Skip to content

පටුනට යන්න

විනීත ඇඳුම් තෝරාගන්න මට පුළුවන් කොහොමද?

විනීත ඇඳුම් තෝරාගන්න මට පුළුවන් කොහොමද?

යෞවන අය අසති

විනීත ඇඳුම් තෝරාගන්න මට පුළුවන් කොහොමද?

හෙදර් ගමනක් යන්න ගෙදරින් පිටවෙන්නයි යන්නේ. ඇගේ ඇඳුම දුටු දෙමාපියන් පුදුමයට පත් වී මෙසේ අසනවා.

“ඔයා මොකක්ද ඔය ඇඳන් යන්නේ?”

“ඇයි, මේ ඇඳුමට මොකද වෙලා තියෙන්නේ?” කියා හෙදර් පුදුමයෙන් වගේ ඇසුවා. “මම යාළුවෙක් එක්ක සාප්පු යන්නයි යන්නේ.”

එවිට මව මෙසේ පවසනවා. “ගියාට කමක් නැහැ. හැබැයි ඕක නම් ඇඳගෙන යන්න එපා!”

“ඒත් අම්මේ . . . දැන් හැමෝම අඳින්නේ මේ විදියටනේ” කියා ඇය පවසනවා.

එවිට පියා කෑ ගසමින් මෙසේ කියනවා. “ඒ වුණාට මමයි අම්මයි නම් කැමති නැහැ ඔයා ඔහොම අඳිනවට. අනික අනික් අය ඔයා ගැන මොනවා හිතයිද? ඒ නිසා කරුණාකරලා ගිහිල්ලා ඔය ඇඳුම මාරු කරගෙන එන්න. නැත්නම් ගෙදර ඉන්න.”

එවැනි මතභේද නිවසකට අලුත් දෙයක් නොවෙයි. ඔබගේ දෙමාපියන්ද ඒ කාලයේදී ඔවුන්ගේ දෙමාපියන් සමඟ එවැනිම මතගැටුම් ඇති කරගන්න ඇති. එමෙන්ම ඒ කාලයේදී ඔවුන්ට හැඟෙන්න ඇත්තේද දැන් ඔබට හැඟෙන ආකාරයටම විය හැකියි. නමුත් දැන් ඔවුන් සිතන ආකාරය වෙනස් වී ඇති නිසා ඔබ අඳින පළඳින ආකාරය සම්බන්ධයෙන් විවිධ මතගැටුම් ඇති විය හැකියි.

ඔබ කියයි: ඒක ඇන්දම නම් හරිම පහසුයි.

ඔවුන් කියයි: ඒක කිසිම පිළිවෙලක් නැති ඇඳුමක්.

ඔබ කියයි: මේක කොච්චර ලස්සනද!

ඔවුන් කියයි: ඕක ඇන්දම අනික් අය ඔයා ගැන මොනවා හිතයිද?

ඔබ කියයි: මම මේක ගත්තේ හරිම අඩුවට.

ඔවුන් කියයි: ඒක තමයි ඇඳුමෙනුත් භාගයක් අඩු!

එවන් විවාද සමතයකට පත් කරන්න ක්‍රමයක් නැද්ද? ඇත්තෙන්ම තියෙනවා. විසිතුන් හැවිරිදි මේගන් ඒ ගැන මෙසේ පවසනවා. “ඒ ගැන වාද කරන්නේ නැතුව එකඟතාවකට එන්න පුළුවන්.” ඒ කියන්නේ අවුරුදු 40ක විතර කෙනෙක් වගේ අඳින්න කියන එකද? නැහැ. එහෙම නෙමෙයි. එකඟතාවකට පැමිණෙනවා කියන්නේ ඔබ සහ දෙමාපියන් අතර ඇති රුචි අරුචිකම් සාකච්ඡා කර දෙපාර්ශවයම සතුටු වන ආකාරයේ තීරණවලට එලඹීමයි. ඉන් ඇති ප්‍රයෝජන මොනවාද?

1. ඔබ ඔබේ මිතුරන් අතර පවා විනීත මෙන්ම කැපී පෙනෙන පුද්ගලයෙකු වෙයි.

2. දෙමාපියන් පෙර මෙන් ඔබේ ඇඳුම් ගැන විවේචනය නොකරයි.

3. ඇඳුම් සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් වන විට ඔබේ දෙමාපියන් වෙනත් කාරණා සම්බන්ධයෙන්ද ඔබට වැඩි නිදහසක් ලබා දිය හැකියි.

ඔබේ හිත ගිය ඇඳුමක් සාප්පුවක හෝ වෙනත් ස්ථානයක දුටුවා කියා සිතන්න. නමුත් එය මිල දී ගැනීමට පෙර මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.

බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්න

බයිබලයේ ඇඳුම් පැළඳුම් ගැන උපදෙස් අඩංගු වී ඇත්තේ ඉතා ස්වල්පයයි. ඒවා විනාඩි කිහිපයකින් කියවා අවසන් කරන්න ඔබට හැකියි. නමුත් ඒවා මොන තරම් වටිනා මෙන්ම නොවෙනස් වන මඟ පෙන්වීම්ද කියා ඔබ තේරුම්ගනියි. උදාහරණයකට මේ උපදෙස ගැන සිතන්න.

▪ බයිබලයේ ස්ත්‍රීන්ට උපදෙස් දී තිබෙන්නේ “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතු” ඇඳුම් අඳින්න කියායි. *1 තිමෝති 2:9, 10.

“විනීතව” අඳින්න කියද්දී ඉන් අදහස් කරන්නේ කිසිම ලස්සනක් නැති නිකම්ම නිකම් ඇඳුම් අඳින්න කියන එකද? කොහෙත්ම නැහැ. විනීතව ඇඳපැළඳ සිටින්න කීමෙන් අදහස් කරන්නේ ඔබ ගැන අන් අය තුළ හොඳ හැඟීමක් ඇති වන ආකාරයෙන් ඇඳුම් ඇඳීම හා අන් අයගේ හැඟීම් ගැන ඔබ සැලකිලිමත් වන බවත් පෙන්වීමයි. (2 කොරින්ති 6:3) එලෙස ඇඳපැළඳිය හැකි බොහෝ විලාසිතා තිබෙනවා. “ඒවා තෝරාගැනීම අභියෝගයක් වුණත් එහි අන්තයටම නොයා විලාසිතා කරන්න ඔබට පුළුවන්” කියා 23 හැවිරිදි ඩැනියෙල් පවසනවා.

▪ බයිබලයේ සඳහන් වන්නේ අපි වැඩි පුර අවධානයක් දිය යුත්තේ අපගේ පිටාතර පෙනුමට වඩා ‘සිතේ අභ්‍යන්තර පුද්ගලයාට’ බවයි.—1 පේතෘස් 3:4.

අවිනීත ඇඳුම් ඇඳ සිටින කෙනෙකු දෙස අන් අයගේ ඇස් විගස යොමු විය හැකි බව ඇත්තයි. නමුත් එමඟින් අන් අය තුළ ඔහු හෝ ඇය ගැන ගෞරවයක් නම් ඇති වන්නේ නැහැ. ඔවුන්ගේ මිතුරන් පවා ඔවුන්ට ගෞරව කරයි කියා සිතන්න අමාරුයි. එවැනි ඇඳුම් අඳින අය ගැන 16 හැවිරිදි බ්‍රිටැනි කියන්නේ මෙහෙමයි. “සමහර ගැහැනු ළමයි අඳින පළඳින විදිය හරිම ලැජ්ජ සහගතයි. ඒක හරියට පිරිමින්ට කරන ආරාධනාවක් වගෙයි.” කා නමැති යෞවනියද මෙසේ පවසනවා. “ඔවුන්ගේ ඇඳුම්වලින් ඔවුන් කියන්න උත්සාහ කරන්නේ ‘මගේ දිහා බලන්න’ කියන එකයි. පිරිමි අයගේ අවධානය ගන්න ඔවුන් ඕනෑම ඇඳුමක් අඳියි.”

විලාසිතා තේරීමේදී: කාමුක හැඟීම් අවුස්සන විලාසිතා තෝරාගැනීමෙන් වළකින්න. අවිනීත ලෙස අඳින පළඳින කෙනෙක් තමාගේම හැඟීම් ගැන පමණක් සිතන අතර ඒ තුළින් පිරිමි අයව ආකර්ෂණය කිරීමට උත්සාහ දරන බවක් අඟවයි. එමෙන්ම එවන් ඇඳුම් නිසා කෙනෙකු අන් අයගේ හිරිහැරවලට හෝ ඊටත් වඩා භයානක තත්වයන්ට පත් විය හැකියි. නමුත් විනීත ඇඳුම් තෝරාගැනීමෙන් ඔබට මනා පෙනුමක් ලැබෙන අතර ඔබ ගුණයහපත් පුද්ගලයෙක් බවද අන් අය දකියි.

දෙමාපියන්ගේ අදහස් විමසන්න

ඔබ ඇඳුම් පැළඳුම් තෝරාගැනීමේදී ඒ ගැන ඔබේ දෙමාපියන්ගෙන් විමසීමද සුදුසුයි. නිවසේදී පිළිවෙලට ඇඳ පැළඳ ගෙන වෙනත් ස්ථානයකදී ඇඳ ගැනීම සඳහා අවිනීත ඇඳුම්, රහසින් රැගෙන යනවා නම් එය සුදුසු දෙයක් නොවෙයි. දෙමාපියන්ගේ අවධානයට ලක් නොවන අවස්ථා ඇතුළු සෑම විටකදීම ඔබ අවංකව කටයුතු කරනවා නම් ඉන් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔබට හැකි වෙයි.—හිතෝපදේශ 15:22.

ඔබ ගන්නා ඇඳුම් පැළඳුම් ගැන දෙමාපියන්ගෙන් විමසන්න ඕනේද? ඔවුන්ට අවශ්‍ය ඔබ අඳින පළඳින දේවල් කෙරෙහි නීති දමන්න කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් එය සත්‍යයක් නොවෙයි. ඔවුන් ඔබට වඩා වෙනස් විදියකට දේවල් දෙස බලනවා විය හැකියි. එය ඔබට ප්‍රයෝජන දායකයි. ඒ ගැන 17 හැවිරිදි නටාලීනි මෙවැනි දෙයක් පැවසුවා. “මම ඇඳන් යන ඇඳුම නිසා අනික් අය මං ගැන වැරදි විදියට කතා කරනවා අහන්න මම කැමති නැහැ. ඒ නිසා දෙමාපියන් මගේ ඇඳුම් ගැන දෙන උපදෙස් මම ගොඩක් අගය කරනවා.”

ඔබ මෙයද තේරුම්ගැනීම සුදුසුයි. ඔබ ඔබගේ දෙමාපියන් යටතේ සිටින තාක් කල් ඔවුන්ට කීකරු වෙන්න අවශ්‍යයි. (කොලොස්සි 3:20) ඔබ සහ දෙමාපියන් අතර ඇති වන සාකච්ඡා තුළින් එකිනෙකාගේ අදහස් උදහස් තේරුම්ගැනීමට හැකි වෙනවා. එවිට බොහෝ අවස්ථාවලදී ඔවුන් සමඟ එකඟතාවන්ට පැමිණෙන්න පුළුවන් බව ඔබම වටහාගනියි. එහි ප්‍රතිඵලය වන්නේ වාදයකින් තොරව ප්‍රශ්නය විසඳාගැනීමට හැකි වීමයි.

විලාසිතා තේරීමේදී: කැඩපතකින් බලන විට යම් ඇඳුමක් විනීතයි කියා පෙනෙන්න පුළුවන්. නමුත් ඔබ අසුන්ගන්නා විට හෝ යමක් ගැනීමට ඉදිරියට නැමෙන විට එමගින් අවිනීත පෙනුමක් දිස් විය හැකියි. එමනිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබේ දෙමාපියන්ගෙන් හෝ ඔබ ගැන සැලකිලිමත් වන කෙනෙකුගෙන් ඒ ගැන විමසන්න.

[පාදසටහන]

^ 23 ඡේ. එම උපදෙස සෘජුවම ලබා දී ඇත්තේ ස්ත්‍රීන්ට වුණත් එය පුරුෂයන්ටද අදාළයි.  “පිරිමි පාර්ශවයටත් මෙය අදාළද?” යන කොටුව බලන්න.

සිතා බලන්න

ඔබ ආශා කරන ඇඳුමක් ගැනීමට පෙර ඒ ගැන මෙසේ සිතන්න.

▪ මේකෙන් මං ගැන කියා පාන්නේ මොනවාද?

▪ මාව දකින අන් අය කුමනාකාර ප්‍රතිචාරයක් දක්වයිද?

▪ මම මේ ඇඳුම අඳින්නේ එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්ද?

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

මෙය අත්හදා බලන්න

මඟ පෙන්වීම්: මෙම පිටුව පිටපත් කරගන්න. මෙහි දකුණු තීරුව පිරවීමට ඔබේ දෙමාපියන්ට දෙන්න. වම්පස තීරුව ඔබ පුරවන්න. පසුව ඔබේ පිළිතුරු පත්‍ර මාරු කරගෙන ඒවා සාකච්ඡා කරන්න. ඔබව පුදුමයට පත් කරන දේවල් එහි තිබෙනවාද? ඔබ එකිනෙකා ගැන නොදැන සිටි අදහස් හා ආකල්ප ගැන ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?

ඔබ සඳහා

ඔබ මිල දී ගැනීමට කැමති හෝ දැනටමත් මිල දී ගෙන ඇති ඇඳුමක් ගැන සිතන්න.

▪ ඔබ එයට එතරම් කැමති ඇයි? ඊට හේතු පහත සඳහන් කරුණු ආශ්‍රයෙන් අනුපිළිවෙලින් ලියන්න.

..... වෙළඳ නාමය නිසා

..... කෙනෙකුව ආකර්ශනය කරගැනීමට

..... මිතුරන් අතර පිළිගැනීමක් ලැබීමට

..... පහසු ඇඳුමක් නිසා

..... මිල නිසා

..... වෙනත් .....

▪ මේ ඇඳුම දුටු සැණින් මගේ දෙමාපියන්ගේ ප්‍රතිචාරය විය හැක්කේ . . .

□ “ඕක නම් අඳින්න එපා!”

□ “කමක් නැහැ.”

□ “ඒක නම් හොඳයි!”

▪ ඔවුන් ඊට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව විය හැක්කේ . . .

□ “ඒකෙන් ගොඩක් ඇඟ පේන නිසා.”

□ “ඒක කිසිම පිළිවෙලක් නැති ඇඳුමක් නිසා.”

□ “ඒක දැන් තියෙන අලුත්ම විලාසිතාව නිසා.”

□ “ඒකෙන් දෙමාපියන් හැටියට ඔවුන්ව ලැජ්ජාවට පත් වෙන නිසා.”

□ “ඒක ගොඩක් ගණන් නිසා.”

□ වෙනත් .....

අපිට සහයෝගයෙන් වැඩ කළ හැකිද?

▪ මගේ දෙමාපියන්ගේ මඟ පෙන්වීම් මට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

.....

▪ මේ ඇඳුම විනීත විදිහට සකස් කරගන්න පුළුවන්ද?

.....

ඔබේ දෙමාපියන් සඳහා

බ් දරුවා මිල දී ගැනීමට කැමති හෝ දැනටමත් මිල දී ගෙන ඇති ඇඳුමක් ගැන සිතන්න.

▪ ඔහු හෝ ඇය ඊට කැමති හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? එය පහත සඳහන් තොරතුරු ආශ්‍රයෙන් අනුපිළිවෙලට සකස් කරන්න.

..... වෙළඳ නාමය නිසා

..... කෙනෙකුව ආකර්ශනය කරගැනීමට

..... මිතුරන් අතර පිළිගැනීමක් ලැබීමට

..... පහසු ඇඳුමක් නිසා

..... මිල නිසා

..... වෙනත් .....

 ▪ ඒ ඇඳුම දුටු සැණින් මම කියන්නේ . . .

□ “ඕක නම් අඳින්න එපා!”

□ “කමක් නැහැ.”

□ “ඒක නම් හොඳයි!”

▪ මම අකමැති වීමට හේතුව

□ “ඒකෙන් ගොඩක් ඇඟ පේන නිසා.”

□ “ඒක කිසිම පිළිවෙලක් නැති ඇඳුමක් නිසා.”

□ “ඒක දැන් තියෙන අලුත්ම විලාසිතාව නිසා.”

□ “දෙමාපියන් හැටියට ඒක අපිට ලැජ්ජාවක් නිසා.”

□ “ඒක ගොඩක් ගණන් නිසා.”

□ වෙනත් .....

අපිට සහයෝගයෙන් වැඩ කළ හැකිද?

▪ මේ ඇඳුමට අපි කැමති නැත්තේ අපේ පෞද්ගලික රුචි අරුචිකම් නිසාද?

□ ඔව් □ වෙන්න පුළුවන් □ නැහැ

▪ මේ ඇඳුම විනීත විදිහට සකස් කරගන්න පුළුවන්ද?

.....

අවසන් තීරණය

.....

[20වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“බයිබල් ප්‍රමිතිවලට පටහැනි නොවන ඕනෑම විලාසිතාවක් අඳින්න පුළුවන්. ඒ වගේ විලාසිතා තියෙන ලස්සන ඇඳුම් ඕනෑ තරම් තියෙනවා.”—ඩෙරික්

“ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මට ඕන වුණේ මම කැමති විදියට දේවල් කරන්නයි. මම අඳින්න ඕනේ මොනවද කියලා කවුරුවත් කියනවට මම කැමති වුණේ නැහැ. නමුත් පසුව මගේ දෙමාපියන් හා වැඩිහිටියන් ඒ ගැන දුන් උපදෙස් මම සිතට ගත්තා. ඒ නිසා කලින් අන් අය මට ගෞරවය නොදැක්වුවත් දැන් ඒ අය මට ගෞරව කරනවා.”—මේගන්

“අවිනීත ඇඳුම් ඇඳන් යන ගැහැනු ළමයි දකිද්දී ඔවුන් ගැන මගේ හිතේ තියෙන ගෞරවය අඩු වෙනවා. ඒ වුණත් හරිම විනීත, චාම් ඇඳුම් අඳින අයව දැක්කාම මට ඒ අය ගැන ගෞරවයක් ඇති වෙනවා. මමත් කැමති අනික් අය මං ගැනත් ඒ විදියට හිතනවාටයි.”—නටාලීනි

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පිරිමි පාර්ශවයටත් මෙය අදාළද?

මෙම ලිපියේ සඳහන් බයිබල් ප්‍රමිති පිරිමි පාර්ශවයටත් අදාළයි. එමනිසා ඔබත් විනීතව ඇඳපැළඳ සිටින්න. ඔබගේ පිටාතර පෙනුමට වඩා ඔබගේ ඇතුළාන්ත පුද්ගලයා ලෙස බයිබලයේ හඳුන්වන හොඳ ගති පැවතුම් වර්ධනය කරගන්න. යම් ඇඳුමක් ගැනීමට හෝ ඇඳීමට පෙර මේ ගැන සිතන්න. ‘මේ ඇඳුමෙන් කියා පාන්නේ මම මොනවගේ පුද්ගලයෙක් කියලද?’ අපගේ ඇඳුම් පැළඳුම් මගින් අප ගැන අන් අයට යම් පණිවිඩයක් ඉදිරිපත් වෙන බව මතක තබාගන්න. එමනිසා ඔබ අඳින පළඳින දේ ගැන ඉතා සැලකිලිමත් වන්න.

[21වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ හෙදර් ඔබේ දුව කියා සිතන්න. ඇය ඇඳ සිටින අවිනීත ඇඳුම දුටු සැණින් ඔබේ ප්‍රතිචාරය වන්නේ මෙයයි. “කරුණාකරලා ගිහිල්ලා ඔය ඇඳුම මාරු කරගෙන එන්න. නැත්නම් ගෙදර ඉන්න!” ඔබට කීකරු වෙනවා හැරෙන්න ඇයට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඇය එසේ කරයි. නමුත් ඇගේ ඇඳුම් විලාසිතා පමණක් නොව ඒ ගැන ඇයට තිබෙන ආකල්ප පවා වෙනස් කරගැනීමට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද?

▪ පළමුව, ඔබ මේ දේ තේරුම්ගැනීම අවශ්‍යයි. අවිනීත ලෙස ඇඳපැළඳීමෙන් ඇති වන ප්‍රතිඵල වැඩියෙන්ම බලපාන්නේ ඔබට වඩා ඔබේ දරුවාටයි. අන් අයගේ උසුළු විසුළු හෝ අනවශ්‍ය අවධානයට ලක් වන්න ඔවුනුත් කැමති නැහැ. එමනිසා අවිනීත ඇඳුම් පැළඳුම්වලින් ඔවුන්ට ප්‍රසන්න පෙනුමක් ලැබෙන්නේ නැති බව ඉවසීමෙන් යුතුව පහදා දෙන්න. * අනික් අතට සුදුසු ඇඳුම් තෝරාගැනීමටද ඔවුන්ට උපකාර කරන්න.

▪ දෙවනුව, ‘ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව’ පෙන්වන්න. (ෆිලිප්පි 4:5) ඒ ගැන මෙසේ සිතන්න. ‘ඒ ඇඳුමට මම අකමැති එය බයිබල් ප්‍රමිතිවලට පටහැනි නිසාද, නැත්නම් මම පෞද්ගලිකව ඊට අකමැති නිසාද?’ (2 කොරින්ති 1:24) එය පෞද්ගලික හේතුවක් නම් දරුවාට එම ඇඳුම තෝරාගන්න ඉඩ දෙන්න ඔබ කැමතිද?

▪ තුන්වෙනුව, ඔබගේ දරුවාට නුසුදුසු, අවිනීත ඇඳුම් මොනවාද යන්න ගැන නිකම්ම පවසනවා වෙනුවට ඔහුට හෝ ඇයට සුදුසු ඇඳුම් මොනවාද කියා තෝරාගැනීමට උපකාර කරන්න. ඒ සඳහා ඔබ වැය කරන කාලය හා වෑයම ඉතා වටිනවා.

[පාදසටහන]

^ 106 ඡේ. ඔබේ දරුවා ඔහුගේ පෙනුම ගැන ඉතා සැලකිලිමත් වන නිසා ඔහුගේ පෙනුමේ අඩුවක් තිබෙන බව ඇඟවීමෙන් වළකින්න.