Skip to content

පටුනට යන්න

“නැවත පිහිටුවන්නාවූ කාලවල්” අත ළඟයි!

“නැවත පිහිටුවන්නාවූ කාලවල්” අත ළඟයි!

“නැවත පිහිටුවන්නාවූ කාලවල්” අත ළඟයි!

යේසුස් ස්වර්ගස්ථ වීමට සුළු මොහොතකට පෙර ඔහුගේ ගෝලයෝ කීපදෙනෙක් ඔහුගෙන් මෙසේ ඇසුවෝය. ‘ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවා දෙන්නේද?’ යේසුස් ඊට දුන් පිළිතුරෙන් රාජ්‍යය පැමිණීමට පෙර යම් කාල සීමාවක් තිබෙන්න යන බව ඇඟවීය. එම කාල සීමාව තුළ ඔහුගේ ගෝලයන් විසින් කරනු ලැබිය යුතු වූ විශාල වැඩක් තිබුණි. එනම් ඔවුන් “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද” යේසුස්ගේ සාක්ෂිය දරන්නන් විය යුතුව තිබුණි.—ක්‍රියා 1:6-8.

ඇත්තෙන්ම එම පැවරුම දින කීපයකින්, සති කීපයකින් හෝ මාස කීපයකින් ඉටු කරගත නොහැකි දෙයක් වුවත් ගෝලයෝ යුහුසුලුව දේශනා කර්තව්‍යය ආරම්භ කළහ. නමුත් නැවත පිහිටුවීම පිළිබඳ ඔවුන්ට තිබූ උනන්දුව අත්හැරියේ නැත. ප්‍රේරිත පේතෘස් යෙරුසලමේ රැස්ව සිටි විශාල සමූහයකට මේ සම්බන්ධයෙන් කතා කළේය. ‘ස්වාමින් ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද, නුඹලා උදෙසා නියම කරන ලද්දාවූ ක්‍රිස්තුස්, එනම් යේසුස් එවන පිණිසද, නුඹලාගේ පාපයත් මකා දමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න. දෙවි ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල් දක්වා ඔහු ස්වර්ගයේ සිටින්ට ඕනෑය.’—ක්‍රියා 3:19-21.

මෙම “නැවත පිහිටුවන්නාවූ කාලවල්” හේතුවෙන් කෙනෙකුට යෙහෝවාගෙන් ලැබෙන ‘සැනසිලි කාලයන්’ අත් කරගත හැක. පුරෝකථනය කර ඇති නැවත පිහිටුවීමේ කාලය පැමිණීමට තිබුණේ අදියර දෙකකින්ය. පළමු අදියර නම් වර්තමානයේ පවතින ආත්මික යළි නඟා සිටුවීමයි. එනම් දැන් සිදු වෙමින් පවතින ආත්මික වර්ධනයයි. දෙවන අදියර නම් පොළොව මත භෞතික පාරාදීසය පිහිටුවීමයි.

නැවත පිහිටුවීමේ කාලය ආරම්භ වෙයි

ප්‍රේරිත පේතෘස් යෙරුසලමේ සිටි සමූහයට පෙන්නුම් කළ ආකාරයට, ‘යේසුස් ස්වර්ගයේ සිටින්ට ඕනෑය.’ එනම් 1914දී තම රාජකීය බලය ලබාගෙන දෙවි පත් කරන ලද රජු ලෙස තම පාලනය ආරම්භ කරන තෙක්, යම් කාල සීමාවක් බලා සිටින්ට යේසුස්ට සිදු විය. ඉන්පසුව, දෙවිගේ අරමුණු ක්‍රියාත්මක කිරීමේදී ඔහු තම පුත්‍රයාව ප්‍රධාන තැනැත්තා ලෙස කටයුතු කිරීමට ‘එවනු ලබයි’ කියාද පේතෘස් පුරෝකථනය කළේය. එම සිදුවීම බයිබලය තුළ සංකේත භාෂාවෙන් පැහැදිලි කර ඇත. “ඈ [දෙවිගේ ස්වර්ගික සංවිධානය] සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩුකරන පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු, [යේසුස් ක්‍රිස්තුස් යටතේ ඇති දෙවිගේ රාජ්‍යය] බිහිකළාය.”—එළිදරව් 12:5.

නමුත් ක්‍රිස්තුස්ගේ පාලනයට යටත් වීමට ජාතීන්ගේ සිත් තුළ කිසිදු කැමැත්තක් නොතිබූ අතර, ඔහුගේ භූමික පක්ෂපාතී තැනැත්තන් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඔවුහු විවිධාකාරයෙන් පහර දුන්හ. මුල් ප්‍රේරිතයන් මෙන් සාක්ෂිකරුවෝ ‘යේසුස්ගේ සාක්ෂිය දැරීමේ’ කර්තව්‍යය යුහුසුලුව ආරම්භ කළහ. (එළිදරව් 12:16) නමුත් එක් රටක් පාසා තවත් රටක විරුද්ධවාදීකම් ඇති වූ නිසා මෙම අවංක ක්‍රිස්තියානීන් කරමින් සිටි කාර්යය වෙනතකට යොමු විය. 1918දී, බෘක්ලින් නියූ යෝක්වල වොච් ටවර් සමිතියේ මූලස්ථානයේ වගකීම් ලත් සාමාජිකයන්ට විරුද්ධව බොරු චෝදනා මත උසාවිවල නඩු පවරන ලදි. පසුව අසාධාරණ ලෙස දීර්ඝ කාලීන සිර දඬුවම් ඔවුන්ට නියම කරන ලදි. මේ හේතුවෙන් “පොළොවේ සීමාව දක්වා” කළ යුතු නවීන දින දේශනා කාර්තව්‍යය මුළුමනින්ම කඩාකප්පල් වීමට යන බවක් මෙම කාලයේදී පෙනෙන්න තිබිණ.—එළිදරව් 11:7-10.

කෙසේ නමුත් 1919දී, සිරගත කරනු ලැබූ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ වගකීම් ලත් සාමාජිකයන්ව නිදහස් කර පසුව සියලුම බොරු චෝදනාවලින් පවා නිදොස් කළේය. නිදහස ලැබූ සාමාජිකයන් විසින් ආත්මික ක්‍රියාකාරකම් නැවත පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරන ලදි. එවක් පටන් යෙහෝවාගේ සෙනඟ පෙර නොවූ විරූ ආකාරයේ ආත්මික සමෘද්ධියක් භුක්ති විඳිමින් සිටිති.

ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට අණ කළ දේවල් පැවැත්වීමට සියලු ජාතීන්ගෙන් සමන්විත ජනයාව දැනුවත් කිරීම සඳහා පුළුල් ඉගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. (මතෙව් 28:20) කලින් මෘග ගති තිබූ පුද්ගලයන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් වෙනස් කරගන්නවා දැකීම ඇත්තෙන්ම ප්‍රීතියක්! “කෝපය,” “නින්දාව” “කැත කථාව” වැනි පරණ පෞද්ගලිකත්වයේ ගති ලක්ෂණයන් ඉවත් කර ‘අලුත් මනුෂ්‍යයාව [අලුත් පෞද්ගලිකත්වය, NW] මැවූ තැනැත්තාගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත් කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව [අලුත් පෞද්ගලිකත්වය, NW]’ ඔවුහු පැළඳගනිති. අනාගතවක්තෘ යෙසායාගේ වදන් අද පවා ආත්මික ආකාරයකින් ඉටු වෙයි. “වෘකයා [කලින් මෘග ගති තිබූ පුද්ගලයා] බැටළුපැටවා [මෘදු ගති විදහාපෙන්වන පුද්ගලයා] සමග වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමග ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.”—කොලොස්සි 3:8-10; යෙසායා 11:6, 9.

තවත් පිහිටුවීම් අත ළඟයි!

නැවත පිහිටුවීම නිසා අදදින දක්නට තිබෙන ආත්මික පාරාදීසයට අමතරව, අපගේ පොළොව භෞතික පාරාදීසයක් බවට පත්වීමේ කාලයටද ළං වෙමින් තිබේ. අපගේ ආදි මාපියන් වන ආදම් සහ ඒවව යෙහෝවා විසින් ඒදන් උයනේ පදිංචි කරනු ලැබූ විට, පොළොවේ එම කුඩා කොටස පාරාදීසයක් ලෙස තිබුණි. (උත්පත්ති 1:29-31) ඒ නිසා පාරාදීසය නැවත පිහිටුවන බව අපට ස්ථිරයෙන්ම පැවසිය හැක. නමුත් එය සිදුවීමට පෙර, දෙවිට අගෞරව කරන බොරු ආගම් උදුරා දැමිය යුතුයි. මෙම බොරු ආගම් විනාශ කිරීමේ වගකීම පැවරී ඇත්තේ මේ ලෝකයේ දේශපාලනයටයි. (එළිදරව් 17:15-18) ඉන්පසු දේශපාලනය මගින් වාණිජ ලෝකයේ වෙළඳුන් සහ ඔවුන්ගේ සගයන්ව විනාශ කරනු ලබයි. අවසානයේදී, දෙවිගේ අන්තිම විරුද්ධකාරයා වන සාතන් නමැති යක්ෂයා සහ ඔහුගේ භූතයන්ව අවුරුදු දහසකට බැඳ තබයි. එවිට නැවත පිහිටුවීමේ කාර්යය ආරම්භ වෙයි. එම කාලයේදී, “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.” (යෙසායා 35:1) එදාට මුළු පොළොවම කරදරවලින් නිදහස්ව පවතීවි. (යෙසායා 14:7) මිය ගිය මිලියන ගණන් අය නැවත පොළොව මත ජීවිතයකට ගෙන එනු ලබයි. සියලුදෙනාම මිදීමේ පූජාවේ සුවදායක ප්‍රයෝජන අද්දකිනු ඇත. (එළිදරව් 20:12-15; 22:1,2) පොළොවේ අන්ධයෙක්වත්, බිහිරෙක්වත්, කොරෙක්වත් සිටින්න යන්නේ නැත. මන්ද ඒ කාලයේදී ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ බැවිනි. (යෙසායා 33:24) ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයෙන් ටික කලකට පසු යක්ෂයාව සහ ඔහුගේ භූතයන්ව සුළු කාලයකට මුදාහරිනු ලබන අතර ඒ වන විට පොළොව සඳහා දෙවිගේ අරමුණ ඉටු වී ඇති ආකාරය ඔවුන්ට දැකගැනීමට සලස්වනු ලැබේ. අවසානයේදී, මනුෂ්‍යයාගේ ක්‍රියාකලාපය විමර්ශනයට ලක් කරනු ලැබේ. එහිදී තම ක්‍රියාවන් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් ඔප්පු නොකරන අය සදහටම විනාශ කරනු ලබයි.—එළිදරව් 20:1-3.

පොළොව නැවත පිහිටුවීමේ දහස් අවුරුදු පාලනය අවසන් වන විට “හුස්ම ඇති සියල්ලෝ” යෙහෝවාට ප්‍රශංසා කරති. ඔවුන් සදහටම එසේ කරනු ඇත. (ගීතාවලිය 150:6) ඔවුන් අතරේ ඔබත් සිටිනු ඇද්ද? ඔබට සිටිය හැකි බවට කිසිම සැකයක් නැත.