අපගේ පාඨකයන්ගෙන්
අපගේ පාඨකයන්ගෙන්
ධනයට වඩා වටිනා ආශීර්වාද (2009 මාර්තු) මම හිතුවේ අපි දුප්පත් වුණත් පොහොසත් වුණත් යෙහෝවා දෙවිට කරන නමස්කාරයට මුල් තැන දෙනවා නම් එය දෙවි හෙළාදකින්නේ නැහැ කියලයි. ඒත් අපි සැප පහසු ජීවිතයක් ගත කරනවාට දෙවි කැමති නැහැ කියනවා හා සමාන අදහසක් කොස්තා නමැති තැනැත්තා ඒ ලිපියේ ප්‍රකාශ කර තිබුණා. එහෙමනම් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් ධනවත් ජීවිතයක් ගත කරන එක වැරදිද?
එක්සත් ජනපදයේ ජේ. ඩී.
“පිබිදෙව්!” පිළිතුරු දෙයි: කෙනෙකුට ධනය තිබීම වැරදියි කියා බයිබලයේ පවසන්නේ නැහැ. පුරාණයේ සිටි දෙවිගේ බොහෝ සේවකයන්ද ඉතා ධනවත් පුද්ගලයන් වුණා. (උත්පත්ති 25:5; 26:12-16; යෝබ් 1:1-3) නමුත් ‘තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව පැමිණෙන්නේ පියාණන්ගෙන් නොව මේ ලෝකයෙන්’ බව ධනවත් අය මතක තබාගැනීම වැදගත්. (1 යොහන් 2:16) එමෙන්ම “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය” කියා පාවුල්ද පැවසුවා. තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ “සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා ඔවුන් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇති අතර තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු” වූ බවයි. (1 තිමෝති 6:10) ඇත්තෙන්ම කෙනෙකුට ධනය තිබීම නිසා ඔහු තමා ගැන වරදකාරී හැඟීමක් ඇති කරගත යුතු බව බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කෙනෙක් ධනවත් වුණත් නැතත් සියලුම ක්‍රිස්තියානීන්ට බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ ‘ත්‍යාගශීලී වීමට හා අනුන් සමඟ බෙදාගැනීමට සූදානම් වී සිටින්න’ කියායි.—1 තිමෝති 6:18.
සවනට නෑසුණත් හදවතට දැනේ (2008 ඔක්තෝබර්) රෙට් සින්ඩ්‍රොම් රෝගයෙන් පෙළෙන හිලරි නමැති කුඩා දැරිය ගැන කියවීම මට ලොකු දිරිගැන්වීමක් වුණා. මටත් අවුරුදු පහක මුනුපුරෙක් ඉන්නවා. එයාට පේන්නේවත් ඇහෙන්නේවත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඇවිදින්නවත් කතා කරන්නවත් ඉඳගන්නවත් බැහැ. නමුත් මම හිතනවා මම එයාට සින්දු කියනකොට, කියවනකොට, කතා කරනකොට වගේම අතගානකොට එයාට ඒක දැනෙනවා ඇති කියලා. හිලරිගේ අම්මා කිව්ව මේ වචන මම කියවනකොට මට ඇඬුණා. “ඇය පවසන දේ මට නොඇසුණත් යෙහෝවා දෙවිට ඒ සෑම දෙයක්ම ඇසෙනවා.” මගේ මුනුපුරාටත් කතා කරන්න බැරි වුණාට එයාගේ හදවතේ තියෙන දේ යෙහෝවා දෙවි තේරුම්ගන්නවා කියලා දැනගන්න, ඒක මට විශාල උපකාරයක් වුණා.
ජපානයේ එම්. ඒ.
මට වයස අවුරුදු 43ක ආබාධිත දුවෙක් ඉන්නවා. ඇත්තටම එයාගේ අසනීප තත්වය ගැනත් ඒකට හේතුව ගැනත් මම හරියටම දැනගත්තේ මේ ලිපිය කියෙව්වාට පස්සෙයි. හිලරි ගැන වගේම ඇයගේ අම්මයි අක්කයි ගැනත් මට හරිම දුකයි. අපි ඉන්නේ ඒ අයට සැතපුම් දහස් ගණනක් ඈතින් වුණත් මට ඒ අය ඉන්න තත්වේ හොඳට තේරෙනවා. ඒ වගේම ඒ අයට දෙවි ගැන තියෙන විශ්වාසය, ප්‍රේමය වගේම විඳදරාගැනීමත් මම හුඟක් අගය කරනවා.
ඝානාවේ ටී. වයි.
ගබ්සාව විසඳුමක්ද? ගබ්සාව සම්බන්ධයෙන් ඔබ විසින් පළ කළ ලිපි මාලාවට බොහොම ස්තුතියි. මගේ විසි ගණන්වලදී මමත් ඒ වරද කළා. නමුත් පසුව ඒ ගැන මට දරාගන්න බැරි දුකක් දැනුණා. පසු කාලයේදී හරි මට සැබෑ දෙවි ගැන දැනගන්න ලැබුණේ නැත්නම් මම තවමත් ඉන්නේ දුකෙන්. නමුත් යෙහෝවා දෙවි මට සමාව දෙනවා කියලා දැනගන්න ලැබුණ එක ලොකු සහනයක්.
එක්සත් ජනපදය, නම සඳහන් කර නැත
යෞවන අය අසති, මගේ මවගේ හෝ පියාගේ වියෝව දරාගන්නේ කොහොමද? (2009 අගෝස්තු) මගේ තාත්තා හදිසියෙන් නැති වෙනකොට මගේ වයස අවුරුදු 22යි. ඒක මට විශාල කම්පනයක් වුණා. මේ ලිපියේ සඳහන් කර තිබුණා වගේ මටත් මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී තාත්තා එක්ක මගේ ප්‍රීතිය බෙදාගන්න ලැබෙන්නේ නැහැ. තාත්තා නැති වෙලා අවුරුදු තුනක් ගත වුණත් මගේ මනස හදාගන්න මට තවමත් අමාරුයි. ඒ වුණත් මේ ලිපිය මට ලොකු සහනයක් වුණා. මේකේ දීලා තිබුණ යෝජනා ක්‍රියාත්මක කරන එක අමාරු දෙයක් වගේ පෙනුණත් ඇත්තටම ඒවා හරිම ප්‍රයෝජනවත් බව මම අද්දැක්කා. ඔබ කරන කාර්යය මම ඇත්තටම හුඟක් අගය කරනවා.
ප්‍රංශයේ එන්. පී.