Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ නොසැලෙන ඇදහිල්ලට ලැබූ විපාකය

ඔවුන්ගේ නොසැලෙන ඇදහිල්ලට ලැබූ විපාකය

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ඔවුන්ගේ නොසැලෙන ඇදහිල්ලට ලැබූ විපාකය

ප්‍රේරිත පාවුල් කැපීපෙනෙන ඇදහිල්ලක් තිබූ මිනිසෙකි. ඔහු සෙසු ඇදහිලිවන්තයන්ටද එවැනිම ඇදහිල්ලක් වර්ධනය කරගැනීමට දිරිගැන්වූවා. ඔහු පැවසුවේ: “[දෙවි] වෙතට ළඟාවෙන්නා විසින් [ඔහු] විද්‍යමාන බවත්, [ඔහු] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය” කියායි. (හෙබ්‍රෙව් 11:6) අපි දැන් මොසැම්බික් රටෙහි අද්දැකීම් කිහිපයක් සලකා බලමු. ඒවා, යෙහෝවා නොසැලෙන ඇදහිල්ලට විපාක දෙන බවට හා අවංක යාච්ඤාවලට පිළිතුරු සපයන බවට කදිම සාක්ෂි වේ.

• නීයාසාහි උතුරු පළාතක ජීවත් වූ වැන්දඹු සහෝදරියක් කල්පනා කරමින් සිටියේ ඇයත් ඇගේ දරුවන් හයදෙනාත් “ජීවිතය සඳහා දෙවිගේ මඟ” දිස්ත්‍රික් සමුළුවට සහභාගි වන්නේ කෙසේද කියායි. මන්ද, ඇය ජීවිතය ගැටගසා ගත්තේ වෙළඳාම්පොළේ බඩු විකිණීමෙන් ලැබෙන සුළු ආදායමෙනුයි. සමුළු දිනය වන විට ඇය ළඟ තිබුණේ සමුළුවට යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය පමණයි. ආපසු ඒමට ඇය ළඟ මුදල් තිබුණේ නෑ. එසේ වුවත් ඇය යෙහෝවා කෙරෙහි පූර්ණ නිසැකකම තබා සමුළුවට සහභාගි වීම සඳහා කටයුතු සූදානම් කෙරුවා.

ඇය තම දරුවන් හයදෙනා සමඟ දුම්රියට ගොඩ වුණා. ගමන අතරමඟදී කොන්දොස්තර ප්‍රවේශ පත් නිකුත් කිරීමට ඇය ළඟට පැමිණි විට, ඇය පැළඳ සිටි සමුළු බැජ් කාඩ්පත දුටු ඔහු ඒ හැඳුනුම්පත මොකක්ද කියා විමසුවා. එවිට සහෝදරිය එය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවේ නියෝජිතයෙක් හැටියට තමාව හඳුන්වා දෙන බැජ් කාඩ්පත කියා උත්තර දුන්නා. ඊට පසු එම කොන්දොස්තර ඇසුවේ “සමුළුව පවත්වන්නේ කොහේද?” කියායි. එය පවත්වන්නේ කිලෝමීටර් තුන්සීයක් පමණ ඈතින් පිහිටි පළාතක් වන නාම්පුලාහි කියා ඇය පැවසුවා. එවිට ඔහු ඇයව පුදුමයට පත් කරවමින් ඇයගේ ප්‍රවේශපත් සඳහා අය කළේ යන වියදමෙන් බාගයයි. ඉතිරි මුදලට නැවත ඒම සඳහා ඇයටත් ඇගේ පවුලේ අයටත් ප්‍රවේශපත් දුන්නා. හිතලා බලන්න, ඇය යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම ගැන කොයිතරම් සන්තෝෂ වෙන්න ඇද්ද කියලා.—ගීතාවලිය 121:1, 2.

• ආගමට ලැදි ස්ත්‍රියක් නමස්කාර කිරීමට හරි මාර්ගය පෙන්වා දෙන්න කියා අවුරුදු විසිපහක් පුරා දෙවිට යාච්ඤා කර තිබුණා. ඇය සහභාගි වෙමින් සිටි පල්ලියේ ආගමික වතාවත්වලට වෙනත් ආගමික සිරිත් විරිත් ඇතුළත් වූ නිසා එවැනි නමස්කාරයකට දෙවි ප්‍රසන්න වෙයිද කියලා ඇය සැක කළා.

ඇය තවදුරටත් මෙසේ විස්තර කළා: “හැම තිස්සේම මතෙව් 7:7 සඳහන් යේසුගේ වචන මගේ මතකයේ තිබුණා. ‘ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බ වේ; තට්ටු කරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.’ මේ බයිබල් පදයත් මතකයේ තබාගෙන සත්‍ය මාර්ගය මට පෙන්වන්න කියා දිගටම දෙවිට යාච්ඤා කළා. එක දවසක් අපේ පල්ලියේ දේවගැතිතුමා වෙළඳාම්පොළේ වැඩ කළ සියලුදෙනාටම තමාගෙන් ආශීර්වාද ලබාගැනීමට වුවමනා නම් යම් මුදලකුත් සමඟ තමන්ගේ බඩුවලින් කොටසක් ගෙනා යුතුයි කියා පැවසුවා. මට හිතුණේ මේ ඉල්ලීම බයිබලයට එකඟ නැති දෙයක් කියලයි. අනෙක් සියලුදෙනාම මොනවහරි දෙයක් ගෙනාවත්, මම කිසි දෙයක් දුන්නේ නෑ. මම ‘පඬුරු’ ගෙනාවේ නැහැ කියලා දේවගැතිතුමා දැකලා, ඔහු සියලුදෙනාම ඉදිරියේ මට අපහාස කරන්න පටන්ගත්තා. දෙවිට අවශ්‍ය නමස්කාර ක්‍රමය මේක නොවෙයි කියලා ඒ දවසේම මට වැටහුණ නිසා මම පල්ලියෙන් අයින් වුණා. එහෙත් මම සත්‍යය සොයා දෙන්න කියලා දිගටම දෙවිට යාච්ඤා කළා.

“අන්තිමේදී, මම ධෛර්යය උපදවාගෙන යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වූ මගේ ඥාතියෙකුව මුණගැසෙන්න ගියා. ඔහු දුන් කුඩා පත්‍රිකාව කියවනකොටම මට තේරුණා මගේ යාච්ඤාවට දෙවිගෙන් පිළිතුරු ලැබුණා කියලා. ඊට පස්සේ මාත් එක්ක එකට ජීවත් වෙමින් සිටි පෙම්වතාත් බයිබල් සත්‍යය පිළිගත්තා. අපි අපේ විවාහය ලියාපදිංචි කෙරුවා. කාලයක් යන කොට මගේ ස්වාමිපුරුෂයා හොඳටම අසනීප වුණා. එහෙත් ඔහුගේ මරණය දක්වාම ඔහු මාව දිරිගැන්වූයේ සත්‍ය මාර්ගයෙහිම යන්න, එතකොට අපිට පාරාදීසයේදී මුණගැහෙන්න පුළුවන් කියලයි.

“ඇත්තෙන්ම, මම යෙහෝවාට ගොඩක් ස්තුති කරනවා මගේ යාච්ඤාවට පිළිතුරු දීම ගැනත් ඔහුට නමස්කාර කිරීමේ හරි මාර්ගය පෙන්වීම ගැනත්. ඒ වගේම මගේ දරුවන් අටදෙනාම යෙහෝවාගේ කැප වූ සේවකයන් වීමත් මගේ යාච්ඤාවට දෙවිගෙන් ලැබුණ පිළිතුරක්.”