Skip to content

පටුනට යන්න

‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’

‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’

‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’

“[ඔහුගේ] වේලාව ඒතාක් පැමුණුණේ නැති බැවින් කිසිවෙක් [ඔහු] පිට අත් නොතැබුවෝය.”—යොහන් 7:30.

1. යේසුස් මේ පොළොව මත සිටියදී කළ සෑම දෙයක්ම පාලනය වූයේ කිනම් මූලික සාධක දෙක මගින්ද?

 “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය” කියා යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේය. (මතෙව් 20:28) රෝමයේ පාලකයා වූ පොන්තියුස් පිලාත්ට ඔහු මෙසේ පවසන්නට විය. “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය.” (යොහන් 18:37) තමන් මිය යා යුතු හේතුවත්, තම මරණයට කලින් තමන් කළ යුතුව තිබෙන කාර්යයන් මොනවාද කියාත් යේසුස් හොඳින් දැන සිටියේය. එමෙන්ම තම පැවරුම ඉටු කිරීමට කොතරම් කාලයක් තමාට තිබුණාද කියාත් ඔහු දැන සිටියේය. මෙසියස් හැටියට පොළොව මත ඔහුගේ දේවසේවය අවුරුදු තුනහමාරකදී නිම කිරීමට නියමිතව තිබිණ. ඔහු (පො.යු. 29දී) යොර්දාන් ගඟේ බව්තීස්ම වූ අවස්ථාවේදී මෙසියස් ලෙස සිය දේවසේවය ආරම්භ කළ අතර, පුරෝකථනය කර තිබූ සංකේතාත්මක සැත්තෑවන සතියේ ආරම්භයද ඉන් සනිටුහන් විය. එමෙන්ම එම සතිය මැදදී (පො.යු. 33දී) වධ කණුවක් මත ඔහු මිය ගිය විට ඔහුගේ දේවසේවය අවසන් විය. (දානියෙල් 9:24-27; මතෙව් 3:16, 17; 20:17-19) මෙයින් පෙනී යන්නේ පොළොව මත යේසුස් කළ සෑම දෙයක්ම මූලික සාධක දෙකක් මගින් පාලනය වූ බවයි. එයින් පළමු එක වූයේ, යේසුස් කාලය ගැන සැලකිලිමත් වීමය. දෙවනුව, ඔහු පොළොවට පැමිණි අරමුණ ගැන අවබෝධයෙන් සිටීමය.

2. සුවිශේෂ වාර්තාවල යේසුස්ව විස්තර කරන්නේ කෙසේද? පොළොව මතදී තමාට කරන්න තිබූ සේවය ගැන හොඳ අවබෝධයක් තිබූ බව යේසුස් පෙන්වූයේ කෙසේද?

2 සුවිශේෂ වාර්තාවන්හි යේසුස්ව විස්තර කරන්නේ කාර්යබහුල පුද්ගලයෙකු ලෙසය. ඔහු රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් හා බලවත් ක්‍රියා රැසක් සිදු කරමින් පලස්තීනයේ අස්සක් මුල්ලක් නෑර ගමන් කළේය. ක්‍රියාශීලී පුද්ගලයෙකු වශයෙන් ඔහු දේවසේවයේ යෙදුණු මුල් කාලය ගැන මෙසේ සඳහන් වේ. ‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත.’ යේසුස් තමන් ගැනම මෙසේ පැවසුවේය. “මාගේ කාලය තවම සම්පූර්ණ [වී නැත].” නමුත්, ඔහු තම දේවසේවයේ අවසාන භාගයේදී “පැය පැමිණ තිබේ” යන විශේෂ ප්‍රකාශය භාවිත කළේය. (යොහන් 7:8, 30; 12:23) තම යාගික මරණය ඇතුළුව තමාට පවරා තිබූ කාර්යයන් සඳහා නියමිතව තිබෙන පැය නොහොත් වේලාව ගැන යේසුස් දැන සිටියේය. එම දැනුම ඔහු කළ කී දේවලට බලපෑ බව නිසැකය. එය බලපෑ ආකාරය තේරුම්ගැනීමෙන් අපට ඔහුගේ පෞද්ගලිකත්වය හා ඔහුගේ සිතුවිලි හොඳින් අවබෝධ කරගත හැක. මෙය ‘ඔහුගේ අඩි පාර’ කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහා අපට මහත් රුකුලකි.—1 පේතෘස් 2:21.

දෙවිගේ කැමැත්ත කිරීමට අදිටන් කරගෙන

3, 4. (අ) කානාහි විවාහ මංගල්‍යයේදී සිදු වන්නේ කුමක්ද? (ආ) වයින් ඉවර වූ අවස්ථාවේදී ඒ ගැන යමක් කරන්න කියා මරියා කළ යෝජනාව දෙවිගේ පුත්‍රයා ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? මෙයින් අපට කුමක් ඉගෙනගත හැකිද?

3 එය පො.යු. 29වන අවුරුද්දයි. මේ වන විට යේසුස් ඔහුගේ මුල්ම ගෝලයන්ව තෝරාගෙන වැඩි දවසක් ගත වී තිබුණේ නැත. දැන් ඔවුහු සියලුදෙනාම ගලීලයේ පිහිටි කානා නම් නගරයට ගමන් කරති. ඔවුන් එහි යන්නේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහාය. යේසුස්ගේ මව වන මරියාද එහි පැමිණ සිටී. මංගල උත්සවය පැවැත්වෙන අතරතුර වයින් ඉවර වෙයි. මේ අවස්ථාවේදී තම පුත්‍රයාට මේ සඳහා යමක් කළ හැකියයි සිතූ මරියා යේසුස්ට මෙසේ පවසයි. “ඔවුන්ට මුද්‍රිකපානය නැත.” නමුත් යේසුස් “ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැත.” කියා ඇයට උත්තර දෙයි.—යොහන් 1:35-51; 2:1-4.

4 “ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද?” කියා යේසුස් දුන් උත්තරය, පුරාණ කාලයේදී යම් යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම ඇඟවීම සඳහා යොදාගනු ලැබූ ප්‍රශ්නාර්ථයක ස්වරූපයක් ගත් ප්‍රකාශයක් විය. යේසුස්, මරියා පැවසූ දෙය ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? මේ අවස්ථාව වන විට යේසුස් තිස්වන වියේ පසු වූ බව මතක තබාගන්න. මීට සති කිහිපයකට කලින් බව්තීස්ම වූ ඔහුව ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබීය. යොහන් බව්තීස්ත විසින් ඔහුව හඳුන්වා දෙනු ලැබුවේ ‘ලෝකයේ පාපය දුරු කරන දෙවිගේ බැටළු පැටියා’ ලෙසය. (යොහන් 1:29-34; ලූක් 3:21-23) ඇත්තෙන්ම, මෙතැන් පටන් ඔහු අන් අයට දෙන මඟ පෙන්වීම්වල උල්පත වන්නේ ඔහුව පොළොවට එවනු ලැබූ පරම අධිකාරිය හොබවන තැනැත්තාය. (1 කොරින්ති 11:3) යේසුස් පොළොවට පැමිණ කරන්න යන වැඩවලට ඇඟිලි ගැසීමට කිසිම කෙනෙකුට, අඩුම තරමින් ඔහුගේ පවුලේ කිට්ටුම සාමාජිකයෙකුට පවා ඉඩ දෙන්න යේසුස්ට අවශ්‍ය වූයේ නැත. තම පියාගේ කැමැත්ත කිරීමට යේසුස් ගෙන තිබුණේ මොනතරම් ප්‍රබල අධිෂ්ඨානයක්ද කියා ඔහු මරියාට දුන් උත්තරයෙන් මනාව පැහැදිලි වේ. ඒ හා සමානව අපිත් දෙවිට අපේ ‘සම්පූර්ණ යුතුකම’ ඉටු කිරීම සඳහා අදිටන් කරගනිමු.—දේශනාකාරයා 12:13NW.

5. යේසුස් ක්‍රිස්තුස් කානාහිදී සිදු කරන ප්‍රාතිහාර්යය කුමක්ද? එය අන් අය කෙරෙහි කිනම් බලපෑමක් ඇති කරයිද?

5 තම පුත්‍රයා පැවසූ දෙයෙහි අදහස තේරුම්ගත් මරියා විගස මෙහෙකරුවන් ළඟට ගොස් මෙසේ පවසයි. “[ඔහු] නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්න.” යේසුස් මේ අවස්ථාවේ පැනනැඟී තිබෙන ගැටලුව විසඳීමට පියවර ගනියි. භාජනවලට වතුර පුරවන්නය කියා යේසුස් මෙහෙකරුවන්ට පවසා, අනතුරුව එම වතුර හොඳම වයින් බවට පත් කරයි. ප්‍රාතිහාර්යය කිරීම සඳහා යේසුස් සතු බලය සෙනඟ දුටු මුල්ම අවස්ථාව මෙය වන අතර, දෙවිගේ ආත්මය ඔහුට තිබෙන බවට එය සාක්ෂියකි. යේසුස්ගේ අලුත් ගෝලයන් මෙය දකින විට ඔහු කෙරෙහි වූ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වේ.—යොහන් 2:5-11.

යෙහෝවාගේ ගෘහය සඳහා වූ ජ්වලිතය

6. යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාවේ සිදු වන දේවල් දැකීමෙන් යේසුස් කෝපයට පත් වන්නේ මන්ද? ඒ අවස්ථාවේදී ඔහු ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?

6 දැන් පො.යු. 30 වසන්ත සමය එළඹ තිබේ. යේසුස් පාස්කුවට සහභාගි වීම සඳහා ඔහුගේ කිට්ටුම ආශ්‍රිතයන් සමඟ යෙරුසලම බලා පිටත් වෙයි. එහිදී ගෝලයන් තමන්ට දකින්ට ලැබෙන දෙයින් පුදුමයට පත් වන බව නිසැකයි. මන්ද ඔවුන් කලින් කවදාවත් දැක නොතිබූ ආකාරයකට ඔවුන්ගේ නායකයා එහිදී කටයුතු කරන නිසයි. ගිජු යුදෙව් වෙළඳුන් පූජා සඳහා ඔප්පු කරන සතුන්ව හා පක්ෂින්ව දේවමාළිගාව ඇතුලේ තබාගෙන විකුණයි. ඔවුහු ඇදහිලිවන්ත යුදෙව් නමස්කාරකයන්ගෙන් ඒ සඳහා අධික මිලක් අය කරති. මේවා දැකීමෙන් කෝපයට පත් වන යේසුස් ලණුවලින් කසයක් සාදා, වහාම වෙළඳුන්ව එළවා දමයි. ඔහු මිල මාරු කරන්නන්ගේ කාසි විසුරුවා දමමින් ඔවුන්ගේ මේස පෙරළා දමයි. “මේ දේවල් මෙතැනින් අරන් යන්න” කියා ඔහු පරෙවියන් විකුණන්නන්ට නියෝග කරයි. යේසුස් මෙවැනි ප්‍රබල හැඟීමකින් යුතුව කටයුතු කරනවා ඔහුගේ ගෝලයන් දකින විට, දෙවිගේ පුත්‍රයා ගැන සඳහන් මේ අනාවැකිය ඔවුන්ට සිහිපත් වේ. “ඔබගේ ගෘහය ගැන ඇති ජ්වලිතය මා දවන්නේය.” (යොහන් 2:13-17; ගීතාවලිය 69:9) මෙසේ ලෞකික නැඹුරුවාවන් මගින් අපේ නමස්කාරය පලුදු වීමට එරෙහිව අපත් ජ්වලිතව ක්‍රියා කළ යුතුයි.

7. (අ) මෙසියස්ව හමු වෙන්න නිකොදේමුස් තුළ පෙලඹීමක් ඇති වන්නේ කුමක් නිසාද? (ආ) යේසුස් සමාරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරීමේ සිද්ධියෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

7 යේසුස් යෙරුසලමේ සිටින අතරතුරේදී පුදුම දේවල් සිදු කරන අතර, බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තබති. යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වන නිකොදේමුස්ට පවා යේසුස් ගැන පැහැදීමක් ඇති වී, ඔහුගෙන් තවත් දේවල් දැනගැනීම සඳහා රාත්‍රියේදී ඔහුව හමුවීමට පැමිණෙයි. යේසුස් හා ඔහුගේ ගෝලයන් ‘යුදා දේශය’ පුරා දේශනා කරමින් හා ගෝලයන් සාදමින් මාස අටක පමණ කාලයක් එහි නතර වී සිටියි. එහෙත් යොහන් බව්තීස්තව සිරගත කර තිබෙන බව දැනගැනීමෙන් පසු ඔවුහු යුදයෙන් පිටත්ව ගලීලයට පැමිණෙති. ඔවුන් සමාරිය හරහා ගමන් කරන අතරතුර සමාරිතානු ස්ත්‍රියකට සාක්ෂි දැරීමට ලැබුණු අවස්ථාවෙන් යේසුස් ප්‍රයෝජන ගනියි. සමරිතානුවන් බොහෝදෙනෙකුට ඇදහිලිවන්තයන් වීමට එමගින් ඉඩ ප්‍රස්තාව ලැබේ. අපිත් රාජ්‍යය ගැන කතා කිරීමට ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට වෑයම් කරමු.—යොහන් 2:23; 3:1-22; 4:1-42; මාර්ක් 1:14.

ගලීලය පුරා ඉගැන්වීම

8. යේසුස් ගලීලයෙහි ආරම්භ කරන සේවය කුමක්ද?

8 යේසුස්ගේ මරණය සිදු වන “පැය” පැමිණීමට කලින් සිය ස්වර්ගික පියා පවරා තිබෙන සේවයෙහි තව බොහෝ දේවල් කිරීමට ඔහුට තිබේ. යේසුස් යුදයෙහි හා යෙරුසලමෙහි කළාට වඩා විශාල සේවයක් ගලීලයේදී ආරම්භ කරයි. ඔහු “ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි” ගමන් කරයි. (මතෙව් 4:23) “පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේ” යන ඔහුගේ සිතුවිලි කලතන වදන් ගලීලය පුරා අසන්න ලැබේ. (මතෙව් 4:17) මාස කිහිපයකට පසු, යොහන් බව්තීස්ත යේසුස් ගැන තොරතුරු දැනගැනීම සඳහා ඔහුගේ ගෝලයන් දෙදෙනෙකුව යේසුස් වෙතට පිටත් කර හරියි. යේසුස් ඔවුන්ට මෙසේ පවසයි. “නුඹලා ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ. යමෙකුට මම පැකිලීමේ හේතුවක් නොවන්නේද ඔහු [ආශීර්වාද ලද්දෙක්ය].”—ලූක් 7:22, 23.

9. සෙනඟ ක්‍රිස්තුස් යේසුස් වෙතට එක්රොක් වන්නේ මන්ද? මෙයින් අපට උගත හැකි පාඩම කුමක්ද?

9 ‘යේසුස්ගේ කීර්තිය මුළු පළාතෙහි පතළ වෙයි.’ මේ නිසා ගලීලය, දෙකපොලිසය, යෙරුසලම, යුදය යන ප්‍රදේශවලින් හා යොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි ප්‍රදේශවලින් විශාල සෙනඟක් ඔහු වෙතට පැමිණෙයි. (ලූක් 4:14, 15; මතෙව් 4:24, 25) ඔවුන් ඔහු වෙතට පැමිණෙන්නේ ඔහු කරන ප්‍රාතිහාර්යයන් දැකබලා ගැනීමට මෙන්ම ඔහුගේ විස්මිත ඉගැන්වීම්වලට ඇහුම්කන් දීමටය. ඔහු ඉදිරිපත් කරන පණිවිඩය කෙරෙහි මිනිසුන්ගේ සිත ඇදී යයි. එය මිනිසුන් තුළ බලාපොරොත්තු ඇති කරවයි. (මතෙව් 5:1–7:27) යේසුස් ඔවුන්ට කතා කරද්දී, ඔහුගේ මුවින් පිට වන්නේ කාරුණික මෙන්ම ප්‍රිය උපදවන වචනයි. (ලූක් 4:22) යේසුස් බලය ඇති කෙනෙකු මෙන් ශුද්ධ ලියවිලිවලින් උපුටා දක්වමින් කතා කරන නිසා සෙනඟ ‘ඔහුගේ ඉගැන්වීම් ගැන විස්මයට පත් වෙයි.’ (මතෙව් 7:28, 29; ලූක් 4:32) මෙවන් මිනිසෙකු කෙරෙහි සිත ඇදී නොයන්නේ කාගේද! අවංක හදවත් ඇති අයගේ සිත් සත්‍යය කෙරෙහි ඇදී ඒමට සලස්වමින් අපිත් අපගේ ඉගැන්වීමේ කලාව වර්ධනය කරගනිමු.

10. නාසරෙත්හි වෙසෙන මිනිසුන් යේසුස්ව මරන්න තැත් කරන්නේ මන්ද? ඔවුන්ගේ වෑයම අසාර්ථක වන්නේ මන්ද?

10 කෙසේවෙතත්, යේසුස්ට සවන් දුන් බොහෝදෙනෙක් ඔහුගේ ඉගැන්වීම් පිළි නොගනිති. සිය දේවසේවය පටන්ගත් මුල් කාලයේදී යේසුස් ඔහුගේ ගම් පළාත වන නාසරෙත්හි පිහිටි සිනගෝගයක උගන්වමින් සිටින අවස්ථාවේදී මිනිසුන් පිරිසක් ඔහුව මැරීමට තැත් කරති. ඔහුගේ ගම් පළාතේ සිටි මිනිසුන්ද ඔහුගේ ‘කාරුණික වදන්’ ගැන විස්මිත වුවත්, ඔවුන්ට වුවමනා කරන්නේ ඔහු කරන ප්‍රාතිහාර්යයන් දැකබලා ගැනීමටයි. එහෙත් මෙහිදී ප්‍රාතිහාර්යයන් රැසක් සිදු කරනවා වෙනුවට යේසුස් ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය හා ඇදහිල්ලේ ඌනතාව හෙළි කරයි. සිනගෝගයේ සිටි පිරිස කෝපයට පත්ව යේසුස්ව කන්දක් ළඟට ඇදගෙන ගොස් කන්දෙන් පහළට තල්ලු කරන්න සූදානම් වෙයි. එහෙත් යේසුස් ඔවුන්ගෙන් ගැළවී යයි. ඔහුගේ මරණය සිදුවීමට නියමිත “පැය” තවම පැමිණ නැත.—ලූක් 4:16-30.

11. (අ) ඇතැම් ආගමික නායකයන් යේසුස් පවසන දේවලට සවන් දීමට පැමිණෙන්නේ මන්ද? (ආ) සබත කඩ කළායයි ඔවුන් යේසුස්ට චෝදනා කරන්නේ මන්ද?

11 යේසුස් දේශනා කරන අවස්ථාවලදී ආගමික නායකයෝ එතැනට පැමිණෙති. ලියන්නන්, ඵරිසිවරුන්, සද්දුසිවරුන් හා වෙනත් අයද ඔවුන් අතර සිටී. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු පැමිණ සිටින්නේ අසා ඉගෙනගැනීමට නොව, නමුත් යේසුස්ගේ වරදක් සොයාගැනීමටය. (මතෙව් 12:38; 16:1; ලූක් 5:17; 6:1, 2) උදාහරණයක් හැටියට, යේසුස් පො.යු. 31දී පාස්කුව සැමරීම සඳහා යෙරුසලමට යමින් සිටියදී අවුරුදු 38ක් පුරා අසනීපව සිටි මිනිසෙකුව සුව කරයි. එවිට, සබත කඩ කළාය කියමින් යුදෙව් ආගමික නායකයෝ යේසුස්ට චෝදනා කරති. ඔහු ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘මාගේ පියා නොනැවතීම වැඩ කරන්නේය. මමත් වැඩ කරමි.’ [නව අනුවාදය] දෙවිට පියා කියා පවසමින් තමාව දෙවිගේ පුත්‍රයා ලෙස හැඳින්වීමෙන් යේසුස් දෙවිට අපහාස කළාය කියා යුදෙව්වෝ ඔහුට චෝදනා කරති. මෙහිදී ඔවුන් යේසුස්ව මරන්න තැත් කළත්, යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ යෙරුසලමෙන් පිට වී ගලීලයට යයි. රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් ගෝලයන් සෑදීමේ වැඩයෙහි හවුල් වන විට, යේසුස් මෙන් අපිත් විරුද්ධවාදීන් සමඟ අනවශ්‍ය ආරවුල්වලට පැටලීමෙන් වැළකී නැණවත්ව කටයුතු කරමු.—යොහන් 5:1-18; 6:1.

12. යේසුස් ගලීලයෙහි කොතෙක් දුරට සාක්ෂි දරයිද?

12 ඊළඟ අවුරුදු එකහමාර තුළදී යේසුස් ඔහුගේ දේවසේවයෙන් වැඩි ප්‍රමාණයක් ගලීලයට පමණක් සීමා කරයි. ඔහු යෙරුසලමට යන්නේ යුදෙව්වන් වාර්ෂිකව පවත්වන උත්සව තුනට සහභාගි වීම සඳහා පමණි. මේ වන විට යේසුස් ගලීලයෙහි දේශනා සංචාර තුනක් සිදු කර තිබේ. මුල්ම දේශනා සංචාරය අලුතින් තෝරාගනු ලැබූ ගෝලයන් හතරදෙනා සමඟද දෙවන සංචාරය ප්‍රේරිතයන් 12දෙනා සමඟද සිදු කර තිබේ. හොඳින් පුහුණුව ලත් ප්‍රේරිතයන්ව යොදාගනිමින් තුන්වන සංචාරය පුළුල් පරිමාණයෙන් සිදු කරයි. ඇත්තෙන්ම ගලීලය පුරා සත්‍යය ගැන මොනතරම් පුළුල් සාක්ෂි දැරීමක් කර තිබේද!—මතෙව් 4:18-25; ලූක් 8:1-3; 9:1-6.

යුදයෙහි සහ පෙරියෙහි නිර්භීතව සාක්ෂි දැරීම

13, 14. (අ) යුදෙව්වන් යේසුස්ව අල්ලාගැනීමට උත්සාහ කරන්නේ කිනම් අවස්ථාවේදීද? (ආ) එහිදී යේසුස්ව අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් අසමත් වන්නේ මන්ද?

13 පොදු යුගයේ 32 සරත් සමය එළඹ තිබේ. මේ වන විටත් යේසුස්ගේ “පැය” පැමිණ නැත. කූඩාරම් මංගල්‍යය ආසන්න වෙමින් තිබේ. යේසුස්ගේ අර්ධ සහෝදරයෝ ඔහුව මෙසේ උනන්දු කරති. “මෙයින් පිටත්ව යුදයට යන්න.” මොවුන්ට වුවමනා කරන්නේ යේසුස් යෙරුසලමට ගොස් එහි මංගල්‍යයට එක්රොක් වී සිටින සමූහයා ඉදිරියෙහි ප්‍රාතිහාර්යය සිදු කිරීමට ඇති ඔහුගේ බලය පෙන්වනවා දැකීමටයි. කෙසේවෙතත්, යෙරුසලමට යෑම අනතුරුදායක දෙයක් බව යේසුස් දනියි. එනිසා ඔහු සිය සහෝදරයන්ට මෙසේ පවසයි. “මාගේ කාලය තවම සම්පූර්ණනුවූ හෙයින් මේ මංගල්‍යයට දැන්ම නොයමි.”—යොහන් 7:1-8.

14 ගමන ප්‍රමාද කිරීම සඳහා දවස් කිහිපයක් ගලීලයෙහි ගත කිරීමෙන් අනතුරුව, යේසුස් “ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන්” යෙරුසලමට යයි. යුදෙව්වරු මංගල්‍යයේදී ඔහුව සොයමින් මෙසේ පවසති. ‘ඔහු කොහේද?’ මංගල්‍යයෙන් අඩක් නිමවීමෙන් පසු යේසුස් දේවමාළිගාවට ඇතුල් වී නිර්භීතව ඉගැන්වීමට පටන්ගනියි. මෙහිදී ඔහුව අල්ලාගන්න ඔවුහු මං සොයති. මෙසේ ඔවුන් වෑයම් කරන්නේ ඔහුව සිරගත කිරීමේ හෝ මරා දැමීමේ අරමුණෙන් විය හැක. එහෙත් ‘ඔහුගේ වේලාව ඒ වන විටත් පැමිණ තිබුණේ නැති’ බැවින් ඔවුන්ගේ වෑයම අසාර්ථක වේ. ඒ අවස්ථාවේදී බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල තබති. ඔහුව අල්ලාගෙන ඒමට ඵරිසිවරුන් විසින් යවන ලද නිලධාරීන් පවා හිස් අතින් හැරී ඇවිත් මෙසේ පවසයි. “කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකළේ ය.” [නව අනුවාදය]—යොහන් 7:9-14, 30-46.

15. යුදෙව්වන් යේසුස්ට ගල් ගැසීමට සැරසෙන්නේ මන්ද? යේසුස් ඊළඟට දේශනා කිරීමේ කුමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයිද?

15 මංගල්‍යය පැවැත්වෙන අතරතුර යේසුස් ඔහුගේ පියා ගැන සෙනඟට උගන්වමින් දේවමාළිගාවේ සිටියදී ඔහුගේ යුදෙව් විරුද්ධවාදීන් සමඟ මතභේද ඇති වේ. මංගල්‍යයේ අවසාන දවසේදී, මිනිසෙකු වීමට කලින් තමන් ගත කරමින් සිටි ජීවිතය ගැන යේසුස් කළ ප්‍රකාශයෙන් කෝපයට පත් වන යුදෙව්වරු ඔහුට ගල් ගැසීමට සැරසෙති. එහෙත් යේසුස් ඔවුන්ගෙන් ගැළවී යයි. (යොහන් 8:12-59) පසුව ඔහු යෙරුසලමෙන් පිටත නතර වී යුදයෙහි සාක්ෂි දැරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. මේ සඳහා ඔහු ගෝලයන් 70දෙනෙකුව තෝරාගෙන, ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් සපයා දීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සේවය කිරීම සඳහා දෙදෙනා බැගින් පිටත් කර හරියි. සිය ප්‍රේරිතයන් සමඟ ගමන් කරමින් සිටි යේසුස්ට පෙරටුව යන ඔවුහු සියලු නගරවලටත් ස්ථානවලටත් ගමන් කරති.—ලූක් 10:1-24.

16. කැප කිරීමේ මංගල්‍යයේදී යේසුස් ගැළවී යන්නේ කිනම් අනතුරෙන්ද? නැවත වතාවක් ඔහු කාර්යබහුලව සිටින්නේ කිනම් වැඩයකද?

16 පොදු යුගයේ 32 ශීත ඍතුව වෙද්දී යේසුස්ගේ “පැය” ආසන්න වෙමින් තිබේ. ඔහු කැප කිරීමේ මංගල්‍යයට සහභාගි වීම සඳහා යෙරුසලමට පැමිණෙයි. මේ වන විටත් යුදෙව්වරු යේසුස්ව මරන්න වෑයම් කරමින් සිටිති. යේසුස් දේවමාළිගාවේ ද්වාර මණ්ඩපයේ ඇවිදිමින් සිටි අවස්ථාවේදී ඔවුහු ඔහුව වට කරති. දෙවිට අපහාස කළාය කියා ඔහුට චෝදනා කරමින් ඔහුව ගල් ගසා මරා දැමීමට ඔවුහු සැරසෙති. එහෙත් කලින් අවස්ථාවලදී කළාක් මෙන් මේ අවස්ථාවේදීත් ඔහු ඔවුන්ගෙන් බේරී පලා යයි. ඉන් අනතුරුව ඔහු ඉගැන්වීමේ කටයුතු විගස ආරම්භ කරයි. යුදයෙන් පිට වන ඔහු මේ වතාවේදී යොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පෙරිය දිස්ත්‍රික්ක තුළ නගරයෙන් නගරයට හා ගමින් ගමට යමින් මිනිසුන්ට උගන්වයි. බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තබති. නමුත් තමන්ගේ හොඳම මිතුරෙකු වූ ලාසරුස් ගැන ලැබුණු ආරංචියක් නිසා යේසුස්ට නැවතත් යුදයට යෑමට සිදු වෙයි.—ලූක් 13:33; යොහන් 10:20-42.

17. (අ) යේසුස් පෙරියේ දේශනා කරමින් සිටින විට ලැබෙන හදිසි පණිවිඩය කුමක්ද? (ආ) තමන් ගත යුතු ක්‍රියාමාර්ගයේ අරමුණ හා සිද්ධීන් සිදු වන කාලය යේසුස් දැනසිටි බව පැහැදිලි වන්නේ කුමකින්ද?

17 එම පණිවිඩය ලැබෙන්නේ යුදයේ පිහිටි බෙතානියේ වෙසෙන ලාසරුස්ගේ සහෝදරියන් වන මාර්තාගෙන් හා මරියාගෙනි. ‘ස්වාමිනි, ඔබ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටියි’ කියා පණිවිඩකරු යේසුස්ට පවසයි. “ඒ රෝගය මරණය පිණිස නොව එයින් [දෙවිගේ] පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පිණිස [දෙවිගේ] ගෞරවය සඳහාය” කියා යේසුස් උත්තර දෙයි. මෙම අරමුණ ඉටු කරගැනීම සඳහා යේසුස් තමන් නැවතී සිටින ප්‍රදේශයේ තවත් දවස් දෙකක් ගත කරයි. ඉන්පසු ඔහු සිය ගෝලයන්ට මෙසේ පවසයි. “යුදයට නැවත යමු.” මෙයින් පුදුමයට පත් වන ඔවුහු මෙසේ අසති. “රබ්බි, මේ ළඟදී යුදෙව්වරු ඔබට ගල්ගසන්ට සෙවුවෝය; එතැනට ඔබ නැවත [යන්නේද?]” ඉතිරි වී තිබෙන ‘දහවල් කාලය’ නැතහොත් ඔහුගේ දේවසේවය සඳහා දෙවි තමාට ඉඩ දී තිබෙන කාලය කෙටි බව යේසුස් දනියි. ඒ නිසා තමන් කළ යුතු දෙය වන්නේ කුමක්ද, එය කළ යුත්තේ මන්ද කියා යේසුස් හොඳින්ම දනියි.—යොහන් 11:1-10.

කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රාතිහාර්යයක්

18. යේසුස් බෙතානියට පැමිණෙන විට, එහි පවතින්නේ කිනම් තත්වයක්ද? ඔහු පැමිණි පසු එහි සිදු වන්නේ කුමක්ද?

18 බෙතානියේදී යේසුස්ට මුලින්ම මුණගැසෙන්නේ මාර්තාවයි. ඇය ඔහුට පවසන්නේ ‘ස්වාමිනි, ඔබ මෙහි සිටියා නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත’ කියාය. පසුව, වැලපෙමින් සිටින මරියා සහ ඇගේ නිවසට පැමිණ සිටින අය යේසුස් වෙතට ගමන් කරති. ‘ඔහුව කොතැන තැබුවාද?’ කියා යේසුස් අසයි. ‘ස්වාමිනි, ඇවිත් බලන්න’ කියා ඔවුහු උත්තර දෙති. ලාසරුස්ගේ දේහය තැන්පත් කර තිබූ සොහොන් ගෙය වූ ගුහාව ගලකින් වසා තිබිණ. යේසුස් සොහොන් ගෙය ළඟ සිටි අයට මෙසේ පවසයි. “ගල අහක්කරන්න.” යේසුස් කරන්න යන දෙය තේරුම් නොගත් මාර්තා ඊට තම විරෝධය පළ කරමින් මෙසේ පවසයි. “ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇත.” එහෙත් යේසුස් මෙසේ අසයි. “නුඹ විශ්වාසකළොත් [දෙවිගේ] මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේද?”—යොහන් 11:17-40.

19. යේසුස් මියගිය ලාසරුස්ව නැවත නැඟිටුවන්න කලින් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්නේ මන්ද?

19 ලාසරුස්ගේ දේහය තැන්පත් කර තිබූ සොහොන වසා තිබූ ගල ඉවත් කරන අතරතුර යේසුස් හඬනඟා යාච්ඤා කරයි. ඔහු මෙසේ කරන්නේ තමන් දැන් කිරීමට යන දෙය කරන්නේ දෙවිගේ බලයෙන් බව මිනිසුන්ට තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහාය. යාච්ඤා කිරීමෙන් අනතුරුව ඔහු මහත් හඬින් මෙසේ පවසයි. “ලාසරුස් පිටතට එන්න.” ඒ මොහොතේම ලාසරුස් පිටතට එයි. මේ වන විටත් ඔහුගේ අත් සහ පාද රෙදි පටිවලින් වෙළා තිබෙන අතර, මුහුණද රෙදි කඩකින් වසා තිබේ. “මොහු මුදා යන්ට හරින්න” කියා යේසුස් පවසයි.—යොහන් 11:41-44.

20. යේසුස් මියගිය ලාසරුස්ව නැවත නැඟිටුවනවා දකින අය එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

20 මාර්තාව සහ මරියාව සැනසවීමට පැමිණ සිටි බොහෝදෙනෙක් එම ප්‍රාතිහාර්යය දැක යේසුස් කෙරෙහි තම ඇදහිල්ල තබති. තවත් අය සිදු වූ දෙය ගැන පැවසීමට ඵරිසිවරුන් වෙතට යති. මේ සම්බන්ධයෙන් ඵරිසිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්ද? ඵරිසිවරුන් නායක පූජකයා හා එක්ව යුදෙව් මන්ත්‍රණ සභාවේ හදිසි රැස්වීමක් කැඳවයි. තමන්ට සිදුවීමට යන දෙය ගැන බියට පත් වන මොවුහු මෙසේ ශෝක වෙති. “අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි. අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇත.” එහෙත් උත්තම පූජකයා වන කායාඵස් ඔවුන්ට මෙසේ පවසයි. “මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනග උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැත.” මෙසේ ඔවුහු එදා පටන් යේසුස්ව මරන්න සැලසුම් කරති.—යොහන් 11:45-53.

21. ලාසරුස්ව නැවත නැඟිටවීමේ ප්‍රාතිහාර්යය මගින් සනිටුහන් කරන්නේ කුමක්ද?

21 මෙසේ කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රාතිහාර්යයක් යේසුස්ට කිරීමට හැකි වන්නේ ඔහු බෙතානියට පැමිණීම මදක් ප්‍රමාද කිරීම නිසාය. යේසුස් දෙවිගෙන් ලැබුණු බලය යොදාගනිමින් දවස් හතරක් පුරා මියගොස් සිටි මිනිසෙකුව නැවත නැඟිටුවයි. එදා සමාජය තුළ මහත් පිළිගැනීමකට ලක්ව තිබූ යුදෙව් මන්ත්‍රණ සභාවට පවා මේ ප්‍රාතිහාර්යය නොසලකා හැරීමට නොහැකි විය. මේ ප්‍රාතිහාර්යය කරන්නාව මරා දැමීමට එම මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් නියෝගයක් පනවන්නේ එනිසාය. මේ අනුව, එම ප්‍රාතිහාර්යය මගින් යේසුස්ගේ දේවසේවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරේ. ‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’ යන කාලපරිච්ඡේදය නිමවීමත් සමඟම, “පැය පැමිණ තිබේ” යන කාලපරිච්ඡේදයේ ආරම්භ වීම එම වැදගත් සන්ධිස්ථානය වේ.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• දෙවි තමන්ට පවරන ලද වැඩය ගැන තමා දැන සිටි බව යේසුස් පෙන්වූයේ කෙසේද?

• වයින් ගැන තම මව කළ යෝජනාව යේසුස් ප්‍රතික්ෂේප කරන්නේ මන්ද?

• යේසුස් නිතරම විරුද්ධවාදීන් සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

• ලාසරුස්ව සුව කිරීමට යේසුස් ප්‍රමාද වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූර]

යේසුස් ඔහුගේ මුළු ශක්තියම යෙදෙව්වේ දෙවි තමාට පැවරූ වැඩය කිරීමටය