“කුරුල්ලන් දෙස හොඳින් බලන්න”
සමහර සතුන්ව අපිට දැකගන්න ලැබෙන්නේ උන්ටම ආවේණික ප්‍රදේශවල. ඒත් නෙතට සොඳුරු දසුනක් මවන කුරුල්ලන් නම් ලෝකයේ කොතැනක හිටියත් දකින්න ලැබෙනවා. මිහිරි නාදයන් මවන විවිධ වර්ගයේ සහ වර්ණයේ කුරුල්ලන්ව නිරීක්ෂණය කිරීම ගෙන දෙන්නේ සිතට සතුටක්. සමහර කුරුල්ලන්ගේ කෙළිලොල් බව සහ හැසිරීම් රටා අපේ මුවඟට සිනාවක් ගෙනෙනවා.
මල් ගොමු අතරේ මල් පැණි බොන පැණි කුරුල්ලන්, පෙම් බස් දොඩන ගිරවුන්, පුංචි කැදලි තනන බට්ටිච්චන්, කෑම සොයමින් ගෙමිදුලේ සැරිසරන දෙමලිච්චන්, කෑම රැගෙන පැටවුන් සොයා යන වී කුරුල්ලන් වැනි විවිධාකාරයේ කුරුල්ලන් අපිට නිතර දකින්න ලැබෙනවා.
අහස තම අණසකට යටත් කරගත්තාක් මෙන් එහා මෙහා පියාසර කරන රාජාලීන් සහ උකුස්සන් වැනි පක්ෂීන්ගේ තේජවත් බව දකිද්දී අපි තුළ ඇති වන්නේ විස්මයක්. අනෙක් අතට කෑම ටිකකට රණ්ඩු කරන ගේ කුරුල්ලන්, කිරිල්ලියගේ ආදරය දිනාගැනීමට පපුව පුම්බාගෙන පෙම් රැඟුම් පාන පරවියන් දකින විට අපේ මුවට නැඟෙන්නේ සිනහවක්. මානකොකා, පාත්තයා වැනි කුරුල්ලන් රෑන් පිටින් සංචාරය කරන විදිහත් පුදුමාකාරයි. ඒ කුරුල්ලන් නියමිත කාලයට සංක්‍රමණය කරන ආකාරය කාලයක් පුරා උන් ගැන නිරීක්ෂණය කරන අයටත් සිතා ගැනීමට නොහැකියි. අපගේ නිර්මාතෘ උන් ගැන මෙලෙස කියා තිබෙනවා. “තමන් සංක්‍රමණය කළ යුත්තේ කුමන කාලයේද කියා මානකොකා හරියටම දනී. කොබෙයියා, තුරිතයා හා කොණ්ඩයාට පවා ඒ කාලය ගැන හොඳ අවබෝධයක් තිබේ.”
බයිබලයෙත් කුරුල්ලෝ ගැන සඳහන් වෙනවා
වටිනා පාඩම් ඉගැන්වීමට බයිබලයේ කුරුල්ලන්ව යොදාගෙන තියෙනවා. උදාහරණයකට පැස්බරාගේ වේගය ගැන සඳහන් කරමින් දෙවියන් යෝබ් නැමති මිනිසාට මෙවැනි දෙයක් කිව්වා. “ඇය අශ්වයා හා අසරුවා දෙස බලා සිනාසී පියාපත් විදහා දුවන්නීය.” * (යෝබ් 39:13, 18) දෙවියන් මෙවැනි දෙයකුත් ඔහුගෙන් ඇහුවා. ‘පියාපත් විදහාගෙන සුළං රැල්ලත් සමඟ ඉහළට නඟින්නේ කොහොමද කියා කුරුලුගොයාට කියා දුන්නේ ඔබද? රාජාලියාට ඉහළට පියඹා යන්න අණ දුන්නේ ඔබද?’ (යෝබ් 39:26, 27) කුරුල්ලන් එවැනි හපන්කම් පාන්නේ මිනිස්සුන් උන්ට ඒවා ඉගැන්වූ නිසා නෙවෙයි. උන්ගේ හැකියාවන්ගෙන් පෙන්වන්නේ උන්ව නිර්මාණය කළ දෙවියන්ගේ ප්‍රඥාව කොයිතරම්ද කියායි.
“කොබෙයියන්ගේ සුමිහිරි නාදයෙන්” වසන්තයේ උදාව අඟවන බව සලමොන් රජ බයිබලයේ සඳහන් කළා. (සලමොන්ගේ ගීතිකාව 2:12) ඒ වගේම දෙවිගේ මාලිගාවේ ඉන්න තමන්ට ඇති ආශාව ගැන කියූ අවස්ථාවේදී ගීතිකාකරුවෙක් වැහිළිහිණියෙක් ගැන සඳහන් කළා. වැහිළිහිණියා ගැන ඊර්ෂ්‍යාවකින් මෙන් ඔහු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය අසල කිරිල්ලියට නිවහනක්ද වැහිළිහිණියට ඇගේ පැටවුන් තැබීමට කැදැල්ලක්ද ඇත.”
“ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?”
යේසුස්ද කුරුල්ලන් ගැන සඳහන් කරමින් වටිනා පාඩම් කියා දුන්නා. ඔහු කියූ දෙයක් ගැන මතෙව් 6:26හි මෙසේ සඳහන් වෙනවා. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?” සිත්ගන්නාසුලු ඒ උදාහරණයෙන් තමන්ව දෙවියන්ට ගොඩක් වටිනවා කියාත් එදිනෙදා අවශ්‍යතාවන් ගැන කනස්සලු වෙන්න ඕන නැහැ කියාත් යේසුස්ගේ ගෝලයන් ඉගෙනගත්තා.
කුරුල්ලන්ව නිරීක්ෂණය කිරීම ජනප්‍රිය විනෝදාංශයක්. කුරුල්ලන්ගේ කෙළිලොල් බව, ලස්සන, එකිනෙකාව ආකර්ෂණය කරගන්න උන් කරන දේවල් සහ මිහිරි නාදයන් සිත් ඇදගන්නා නිසා එය ඒ තරම් ජනප්‍රිය වීම පුදුමක් නෙවෙයි. මේ හැම දේකටම වඩා කුරුල්ලන්ව හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඔබත් කැමතිද “කුරුල්ලන් දෙස හොඳින් බලන්න?”
^ 6 ඡේ. පක්ෂීන්ගෙන් විශාලතම සහ වේගවත්ම පක්ෂියා පැස්බරායි. ඌට පැයට කිලෝමීටර් 72ක වේගයෙන් කෙටි දුරක් එක පිම්මට දුවන්න පුළුවන්.