Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

ජීවිතය මෙතරම් කෙටි ඇයි?

ජීවිතය මෙතරම් කෙටි ඇයි?

හැරියට් මිය යද්දී වයස අවුරුදු 175ක් විතර ඇති. එච්චර කාලයක්! ඇය මනුස්ස දුවක් නම් නෙමෙයි, යෝධ ගලපගෝස් ඉබ්බියක්. ඇය මිය ගියේ 2006දී. අපේ ආයු කාලය එක්ක බලද්දි නම් හැරියට් ගොඩක් කල් ජීවත් වෙලා තියෙනවා. හැබැයි ඉතිං වෙනත් සතුන් හා ශාක එක්ක බලද්දි නම් ඒක එච්චර කාලයක් නෙමෙයි. බලන්න මේ උදාහරණ දිහා.

  • මිරිදියේ ඉන්න මුතු බෙල්ලා අවුරුදු 200ක් විතර ජීවත් වෙනවා කියලා ෆින්ලන්තයේ පර්යේෂකයන් පිරිසක් කියනවා.

  • අවුරුදු 100කට වඩා ජීවත් වෙන මට්ටි විශේෂයක් (ocean quahog) ඉන්නවා. උන්ගෙන් සමහරෙක් අවුරුදු 400කටත් වඩා ජීවත් වෙනවා.

  • බ්‍රිස්ල්කෝන් පයින්, යෝධ සෙකුවා, සයිප්‍රස් සහ ස්පෲස් වැනි ගස් අවුරුදු දහස් ගාණක් පවතිනවා.

ඒත් ලෝකයේ උසස්ම සත්වයා ලෙස සැලකෙන මිනිසාගේ ආයු කාලය හරිම කෙටියි. ආයුෂ දික් කරගන්න කොච්චර උත්සාහ කෙරුවත් එය අවුරුදු 80කට 90කට සීමා වෙලා.

ඊට වඩා ජීවත් වෙන්න අපිට බැරිද? සමහරු හිතන්නේ වෛද්‍ය විද්‍යාවට සහ නවීන තාක්ෂණයට ඒ සඳහා උපකාර කරන්න හැකියාවක් තියෙනවා කියලයි.

විද්‍යාවට පුළුවන්ද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයට විද්‍යාවෙන් සිදු වෙන මෙහෙය අනූපමේයයි. සඟරාවක මෙසේ සඳහන් වුණා. “බෝ වෙන රෝගවලින් හා දරු උපතේදී ඇති වෙන  සංකූලතාවලින් [ඇමරිකාවේ] මිය යන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වෙලා. ළදරු මරණ අනුපාතය 1960 සිට සියයට 75කින් පහළ ගිහින්.” ඒත් ආයුෂ දික් කරන්න විද්‍යාව ගත් වෑයම එච්චරම සාර්ථක වෙලා නැහැ. ඒ සඟරාවේ තවත් කලාපයක මෙහෙම සඳහන් වුණා. “අවුරුදු ගණන් පර්යේෂණ කළත් මිනිසුන් ඇයි වයසට යන්නේ කියන එක තාම අභිරහසක්. ඒත් සොයාගත් සාක්ෂිවලින් පෙනී යන්නේ ජාන මගින් සෛල වර්ධනයට අවශ්‍ය තොරතුරු ලබා දීම හරි හැටි නොවන විට වයසට යන්න පටන්ගන්න බවයි. වයසට යෑම ජාන ක්‍රියාවලියට සම්බන්ධයි නම් ඒකට පිළියමක් සොයාගත්තොත් වයසට යෑම නවත්වන්න එදාට පුළුවන් වෙයි.”—Scientific American.

“අවුරුදු ගණන් පර්යේෂණ කළත් මිනිසුන් ඇයි වයසට යන්නේ කියන එක තාම අභිරහසක්”

වයසට යෑමේදී ඇති වෙන රෝගවලට පිළියම් සහ වයසට යෑමට හේතුව සෙවීමේදී පර්යේෂකයන් ඇරඹූ විප්ලවයේ අලුත්ම පියවර වුණේ ප්‍රවේණි විද්‍යාවේ (genetics) අංගයක් වන අපිප්‍රවේණි නොහොත් අපිජාන (epigenetics) ව්‍යාපෘතියයි. මොනවද මේ අපිජාන කියන්නේ?

සෛලවල ප්‍රවේණික තොරතුරු ඇතුළත් වෙනවා. අලුත් සෛල නිපදවීමට ඒ තොරතුරු අවශ්‍යයි. මේ තොරතුරුවලින් බොහොමයක් තිබෙන්නේ ගෙනෝමවල. ගෙනෝම (genome) කියන්නෙ DNA අණුවක තියෙන සියලුම ජානවලට. මෑත කාලයේදී විද්‍යාඥයන් ජානයක මතුපිට ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ජානයක මතුපිටට කියන්නේ අපිජානය කියලයි. අපිජාන ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ ජානයේ මතුපිට ක්‍රියාකාරීත්වය සහ එහි රසායනික ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරීමයි.

අපිජානවල සහ DNA අණුවල පෙනුම එක සමාන නැහැ. DNA අණුවකට තියෙන්නෙ ඇඹරුණු ලණු ඉණිමඟක (ද්වීත්ව හේලික්සයක) පෙනුමක්. නමුත් අපිජානය, DNA අණුවට අමුණලා තියෙන ලේබලයක් (ටැග් එකක්) වගෙයි. දැන් අපි බලමු මේ අපිජානයේ කාර්යය. DNA එකක් හරියට තොරතුරු ඇති වීඩියෝ පටයක් වගේ. හැබැයි වීඩියෝ පටයෙන් වැඩක් තියෙයිද ප්ලේයරයක් නැතුව. අපිජානය කියන්නේ මේ වීඩියෝ පටය ධාවනය කරන ප්ලේයරයටයි. ඒ කියන්නෙ අපිජානය තමයි සෛලයක අවශ්‍යතාවට අනුව ජාන ක්‍රියාත්මක විය යුතුද නැද්ද කියලා දැනුම් දෙන්නේ. ඒ වගේම පාරිසරික සාධක එනම් ආහාර, මානසික පීඩනය සහ විෂකාරකයන් වැනි දේවලට අනුවත් එය ප්‍රතිචාරය දක්වනවා. මෑතකදී සොයාගත් ඒ තොරතුරු ජීව විද්‍යාවේ පෙරළියක් කිරීමට සමත් වෙයි කියා බොහෝදෙනා සිතනවා. මොකද මහලු වයසේ ඇති වෙන රෝගවලට පිළියම් සහ වයසට යන හේතුව එමගින් දැනගන්න පුළුවන් වෙයි කියා ඔවුන් සිතන නිසයි.

අපිජාන ගැන පර්යේෂණ කරන නේසා කෙරී මෙහෙම කියනවා. “භින්නෝන්මාදය, හන්දිපත් රුදාව, පිළිකා සහ කාලයක් පුරා පවතින ශාරීරික වේදනා ඇතුළු රෝග රැසකටත් අපිජානයේ සම්බන්ධයක් තියෙනවා. මහලු වෙන්න බොහෝදුරට හේතුවත් එයයි.” ඒ අනුව මේ පර්යේෂණවලින් සෞඛ්‍යය තත්වය දියුණු කරන්නත් පිළිකා ඇතුළු රෝගවලට ඖෂධ සොයාගන්නත් ප්‍රතිඵලයක් විදිහට ආයුෂ දික් කරගන්නත් පුළුවන් වෙයි. ඒත් තවම ඊට විසඳුමක් පේන තෙක් මානෙකවත් නැහැ. වයසට යන එක වළක්වාගැනීම ගැන කෙරී කිව්වේ “අපි තාමත් කියන්නේ ගොඩක් එළවළු කන්න වැඩියෙන් ව්‍යායාම කරන්න කියන පරණ කතාවම තමයි.”

ඇයි මිනිස්සු ජීවිතේ දික් කරගන්න මෙච්චර දත කන්නේ? “අමරණීයභාවය, නැවත නැගිටීම, මරණයෙන් පසු ජීවිතය සහ පුනරුත්පත්තිය වගේ දේවල් කිය කියා මිනිස්සු උත්සාහ කරන්නේ හැමදාම ජීවත් වෙන්න. නොමැරී ජීවත් වෙන්න මිනිස්සු මෙච්චර ආස ඇයි?” එහෙම ඇහුවේ බ්‍රිතාන්‍ය පුවත්පතක්. මහලු වීමට සැබෑ හේතුව දැනගත්තොත් ඒකට පිළිතුර දැනගන්න පුළුවන්.—The Times.

ඇයි අපි කැමති හැමදාම ජීවත් වෙන්න?

ඒක අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන්ගේ හිතේ තිබුණ ප්‍රශ්නයක්. ඒකට සාධාරණ පිළිතුරක් තියෙනවාද? ඔව්, හුඟදෙනෙක්ට පිළිතුර ලැබිලා තියෙනවා. බයිබලයේ තියෙන ඒ පිළිතුර හැමදාම ජීවත්වෙන්න අපිට තියෙන ආසාවටත් අපිට ලැබිලා තියෙන පුදුමාකාර ශරීර සැකැස්මටත් එකඟයි.

 මිනිසා සතුන්ට වඩා වෙනස්. දෙවියන් මිනිසාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුව. (උත්පත්ති 1:27) ඒ නිසයි ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව වැනි දෙවියන්ගේ ගතිලක්ෂණ මිනිසාට තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි දෙවියන් සදාකාලිකයි. ඒ නිසා දෙවියන් ‘සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තැබුවා’ කියල බයිබලේ සඳහන් වෙනවා.—දේශනාකාරයා 3:11.

මිනිසාගේ මොළය, විශේෂයෙන්ම මිනිසාට ඉගෙනගැනීමට තියෙන හැකියාව දිහා බලද්දී මිනිසාව හදලා තියෙන්නේ සදහටම ජීවත් වෙන්න කියලා පැහැදිලියි. මිනිසා සතු දිගුකාලීන මතක හැකියාව ගැන විශ්වකෝෂයක සඳහන් වුණේ එය “අසීමිතයි” කියලයි. අපිව සෑදුවේ කෙටි කාලයකට ජීවත් වෙන්න නම් මේ වගේ හැකියාවක් දුන්නේ ඇයි? උත්තරය පැහැදිලියි. මිනිසාව හදලා තියෙන්නේ සදහටම ජීවත් වෙන්න. ඒක දෙවියන්ගේ අරමුණ. එහෙමනම් ඇයි අපි මැරෙන්නේ?—The Encyclopedia of the Brain and Brain Disorders.

ඇයි අපි වයසට ගිහින් මැරෙන්නේ?

මුල් මිනිස් යුවළට දෙවියන් දුන්නේ නිරෝගීව සදහටම ජීවත් වීමේ හැකියාව ඇති ශරීරයක්. ඒ වගේම තීරණ ගැනීමේ නිදහසත් දෙවියන් ඔවුන්ට දුන්නා. නමුත් ඒ යුවළ නිදහස අයුතු විදිහට පාවිච්චි කර දෙවියන්ට අකීකරු වුණා. එය දෙවියන්ට  විරුද්ධව කැරලි ගැසීමක්. එය පාපයක්. * (උත්පත්ති 2:16, 17; 3:6-11) ඒ නිසා ඔවුන්ට තිබූ නිරෝගී ජීවිතය නැති වෙලා ක්‍රමක්‍රමයෙන් දිරාපත් වී අන්තිමේදී මරණයට පත් වුණා. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “මරණයට හේතු වන විෂ තුඩ නම් අපගේ පව්කාර ස්වභාවයයි.”—1 කොරින්ති 15:56.

ජාන මගින් එක් පරම්පරාවක ලක්ෂණ තවත් පරම්පරාවකට උරුම වෙනවා. ආදම් සහ ඒවට උරුම වුණ පව්කාර ස්වභාවයත් ඔවුන්ගේ දරුවන්ට උරුම වුණේ ඒ නිසයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—රෝම 5:12.

මේකෙන් අපිට තේරෙන්නේ මොකක්ද? නොමැරී හැමදාටම ජීවත් වීමේ රහස තියෙන්නේ විද්‍යාගාරයක් තුළ නෙමෙයි, දෙවියන්ගේ අතේ. මිනිසාට උරුම වෙච්ච පාපය නිසා සිදු වුණ හානිය ඉවත් කරන්න පුළුවන් ඔහුට විතරයි. දෙවියන් ඒ දේ කරන්න කැමතිද? ඔව්.

‘යෙහෝවා දෙවියන් මරණය සදහටම ගිල දමන්නේය’

පාපය සහ මරණය ඉවත් කරන්න යෙහෝවා දෙවියන් දැනටමත් පියවර අරගෙනයි තියෙන්නෙ. දෙවියන් යේසුස්ව මේ පොළොවට එව්වේ ඒ නිසයි. යේසුස් මිහිපිට ඉපදුණේ අපි වගේ පව්කාර ස්වභාවය ඇතුව නෙමෙයි. මේ ලෝකයේ ජීවත් වෙද්දිත් ඔහු “කිසි පාපයක්” කෙරුවේ නැහැ. (1 පේතෘස් 2:22) අපිට සදාකාල ජීවනය දෙන්න යේසුස් මොනවද කෙරුවේ? ඔහු අපි වෙනුවෙන් තම ජීවිතේ කැමැත්තෙන්ම පූජා කළා. ඒ ගැන බයිබලේ කියන්නේ යේසුස් ‘බොහෝදෙනෙකුව මුදවාගැනීමට තම ජීවිතය පූජා’ කෙරුවා කියලයි. (මතෙව් 20:28) ඒ ජීවිත පූජාව නිසා වැඩි කල් නොගොස් අපිට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ඒ මොනවද කියලා පහත බයිබල් පදවලින් බලන්න.

  • “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

  • “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8.

  • “අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”1 කොරින්ති 15:26.

  • ‘දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය.’—එළිදරව් 21:3, 4.

ඔබට කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්ද? බයිබලයේ කියන්නේ මිනිසුන්ට හැමදාම ජීවත් වෙන්න පුළුවන් කියලයි. නමුත් ඊට කලින් මේ සමාජයේ තියෙන දුෂ්ට ක්‍රියා දෙවියන් ඉවත් කරනවා. (ගීතාවලිය 37:28, 29) යේසුස් වධකණුවේ ඉද්දී ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා’ කියා ඔහුට එහා පැත්තේ ඇණ ගසා සිටි අපරාධකරුට කිව්වේ යේසුස්ටත් ඒ අනගි බලාපොරොත්තුව තිබුණ නිසයි.—ලූක් 23:43.

හැමදාටම ජීවත් වෙන්න මිනිසුන්ට තියෙන ආසාව අස්වාභාවික ආසාවක්වත් ඉටු නොවන පැතුමක්වත් නෙමෙයි. මොකද දෙවියන් මිනිසුන්ව හැදුවේ ඒ විදිහටයි. ඔහු ඒ ආශාව ළඟදීම ඉටු කරනවා. (ගීතාවලිය 145:16) හැබැයි අපිත් යමක් කරන්න ඕනේ. අපිට දෙවියන් කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනේ. විශ්වාසයක් නැත්නම් දෙවියන්ව සතුටු කරන්න බැහැ. මොකද දෙවියන්ට නමස්කාර කරන්න කැමති කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවියන්ගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කරන්න ඕනෙ. (හෙබ්‍රෙව් 11:6) ඒ වගේ විශ්වාසයක් එක රැයකින් ඇති වෙන්නෑ. එවැනි විශ්වාසයක් ඇති කරගන්න බයිබලය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ඕනෙ. (හෙබ්‍රෙව් 11:1) ඔබත් එවැනි විශ්වාසයක් ඇති කරගන්න කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න. නැත්නම් www.dan124.com/si වෙබ් අඩවියට පිවිසෙන්න.

^ par. 21 එමගින් ඔවුන් දෙවියන්ට විරුද්ධව බරපතළ චෝදනාවක් එල්ල කළා. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත තීරණය කිරීම සඳහා දෙවියන් යම් කාලයකට ඉඩහැරියා. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත බලන්න. එය www.dan124.com/si යන වෙබ් අඩවියෙන් කියවන්නත් පුළුවන්.