Skip to content

පටුනට යන්න

යෙහෝවා සෑමවිටම ඔහුගේ පක්ෂපාත අයට ආශීර්වාද කරයි

යෙහෝවා සෑමවිටම ඔහුගේ පක්ෂපාත අයට ආශීර්වාද කරයි

ජීවිත කතාව

යෙහෝවා සෑමවිටම ඔහුගේ පක්ෂපාත අයට ආශීර්වාද කරයි

වර්නන් ඩන්කම්ගේ කතාව

මම රාත්‍රි කෑම කාලා ඉවර වුණාට පස්සේ, වෙනදා වගේ සිගරට් එකක් පත්තු කරගෙන, “සවස තිබූ රැස්වීමේ විස්තර මොනවාද?” කියා මගේ භාර්යාව වන අයිලීන්ගෙන් ඇසුවා.

ඇය ටික වෙලාවක් ගියාට පස්සේ මෙහෙම කිව්වා. “අලුතින් සභා වගකීම්වලට පත් කළ අයගේ නම් සඳහන් වුණ ලිපියක් කියෙව්වා. ඔයාගේ නමත් ඒකේ තිබුණා. ඔයාට භාර වෙලා තියෙන්නේ ශබ්ද විකාශන අංශයේ වැඩ. ඒ ලිපියේ අවසානයේ සඳහන් කරලා තිබුණා ‘මේ අලුතින් පත් කළ අය අතර දුම්පානය කරන අය ඉන්නවා නම්, ඒ අය පැවරුම භාරගන්න හැකියාවක් නෑ කියලා ශාඛාවට ලියා එවිය යුතුයි’ a කියලා.” “නෑ! ඒකේ එහෙම කියලා තිබුණද” කියා මට ඉබේටම කියවුණා.

මම දත්මිටි කාගෙන සිගරට් එක අළු බඳුනට දමා නිව්වා. “මම දන්නේ නෑ ඇයි මාව මේ පැවරුමට තෝරගත්තේ කියලා. හැබැයි මම කවමදාකවත් වගකීමක් දෙද්දී බෑ කියලත් නෑ. එහෙම බෑ කියන්න අදහසකුත් නෑ.” මම අධිෂ්ඨාන කළා දුම්බීම නවත්වන්න. ක්‍රිස්තියානියෙක් වගේම සංගීතඥයෙක් වූ මගේ ජීවිතයට ඒ අධිෂ්ඨානය තදින්ම බලපෑවා. ඉහත සඳහන් කළ අධිෂ්ඨානය ගැනීමට දායක වුණ සමහරක් දේ ඔබට කියන්න මට මොහොතකට ඉඩ දෙන්න.

ජීවිතයේ මුල් අවධිය

පිරිමි දරුවන් හතර දෙනෙකුගෙන් හා ගැහැනු දරුවන් දෙන්නෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් පුතා ලෙස 1914 සැප්තැම්බර් 21වනදා කැනඩාවේ ටොරොන්ටෝවල මම උපත ලැබුවා. වයස් පිළිවෙළට අනුව මට පස්සේ යෝර්ක්, ඊළඟට ඔර්ලැන්ඩෝ පස්සේ ඩග්ලස්, අයිලීන් සහ කොරල් ඉපදුණා. අපේ දෙමාපියන් වන වර්නන් සහ ලිලා අප වෙනුවෙන් යුතුකම් නොපිරිහෙළා ඉටු කළා. මගේ අම්මා මට වයලීනයක් අරන් දීලා, හැරීස් සංගීත විද්‍යාලයෙන් සංගීතය හදාරන්න කටයුතු සූදානම් කෙරුවා. ඒ වෙද්දී මට අවුරුදු නමයක් විතර ඇති. ඒ දවස්වල අපට අගහිඟකම් තිබුණත් අම්මයි තාත්තයි මගේ ගමන් ගාස්තු සහ පාසැල් ගාස්තු කොහොමහරි දුන්නා. ඊට පස්සේ මම ටොරොන්ටෝ රාජකීය සංගීත විද්‍යාලයෙන් විෂයක් හැටියට සංගීතය හැදෑරුවා. අවුරුදු 12දී ටොරොන්ටෝවල උසස් සංගීත ශ්‍රවණාගාරයක් වූ මැසේ ශාලාවේ පැවති තරඟයකට සහභාගි වුණා. එයට නගරයේ සෑම පෙදෙසකින්ම තරඟකරුවන් පැමිණ සිටියා. මම ඒ තරඟයෙන් පළමු ස්ථානය ලබාගත් අතර මට කිඹුල් සම්වලින් තැනූ කවරයක දමන ලද වටිනා වයලීනයක් තෑග්ගක් හැටියට ලැබුණා.

කාලයක් යනකොට මම පියානෝව සහ බේස් වයලීනය වයන්නත් ඉගෙනගත්තා. අපි කට්ටියක් එකතු වෙලා සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සවස්වරුවේ පැවැත්වූ පොඩි පොඩි සාදවලට සහ උසස් අධ්‍යාපන ආයතන මගින් සංවිධානය කළ සමහර සාදයන්වලට සංගීතය සැපයුවා. මේ නැටුම් සාදයකදී තමයි පළමු වතාවට මම අයිලීන්ව දැක්කේ. මම පාසැලේ හිටිය අන්තිම අවුරුද්දේදී, නගරයේ තිබූ තූර්ය වාදක කණ්ඩායම් බොහොමයක් සමඟ වාදන කටයුතුවලට හවුල් වුණා. උපාධිය ගත්තාට පස්සේ ෆර්ඩ් මෝරී තූර්ය වාදක කණ්ඩායමට (1940 ගණන්වල ඔන්ටාරියෝ නගරයේ තිබූ කුඩා සංගීත කණ්ඩායමක නමක්) බැඳෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. හොඳ ගෙවීමක් කළ නිසා මම 1943 වෙනකම්ම ඒක ස්ථිර රැකියාව ලෙස කරගෙන ගියා.

යෙහෝවාව දැන හඳුනාගැනීම

මගේ දෙමාපියන්ට බයිබල් සත්‍යය ලැබුණේ, පළමුවෙනි ලෝක මහා යුද්ධය පටන්ගන්න ටික කලකට කලින් තාත්තා ටොරොන්ටෝවල වෙළඳ සැලක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ රැකියාවක නිරතව සිටි කාලයේදීයි. කෑම කන කාමරයේදී බයිබල් ශිෂ්‍යයන් (ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්වූයේ ඒ නමිනි) දෙදෙනෙකුගේ සාකච්ඡාවලට ඇහුම්කන් දෙන්න තාත්තාට පුළුවන් වුණා. වැඩ අවසන් කර හවස ගෙදර ආවහම ඔහුට ඇහුණ දේවල් අම්මාට කිව්වා. අවුරුදු කිහිපයකට පස්සේ 1927දී, බයිබල් ශිෂ්‍යයන් ටොරොන්ටෝවල කැනේඩියානු ජාතික ප්‍රදර්ශන භූමියේ පිහිටි ක්‍රිඩාංගනයක විශාල සමුළුවක් පැවැත්වුවා. අපේ නිවස පිහිටා තිබුණේ ක්‍රිඩාංගනයට බටහිර පැත්තෙන් ඇතුල් වන ස්ථානයේ සිට නිවාස කට්ටි දෙකකට එහායින්. අමෙරිකාවේ ඔහයෝවල සිට පැමිණි 25දෙනෙකුට නවාතැන් පහසුකම් සැපයීමට අපේ නිවසේ ඉඩ කඩ තිබුණා.

එම සමුළුවෙන් පස්සේ බයිබල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් වූ ඒඩා බ්ලෙට්සෝ අම්මාව නිතර නිතර මුණගැහෙන්න පැමිණි අතර අලුත් සඟරා අම්මාට කියවන්න තබා ගියා. එක දවසක් ඇය අම්මාගෙන්, “ඩන්කම් මහත්මිය, දැන් මම ඔයාට කාලයක් තිස්සේ පොත් පත් දෙනවා. ඔයා ඒවා එකක් හරි කියෙව්වාද?” කියලා ඇහුවා. එදා ඉඳන් අම්මා දරුවන් හයදෙනෙකුගේ වැඩකටයුතු තිබුණත්, සඟරා කියවන එක අතපසු කළේ නෑ. ඒත් මම ඒ පොත් පත් ගැන එච්චර උනන්දුවක් දැක්වුවේ නෑ. ඒ දවස්වල මම මහන්සි වෙලා උපාධියට පාඩම් කළා. ඒ වගේම මට සංගීතයට වඩා වෙන දෙයක් තිබුණේ නෑ.

වර්ෂ 1935, ජූනි මාසයේ අයිලීනුයි මමයි එංගලන්ත සභාවේ පල්ලියක විවාහ වුණා. නමුත් මම අවුරුදු 13 ඉඳලාම පල්ලියත් එක්ක කිසි ගනුදෙනුවක් නොකරපු නිසා මට ආගමක් තිබුණේ නෑ. එනිසා මම විවාහ ලියාපදිංචි ලේඛනයේ යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් හැටියට අත්සන් කළා. හැබැයි ඒ වෙනකොට මම සාක්ෂිකාරයෙක් නෙමෙයි.

අනාගතයේදී දරුමල්ලන් හදාගෙන හොඳ දෙමාපියන් වෙන්න අපි සිහින මැව්වා. එනිසා අපි එකට එකතු වෙලා බයිබලයේ අලුත් ගිවිසුම කියවන්න පටන්ගත්තා. අපි ඒක හොඳ හිතකින් කරන්න පටන්ගත්තත් වෙන වෙන වැඩ නිසා පිළිවෙළකට කරගන්න බැරි වුණා. කොච්චර උත්සාහ කළත් මොනවා හරි දෙයක් නිසා ඒකට බාධා පැමිණුණා. නමුත් 1935දී නත්තල් තෑග්ගක් හැටියට දෙවිගේ වීණාව නමැති මාතෘකාව ඇති පොතක් අපට ලැබුණා. මගේ භාර්යාව ඒක දැකලා “ආ! ඔයාගේ අම්මා අපිට අමුතු නත්තල් තෑග්ගක් එවලා” කියා පැවසුවා. මම රැකියාවට ගියාට පස්සේ ඇය එම පොත හරි ආසාවෙන් කියෙව්වා. හැබැයි එයාට ඒ පොත ගැන එච්චර උනන්දුවක් තිබුණයි කියල මම දැනගෙන හිටියේ නෑ. වර්ෂ 1937 පෙබරවාරි 1වනදා අපිට චූටි දුවක් ලැබුණා. අපි අනාගතය ගැන මැව්ව සිහින සුන් කරමින් දවස් කීපයකින් ඇය මිය ගියා. දුව නැති වුණ දවසේ දැනුණ වේදනාව දරාගන්න අපි දෙන්නට ඇත්තටම හුඟාක් අමාරු වුණා!

මේ කාලයේ මගේ පවුලේ අය දේශනා සේවයේ කඩිසරව සහභාගි වෙමින් සිටියා. ඒ මාසයේ ක්ෂේත්‍ර සේවයේ ඉලක්කය වෙලා තිබුණේ දායක ඉදිරිපත් කිරීමයි. පවුලේ හිටිය ප්‍රචාරකයන්ගෙන් තාත්තා විතරක් සැනසීම (දැන් පිබිදෙව්!) සඟරාව සඳහා දායකයක් කාටවත් දීලා තිබුණේ නෑ කියලා මට දැනගන්න ලැබුණා. මම සංවිධානයේ ප්‍රකාශන කියවලා තිබුණේ නැති වුණත් තාත්තා ගැන දුක හිතුණ හින්දා මම කිව්වා “එහෙනම් තාත්තා මගේ නමට දායකයක් දාන්න. එතකොට තාත්තාත් පවුලේ අනිත් අයගේ තත්වයටම එනවානේ” කියලා. ග්‍රීෂ්ම කාලය පැමිණීමත් සමඟම තූර්ය වාදක කණ්ඩායම නිවාඩු නිකේතනයකදී සංගීතය සැපයීමට නගරයෙන් පිට වුණා. මේ අතර සැනසීම සඟරාව තැපෑලෙන් නොකඩවාම ලැබුණා. සරත් සමයේදී අපේ වාදක කණ්ඩායම ටොරොන්ටෝවලට ආපසු පැමිණියා. කොහේ ගියත් සඟරාව දිගටම ආවා. හැබැයි මම ඒ එකක්වත් දිගහැරලා බැලුවේ නෑ.

කොහොමහරි නත්තල් නිවාඩුවේ ගෙදර ඉන්නකොට සඟරා ගොඩට මගේ ඇස් ගියා. මම මේ සඟරාවලට සල්ලි ගෙවල තියෙන නිසා, ඒවාවල තියෙන්නේ මොනවාද කියලා බලන්න එකක් දෙකක් හරි කියවන්න ඕනේ කියලා මට හිතුණා. පළවෙනි සඟරාව දිගහැරියා විතරයි මං පුදුම වුණා. ඒකේ දේශපාලන යටි උගුල්, දූෂණය සම්පූර්ණයෙන්ම හෙළි කරලා තිබුණා. මම කියවූ දේවල් මගේ සෙසු සංගීතවේදීන් එක්ක කතා කරන්න පටන්ගත්තා. ඒත් ඒගොල්ලන් මම කියන දේවල්වල සත්‍යතාව ගැන අභියෝග කළා. එයාලට උත්තර දෙන්න ඕන නිසාම මම දිගටම සඟරා කියෙව්වා. දන්නෙම නැතුව මම යෙහෝවා ගැන සාක්ෂි දරන්න පටන්අරන්. එදා ඉඳන් මම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් සපයන බයිබල් ප්‍රකාශන කියවීම නතර කළේ නෑ.—මතෙව් 24:45.

සතියේ දිනවල වැඩ බහුලව හිටියත් ඉක්මනින්ම අයිලීන් සමඟ මම ඉරිදා රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. වර්ෂ 1938දී එක ඉරිදා රැස්වීමකට අපි ගියාම, වයසක සහෝදරියන් දෙන්නෙක් අපිව පිළිගත්තා. සහෝදරියන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මෙහෙම කිව්වා. “පුතා, ඔයා තවම යෙහෝවාට සේවය කරන්න තීරණයක් අරගෙන නැද්ද? අර්මගෙදොන් යුද්ධය දැන් ළඟටම ඇවිල්ලා!” මම දැනගෙන හිටියා යෙහෝවා තමයි එකම සැබෑ දෙවි සහ මේක තමයි ඔහුගේ සංවිධානය කියලා. මට ඕන වුණා සංවිධානයේ කොටසක් වෙන්න. ඒ නිසා මම 1938 ඔක්තෝබර් 15වනදා බව්තීස්ම වුණා. අයිලීන් මාස හයකට පසුව බව්තීස්ම වුණා. මම කියන්න සතුටුයි, මගේ පවුලේ සියලුදෙනාම යෙහෝවාට කැප වුණ සේවකයන් කියලා.

දෙවිගේ සෙනඟව ආශ්‍රය කිරීමෙන් මම පුදුම ප්‍රීතියක් අද්දැක්කා! ඒගොල්ලන් එක්ක ඉන්නකොට මගේම අයත් එක්ක ඉන්නවා වගේ දැනුණා. මට රැස්වීමට යන්න බැරි වුණ දවසට රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු මොනවාද කියලා දැනගන්න පුදුම ආසාවක් තිබුණේ. මේ කතාව ආරම්භයේ සඳහන් කළ සන්ධ්‍යාව යෙහෝවාට සේවය කිරීම සඳහා වැදගත් සංධිස්ථානයක් වුණා කියා පැවසීමට පුළුවන්.

විශාල වෙනසක් කළ යුතු කාලයක්

තවත් වැදගත් වෙනස් වීමක් 1943 මැයි 1වනදා සිදු වුණා. අපි පළමු වතාවට 1942 සැප්තැම්බර්වල ක්ලීව්ලෑන්ඩ් ඔහයෝවල පැවැත්වූ විශාල සමුළුවකට සහභාගි වුණා. එහි තේමාව වුණේ නව ලෝකයේ දිව්‍යාණ්ඩුව යන්නයි. ඒක පැවැත්වුණේ දරුණු ලෝක යුද්ධය මැද්දෙයි. යුද්ධය නතර වන ලකුණු නම් පේන්න තිබුණේ නෑ. එදා වොච් ටවර් සමිතියේ සභාපති සහෝදර නෝර් “සාමය—දිගටම පවතීද?” යන මාතෘකාව යටතේ දිරිගන්වනසුලු ප්‍රසිද්ධ කතාවක් දුන්නා. යුද්ධයට පස්සේ දේශනා වැඩය සාර්ථකව කරගෙන යෑමට සාමයේ කාලයක් තිබෙන්න යන ආකාරය ඔහු එළිදරව් 17වන පරිච්ඡේදයෙන් පෙන්වා දුන්නා. ඒ කතාව තවමත් අපේ මතකයේ රැඳිලා තියෙනවා.

සහෝදර නෝර් ඊට කලින් දුන් “යෙප්තා සහ ඔහුගේ භාරය” නමැති කතාව අපේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කළා. එහිදී පුරෝගාමීන් සඳහා ආරාධනාවක් ඉදිරිපත් කෙරුණා. අයිලීනුයි මමයි මුහුණට මුහුණ බලාගෙන එහි සිටි තවත් අය සමඟ “ඒ ආරාධනාව අපිට!” කියා පැවසුවා. අපි ඉක්මනින්ම වඩා වැදගත් වැඩයක හවුල් වෙන්න දේවල් සැලසුම් කරන්න පටන්ගත්තා.

වර්ෂ 1940 ජූලි 4වනදා ඉඳන් කැනඩාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කර තිබුණා. අපි 1943 මැයි 1වනදා පුරෝගාමී සේවය ආරම්භ කරන විටත්, යෙහෝවා ගැන සාක්ෂි දැරීමත් ප්‍රකාශන බෙදාහැරීමත් තහනම් කරලා තිබුණා. අපි සේවය සඳහා ගෙනගියේ කිං ජේම්ස් බයිබලයේ අපේ පෞද්ගලික පිටපත විතරයි. අපට පළවෙනි පුරෝගාමී පැවරුම ලැබුණේ පාරී සවුන්ඩ් නගරයටයි. එහි ගොස් ටික දවසකට පසු, අපත් සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට අද්දැකීම් ලත් සහෝදරයෙක් වූ ස්ටුවර්ට් මැන්ට ශාඛාවෙන් පැවරුමක් දෙනු ලැබුවා. ඒක අපට කියා නිම කළ නොහැකි සතුටක්! සහෝදර මැන් ඉතාමත් ප්‍රියමනාප කෙනෙක්. අපි ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ කාලය නම් අපිට කවමදාකවත් අමතක වෙන්නේ නෑ. සමිතිය අපිට හැමිල්ටන්වලට පැවරුමක් දෙන විට අපි බයිබල් පාඩම් කීපයක් පවත්වමින් සිටියා. වැඩි කල් යන්න මත්තෙන් හමුදා සේවයට මගේ වයස වැඩි වුණත් බලහත්කාරයෙන් මාව තෝරාගත්තා. මම හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කළ නිසා 1943 දෙසැම්බර් 31වනදා මාව අත්අඩංගුවට ගත්තා. පස්සේ උසාවියෙන් තීරණය කෙරුවා දඬුවම් වශයෙන් මාව සිවිල් මහජන සේවා කඳවුරකට යවන්න. මට 1945 අගෝස්තු දක්වා එහි ඉන්න සිදු වුණා.

මම නිදහස් වුණාට පස්සේ අයිලීන්ටයි මටයි ඔන්ටාරියෝවල කොර්න්වොල් නගරයේ පුරෝගාමී සේවය කිරීමට පැවරුමක් ලැබුණා. ටික කාලයකට පස්සේ, ක්වීබෙක් පළාතට ගොස් විශේෂ පොලිස් අධිකරණවල පෙනී සිටින සහෝදරයන්ට උපකාර කිරීමට සමිතියේ නීතික අංශය මගින් අපිට පැවරුමක් දෙනු ලැබුවා. මෙය සිදු වුණේ ක්වීබෙක්වල ඩ්‍යුප්ලෙසිගේ පාලන සමයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දරුණු ලෙස පීඩා කළ කාලයේදීයි. සතියේ බොහෝ දවස්වල අපේ සහෝදරයන්ට උපකාර කරමින් විවිධ උසාවි හතරකට නිතර නිතර යන්න මට සිදු වුණා. ඇත්තෙන්ම ඒ වගේ සිදුවීම්වලින් ඇදහිල්ල තව තවත් ශක්තිමත් වුණා.

වර්ෂ 1946 ක්ලීව්ලෑන්ඩ්වල පැවැත්වූ සමුළුවට පස්සේ සංචාරක සහ කලාපීය වැඩවලට කැනඩාව පුරා යෑමට මටයි මගේ භාර්යාවටයි පැවරුම් ලැබුණා. දේවල් ඉක්මනට සිදු වුණා. වර්ෂ 1948දී ගිලියද් මුරටැඹ පාසැලේ 11වන පංතියට සහභාගි වීමට අපට ආරාධනා කළා. අපේ පංතියට ශිෂ්‍යයන් 108දෙනෙක් සිටි අතර එයට ආලේප ලත් 40දෙනෙක්ද ඇතුළත් වුණා. සහෝදර ඇල්බට් ෂ්‍රෝඩ’ සහ මැක්ස්වල් ෆ්‍රෙන්ඩ් උපදේශකවරුන්ගෙන් දෙන්නෙක් ලෙස කටයුතු කළා. යෙහෝවාට දීර්ඝ කාලයක් සේවය කර ඇති අය සහභාගි වුණ නිසා, ඇත්තෙන්ම එය ඉතාමත් වටිනා අද්දැකීමක්!

එක දවසක් බෘක්ලින්හි සිට සහෝදර නෝර් අපව බැහැදකින්න ආවා. ඔහු දුන් කතාවේදී ජපන් භාෂාව ඉගෙනගැනීමට ස්වේච්ඡා සේවකයන් 25දෙනෙකුට ආරාධනා කළා. පුදුමයට කාරණයක් වුණේ 108දෙනාම ඉදිරිපත් වීමයි! ඉගැන්වීම සඳහා කාවද තෝරගන්නේ කියා තීරණය කිරීම සභාපතිට පැවරුණා. මේ සඳහා වඩාත් සුදුසුම අයව තෝරාගත් නිසා මම හිතන්නේ මේ තේරීමට යෙහෝවාගේ ආශීර්වාදය ලැබුණා කියලයි. තෝරාගත් සියලුදෙනාටම ජපානයේ සේවය ආරම්භ කරන්න පැවරුම් ලැබුණා. දැන් වයසට ගොස් සිටියත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තවමත් එම පැවරුමේ විශ්වාසවන්තව යෙදී සිටිනවා. ජපානයට පැවරුම් ලැබූ ලොයිඩ් සහ මෙල්බා බැරි වැනි අය පසුව වෙනත් පැවරුම් සඳහා ගියා. සහෝදර ලොයිඩ් ඔහුගේ මරණය දක්වාම පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කළා. අපි එක් එක්කෙනාට යෙහෝවාගෙන් ලැබුණු ආශීර්වාද ගැන අපි ඇත්තටම සන්තෝෂ වුණා.

උපාධි ප්‍රදානය කිරීමේ දවසේදී, අපිට ජැමෙයිකාවට පැවරුමක් ලැබුණා. එහෙත් ක්වීබෙක් උසාවියේ පෙනී සිටින්න තිබුණ නිසා ආපසු කැනඩාවට යන්න කියා අපට උපදෙස් දුන්නා.

නැවතත් සංගීතයට යොමුවීම

පුරෝගාමී සේවය කිරීමට මම සංගීතය අත්හැරියත් සංගීතය මාව අත්හැරියේ නෑ. ඊළඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1949දී සමිතියේ සභාපති වන නෙදන් නෝර් සහ ඔහුගේ ලේකම් වන මිල්ටන් හෙන්ෂල් ටොරොන්ටෝවේ මැපල් ලීෆ් ගාඩ්න්ස් රංග ශාලාවට කතාවක් දීමට පැමිණියා. සහෝදර නෝර් විසින් “ඔබ සිතනවාට වඩා ප්‍රමාදයි!” යන මාතෘකාව යටතේ දුන් ප්‍රසිද්ධ කතාව සෑම කෙනෙකුවම ප්‍රබෝධවත් කළා. ඒ වගේම පළමු වතාවට සමුළුවේ තූර්ය වාදක කණ්ඩායම මෙහෙයවීමට මට ආරාධනා කළා. අපි රාජ්‍ය සේවා ගීතිකා පොතේ (1944), ප්‍රසිද්ධ ගීතිකා සඳහා සංගීතය නිබන්ධනය කළා. සහෝදරයෝ එයට කැමති වුණා. සෙනසුරාදා වැඩසටහන අවසන් වුණාට පස්සේ ඉරිදාට නියමිත වැඩසටහන සඳහා පුහුණු වීම්වල යෙදුණා. එතකොට මම දැක්කා සහෝදර හෙන්ෂල් අපි හිටිය දිහාවට එනවා. මම ඔහුත් සමඟ කතා කිරීමට වාදනය නැවැත්තුවා. ඔහු “ඔබගේ තූර්ය වාදන කණ්ඩායමට වාදකයන් කීදෙනෙක් ඉන්නවාද?” කියා මගෙන් ඇසුවා. “ඔක්කොම 35දෙනෙක් විතර ඉන්නවා” කියලා මම උත්තර දුන්නා. “එහෙනම්, ඊළඟ අවුරුද්දේ නියූ යෝක්වලදී මේ වගේ දෙගුණයක් එක්ක ඔයාට සංගීතය මෙහෙයවන්න පුළුවන්” කියලා ඔහු කිව්වා.

හිතුවාටත් වඩා කලින්, බෘක්ලින්වලට මට ආරාධනා කළා. යම් යම් හේතූන් නිසා අයිලීන්ට මාත් එක්ක යන්න බැරි වුණා. නව 124 කොලොම්බියා හයිට්ස් ගොඩනැඟිල්ල නිමවා නොතිබුණු නිසා බෙතෙල් නිවසේ මට පළමු වතාවට මුණගැසුණු මහලු වියේ පසු වූ ආලේප ලත් සහෝදරයන් දෙදෙනෙක් වන පේන් සහ කාල් ක්ලයින්ගේ කුඩා බෙතෙල් කාමරයේ ඇඳක් දමා නැවතීමට ලෑස්ති කර දුන්නා. කාමරය ඇතුළේ තදබදයක් තිබුණත් අපි සමඟියෙන් සිටියා. ඇත්තෙන්ම මහලු වියේ පසු වූ එම සහෝදරයන් හරිම ඉවසිලිවන්තයි. මෙය දෙවිගේ ආත්මයට කළ හැකි දේ ගැන අගනා පාඩමක්. මට සහෝදර ක්ලයින්ව මුණගැසීම හා ඔහු එක්ක එකට වැඩ කිරීමට ලැබුණ නිසා මහඟු ආශීර්වාද භුක්ති විඳින්න පුළුවන් වුණා. ඔහු හැම මොහොතකම කරුණාවන්තව උදව් උපකාර කළා. අපි එකට වැඩ කළා. අවුරුදු 50ක් ගියත් අපේ මිතුරුකම තවමත් ඒ වගේමයි.

මට 1950, 1953, 1955 සහ 1958 යන වර්ෂවල යැංකි ක්‍රීඩාංගනයේ පැවැත්වූ සමුළුවලට සංගීතය සැපයීමේ භාග්‍යය ලැබුණා. ඒ වගේම අල් කැව්ලින් සමඟ එකතු වී 1963දී කැලිෆෝනියා පැසඩීනාහි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ පැවති සමුළුවේ තූර්ය වාදක කණ්ඩායමටත් සහයෝගය දුන්නා. වර්ෂ 1953 යැංකි ක්‍රීඩාංගනයේ පැවති සමුළුවේදී ඉරිදා ප්‍රසිද්ධ කතාවට කලින් සංගීත වැඩසටහනක් ඉදිරිපත් කළා. එහිදී එරික් ෆ්‍රොස්ට්, තීව්‍ර කටහඬක් තිබුණ ඊඩිත් ෂෙම්යොනික්ව (පසුව විග්ගන්ට්) මට හඳුන්වා දුන්නා. ඊඩිත් ඔහු නිබන්දනය කළ “සාක්ෂිකරුවෙනි, පෙරට යන්න!” යන ගීතිකාව අපේ වාදනයත් සමඟ ගායනා කළා. මිෂනාරි සහෝදරයෙක් වූ හැරී ආනන්ට් උතුරු රොඩේසියාවෙන් (දැන් සැම්බියාව) පටිගත කර ගෙනා කැසට් පටිය නිසා පළමු වතාවට අප්‍රිකාවේ සහෝදර සහෝදරියන්ගේ මිහිරි කටහඬවල් අහන්න අවස්ථාවක් ලැබුණා. සංගීතය මුළු ක්‍රිඩාංගනයටම හොඳින් ඇසෙනකොට අපිට පුදුම සතුටක් දැනුණා.

1966 ගීතිකා පොත පටිගත කිරීම

ඔබට මතකද රෝස පාට ප්ලාස්ටික් කවරයක් දැමූ ගීතිකා පොත. මෙම පොත සකස් කර අවසාන කරන්න මොහොතකට කලින් සහෝදර නෝර් මෙහෙම කිව්වා. “අපි පටිගත කිරීම් වගයක් කරන්න යනවා. වයලීන සහ නළා කීපයක් එක්ක කුඩා වාදක කණ්ඩායමක් ලෑස්ති කරන්න. හැබැයි කවුරුත් හොරණෑ පිඹින්න එපා!” අපිට පටිගත කිරීම් සඳහා පාවිච්චි කරන්න තිබුණේ බෙතෙල් නිවසේ රාජ්‍ය ශාලාවයි. ඒත් පටිගත කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් එහි තිබුණේ නෑ. පහසුකම් ලබාගන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට, එක්කෙනෙක් ටොමි මිචෙල්! කියලා නමක් කිව්වා. ඔහු වැඩ කළේ අමෙරිකානු ගුවන් විදුලි සමාගමේ. අපි සහෝදර මිචෙල් මුණගැසුණ අතර ඔහු අපට උදව් කිරීමට කැමති වුණා.

පටිගත කිරීම් පළවෙනි සෙනසුරාදාට යෙදුණු අතර මම එහි ගිය විට සියලුම වාදකයන්ව මට හඳුන්වලා දුන්නා. එක් සහෝදරයෙක් ළඟ හොරණෑවක් තිබුණා. මට මතක් වුණා සහෝදර නෝර් තදින්ම කිව්ව දේ. “කවුරුත් හොරණෑ පිඹින්න එපා!” මම එතකොට බලාගෙන හිටියා ඒ සහෝදරයා කරන්න යන්නේ මොනවාද කියලා. ඔහු හොරණෑව අරගෙන වාදනය කරන්න පටන්ගත්තා. හොරණෑව වාදනය කරමින් සිටියේ සහෝදර ටොම් මිචෙල්. ඔහු ඉතාමත් මිහිරි විදිහට සංගීත කණ්ඩ කිහිපයක් වාදනය කළා. ඔහු හොරණෑව කොතරම් ලස්සනට වාදනය කළාද කියනවා නම් ඒක හරියට වයලීනයක හඬ වගෙයි! මම හිතුවා ‘මෙයාව නම් තියාගන්නම ඕනේ’ කියලා. ඒ වගේම සහෝදර නෝර්ත් ඒකට විරුද්ධ වුණේ නෑ.

ඒ තූර්ය වාදක කණ්ඩායමේ අපිට දක්ෂ වාදකයන් සිටියා. ඔවුනුත් ප්‍රේමනීය සහෝදර සහෝදරියන්. කවුරුත් තමන්ට ඕන ඕන විදිහට කටයුතු කළේ නෑ! ඇත්තෙන්ම පටිගත කරන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. ඒ වුණත් කවුරුවත් කන්කෙඳිරි ගෑවේ නෑ. පටිගත කිරීම් අවසන් වුණාම, අපිට ඇඬුණා; ඒ පටිගත කිරීම්වලට සහභාගි වුණ සියලුදෙනාම අතර තවමත් හොඳ මිතුරුකමක් තිබෙනවා. අපි හැමෝම අපට ලැබුණ ප්‍රස්තාව ගැන සතුටු වුණා. ඇත්තෙන්ම හැම වැඩක්ම හොඳින් කරගන්න ලැබීම ගැන අපි යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.

තවත් ආශීර්වාද

මේ තරම් කාලයක් ගත වී තිබුණත් මම තවමත් පූර්ණ කාලීන සේවයේ හවුල් වෙමින් සිටිනවා. මම අවුරුදු 28ක් පුරා චාරිකා සහ දිස්ත්‍රික් මට්ටමේ සියලු වැඩකටයුතු කළා. ඒ හැම එකක්ම ප්‍රීතිමත්. ඒ වගේම අවුරුදු පහක් ඔන්ටාරියෝවල නොවල් සමුළු ශාලාව ගොඩනැඟීමේ වැඩකටයුතු බලාගත්තා. ඒ කාලයේ සෑම සති අන්තයකම චාරිකා රැස්වීම් සහ විදේශීය භාෂාවලින් පැවැත්වූ දිස්ත්‍රික් සමුළු වැඩකටයුතු නිසා, මටයි අයිලීන්ටයි විවේකයක් තිබුණේම නෑ. වර්ෂ 1979/80 ගණන්වල, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන්, සමුළු ශාලාවේ තිබූ පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් සමිතිය මගින් ඉදිරියේදී හැල්ටන් හිල්ස්වල ගොඩනැඟීමට අදහස් කළ ශාඛා කාර්යාලය සම්බන්ධයෙන් සැලසුම් යෙදුවා. සමුළු ශාලාවේ වැඩවලට පස්සේ, 1982 සිට 1984 දක්වා බෘක්ලින්වල සංගීත ක්ෂේත්‍රයට නැවතත් හවුල් වීමට අපට පැවරුමක් ලැබුණා.

අපේ 59වන විවාහ සංවත්සරයෙන් දවස් හතකට පස්සේ ඒ කියන්නේ 1994 ජූනි 17වනදා මගේ ආදරණීය භාර්යාව මිය ගියා. ඒ වෙනකොට අපි අවුරුදු 51ක් එකට පුරෝගාමී සේවයේ හවුල් වෙලා තිබුණා.

මගේ ජීවිතයේ ලබපු බොහෝ අද්දැකීම් දිහා බලනකොට බයිබලය දුන් වටිනා මඟ පෙන්වීම මට අමතක වෙන්නේ නෑ. සමහර වෙලාවට මම අයිලීන්ගේ පෞද්ගලික බයිබලය අරගෙන එයා ඒකේ ලකුණු කර තියෙන එයාට සිත් ගත් කොටස්, විශේෂ වාක්‍යයන්, වචන වගේ දේවල් ආසාවෙන් බලනවා. අයිලීන්ට වගේම මටත් මගේ ජීවිතයට වැඩි බලපෑමක් ඇති කළ බයිබල් පද තියෙනවා. එක කොටසක් තමයි ගීතාවලියේ 137. ඒක යෙහෝවාට කරන ලස්සන යාච්ඤාවක්. ‘මම යෙරුසලම සිහි නොකළා නම් මම කෙසේ වීණා වයන්නද! මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා, යෙරුසලම උතුම් කොට නොසිතම් නම් මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.’ (ගීතාවලිය 137:5, 6, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) මම අද තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ යෙහෝවා මට ආශීර්වාද කර ඇති නිසයි. මම සංගීතයට කොයිතරම් ආස වුණත් යෙහෝවාට සේවය කිරීම තරම් මගේ ජීවිතයේ වටිනා දෙයක් තවත් නැහැ.

[පාදසටහන]

a යම් කෙනෙක් බව්තීස්ම වී යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වීමට පෙර දුම්පානය නතර කළ යුත්තේ ඇයි කියා මුලින්ම පැහැදිලි කර තිබුණේ, 1973 ජූනි 1වනදා මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේය.

[28වන පිටුවේ පින්තූරය]

1947දී අයිලීන් සමඟ

[30වන පිටුවේ පින්තූරය]

මුල් කාලවලදී කළ පටිගත කිරීමකදී