිනියාවේ මධ්‍යම ප්‍රදේශයට පදිංචියට ගොස් තිබුණා. ඔවුන් එසේ කළේ බයිබලය ගැන අන් අයට ඉගැන්වීමේ වැඩි අවශ්‍යතාවක් තිබූ නිසයි. දිනක් ඔවුන් අපට ඔවුන්ගේ නිවසට ආරාධනා කළා. අපිත් එම ප්‍රදේශයට පදිංචියට යනවා කියා එදාම තීරණය කර ඒ සඳහා සැලසුම් කරන්න පටන්ගත්තා. මම රැකියා ස්ථානයෙන් ඒ ප්‍රදේශයට මාරුවක් ඉල්ලූ අතර මාව පුදුමයට පත් කරමින් එය ලැබුණේ උසස් වීමක්ද සමඟයි! ඒ වගේම බඩු මුට්ටු ප්රවාහණය සඳහා යන ගාස්තුව ගෙවීමටද ඔවුන් කැමති වුණා. ඇත්තටම දෙවිගේ කැමැත්ත කිරීමට උත්සාහ කරන අයව ඔහු රැකබලා ගන්නා බව අපිට හොඳින්ම තේරුණා.—මතෙව් 6:33.
අපි ඉතා සරල ජීවිතයක් ගත කළ නිසා දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න මාරිටයි මටයි හැකි වුණා. ඒ වගේම අපේ දුවයි පුතයි එක්ක වැඩිපුර කාලයක් ගත කරන්නත් ඉන් ප්‍රස්තාව ලැබුණා. ඒ සියල්ලෙන් අපි අප්‍රමාණ සතුටක් ලැබූ අතර දුව ඇලිසන් සහ පුතා ඩෲ ‘සත්‍යයෙහි ගමන් කරමින් සිටිනවා’ දැකීමද ඒ සතුට තවත් වැඩි කරනවා.—3 යොහන් 4; හිතෝපදේශ 23:24.
ආර්ථික අමාරුකම්, නිවාස ප්‍රශ්න, සෞඛ්‍ය ගැටලු සහ මහලු වයස නිසා අපි විටින් විට කනස්සලු වෙන බව ඇත්තයි. නමුත් ඒ හැම අවස්ථාවකදීම දෙවි අප ළඟින්ම සිටියා. මම මුලින් කළ ඒ “නිහඬ සේවය” අත්හැරීම ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. මාරිත් මමත් අපගේ ජීවිතය දෙස ආපසු හැරී බලද්දී අපිට කියන්න පුළුවන් එකම දේ වන්නේ යෙහෝවා දෙවිට සේවය කිරීම තරම් තෘප්තිය ගෙන දෙන වෙන කිසිම උසස් සේවයක් තවත් නැති බවයි.—දේශනාකාරයා 12:13.
[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ශ්‍රේෂ්ඨතම “යුධ සේනාධිපතිට” සේවය කරන්න අපි තීරණය කළා.
[12, 13වන පිටුවේ පින්තූරය]
යූ. එස්. එස්. “ලොස් ඇන්ජලීස්”
[හිමිකම් විස්තර]
U.S. Navy photo
[13වන පිටුවේ පින්තූරය]
මම මාරි සමඟ