අතීතයෙන් සටහනක්
කොන්ස්ටන්ටයින්
ක්‍රිස්තියානියෙක් කියා තමන්ව හඳුන්වා දුන් පළවෙනි රෝම අධිරාජ්‍යයා කොන්ස්ටන්ටයින්. කාලයක් පුරා පීඩාවට ලක්ව තිබූ ක්‍රිස්තියානි ආගමට සහාය දීමෙන් ඔහු ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. ඔහුගේ සහය ලැබූ ක්‍රිස්තියානි ආගම “සමාජයට හා දේශපාලනයට බලපෑම් කිරීමට” තරම් බලවතෙක් වුණා කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The Encyclopædia Britannica.
ඔබ ක්‍රිස්තියානි ආගම ගැන සොයා බැලීමට උනන්දු වෙනවා නම් කොන්ටස්ටයින් ගැන තොරතුරු දැනගැනීම වැදගත්. මන්ද ඔහුගේ දේශපාලනික, ආගමික සැලසුම් අද තිබෙන පල්ලි බොහෝමයක විශ්වාසයන්ට හා වත්පිළිවෙත්වලට බලපා තිබෙනවා. ඒ කොහොමද කියා අපි බලමු.
පල්ලි අතකොළුවක් කරගනියි
ක්‍රි.ව. 313දී කොන්ස්ටන්ටයින් රෝමයේ බටහිර පළාත් පාලනය කළ අතර ලිසිනියස් සහ මැක්සිමිනස් නැඟෙනහිර පළාත් පාලනය කළා. කොන්ස්ටන්ටයින් සහ ලිසිනියස් ක්‍රිස්තියානීන් ඇතුළු සියලුම ආගම්වල අයට තම ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව සලසා දුන්නා. කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානීන්ට සහාය ලබා දුන්නේ තම රාජ්‍යය තුළ එක්සත්කමක් ඇති කිරීමටයි. *
නමුත් පල්ලි තුළ බෙදීම් තිබෙනවා කියා දැනගත් විට පුදුමයට පත් වූ කොන්ස්ටන්ටයින් ඊට පිළියමක් වශයෙන් සම්මත ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළා. අධිරාජ්‍යයාගේ හිත දිනාගන්න කැමති වුණ බිෂොප්වරු තම ඉගැන්වීම් පවා වෙනස් කිරීමට පෙලඹුණා. ඒ නිසා ඔවුන්ට බදු සහන හා මූල්‍යාධාර නොඅඩුව ලැබුණා. ඉතිහාසඥයෙක් වන චාල්ස් ෆ්‍රීමන් ඒ ගැන පැවසුවේ මෙසේයි. “ඔවුන් පිහිටුවා ගත් නව ඉගැන්වීම් නිසා ස්වර්ගයේ විතරක් නෙමෙයි පොළොවෙත් වස්තු රැස් කරගන්න ඔවුන්ට අවස්ථාව උදා වුණා.” මෙමගින් පූජකයන් සමාජයේ බලවත් චරිත බවට පත් වුණා. තවත් ඉතිහාසඥයෙක්
පැවසුවේ “පල්ලිවලට කොන්ස්ටන්ටයින්ගේ රැකවරණය ලැබුණා විතරක් නෙමෙයි ඔහුගේ අණසකට යටත් වෙන්නත් සිදු වුණා” කියායි.“පල්ලිවලට කොන්ස්ටන්ටයින්ගේ රැකවරණය ලැබුණා විතරක් නෙමෙයි ඔහුගේ අණසකට යටත් වෙන්නත් සිදු වුණා.”—ඉතිහාසඥයෙක් වන ඒ. එච්. එම්. ජෝන්ස්
බිහි වුණේ මොන වගේ ක්‍රිස්තියානි ආගමක්ද?
කොන්ස්ටන්ටයින්, මිථ්‍යා විශ්වාසයන් පැතිරී තිබූ අධිරාජ්‍යයක නායකයෙක්. ඒ නිසා ඔහු බිෂොප්වරුන් සමඟ ඇති කරගත් මිත්‍රකමේ ප්‍රතිඵලය වුණේ මිථ්‍යා විශ්වාසයන් ක්‍රිස්තියානි ධර්මය තුළට ඇතුල් වීමයි. එවැනි දෙයක් සිදු වීම පුදුමයක් නොවෙයි. මන්ද ඔහුගේ අභිප්‍රාය වුණේ විවිධ සංස්කෘතිවලට හා ආගම්වලට අයත් ජනයාව එක්සත් කිරීම මිස ක්‍රිස්තියානි ධර්මයේ සත්‍යයතාවයන් සොයා බැලීම නොවෙයි. ඔහුට අවශ්‍ය වුණේ “හැමෝටම නිදහසේ පිළිපැදිය හැකි ආගමක් බිහි කිරීමයි” කියා එක් ඉතිහාසඥයෙක් පැවසුවා.
ඔහු ක්‍රිස්තියානි ධර්මයට සහාය දෙන බව පැවසුවත් මිථ්‍යා විශ්වාසයන්ද අමතක කළේ නැහැ. උදාහරණයකට බයිබලයේ හෙළා දැක තිබෙන පේන කීම සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය වැනි ක්‍රියාවල ඔහු නියැලුණා. (ද්විතීය කතාව 18:10-12) කොන්ස්ටන්ටයින් වෙනුවෙන් රෝමයේ තනා තිබෙන ආරුක්කුවක ඔහු මිථ්‍යා දෙවිවරුන්ට පුද පූජා කරන සිතුවම් දකින්න ලැබෙනවා. කාසිවල හිරු දෙවියන්ගේ රූපය ඇතුළත් කිරීමෙන්ද සනාථ වන්නේ ඔහු හිරු දෙවි නමස්කාරයටත් ළැදිකමක් දැක්වූ බවයි. කොන්ස්ටන්ටයින්, ඉතාලියේ අම්බ්‍රියා නගරයේ දේවාලයක් තනා එය ඔහු සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් කැපකර එහි සේවය කිරීමට පූජකයන්වත් යෙදෙව්වා.
කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානියෙක් හැටියට බව්තීස්ම වුණේ ක්‍රි.ව. 337 ඔහු මිය යෑමට දින කිහිපයකට පෙරයි. ඔහු බව්තීස්මය එතරම් කල් දැමුවේ මිථ්‍යා භක්තිකයන්ගේද සහය ලබාගැනීමට අවශ්‍ය වූ නිසයි කියා විද්වතුන් පවසනවා. ක්‍රිස්තියානියෙක් වීමට ඔහුට තිබූ චේතනාව ගැන සැක මතු වෙන්නෙත් ඒ නිසයි. යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ ‘මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔබත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී’ සිටිය යුතු බවයි. (යොහන් 17:14) නමුත් කොන්ස්ටන්ටයින්ගේ සහය ලැබූ ක්‍රිස්තියානි ධර්මය නම් යේසුස්ට පිටු පා දේශපාලනික සහ ආගමික අධිරාජ්‍යයක් බවට පත් වුණා. අද වන විට එයින් ක්‍රිස්තියානි නිකායන් බොහෝමයක් බිහි වී තිබෙනවා.
පල්ලිවලින් මොන දේවල් ඉගැන්නුවත් ඒවා බයිබලයට එකඟද කියා සොයා නොබලා විශ්වාස කිරීම නුවණට හුරු නැති බව මෙයින් අපිට පැහැදිලි වෙනවා.—1 යොහන් 4:1.
^ 6 ඡේ. කොන්ස්ටන්ටයින්, “ඔහුගේ පාලනයේ අගභාගයේදී පවා මිථ්‍යා ආගම්වලට අනුග්‍රහය දැක්වූවා” කියා එක් විද්වතෙක් පවසනවා. ඒ නිසා ඔහු මොන චේතනාවෙන් ක්‍රිස්තියානියෙක් වුණාද කියා බොහෝදෙනෙක් අතර විවිධ මත තිබෙනවා.