Skip to content

පටුනට යන්න

ඔවුන්ව අත් නොහරිමු!

ඔවුන්ව අත් නොහරිමු!

ඔවුන්ව අත් නොහරිමු!

“මගේ අම්මට වයස අවුරුදු 94යි. අම්මට ඇල්සයිම රෝගයත් හෘද ආබාධයකුත් තිබුණ නිසා එයා ඔත්පළ වුණා. ‘අම්මා මද සිහි ගතියකින් ඉන්නවා’ කියලත් වෛද්‍යවරුන් කිව්වා. එයාට කන්න බොන්නවත් වෙන කිසිම දෙයක් කරන්නවත් බැහැ. ඒ නිසා එයාව ගෙදර තියාගෙන බලාගන්න මට ඕනේ වුණා. ඒත් ඒක කරන්න මට උදව් ඕනේ වුණා.”—ජීන්.

මාරාන්තික රෝගයක් නිසා කෙනෙකුගේ ජීවිතය බේරාගැනීමට බැරි බව දැනගැනීම එම පුද්ගලයාට මෙන්ම පවුලේ අයටද දරාගත නොහැකි වේදනාවක්. එවැනි අවස්ථාවකදී ඉතා බැරෑරුම් තීරණයක් ගැනීමට පවුලේ අයට සිදු වෙනවා. එනම් රෝගියාට මොන වේදනාවක් විඳින්න සිදු වුණත් තමන්ගේ ආශාව මත රෝගියාගේ ජීවිතය පවත්වාගැනීමට කළ හැකි සියල්ල කිරීමයි. එසේ නැත්නම් ඉතිරි වී තිබෙන කාලය තුළ රෝගියාට සතුටින් සිටීමට උපකාර කිරීමයි.

මරණාසන්නව සිටින රෝගියාව ගෙදර ගෙන ගොස් හොඳින් බලාගන්න කියා වෛද්‍යවරුන් පැවසුවොත් කුමක් කළ හැකිද? එවැනි අය සඳහා ලෝකයේ විවිධ රටවල සාත්තු නිවාස පිහිටුවා තිබෙනවා. ඉන් සිදු වන්නේ රෝගියාගේ ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කිරීමට උපකාර කිරීමයි. උදාහරණයකට අප්‍රිකාව වැනි රටවල පවා එවැනි සාත්තු නිවාස පිහිටුවා තිබෙනවා.

සාත්තු නිවාසයකින් සිදු වන දේ

සාත්තු නිවාසයක්, රෝහලක් නොවන නිසා එවැනි තැනක රෝගියෙකුව තැබීම හරියට ඔහුට මිය යෑමට ඉඩහැරීමක් කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් එසේ සිතීම සාධාරණ නැහැ. සාත්තු නිවාසයකින් සිදු වන්නේ රෝගියාගේ ජීවිතයේ අවසාන කාලයේදී පවුලේ අය සමඟ යම් ප්‍රමාණයකින් හෝ සතුටින් සිටීමට රෝගියාට උපකාර කිරීමයි. ඒ වගේම අසනීප තත්වය නිසා ඔවුන් විඳින වේදනාව අඩු කිරීමටද ඖෂධ ලබා දෙනවා. අනික් අතට මෙය රෝහලකට වඩා වෙනස් නිසා ඕනෑම වෙලාවක රෝගියාව බැලීමටත් ඔහු ළඟ සිට යම් සහනයක් ලබා දීමටත් පවුලේ අයට හා හිතමිතුරන්ට අවස්ථාව ලැබෙනවා.

මාරාන්තික රෝගයකින් පෙළෙන කෙනෙකුගේ තත්වය යහපත් අතට හරවන්න බැහැ. නමුත් සාත්තු නිවාසයකින් උත්සාහ කරන්නේ රෝගීන්ට ඇති විය හැකි අතුරු රෝගවලින් ආරක්ෂා කරගැනීමයි. ඒ වගේම රෝගියාගේ ජීවිතයේ ඉතිරි කාලයේදී ඔහුගේ හෝ ඇගේ වේදනාව අඩු කරගැනීමට උපකාර කිරීමයි.

නිවසේදී සාත්තු කිරීම

පවුලේ කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලයේදී ඔහුව හෝ ඇයව නිවසේ තබාගෙන සාත්තු කිරීමට සමහර අය කැමැත්තක් දක්වනවා. එසේ කිරීම නිසා රෝගියාට ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට හැකි වෙනවා. සමහර අවස්ථාවලදී සාත්තු නිවාසවලින් සිදු කරන සේවාව, නිවසට පැමිණ ලබා දෙන ආයතනද තිබෙනවා.

නිවසට පැමිණ ලබා දෙන සාත්තු සේවාවට හවුල් වන්නේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සාත්තු සේවකයනුයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට හොඳ පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා රෝගියාට සාත්තු කළ යුත්තේ කෙසේද කියාත් ඔහුගේ හෝ ඇගේ අවසාන දවස් කිහිපය තුළ කළ යුතු දේවල් ගැනත් පවුලේ අයට යම් මඟ පෙන්වීම් ලබා දීමට ඔවුන්ට හැකියි. ඒ වගේම ඔවුන් කටයුතු කරන්නේ රෝගියාගේ හා පවුලේ අයගේ කැමැත්තට එකඟවයි. උදාහරණයකට රෝගියාට වේදනාව ගෙන දෙන අනවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම හෝ බට මාර්ගයෙන් කෑම බීම ලබා දීම පවුලේ අය ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් ඊට ගරු කරනවා.

ඩොලෝරෙස් සහ ජීන් ඔවුන්ගේ 96 හැවිරිදි පියාව නිවසේ තබාගෙන බලාගැනීමට තීරණය කළා. ඒ ගැන ඔවුන් මෙසේ අදහස් දැක්වූවා. “සාත්තු සේවකයෙක් සතියට දවස් පහක් අපේ ගෙදර ආවා. තාත්තගේ ඇඳ සකස් කළේ, ඇඳුම් මාරු කළේ, රුවුල කැපුවේ, තාත්තව නෑව්වේ ඔහුයි. සතියකට සැරයක් හෙදියක් ඇවිත් තාත්තගේ සෞඛ්‍ය තත්වයත් අවශ්‍ය බෙහෙත් තියෙනවාද කියලත් බැලුවා. සති තුනකට සැරයක් වෛද්‍යවරයෙක් ආවා. ඊට අමතරව හදිසියක් වුණොත් අපිට ඕනෑම වෙලාවක ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් වුණා.”

මෙවැනි පළපුරුදු අයගේ සහය ඕනෑම වෙලාවකදී ලබාගත හැකි නිසා ඔවුන්ගෙන් උපකාර ගැනීමට සැලසුම් කර තැබීම ඉතාමත් වටිනවා. රෝගියාගේ වේදනාව අවම කර ඔහුට පහසුවෙන් සිටිය හැකි ආකාරය ගැන ඔවුන් ඉතාමත් සැලකිලිමත්. ඒ වගේම රෝගියාගේ අවසන් දවස්වලදී ඇති විය හැකි කටුක අද්දැකීම්වලට මුහුණ දීමට පවුලේ අයව සූදානම් කරනවා. ඒ නිසා රෝගියාට වගේම පවුලේ අයටත් මෙම සේවාව ලොකු ශක්තියක්.

සවියක් වෙන්න

කෙනෙක් ඔත්පළව හෝ අසාධ්‍ය තත්වයක සිටියත් සාත්තු සේවකයන් සෑමවිටම ඔවුන්ට ගෞරවනීයව සැලකීමට වගබලා ගන්නවා. වසර 20කට වඩා වැඩි කාලයක් සාත්තු සේවයේ නියැලුණු මාර්තා පැවසුවේ මෙයයි. “මේ වගේ අය ගත කරන්නේ ඒගොල්ලන්ගේ ජීවිතයේ අන්තිම කාලයයි. ඒ නිසා ඒ අයව සතුටින් තියන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. සමහර අය මගේම පවුලේ අය වගෙයි. කොහොමවුණත් සමහර රෝගීන් එක්ක කටයුතු කරන එක ලෙහෙසි නැහැ. සමහර වෙලාවට ඒගොල්ලන් මට ගහනවා, හපනවා, පයින් ගහනවා වගේ දේවල් කරනවා. ඒත් ඒ අය එහෙම කරන්නේ හිතලා නෙවෙයි, එයාගේ රෝගී තත්වය නිසා කියලා මම හැම වෙලාවෙම මතක තියාගන්නවා.”

ඇය මෙසේද පැවසුවා. “ඕනෑම වෙලාවක අපි උදව්වට ඉන්නවා කියන එක පවුලේ අයට ලොකු ශක්තියක්. ඒ නිසා රෝගියා ගැන අනවශ්‍ය ලෙස කලබල වෙන්න පවුලේ අයට සිදු වෙන්නේ නැහැ.”

රෝගියෙකු මරණාසන්නව සිටින විට ඔහු අනිවාර්යයෙන්ම රෝහලක සිටිය යුතුයි කියා සිතන්න එපා. මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කළ ජීන්, ඇගේ මවව නිවසේ තබාගෙන බලාගත්තා. ඇය එය කළේ සාත්තු සේවාවක උපකාර ඇතුවයි. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “අම්මා නැති වෙන්න කලින් අපිට එයත් එක්කම කාලය ගත කරන්න පුළුවන් වුණා. වෛද්‍යවරුන් සහ එම කණ්ඩායමෙන් ලැබුණු සහය ලොකු සහනයක් වුණා. ඒ අයගෙන් ලැබුණු උපදෙස් හා උපකාරවල තියෙන වටිනාකම කියලා නිම කරන්න බැහැ. මම හිතන්නේ ‘අම්මත් ආස කළේ ඒ විදිහට දේවල් වෙනවාට’ කියලයි.”

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සාත්තු සේවාවලින් බොහෝ ප්‍රයෝජන ලැබෙයි

[16වන පිටුවේ කොටුව/පින්තූරය]

“අපිට අම්මා ළඟ ඉන්න පුළුවන් වුණා”

මෙක්සිකෝවේ ජීවත් වන ඉසබෙල්ගේ මව වසර 16ක් පුරා පියයුරු පිළිකාවකින් පීඩා වින්දා. අවසානයේදී පිළිකාව මුළු ශරීරය පුරාම පැතිර ගොස් ඇය අසාධ්‍ය තත්වයට පත් වුණා. ඒ ගැන ඉසබෙල් මෙවැනි දෙයක් පවසනවා. “අම්මගේ අන්තිම දවස් ටිකේ එයා දුක් විඳිනවා දකින්න අපි කවුරුත් කැමති වුණේ නැහැ. අපි ඒ ගැන යාච්ඤා කළා. පස්සේ අපිට අම්මගේ වේදනාව අඩු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් හොඳ වෛද්‍යවරියක් හමු වුණා. ඇය සතියකට සැරයක් අම්මව බලන්න එනවා. ඒ වගේම අම්මව බලාගන්න ඕනේ කොහොමද කියලත් අපිට කියලා දුන්නා. අපිට ඕනෑම වෙලාවක ඒ වෛද්‍යවරියගේ සහය ලබාගන්න පුළුවන් වීමත් අපිට ලොකු සහනයක් වුණා. අම්මා කෑවේ බිව්වේ ටිකයි. ඒ වුණත් ඒකත් සතුටින් කළා. අම්මා නැති වෙන්න කලින් දුක් වින්දේ නැහැ. ඒ වගේම අන්තිම වෙනකල්ම අපිට අම්මා ළඟ ඉන්න පුළුවන් වුණා. ඒ ගැන අපිට සතුටුයි.”

[17වන පිටුවේ කොටුව]

අවසන් දවස් කිහිපය

ඇඳ ඇතිරිලි පිරිසිදුව තබන්න. ඇඳ සකස් කිරීමේදී ඇඳ ඇතිරිල්ලේ රැළි නොසිටින ආකාරයට සකස් කරන්න. ඒ වගේම විටින් විට රෝගියා සිටින ඉරියව්ව මාරු කරන්න. එසේ කිරීමෙන් ඇඳ වණ ඇති වීම වළක්වාගත හැකියි. රෝගියාවද නිතරම පිරිසිදුව තබන්න. ඒ වගේම මලපහ කිරීමට අපහසු නම් වස්තියක් දිය හැකියි. තොල් වියළීම වළක්වාගැනීම සඳහා විටින් විට තොල් තෙත් කරන්න. අවසන් මොහොතේදී ඔහුට අවශ්‍ය වන්නේ ආහාර පාන නොවෙයි. ඔහු ළඟ සිට ඔහුගේ අතින් අල්ලාගෙන සැනසීම ගෙන දෙන වචන කිහිපයක් පැවසීම ඔහුට වගේම ඔබටත් මහත් සහනයක් වෙයි.