Skip to content

පටුනට යන්න

මායා කර්මය—ඔබේ තේරීමද?

මායා කර්මය—ඔබේ තේරීමද?

මායා කර්මය—ඔබේ තේරීමද?

අදදින මායා කර්මය නිර්වචනය කිරීම පහසු දෙයක් නොවේ. ඒ මන්ද? එයට යොමු වී සිටින අය නිශ්චිත පිළිවෙතක් අනුගමනය නොකරන නිසයි. ඇත්තෙන්ම, එක ප්‍රධාන බලවේගයක් හෝ දෙවිකෙනෙක් තමන්ව පාලනය කරනවායයි ඔවුන් විශ්වාස නොකරයි. ඒ විතරක් නොවේ, සෑමදෙනෙක්ම පොදුවේ පිළිගත යුතු ප්‍රධාන ඉගැන්වීම්වත් ශුද්ධ පොතක්වත් ඔවුන් ළඟ නොමැත. තමන් සංවිධානය විය යුතු ආකාරය, රැකිය යුතු සිරිත් විරිත් හා සම්ප්‍රදායන් පිළිබඳව ඔවුන් විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත. ඔවුන් ඇදහිය යුතු දෙවියන් පිළිබඳවද විවිධ මත දරයි. මේ සම්බන්ධයෙන් එක් කතුවරියක් පැවසූ දේ සලකා බලන්න. “මායා ලෝකයේ නීති නැහැ. ඕන කෙනෙකුට තමන්ට කැමති දේ පිළිගන්න පුළුවන්.” තවත් කතුවරියක් පැවසුවේ මෙලෙසයි. “නව මිථ්‍යාදෘෂ්ටිකයන් සාමාන්‍යයෙන් එක විෂයක් ගැනවත් එකඟ වෙන්නේ නැහැ.”

බොහෝදෙනෙක් නම් මෙහි කිසිම වරදක් නොදකියි. මායා කර්මය හදාරන අය සඳහා සකස් කළ අත්පොතක මෙසේ පැහැදිලි කරයි. “පරස්පර විරෝධී අදහස් තිබෙන විට තොරතුරු හොඳින් පරීක්ෂා කර බලන්න. ඉන්පසු ඔබට පිළිගත හැකි දේ තෝරාගන්න. මෙසේ කරද්දී වැඩියෙන්ම ඔබේ සිත්ගන්නේ කුමක්ද කියා සලකා බලන්න. වත්පිළිවෙත් රැසක් තිබේ. එමෙන්ම අපිට තෝරාගත හැකි උපදෙස් පොත් ගණනාවක්ම තිබේ. නමුත් යමක් හරියි කියා ඔබට හැඟෙනවා නම් ඒක තෝරාගන්න. එසේ කිරීමට ඔබට සම්පූර්ණ නිදහස තිබේ.”

කොහොම වුණත්, සත්‍යය හා බොරුව අතර නිශ්චිත තේරීමක් කර ඇති අයට නම් මෙය පිළිගත හැකි යමක් නොවේ. සත්‍යය, සාක්ෂිවලින් ඔප්පු කළ හැකි යමක් විය යුතුයි. යම් දෙයක් නිකම්ම තමාට හරියි කියා හැඟෙන නිසා හෝ විශ්වාස කරන්න කැමති නිසා හෝ එය සත්‍යයක් බවට පත් නොවේ. මෙයට හොඳ නිදසුනක් සලකා බලන්න. නියුමෝනියාව සුව කිරීමට නම් පණ පිටින් කුකුළෙක්ව දෙකට කපා උගේ ශරීරයේ කොටස් ලෙඩාගේ පපුව මත තබන්න අවශ්‍යයි කියා කාලයක් වෛද්‍යවරුන් අතර විශ්වාසයක් තිබිණ. නියුමෝනියාවෙන් පෙළුණු බොහෝදෙනෙක් මෙම මතය පිළිගත් බව නිසැකයි. නමුත් ඔවුන් එය පිළිගත් පමණින්ම එම මතය සත්‍යයක් බවට පත් වූ බව පැවසිය නොහැක. මන්ද එම ප්‍රතිකාර ක්‍රමය නියුමෝනියාව සුව කිරීමට සමත් වූයේ නැත. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? සත්‍යය කියන්නේ අපට උවමනා ආකාරයට සකස් කරගන්න පුළුවන් දෙයක් නොවෙයි. එය කලින් නිශ්චය කොට තිබෙන දෙයක්. අප එය සොයාගැනීමට වෙර දැරිය යුතුයි.

ආත්මික කාරණා පිළිබඳව සත්‍යය අඩංගු වී ඇත්තේ එතුළයි කියා බයිබලයේ පවසා ඇත. යේසුස් ක්‍රිස්තුස් මිහිපිට සිටින විට තම පියාට යාච්ඤා කළේ, “ඔබගේ වචනය සත්‍යතාවය” කියායි. (යොහන් 17:18) ප්‍රේරිත පාවුල් ‘මුළු ලියවිල්ලම දේවානුභාවයෙන්’ කියා පිළිගත්තේය. (2 තිමෝති 3:16) මායා කර්මයට යොමු වී සිටින බොහෝදෙනෙක් නම් මෙයට එකඟ වන්නේ නැත. ඔවුන් තම විශ්වාසයන් පදනම් කොට තිබෙන්නේ මිථ්‍යා ප්‍රබන්ධ හා ඉපැරණි ආගම් මතයි. එහෙමත් නැත්නම් අලුත් අදහස් සොයාගැනීමට ඔවුන් විද්‍යා ප්‍රබන්ධ වෙතට හැරෙයි. එහෙත් බයිබලය මේ පිළිබඳව පවසන්නේ කුමක්ද කියා සලකා බැලීම යෝග්‍යයි. මන්ද බයිබලය ශුද්ධ පොතක් වශයෙන්ද ලෝකයේ පැරණිතම ආගමික ලියවිල්ල වශයෙන්ද ප්‍රසිද්ධත්වයක් උසුලයි. බයිබලය අවුරුදු 1600ක කාලපරිච්ඡේදයක් ඇතුළත ලියා තිබිණ. නමුත් එහි කොතැනකවත් පරස්පර විරෝධී ඉගැන්වීම් දක්නට නොමැත. අපි දැන් මායා කර්මයට දිරි දෙන සමහරෙකුගේ අදහස් බයිබලයේ සමහර ඉගැන්වීම් සමඟ සසඳා බලමු.

අදෘශ්‍යමාන ජීවීන්

අදෘශ්‍යමාන ජීවීන් සිටියිද? මෙය, ආත්මික කාරණා ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනෙකු අසන ප්‍රශ්නයකි. නවීන දින මායාකාරියන් වැඩිදෙනෙක් නම් දෙවිවරුන් බොහෝදෙනෙකු සිටින බව විශ්වාස කරයි. එයට හේතුව වන්නේ, ස්වභාවධර්මය හා බැඳුණු ඔවුන්ගේ පිළිවෙතට බහුදේවවාදයද ඇතුළත් වීමයි. නමුත් සමහර මායාකාරියන් අදහන්නේ මව් දේවතාවියක්වයි. ඇය ජීවිතයේ ප්‍රධාන අවස්ථා වන යෞවනභාවය, මාතෘත්වය හා මහලුභාවය නියෝජනය කරන ත්‍රිවිධ දේවතාවියක්. දෙවියෙක් වන ඇගේ පෙම්වතාට අං තිබේ. තවත් සමහර මායාකාරියන් දෙවි දේවතාවන් යන දෙගොල්ලන්වම විශ්වාස කරයි. එක් ලේඛකයෙක් මෙසේ පැහැදිලි කළේය. “මේ දෙදෙනා ස්වභාවධර්මයේ පුරුෂ ස්ත්‍රී බලයන් නියෝජනය කරනවායයි පිළිගනියි. ඒ බලයන් එකිනෙකට වෙනස් වන අතර ඒවාටම ආවේණික ලක්ෂණ තිබේ. ඒ දෙක එකතු වූ විටයි ජීවය බිහි වන්නේ.” තවත් මූලාශ්‍රයක මෙසේ ලියා තිබේ. “මායා කර්මයේදී ගත යුතු වැදගත්ම තීරණය වන්නේ ඔබ කොයි දෙවියන්වද (දෙවි/දේවතාවියන්) තෝරාගන්නේ යන කාරණයයි. . . . ඔබට කැමති දෙවි කෙනෙක්ව තෝරාගෙන ඔහුව ඇදහීමට පූර්ණ නිදහස තිබේ.”

බයිබලය මෙම අදහස් සමඟ කිසිසේත් එකඟ නොවේ. යේසුස් ක්‍රිස්තුස් තම මුළු ජීවිතයම කැප කළේ “එකම සැබෑ දෙවි වන” යෙහෝවා පිළිබඳව අනුන්ට කියා දීමටයි. (යොහන් 17:3NW) ‘යෙහෝවා උතුම්ව බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුව සිටින්නේය. සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි භය විය යුතුයි. මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. [දෙවිවරුන්ගෙන් පිහිටක් නොලැබෙයි, NW]’ කියා බයිබලය තවදුරටත් පවසයි. (1 ලේකම් 16:25, 26) ඇත්තේ එකම සැබෑ වූ දෙවිකෙනෙක් පමණයි කියා මින් පැහැදිලි වන්නේ නැද්ද?

මායා කර්මයට යක්ෂයා සම්බන්ධ වන්නේ කෙසේද? වබ්ස්ට’ස් නයින්ත් කොලීජියේට් ශබ්දකෝෂයට අනුව, මායා කර්මය යනු “යක්ෂයා සමඟ අදහස් හුවමාරු කරගැනීමයි.” නමුත් මෙම නිර්වචනය කිරීම සම්බන්ධයෙන් බොහෝ මායාකාරියන් තම විරෝධය පළ කරයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් සාතන් නමැති යක්ෂයාගේ පැවැත්ම පවා ප්‍රතික්ෂේප කරයි. “අයර්ලන්තයේ විශාලතම මායා කර්ම මෙහෙය තුළ සිටින ප්‍රධාන පෙළේ මායාකාරියක්” වශයෙන් දි අයිරිෂ් ටයිම්ස් පුවත්පතේ විස්තර කර තිබූ කාන්තාවකගේ තර්කය සලකා බලන්න. “යක්ෂයා ගැන විශ්වාස කරනවා නම් අනිවාර්යයෙන්ම සෑම ක්‍රිස්තියානි ඉගැන්වීමක්ම පිළිගන්න ඕනේ. . . . නමුත් විශ්වයේ මැවුම්කාර දෙවිකෙනෙක් නැහැ. එහෙනම් ඒ දෙවියන් අපට හඳුන්වලා දෙන [යක්ෂයා] ඉන්න පුළුවන්ද?”

බයිබලයේ මීට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරයි. යක්ෂයා ඇත්තෙන්ම පවතින බවත් අද ලෝකයේ පවතින කැලඹිලි සහිත තත්වයන් හා දුක් වේදනාවන්ට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ඔහු බවත් එහි සඳහන් කරයි. (එළිදරව් 12:12) යේසුස්, යක්ෂයා පවතින බව පමණක් නොව නමුත් නොදැනුවත්වම යක්ෂයාගේ බලයට හසු විය හැකි බවත් පෙන්වීය. මෙයට හොඳ නිදසුනක් වන්නේ පළමුවන ශතවර්ෂයේ විසූ අහංකාර ආගමික නායකයන්ය. තමන් දෙවිගේ පුත්‍රයන් බවත් දෙවිගේ කැමැත්ත කරමින් සිටින බවත් ඔව්හු තරයේ කියා සිටියහ. නමුත් යේසුස් ඔවුන්ගේ සිතේ තිබුණ දෙය හොඳින් දැන සිටියේය. ඔහු ඍජු ලෙස ඔවුන්ට මෙසේ ප්‍රකාශ කළේය. “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය.” (යොහන් 8:44) බයිබලයේ එළිදරව් නමැති පොතෙහි තවදුරටත් යක්ෂයාව විස්තර කරයි. එහි සඳහන් කරන්නේ ඔහු ‘මුළු ලෝකයම රවටන’ බවයි.—එළිදරව් 12:9.

ඉන්ද්‍රජාලයෙන් යහපතක්?

ඉන්ද්‍රජාලය හෝ මැජික් මායා ලෝකය හා බැඳි යමක් බව පොදුවේ පිළිගනියි. a මායාකාරියන් අනුන්ට හානි පැමිණවීමට තම ඉන්ද්‍රජාලීය බලයන් යොදාගන්නා බව එදා මෙන්ම අදත් බහුතරයකගේ විශ්වාසයයි. මායාකාරියන්ට ඉන්ද්‍රජාලය යොදාගෙන කෙනෙකුට දරුණු වේදනාවක් ගෙන දීමට හෝ කෙනෙකුව මරණයට පත් කිරීමට පවා පුළුවන් බවද පිළිගනියි. වසර ගණනාවක් පුරාම, සිදු වන සෑම විපතකටම පාහේ මායාකාරියන්ව දෝෂාරෝපණයට ලක් කර ඇත. මෙයට ලෙඩ රෝග, මරණය හා නිසරු අස්වැන්නක් ඇතිවීම වැනි විපත් පවා ඇතුළත් වේ.

මායාකාරියන් මෙවැනි අදහස් එකහෙළා ප්‍රතික්ෂේප කරයි. කලාතුරකින් නරක මායාකාරියෙක් මතු විය හැකි නමුත්, ඔවුන් නම් තම බලයන් යොදාගන්නේ හානියක් කිරීමට නොව යහපතක් කිරීමට බව බොහෝදෙනෙක් පවසයි. ස්වභාවධර්මය හා බැඳුණු පිළිවෙතක් අනුගමනය කරන අය විශ්වාස කරන්නේ, තමා ඉන්ද්‍රජාල බලය යොදාගන්නා විට එයින් ඇති වන ප්‍රතිඵල මෙන් තුන් ගුණයක් නැවත තමා වෙතටම හැරී එන බවයි. එම බලය යොදාගන්නේ යහපතක් සිදු කිරීමට හෝ අයහපතක් සිදු කිරීමට හෝ වේවා එවැනි බලපෑමක් ඇති වෙයි කියා ඔවුන් විශ්වාස කරයි. එමනිසා අනුන්ට හානියක් සිදු කිරීමට එම බලය යොදාගැනීමට කිසිවිටක පෙලඹීමක් ඇති නොවන බව ඔවුන් කියාපායි. ඒ වෙනුවට ඔවුන් එය යොදාගන්නේ යහපතක් කිරීමටයි. ඒ කියන්නේ තම ආරක්ෂාවට, දුෂ්ට ආත්මයන් තම නිවසෙන් පලවාහැරීමට, කෙනෙකුගේ ආදරය දිනාගැනීමට, සුව කිරීමට, යහපත් සෞඛ්‍යයක් ඇතුව සිටීමට, රැකියාවක් අහිමි වීම වැළැක්වීමට හා මුදල් උපයාගැනීමට වැනි දේවලටයි. මායාකාරියන් ජනයාගේ හද දිනාගෙන තිබීම පුදුමයක්ද?

කොහොම වුණත්, බයිබලය හොඳ ඉන්ද්‍රජාලය හා නරක ඉන්ද්‍රජාලය අතර වෙන් කිරීමක් කරන්නේ නැත. මෝසෙස්ට දෙවි දුන් ව්‍යවස්ථාවේ පවසන්නේ, “මායම් භාවිතා නොකරන්න” කියායි. දෙවි මේ පිළිබඳව දරන ආකල්පය අපට එයින් පැහැදිලියි. (ලෙවී කථාව 19:26) අපට තවදුරටත් මෙසේ කියවීමට තිබේ. “නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්, මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා.”—ද්විතීය කථාව 18:10, 11.

දෙවි එසේ පැවසුවේ මන්ද? අපෙන් යහපත් දෙයක් සැඟවීමට වෑයම් කරන නිසා නොවේ. තම සෙනඟව මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන්ගෙන් හා අනවශ්‍ය බියෙන් ආරක්ෂා කිරීමට යෙහෝවාට අවශ්‍යයි. තමන්ට අවශ්‍ය දේ ලබාගැනීම සඳහා තමා වෙත එළඹීමට පවා යෙහෝවා ප්‍රේමනීය ලෙස තම සෙනඟට ආරාධනා කරයි. ඔහු ඇත්තෙන්ම ‘සෑම යහපත් දීමනාවේ හා සියලු අගනා ත්‍යාගයේ’ දෙවිය. (යාකොබ් 1:17, නව අනුවාදය) ප්‍රේරිත යොහන් සෙසු ඇදහිලිවන්තයන්ගේ විශ්වාසය ගොඩනංවමින් මෙසේ පැවසීය. “අපි [ඔහුගේ] ආඥා රක්ෂාකරමින් [ඔහු] ඉදිරියෙහි ප්‍රසන්නදේ කරන බැවින් අපි [ඔහුගෙන්] ඉල්ලන සියල්ල ලබමු.”—1 යොහන් 3:22.

දුෂ්ට ආත්ම සිටිය හැකිද?

මායාකාරියන් බොහෝදෙනෙක් බයිබලයේ සඳහන් එක කාරණයක් සම්බන්ධයෙන් නම් එකඟ වේ. එනම් දුෂ්ට ආත්මයන්ගේ පැවැත්ම ගැනයි. මායා කර්මයට පක්ෂව කතා කරන කෙනෙක් මෙසේ අනතුරු අඟවයි. “හොල්මන් සිටින බවට කිසිම සැකයක් නැහැ. අපේ ලෝකයට සමාන කළ හැකි අදෘශ්‍යමාන ලොවකයි ඔවුන් සැරිසරන්නේ. එය නිකම්ම මනඃකල්පිත විශ්වාසයක් නොවේ. . . . ඔවුන්ව දුෂ්ට ආත්ම, අවතාර හා භූතයෝ හැටියට විස්තර කිරීම යෝග්‍යයි. ඔවුන් හරිම බලවත්. . . . ඔවුන්ගෙන් හොඳ කල්පනා ශක්තියක් තිබෙන අයට අපේ ලෝකයට පිවිසීමට (යමෙක් මාර්ගය විවෘත කර දුන්නොත්) කිසිම අපහසුතාවක් නැහැ. . . . ඔවුන්ට අපේ ශරීරයට වුණත් ඇතුල් විය හැකියි. . . . අපිව පාලනය කරන්නත් පුළුවන්. පැරණි කතන්දර පොත්වල විස්තර කරන යක්ෂාවේශ වීම බොරුවක් නොවේ.”

බයිබලය ලියවුණු කාලයේදී භූතයන් මිනිසුන්ට නොයෙක් ආකාරයෙන් වද හිංසා කර තිබිණ. භූතයන්ගේ බලපෑමට ලක් වූ ඇතමෙක් ගොළුයි එහෙමත් නැත්නම් අන්ධයි. තවත් සමහරු ක්‍රියා කළේ සිහිවිකල් වූ අය වගෙයි. ආවේශයෙන් අසමාන්‍ය බලයක් විදහාපෙන්වූ අයද සිටියෝය. (මතෙව් 9:32; 12:22; 17:15, 18; මාර්ක් 5:2-5; ලූක් 8:29; 9:42; 11:14; ක්‍රියා 19:16) ඇතැම් අවස්ථාවලදී එක පුද්ගලයෙකුට භූතයන් කිහිපදෙනෙක්ම ආවේශ වී තිබිණ. එවැනි කෙනෙකුට කොතරම් දුක් විඳින්න සිදු වුණාද කියා ඔබට සිතාගත හැකිද? (ලූක් 8:2, 30) මායා කර්මය හා වෙනත් අද්භූත දේවලින් වැළකී සිටීමට යෙහෝවා අපට පවසන්නේ මන්ද කියා ඔබට පැහැදිලිද?

සත්‍යය මත පදනම් වූ නමස්කාරය

අදදින බොහෝදෙනෙක් මායා කර්මය වෙත ඇදී යන්නේ එය කාටවත් හානියක් සිදු කරන්නේ නැති පිළිවෙතක් කියා සිතාගෙනයි. දැන් ඇතැම් ප්‍රදේශවල එය පිළිගන්නේ කිසිම හානියක් එල්ල නොවන අහිංසක විනෝදාංශයක් හැටියටයි. ආගමික නිදහසට දිරි දෙන ලොවක දැන් මිනිසුන් අද්භූත දේවල් පිළිගැනීමටත් පෙලඹී ඇති බව පැහැදිලියි. එමනිසා දැන් මායා කර්මයටත් සමාජයේ තැනක් හිමි වී තිබේ.

ඇත්තෙන්ම අදදින ඕනෑම කෙනෙකුට තමන්ට රිසි පරිදි ආගමක් තෝරාගැනීමට පුළුවන. ඒක හරියට වෙළඳපොළකට ගොස් තමාට කැමති සපත්තු කුට්ටමක් මිල දී ගන්නවා හා සමානයි! නමුත් යේසුස් මෙවැනි ක්‍රියාකලාපයක් අනුමත කළේ නැත. තෝරාගැනීමට ඇත්තේ මාර්ග දෙකක් පමණයි කියා ඔහු පෙන්වීය. “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.” (මතෙව් 7:13, 14) අපට කැමති මාර්ගය තෝරාගැනීමට අපට අයිතිය තිබෙන බව ඇත්තයි. නමුත් අප ගන්නා තීරණය සදාකාල ජීවනය ලැබෙනවාද නැද්ද යන කාරණය හා බැඳී පවතියි. එමනිසා අප ඥානවන්තව එම තීරණය ගත යුතුයි. ආත්මික කාරණා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නම් අප සත්‍ය මාර්ගයේ ගමන් කළ යුතුයි. එම මාර්ගය සොයාගත හැක්කේ දෙවිගේ වචනය වන බයිබලයෙන් පමණයි. ඔබ එම මාර්ගය තෝරාගනීවිද?

[පාදසටහන]

a ඉංග්‍රීසියෙන් මැජික් යන වචනයට අර්ථ දෙකක් තිබේ. එනම් මායාවට සම්බන්ධ මැජික් හා නිකම්ම වේදිකාවේ රඟ දක්වන මැජික්ය. 1993 සැප්තැම්බර් 8 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාපයේ 26 පිටුවේ, “ඉන්ද්‍රජාලයෙන් හානියක් සිදු විය හැකිද?” යන ලිපිය බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

අදදින බොහෝදෙනෙක් මායා කර්මය සලකන්නේ කිසිම හානියක් ගෙන නොදෙන පිළිවෙතක් හැටියටයි

[6වන පිටුවේ පින්තූරය]

අතීතයේ සිටම ඉන්ද්‍රජාලය මායා ලෝකය හා බැඳුණු යමක් වශයෙන් සලකා ඇත

[6වන පිටුවේ පින්තූරය]

මායා කර්මයෙහි නියැලෙන අය නොදැනුවත්වම යක්ෂයාගේ ග්‍රහණයට හසු වී ඇද්ද?

[7වන පිටුවේ පින්තූර]

බයිබලය සත්‍යයේ මාර්ගය විවෘත කර දෙයි