Skip to content

පටුනට යන්න

දරු උපතක අරුමය

දරු උපතක අරුමය

දරු උපතක අරුමය

මාස නවයක් පුරා මවක් සහ පියෙක් පුලපුලා බලා සිටින්නේ තම කිරිකැටි බිලිඳා මෙළොව එළිය දකිනතුරුයි. * නියමිත කාලය සම්පූර්ණ වූ පසු මවගේ ශරීරයේ ඇති වන පුදුමාකාර සිදු වීම් රැසක් සමඟින් පුංචි කිරිකැටියා මෙළොව එළිය දකියි.

ඒ ආශ්චර්යවත් දෙය සිදු වන්නේ කෙසේද? ඊට බලපාන ප්‍රධාන ක්‍රියාවලියන් දෙකක් ගැන දැන් අපි සලකා බලමු. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ මොළයේ ඇති පිටියුටරි ග්‍රන්තිය මගින් ඔක්සිටෝසින් නමැති හෝමෝනය නිපදවනවා. නමුත් දරු ප්‍රසූතිය ආසන්නයේදී මවකගේ මෙම හෝමෝනය වැඩියෙන් නිපදවෙනවා. ඒ මගින් මවගේ ගැබ් ගෙල ළිහිල් වී විවෘත වෙන අතර ගර්භාෂය රිද්මයානුකූලව සංකෝචනය වීමට පටන්ගන්නවා. මවට ප්‍රසව වේදනාව ඇති වන්නේ එවිටයි.

මෙම හෝමෝනය මුදාහැරීමට නියමිත වේලාව කුමක්ද කියා පිටියුටරි ග්‍රන්තිය තීරණය කරන්නේ කෙසේද කියා තවමත් සොයාගෙන නැහැ. එක් පොතක මෙසේ සඳහන් වුණා. “ගැබ් කාලය අවසන් බවත් දරුවා ප්‍රසූත කිරීමට කාලය නියමිත බවත් මොළය මගින් තීරණය කිරීම හරිම පුදුමයි.”—Incredible Voyage—Exploring the Human Body.

ඊළඟට සිදු වන දේද ඉතාමත් පුදුමාකාරයි. ගැබ්ගෙන සිටින කාලය පුරාම කලල බන්ධය මගින් ප්‍රොජෙස්ටෙරෝන් නමැති හෝමෝනය නිපදවනවා. නියමිත කාලයට පෙර ගර්භාෂයේ පේශි සංකෝචනය වීම පාලනය කරන්නේ එම හෝමෝනයයි. නමුත් ප්‍රසූතිය ආසන්නයේදී මෙම හෝමෝන නිපදවීම නතර වන නිසා ගර්භාෂයේ පේශි සංකෝචනය වෙන්න පටන්ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රසව වේදනා ඇති වී පැය අටත් දහතුනත් අතර කාලයක් තුළදී දරුවා බිහි වෙනවා. ඒත් සමඟම කලල බන්ධයද පිටතට එනවා.

බිහි වූ සැණින් අලුත් පරිසරයකට හැඩගැසීම සඳහා දරුවාගේ ශරීරය තුළත් විශාල වෙනස්කම් සිදු වෙනවා. උදාහරණයකට කුස තුළ සිටින කාලයේදී දරුවාගේ පෙණහලු පිරී තිබුණේ කලලාවාරික තරලයෙනුයි. නමුත් උපතේදී එම තරලය පෙණහැල්ලෙන් ඉවත් වන අතර දරුවාට දැන් හුස්ම ගැනීමට සිදු වෙනවා. ඉපදුණ සැණින් දරුවා අඬන විට ඉන් කියාපාන්නේ ඔහු හුස්ම ගැනීම ආරම්භ කළ බවයි. ඊට අමතරව හෘදයේ මෙන්ම රුධිර සංසරණ පද්ධතියෙත් වෙනස්කම් සිදු වෙනවා. එනම් වම් සහ දකුණු කර්ණිකාව අතර පිහිටි සිදුර වැසෙනවා. ඉන්පසු පුප්ඵුශීය සංසරණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එසේ වීමෙන් රුධිරය, පෙණහලුවලට ගමන් කර අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබාගන්නවා. පුදුමයට කරුණක් වන්නේ පුංචි බිලිඳාගේ ශරීරය තුළ මේ සියල්ල ඉතා ඉක්මනින් සිදු වීමයි.

දරු ප්‍රසූතියේදී සියල්ල නියමිත වේලාවට සිදු වීමෙන් අපට මෙම බයිබල් පදය මතක් කර දෙනවා. “අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.” ඒ අනුව “ඉපදීමට කාලයක්ද” තිබෙනවා. (දේශනාකාරයා 3:1, 2) පැය කිහිපයක් තුළ මවගේ ශරීරය තුළ සිදු වන වෙනස්කම් මෙන්ම අවසානයේදී ලැබෙන සිඟිත්තා දෙස බලන විට “ජීවිතයේ උල්පත” වන දෙවිගේ නිර්මාණ මොන තරම් විස්මිතද කියා ඔබටත් හැඟෙනවාට කිසිම සැකයක් නැහැ!—ගීතාවලිය 36:9; දේශනාකාරයා 11:5.

[පාදසටහන]

^ 2 ඡේ. සාමාන්‍යයෙන් ගැබ් කාලය සති 37ත් 42ත් අතර කාලයක් වෙනවා.

[16, 17වන පිටුවල රූප සටහන/පින්තූරය]

දරු ප්‍රසූතිය

1 ප්‍රසූතියට පෙර දරුවාගේ පිහිටීම

2 දරුවා යෝනි මාර්ගයට ළං වෙයි

3 ගැබ් ගෙල විවෘත වෙයි

4 දරුවා බිහි වෙයි

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

1

කලල බන්ධය

යෝනි මාර්ගය

ගැබ් ගෙල

2

3

4