Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | මසීමෝ ටිස්ටරෙල්ලි

රොබෝ නිර්මාණ ශිල්පියෙක් දෙවියන් ගැන කියයි

රොබෝ නිර්මාණ ශිල්පියෙක් දෙවියන් ගැන කියයි

මහාචාර්ය මසීමෝ ටිස්ටරෙල්ලි, ඉතාලියේ සාස්සාරි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක්. ප්‍රසිද්ධ විද්‍යා සඟරා තුනකට ලිපි ලියන ඔහු විද්‍යා පර්යේෂණ ගැන වාර්තා සිය ගණනක සමකතුවරයෙක්. මුහුණුවර හඳුනගන්න සහ බෝලයක් අල්ලන්න මිනිසුන්ට තියෙන හැකියාව අධ්‍යයනය කරලා, රොබෝවරුන් නිර්මාණ කිරීමේදී ඒ හැකියාවන් ඇතුළත් කරන්න ඔහු සැලසුම් කරනවා. දෙවියන් ගැන තියෙන විශ්වාසය ගැනත් විද්‍යාඥයෙක් හැටියට කරන වැඩ කටයුතු ගැනත් අපි ඔහුගෙන් අහලා බැලුවා.

උපතින්ම ඔයාගේ ආගම මොකක්ද?

අම්මලා නම් කතෝලික. හැබැයි කවදාවත් පල්ලි ගියේ නෑ. තරුණ කාලෙදි මං දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නෑ. මං පිළිගත්තේ පරිණාමවාදය. අපිව නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා කියන එක විශ්වාස කළේ නැතත් අපිට වඩා උසස් බලවේගයක් තියෙන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ ගැන හොයලා බලන්න මං බෞද්ධ, හින්දු, ටාඕ කියන ආගම් හැදෑරුවත් මගේ ප්‍රශ්නවලට උත්තර හම්බුන්නෑ.

විද්‍යාවට ආසාවක් ඇති වුණේ කොහොමද?

පොඩි කාලෙ ඉඳලම මම යන්ත්‍ර සූත්‍රවලට හරි ආසයි. මං ළඟ තිබුණ ඉලෙක්ට්‍රොනික් සෙල්ලම් බඩු ගලවලා ආයෙ හදනවා. රේඩියෝ සහ ටෙලිෆෝන් වැඩ කරන විදිහ ගැන මගෙ තාත්තට හොඳ දැනුමක් තිබුණ හින්දා ඒ ගැන මං කොයි වෙලෙත් ප්‍රශ්න අහන එකමයි කළේ.

විද්‍යාඥයෙක් විදිහට ඔයාගේ වැඩ ගැන ටිකක් අපිට කියන්න.

මම ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව ගැන ජිනෝවා විශ්ව විද්‍යාලයෙන් ඉගෙනගත්තා. රොබෝවරුන්ව වැඩි දියුණු කිරීම ගැන පර්යේෂණ කරලා ආචාර්ය උපාධියක් ලැබුවා. මිනිසුන්ගේ පෙනීමේ හැකියාව ගැන අධ්‍යයනය කරලා ඒ හැකියාව රොබෝවරුන් හදන්න පාවිච්චි කිරීම ගැන මං දැන් විශේෂඥයෙක්.

අපේ පෙනීමේ හැකියාව ගැන ඉගෙනගන්න උනන්දුවක් ඇති වුණේ ඇයි?

ඒ හැකියාව හරිම සංකීර්ණයි. ටිකක් හිතන්න. ඇස නිකම්ම පෙනීම ලබා දෙන දෙයක් විදිහට අපි හිතුවට ඒකට තියෙන හැකියාව පුදුමාකාරයි. පේන දේට අනුව ක්‍රියාත්මක වෙන්න ඇසට පුළුවන්. උදාහරණෙකට අපි බෝලයක් අල්ලන්න දුවද්දී මොකද වෙන්නේ? බෝලෙ දිහා බලාගෙන දුවන නිසා මුලින්ම ඇසේ කාචය මගින් බෝලෙ ප්‍රතිබිම්බයක් දෘෂ්ටි විතානය මත හදනවා. බෝලය සහ ඇස චලනය වෙද්දී ඊට අනුව ඒ ප්‍රතිබිම්භයත් දෘෂ්ටි විතානය මත එහෙට මෙහෙට ගමන් කරනවා. හැබැයි ඇස එක එල්ලේ බෝලෙ දිහාම යොමු වෙලා තියෙන කොට බෝලයේ ප්‍රතිබිම්භය දෘෂ්ටි විතානයේ එක තැනක නවතිනවා. ඊට පස්සේ දෘෂ්ටි විතානය මත එහෙට මෙහෙට ගමන් කරන්නේ බෝලෙ නෙමෙයි අවට පසුබිමයි.

ඒ අතරවාරයේදී බෝලෙ වේගයත් ඒක ගමන් කරන දිශාවත් දෘෂ්ටි විතානය මගින් ගණනය කරනවා. එහෙම කරන්නේ චලනය වන පසුබිමත් නාභිගත වී ඇති බෝලයත් අතර වෙනස සැසඳීමෙන්. ඊටපස්සේ ඒ සංඥා දෘෂ්ටි විතානය මඟින් දෘෂ්ටික ස්නායු හරහා මොළයට දැනුම් දෙනවා. මොළය ඒ දත්ත අනුව බෝලෙ අල්ලන්න අපි ගන්න ඕන ඉරියව්ව අපිට කියනවා. ඒක පුදුමාකාර දෙයක්!

දෙවි කෙනෙක්ව විශ්වාස කරන්න ඔයා පෙලඹුණේ කොහොමද?

පර්යේෂණ වගයක් කරන්න 1990දී මම මාස කීපයකට අයර්ලන්තයේ ඩබ්ලින්වල තියෙන ට්‍රිනිටි විශ්ව විද්‍යාලයට ගියා. දවසක් මමයි මගේ බිරිඳ බාබ්රායි ගෙදර යන ගමන් අපේ දරුවෝ දෙන්නගේ අනාගතේ ගැන කතා වුණා. යන ගමන්ම මගේ අක්කව බලන්නත් අපි හිතුවා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. එයා මට ජීවීන් පරිණාමය වුණාද නැත්නම් දෙවි කෙනෙක් නිර්මාණය කළාද කියන එක ගැන ලියවුණු සාක්ෂිකරුවන්ගේ පොතක් දුන්නා. මේ විෂය ගැන ඒ පොතට තොරතුරු ඇතුළත් කරන්න ඒ අය කොච්චර හොඳට පර්යේෂණ කරලා තියෙනවාද කියන එක දැක්කම මට පුදුම හිතුණා. මම පරිණාමවාදය පිළි අරන් හිටියේ ඒ ගැන කිසි දෙයක් හොයන්නේ නැතුවයි කියලා මට තේරුණේ ඒ පොත කියවද්දියි. මොකද පරිණාමවාදය ඇත්ත කියලා මම විශ්වාස කළේ පොසිලවලින් ඒක ඔප්පු කරනවා කියලා හිතපු නිසයි. ඒත් ඒක වැරදියි. ඒක පදනම් වෙලා තියෙන්නේ බොරුවක් මත මිසක් සැබෑ තොරතුරු මත නෙමෙයි කියලා ඒ ගැන හොයලා බලද්දී මම තේරුම්ගත්තා.

රොබෝවරුන්ව නිර්මාණය කරන්න මං මේ අනුකරණය කරන්නේ කාගේ නිර්මාණද කියලා මං හිතන්න ගත්තා

රොබෝවරුන්ව නිර්මාණය කරන්න මං මේ අනුකරණය කරන්නේ කාගේ නිර්මාණද කියලා මං හිතන්න ගත්තා. බෝලයක් අල්ලන්න මිනිසුන්ට තියෙන හැකියාවට සමාන හැකියාවක් තියෙන රොබෝවරයෙක් නිර්මාණය කරන්න කවදාවත්ම මට බෑ. මොකද ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට හිතලා බෝලයක් අල්ලන්න රොබෝට බෑනේ. තවදෙයක් තමයි සාමාන්‍ය යන්ත්‍රයක් හදන්න වුණත් කෙනෙක් ඉන්න ඕනෙ කියන එක. අපිව නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න මේ හේතුත් මට බලපෑවා.

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණේ ඇයි?

සාක්ෂිකරුවන් තොරතුරු අධ්‍යයනය කරන විදිහ ගැන මුලදී බාබ්රටයි මටයි ලොකු පැහැදීමක් ඇති වුණා. මට විශේෂයෙන්ම ආස හිතුණේ එයාලගෙ ප්‍රකාශන ලියන්න එයාලා පර්යේෂණ කරන තරම. ඒ වගේ හොඳට පර්යේෂණ කරන එක මං වගේ අඩියටම බැහැලා හොයන කෙනෙක්ගේ හිතට ලොකු බලපෑමක් ඇති කරනවා. උදාහරණෙකට බයිබලයේ තියෙන අනාවැකි අධ්‍යයනය කරද්දී බයිබලය ඇත්තටම දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියන එක මට තහවුරු වුණා. බාබ්රයි මමයි 1992දී බව්තීස්ම වෙලා සාක්ෂිකරුවන් වුණා.

විද්‍යාවෙන් හොයාගත්ත දේවල් දෙවියන් ගැන ඇති වුණ විශ්වාසය අඩු කළාද?

නෑ. ඒ දේවල් නිසා දෙවියන් ගැන විශ්වාසය තවත් වැඩි වුණා. ටිකක් හිතන්න මූණක් අඳුරගන්න අපිට තියෙන හැකියාව ගැන. ඉපදිලා පැය කීපයකින් බබෙක්ට වුණත් ඒක කරන්න පුළුවන්. දන්න කෙනෙක් සෙනඟක් මැද හිටියත් අපිට ලේසියෙන් එයාව අඳුරගන්න පුළුවන්. ඒ වෙලාවෙ එයාගේ හැඟීම් වුණත් තේරුම්ගන්න අපිට පුළුවන්. තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපිටත් නොදැනුවත්ව පුදුමාකාර වේගයකින්!

පෙනීමේ හැකියාව යෙහෝවා කියන දෙවියන් අපිට දීලා තියෙන වටිනා තෑග්ගක් කියලා මට දැං කිසිම සැකයක් නැහැ. ඒ වගේ තවත් තෑග්ගක් තමයි බයිබලය. ඔහු දීලා තියෙන තෑගි ගැන හිතද්දී දෙවිට ස්තුති කරන්නත් ඔහු ගැන අනිත් අයට කියන්නත් මං පෙලඹෙනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල්වලට ඔහු අනිවාර්යෙන්ම ප්‍රශංසාව ලබන්න වටිනවා කියන එකත් මගෙ හිතට තදින් දැනෙනවා.