Skip to content

පටුනට යන්න

අපි නිතරම වාද කරන්නේ ඇයි?

අපි නිතරම වාද කරන්නේ ඇයි?

යෞවන අය අසති

අපි නිතරම වාද කරන්නේ ඇයි?

රේචල් නමැති යෞවනිය තම මව සමඟ මතගැටුමක් ඇති කරගනියි. ඊට ඇය දායක වන ආකාර තුනක් ඔබට පහත සඳහන් සිද්ධියෙන් සොයාගත හැකිද කියා බලන්න. ඒවා මෙම සිද්ධිය අවසානයේ ඇති කොටසෙහි ලියන්න. ඉන්පසු මෙම ලිපියේ අවසානයේ ඇති “පිළිතුරු” යන කොටුවේ ඇති තොරතුරු සමඟ සසඳා බලන්න.

රේචල්ගේ වයස අවුරුදු 17යි. එක් බදාදා රාත්‍රියක ඇය තමාට තිබූ ගේදොර වැඩ කලින්ම අවසන් කළේ ටිකක් විවේක සුවයෙන් ගත කිරීමටයි. තම සුව පහසු පුටුවේ ඈඳිගත් ඇය රූපවාහිනිය නරඹන්න පටන්ගනියි.

ඒ මොහොතේම මව එතැනට පැමිණි අතර ඇගේ මුහුණේ නම් එතරම් සතුටක් දිස් වුණේ නැහැ. “රේචල්! ඇයි ඔයා මේ කාලේ නාස්ති කරන්නේ? නංගිගේ ඉස්කෝලේ වැඩවලට උදව් කරන්නේ නැද්ද? ඔයා නම් කවදාවත් කියන දේ එකපාර අහන්නේ නැහැ!”

“ඔන්න ඉතින් ආයෙත් පටන්ගත්තා” කියා රේචල් තම මවට ඇසෙන නෑසෙන සේ පවසයි.

එවිට මව ඇය දෙසට නැමී මෙසේ අසයි. “මොකක්ද කිව්වේ?”

හුස්මක් හෙළූ ඇය මව දෙස ඔරවා බලමින් “මුකුත් නෑ” කියා පවසයි.

ඒ ගැන හොඳටම කේන්ති ගිය ඇගේ මව මෙසේ පවසයි. “එන්න එපා මට ඔහොම කතා කරන්න, තේරුණාද?”

එවිට රේචල් එකට එක කියමින් “එතකොට ඔයා මට කතා කරන විදිහ හරිද” කියා අසයි.

විවේක සුවයෙන් ගත කරපු කාලය ඉවරයි. මේ ඉතින් තවත් යුද්ධයක ආරම්භයයි.

1. .....

2. .....

3. .....

ඔබ සහ ඔබේ දෙමාපියන් අතරත් නිතර නිතර එවන් වාද ඇති වෙනවාද? එසේනම් ඊට හේතුව කුමක්ද කියා වටහාගැනීමට උත්සාහ කරන්න? ඔබ වැඩිපුරම වාද කරන්නේ කුමන දේවල් ගැනද? ඒවා දකුණුපස ඇති ලැයිස්තුවේ තිබේ නම් ඊට ඉදිරියෙන් ලකුණක් දමන්න. ඊට අමතර දේවල් ඇත්නම් ඒවා “වෙනත්” යන ස්ථානයේ සඳහන් කරන්න.

◯ විවිධ මත

◯ ගේදොර වැඩ

◯ ඇඳුම් පැළඳුම්

◯ නිවසට පැමිණිය යුතු වේලාව

◯ විනෝදාංශ

◯ මිතුරන්

◯ ගැහැනු ළමයින් හෝ පිරිමි ළමයින්

◯ වෙනත් .....

ඔබ වාද කරන හේතුව කුමක් වුණත් ඒ තුළින් ඔබත් ඔබේ දෙමාපියනුත් දැඩි මානසික පීඩනයකට පත් වෙනවා. දෙමාපියන් පවසන සෑම දෙයකටම අමාරුවෙන් හරි ඔබ එකඟ බව මවාපාන්න පුළුවන්. නමුත් එය දෙමාපියන්ට කරන ගෞරවයක් කියා ඔබ සිතනවාද? බයිබලයේ සඳහන් වන ලෙස යෙහෝවා දෙවිද එය අනුමත කරන්නේ නැහැ. ඔහු ඔබෙන් ඉල්ලා සිටින්නේ “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියායි. (එෆීස 6:2, 3) ඒ වගේම ඔබේ “සිතීමේ හැකියාව” හා ‘බුද්ධිමත්ව’ කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කරගන්න කියා දෙවි ඔබට ආරාධනා කරනවා. (හිතෝපදේශ 1:1-4; රෝම 12:1) ඔබ එසේ කරන විට යම් දේවල් ගැන නිවැරදි තීරණ ගැනීමට ඔබට හැකි වෙයි. සමහරවිට ඒවා ඔබේ දෙමාපියන්ගේ අදහස්වලට වඩා වෙනස් විය හැකියි. සාමාන්‍යයෙන් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන පවුල්වල පවා යම් එකඟ නොවීම් හටගන්නවා. නමුත් ඒවා සාමකාමීව සාකච්ඡා කර විසඳාගැනීමට ඔවුන් දන්නවා.—කොලොස්සි 3:13.

සැර වාදයකට යොමු නොවී ඔබේ අදහස් විවෘතව ඉදිරිපත් කිරීමට හැක්කේ කෙසේද කියා අපි බලමු. මතගැටුමක් සිදු වන විටදී මෙවැනි දෙයක් පැවසීමට ඔබ පෙලඹිය හැකියි. “වැරැද්ද මගේ නෙවෙයි, ඔයාගෙයි. මාව කේන්ති ඇවිස්සුවේ ඔයයි.” ඔබට ඔබේ දෙමාපියන්ව පාලනය කරන්න හෝ වෙනස් කරන්න බැරි බව මතක තබාගන්න. ඒ වුණත් ඔබට ඔබව වෙනස් කරගත හැකියි. මතගැටුම පාලනය කිරීමට ඔබගේ පැත්තෙන් කළ යුතු දේ ඔබ කරන විට ඇති වන යහපත ගැන සිතන්න. ඔබ එසේ කරද්දී ඔබේ දෙමාපියන් බොහෝවිට සන්සුන්ව ඔබට ඇහුම්කන් දීමට පෙලඹෙයි.

විවාදයක් නතර කිරීමට ඔබට කළ හැකි දේවල් ගැන දැන් අපි බලමු. ඒ සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන්න. එවිට ඔබ අදහස් හුවමාරු කරන ආකාරයේ දියුණුව දැක ඔබත් ඔබේ දෙමාපියනුත් පුදුම වෙයි.

(යෝජනා: පහත සඳහන් යෝජනා හතරෙන් ඔබ දියුණු විය යුතුයි කියා ඔබට හැඟෙන පැති ලකුණු කරන්න.)

පිළිතුරු දීමට පෙර සිතා බලන්න. “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 15:28) ඔබට චෝදනා කරන විට කටට එන වචන එකවර පිට කිරීමෙන් වළකින්න. ඔබේ මව මෙසේ පවසනවා කියා සිතන්න. “ඇයි ඔයා අර පිඟන් කෝප්ප ටික හේදුවේ නැත්තේ? ඔයා නම් කවදාවත් කිව්ව ගමන් වැඩක් කරන කෙනෙක් නෙවෙයි.” එවිට සාමාන්‍ය ප්‍රතිචාරය විය හැක්කේ මෙයයි. “මොකක්ද මේ කරදරේ?” එසේ එකවර වචන පිට කරනවා වෙනුවට ඔබේ සිතීමේ හැකියාව භාවිත කරන්න. ඔබේ මව පවසන “කවදාවත් කරන්නේ නැහැ” සහ “හැමදාම ඔහොම තමයි” වැනි වචන ඒ සැටියෙන්ම භාර නොගෙන ඇය එසේ පැවසීමට හේතුව වටහාගන්න උත්සාහ කරන්න.

සමහරවිට ඔබේ මව වැඩවලින් වෙහෙසට පත් වී සිටින නිසා කිසිවෙක් ඇයට උපකාර කරන්නේ නැහැ කියා හැඟෙනවා විය හැකියි. එවැනි අවස්ථාවක ඇගේ උපකාරයට ඔබ සිටින බව දැනෙන්න සැලැස්වීම ඇයට ශක්තියක් ගෙන දිය හැකියි. අනික් අතට ඔබ නිතර නිතර ගේදොර වැඩ අතපසු කරන කෙනෙක් නම් ඔබේ මව ඒ ගැන චෝදනා කරන විට “මොකක්ද මේ කරදරේ” කියා පැවසීමෙන් තත්වය තවත් දුර දිග යනවා මිස කිසිම යහපතක් සිදු වන්නේ නැහැ. එමනිසා මවගේ සිත සැනසෙන ආකාරයෙන් ඔබට මෙසේ පැවසිය හැකියි. “අම්මට වැඩ වැඩියි කියලා මට තේරෙනවා. මම දැන්මම පිඟන් කෝප්ප ටික හෝදන්නම්.” ඇයව තේරුම්ගන්නා ආකාරයෙන් කතා කිරීමෙන් තත්වය සමතයකට පත් කරගත හැකියි.

ඔබේ මව හෝ පියා විසින් පැවසිය හැකි ඔබව කෝපයට පත් කරන යමක් පහත සඳහන් කරන්න.

.....

ඔවුන් එසේ පැවසීමට හේතුව තේරුම්ගෙන පිළිතුරු දිය හැකි සුදුසු ආකාරය ගැන හොඳින් සිතා එය පහත සඳහන් කරන්න.

. .....

ගෞරවනීයව කතා කරන්න. තම මව සමඟ කතා කරන ආකාරය ගැන මිෂෙල් අද්දැකීමෙන්ම ඉගෙනගෙන තිබෙනවා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මතගැටුමට හේතුව කුමක් වුණත් අම්මා අන්තිමට අල්ලගන්නේ මම අම්මට කතා කරපු විදිහ ගැනයි.” ඔබේ නිවසේත් තත්වය එය නම් මුහුණේ ඉරියව්වලින් ඔබේ කෝපය නොපෙන්වා ඉතා සන්සුන්ව හා සෞම්‍ය ලෙස කතා කිරීමට ඉගෙනගන්න. (හිතෝපදේශ 30:17) ඔබට කෝපය පාලනය කරගන්න බැරි තත්වයට පත් වෙයි නම් නිහඬව කෙටි යාච්ඤාවක් කරන්න. (නෙහෙමියා 2:4) ඔබ එසේ කරන්නේ ඔබව පාලනය කරගැනීමට අවශ්‍ය ඉවසීම ලබාගැනීම සඳහායි.—යාකොබ් 1:26.

ඔබ මඟ හැරිය යුතු සමහර වචන සහ ඉරියව් පහත සඳහන් කරන්න.

වචන:

.....

ඉරියව්:

.....

සවන් දෙන්න. බයිබලයේ සඳහන් මෙම උපදෙස බලන්න. “කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය.” (හිතෝපදේශ 10:19) එමනිසා ඔබේ දෙමාපියන්ට කතා කිරීමට ඉඩහැර ඔවුන්ට හොඳ අවධානයක් දෙන්න. එමෙන්ම ඒ අවස්ථාවේදී ඔබ සංගීතයට සවන් දෙමින් හෝ පොතක් කියවමින් සිටියා නම් එය සම්පූර්ණයෙන්ම නතර කර ඔවුන් දෙස බලන්න. කතාව අතර මඟ දී ඔවුන්ට බාධා කර ඔබේ නිදහසට කරුණු ඉදිරිපත් නොකරන්න. ඔවුන්ගේ කතාව අවසන් වූ පසු ප්‍රශ්න ඇසීමට හෝ ඔබට හැඟෙන දේ ප්‍රකාශ කිරීමට ඔබට ඕනෑ තරම් අවස්ථාව තිබෙයි. නමුත් ඔබ මුරණ්ඩු ලෙස ඔබේ මතය ඒ අවස්ථාවේදීම තහවුරු කිරීමට උත්සාහ කළොත් තත්වය දුර දිග යා හැකියි. එමනිසා ඔබට පැවසීමට බොහෝ දේ තිබුණත් ඒ අවස්ථාව “නිහඬව සිටීමට කාලයක්” විය හැකියි.—දේශනාකාරයා 3:7.

සමාව ඉල්ලන්න. ඇති වූ මතගැටුමට ඔබත් හේතු වුණා නම් එවන් සෑම අවස්ථාවකදීම “මට සමාවෙන්න” කියා පැවසීම සුදුසුයි. (රෝම 14:19) ඔවුන් සමඟ මුහුණට මුහුණ කතා කිරීම ඔබට දුෂ්කර නම් ඔබට හැඟෙන දේ ලියා දන්වන්න. ඊට අමතරව මතගැටුමකට තුඩු දුන් හැසිරීම වෙනස් කරගැනීමෙන්ද ඔබ ඒ ගැන කනගාටු වන බව පෙන්විය හැකියි. (මතෙව් 5:41) උදාහරණයකට මතගැටුම හටගත්තේ ඔබ යම් වැඩක් අතපසු කළ නිසා නම් එය විගස ඉටු කිරීමෙන් ඔබේ දෙමාපියන්ගේ සිත සතුටට පත් කළ හැකියි. ඔබට පැවරූ කාර්යය නොකර සිටීමෙන් අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දෙනවාට වඩා එය ඉටු කිරීමෙන් තත්වය වඩාත් යහපත් වන බව ඔබටම වැටහෙයි.—මතෙව් 21:28-31.

මතගැටුමක් නිරාකරණය කිරීමෙන් හෝ එය වළක්වා ගැනීමෙන් ඔබට විශාල සහනයක් ලැබෙයි. ඒ බව බයිබලයේද මෙසේ තහවුරු කර තිබෙනවා. “ප්‍රේමණීයව කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි.” (හිතෝපදේශ 11:17) එමනිසා ඔබේ පැත්තෙන් සිදු විය යුතු කොටස ඔබ කරන විට ඔබ සහ ඔබේ දෙමාපියන්ට දැනෙන පීඩනය අඩු කරගත හැකියි. ඉන් ලැබෙන ප්‍රයෝජන මොන තරම්ද කියා සිතා බලන්න.

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා පවුල් තුළ පවා මතගැටුම් හටගන්නවා. නමුත් ඒවා සාමකාමීව විසඳාගන්නා ආකාරය ඔවුන් දන්නවා. එමනිසා ඔබත් මෙම ලිපියේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න. එවිට විශාල මතගැටුමකට තුඩු දෙන දෙයක් පවා විවාදයකින් තොරව විසඳාගත හැකියි.

සිතා බලන්න

● වාද කිරීම හොඳයි කියා ඔබේ සමහර යහළුවන් සලකන්නේ ඇයි?

● වාද කරන කෙනෙකුව අඥාන පුද්ගලයෙක් ලෙස යෙහෝවා දෙවි සලකන්නේ ඇයි?—හිතෝපදේශ 20:3.

[27වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“මම රැකියාවක් කළත් මම තාමත් ජීවත් වෙන්නේ අම්මගේ නිවසෙයි. ඒ නිසා මම ඇය කියන දේ අහන්න ඕනේ. ඇය මේ දක්වා මාව අවුරුදු ගාණක් හොඳින් රැකබලා ගෙන තියෙනවා. ඉතින් ගෙදර එන්න ඕනේ වෙලාව වගේ දේවල්වලට අම්මා සීමාවන් දාලා තියෙන්නේ මගේම යහපතට කියලා මම හොඳින්ම දන්නවා.”

“මට මගේ දෙමාපියන් එක්ක සමහර කාරණාවලදී එකඟවෙන්න බැරි වුණාම අපි එකතු වෙලා ඒ ගැන යාච්ඤා කරනවා. ඒ ගැන තොරතුරු හොයලා ඒවා සාකච්ඡා කරනවා. අපි හැමතිස්සේම එකඟතාවකට එන්නේ එහෙමයි. එවැනි අවස්ථාවලදී යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් ප්‍රතිඵලය ඉතා යහපත්.”

[පින්තූර]

ඩැනියෙල්

කැම්රන්

[29වන පිටුවේ කොටුව]

පිළිතුරු

1. සිත රිදෙන ආකාරයේ (“ඔන්න ඉතින් ආයෙත් කියවන්න පටන්ගත්තා”) වචනවලින් සිදු වන්නේ මව තවත් කලකිරීමට පත් වීමයි.

2. රේචල්ගේ මුහුණේ ඉරියව්වෙන් (ඔරවා බැලීමෙන්) සිදු වන්නේ වාදයකට අතවැනීමක්.

3. එකට එක කීමෙන් (“ඔයා එතකොට මට කතා කරන විදිහ හරිද?”) සිදු වන්නේ වාදය තවත් දුර දිග යෑමයි.

[29වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

මෙම ලිපිය ආරම්භයේ සඳහන් රේචල්ගේ සිද්ධිය ගැන සිතන්න. මතගැටුමක් පටන්ගැනීමට ඇගේ මව දායක වුණේ කෙසේද? ඔබේ දරුවා සමඟ වාද කිරීමෙන් වළකින්න ඔබට පුළුවන් කොහොමද? පහත සඳහන් තොරතුරු ඒ සඳහා ඔබට ප්‍රයෝජනවත් වෙයි.

“ඔයා හැමදාමත් . . . ” හෝ “ඔයා කවදාවත් . . . ” වැනි දේ ප්‍රකාශ කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබේ දරුවා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පෙලඹිය හැකියි. ඔබේ චෝදනාව සම්පූර්ණ සත්‍යයක් නොවන බව ඔවුන් දන්නවා. එමෙන්ම ඔබ එසේ පැවසීමට හේතුව දරුවාගේ වරදට වඩා ඔබේ කේන්තිය නිසා බවත් දරුවා තේරුම්ගන්නවා.

කෙළින්ම “ඔයා” කියා චෝදනා කරනවා වෙනුවට දරුවා කළ දේ ගැන ඔබට හැඟුණු ආකාරය ගැන මෙසේ පවසන්න පුළුවන්. “මට හරියට දුක හිතුණා ඔයා . . . ” ඔබට හැඟෙන දේ දරුවා තේරුම්ගැනීම ඉතා වැදගත් බව මතක තබාගන්න. එසේ කිරීමෙන් ඔබ සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඔහු හෝ ඇය වැඩි කැමැත්තක් දක්වයි.

ඔබේ කෝපය පාලනය කරගැනීම දුෂ්කර වුණත් එසේ කිරීම වැදගත්. (හිතෝපදේශ 10:19) වාදය හටගැනීමට හේතුව දරුවා ගේදොර වැඩක් අතපසු කිරීම නම් ඒ ගැන ඔහු සමඟ කතා කරන්න. එමෙන්ම ඔබ ඔහුගෙන් බලාපොරොත්තුවන දේ නිශ්චිතව පවසන්න. අවශ්‍ය නම් ඔහු එය නොකළොත් අත් වන ප්‍රතිඵල ගැනද පැහැදිලි කරන්න. එමෙන්ම දරුවා පවසන දේ වැරදි වුණත් ඔහුට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න. බොහෝ දරුවන් කැමති වන්නේ දේශනයකට වඩා දෙමාපියන් තමන්ට සවන් දෙනවාටයි.

දරුවා හැසිරෙන ආකාරය නිසා ඔහු කැරලිකාරයෙක් කියා නිගමනය කිරීමට ඉක්මන් වෙන්න එපා. සාමාන්‍යයෙන් දරුවෙක් වැඩෙත්ම ඔහුගේ හැසිරීම් විලාසය තුළ එවැනි වෙනස්කම් දකින්න ලැබෙනවා. එමෙන්ම ඔහු වාද කරන්නේ තමන් දැන් වයසින් වැඩි බව ඔප්පු කිරීමේ ක්‍රමයක් ලෙස විය හැකියි. එමනිසා වාදයකට පැටලෙන්න ඉක්මන් වෙන්න එපා. කෝප කරවන අවස්ථාවකදී ඔබ හැසිරෙන ආකාරයෙන් ඔබ ඔබේ දරුවාට වැදගත් පාඩමක් උගන් වන බව මතක තබාගන්න. ඒ අනුව බොහෝ සේ ඉවසීමට පුරුදු වීමෙන් ඔබේ දුවට හෝ පුතාට හොඳ ආදර්ශයක් තබන්න.—ගලාති 5:22, 23.

[28වන පිටුවේ පින්තූරය]

ඔබේ දෙමාපියන් සමඟ වාද කිරීම, එක තැන දුවනවා හා සමානයි. ඔබ කොතරම් ශක්තිය වැය කළත් ඔබ සිටින්නේ එක තැනමයි