බයිබලයෙන් පිළිතුරක්
ලෝකය
දෙවියන් මේ ලෝකය නිර්මාණය කළේ ඇයි?
“යෙහෝවා දෙවි පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.” —යෙසායා 45:18.
මිනිස්සු කියන්නේ මෙහෙමයි.
මේ ලෝකය ඉබේ ඇති වුණා කියලා හුඟක් අය හිතනවා. පොළොව මිනිසුන්ගේ තාවකාලික නිවහනක් කියලා සමහර ආගම්වල උගන්වනවා. ඒ අය හිතන්නේ දෙවියන් මිනිසුන්ව ස්වර්ගයට ගන්නවද අපායට යවනවද කියලා පරීක්ෂා කරලා බලන්න පොළොවේ තියනවා කියලයි.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
“දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:1) ඔහු නිර්මාණය කළ මුල් මිනිස් යුවළට මෙහෙම කිව්වා. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු ජීවීන්ව ඔබ යටතේ තබාගන්න.’ (උත්පත්ති 1:28) දෙවියන්ට අකීකරු වුණොත් විතරයි කෙනෙක් මිය යන්නේ කියලා දෙවියන් කිව්වා. (උත්පත්ති 2:17) ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන් පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට සදහටම ජීවත් වෙන්නයි. දෙවියන්ට ඕන කළේ කීකරු මිනිසුන් පොළොව රැක බලාගනිමින් පොළොව පුරාම පැතිරිලා ජීවත් වෙනවා දකින්නයි.
මේ ලෝකය විනාශ වෙයිද?
“ඔබ පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.”—ගීතාවලිය 104:5.
මිනිස්සු කියන්නේ මෙහෙමයි.
මේ පොළොව විනාශ වෙන විදිහ හා එය මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තැනක් වෙන විදිහ ගැන විද්‍යාඥයන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. උදාහරණයකට උල්කාපාත හෝ වල්ගා තරු පෘථිවියේ ගැටීම, අධි විනාශකාරී ගිනිකඳු පිපිරීම, සූර්යයාගේ ක්‍රියාකාරිත්වය නතර වීම හෝ ගෝලීය උණුසුම වගේ දේවල් නිසා පෘථිවිය විනාශ වෙයි කියලා ඔවුන් හිතනවා. එහෙමත් නැත්නම් න්‍යෂ්ටික යුද්ධයකින් හෝ ජීව අවි මගින් පෘථිවිය විනාශ වෙයි කියලා හිතනවා.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
දෙවියන් පොළොව නිර්මාණය කරද්දී ඔහුට තිබුණු අරමුණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. “පොළොව සදහටම පවතියි” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 1:4) ඒ විතරක් නෙමෙයි “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලත් එහි සඳහන් වෙනවා.—ගීතාවලිය 37:29.
පිළිතුරු දැනගැනීම වැදගත්ද?
සමහර අය පොළොවේ තියෙන වටිනා සම්පත් නාස්ති කරන්නේ අනාගතයේදී පොළොව විනාශ වෙනවා කියලා හිතන නිසයි. එහෙම හිතන තවත් අයට ජීවිතේ අරමුණක් නැති නිසා ඔවුන් ජීවත් වෙන්නේ හෙට දවසක් නැති ගානටයි. ඒත් මේ ලෝකයේ අපිට හැමදාම ජීවත් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා නම් අපි තීරණ ගන්නේ අපේ වගේම අපේ පවුලේ අයගෙත් අනාගතය ගැන හිතලයි.
මිනිස්සුන්ට අයිති ස්වර්ගයද පොළොවද?
‘ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.’—ගීතාවලිය 115:16.
මිනිස්සු කියන්නේ මෙහෙමයි.
හුඟක් අය හිතන්නේ හොඳ මිනිස්සු ස්වර්ගයට යනවා කියලයි.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
ස්වර්ගය අයිති දෙවියන්ටයි. මිනිසුන්ට දුන්නේ පොළොවයි. අනාගතයේදීත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසයි බයිබලයේ කියන්නේ මේ පොළොව ‘ඉදිරියේදීත් ජනාවාසව’ පවතිනවා කියලා. (හෙබ්‍රෙව් 2:5) ඒත් කීපදෙනෙක් විතරක් ස්වර්ගයට යනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ අය ස්වර්ගයට යන්නේ පොළොවෙන් මුලින්ම ස්වර්ගයට ගිය යේසුස් එක්ක එකතු වෙලා පොළොව පාලනය කරන්නයි.—එළිදරව් 5:9, 10; ලූක් 12:32; යොහන් 3:13.
පිළිතුරු දැනගැනීම වැදගත්ද?
හොඳ අය හැමෝම ස්වර්ගයට යනවා කියන එක බයිබලයේ තියෙන තොරතුරුවලට පටහැනියි. දෙවියන් හැම කෙනෙක්වම ස්වර්ගයට ගත්තොත් ඒකෙන් පේන්නේ පොළොව සඳහා දෙවියන්ට තිබුණු අරමුණ ඉටු කරන්න ඔහුට බැරි වුණා කියලයි. ඒ වගේම මිනිසුන් සදාකාලයටම පොළොවේ ජීවත් වෙනවා කියලා දෙවියන් දුන්න පොරොන්දුවත් බොරුවක් වෙනවා. ඒත් බයිබලයේ ස්ථිරවම කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න. එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.”—ගීතාවලිය 37:34.