Skip to content

පටුනට යන්න

දෙවි වෙත ළංවීමට ඔබට හැකි අන්දම

දෙවි වෙත ළංවීමට ඔබට හැකි අන්දම

දෙවි වෙත ළංවීමට ඔබට හැකි අන්දම

යාකොබ් 4:8හි මෙසේ පැවසේ. ‘දෙවිට ළං වෙන්න. එවිට ඔහු නුඹලාට ළං වන්නේය.’ යෙහෝවා දෙවි තමාගේ පුත්‍රයා අප වෙනුවෙන් දීම තුළින් පැහැදිලි වන්නේ මනුෂ්‍යයන් සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගැනීමට ඔහු කොතරම් කැමැත්තකින් සිටිනවාද යන්නය.

දෙවි කළ ඒ ප්‍රේමනීය ක්‍රියාවට අපගෙන්ද ප්‍රතිචාරයක් තිබිය යුතුය. එබැවින් ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “අප ප්‍රේමකරන්නේ [දෙවි] පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.” (1 යොහන් 4:19) එනමුත්, දෙවිට පෞද්ගලිකව ළංවීමට නම්, අප යම් පියවර ගත යුතු වේ. කලින් ලිපියේ සඳහන් වූ, සෙසු මනුෂ්‍යයන්ට සමීප වීම සඳහා අවශ්‍ය වන පියවර සතරට මේවා සමානය. අපි දැන් මෙම එක් එක් පියවර පරීක්ෂා කර බලමු.

දෙවිගේ මවිතකර ගුණාංග නිරීක්ෂණය කරන්න

දෙවිට මවිතකර ගුණාංග රාශියක් ඇත. මින් වඩාත් කැපීපෙනෙන ඒවා ලෙස ප්‍රේමය, ප්‍රඥාව, යුක්තිය සහ බලය නම් කළ හැක. ඈත විශ්වයේ පිහිටි යෝධ මන්දාකිනි මෙන්ම අප අවට ලෝකයේ සැරිසරන කුඩා පරමාණු සලකා බැලීමේදී දෙවිගේ ප්‍රඥාව මෙන්ම බලය මනාව පැහැදිලි වේ. ගීතිකාකාරයා මෙසේ ලීවේය. ‘අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි.’—ගීතාවලිය 19:1; රෝම 1:20.

මැවීම තුළින් දෙවිගේ ප්‍රේමයද පිළිබිඹු වේ. නිදසුනකට, අපව සාදා ඇති අන්දමෙන් පැහැදිලි වන්නේ අප ජීවිතය භුක්ති විඳිනවාට දෙවි කැමති බවය. විවිධ වර්ණවලින් අපට දේවල් දැකගත හැකි අතර, විවිධාකාර රසයන් මෙන්ම ගඳ සුවඳ දැනීමේ හැකියාවද අප සතුය. සංගීතය රස විඳීමට, සිනාසීමට, සුන්දර දේවල අලංකාරය භුක්ති විඳීමට හැකියාව ඔහු අපට දානය කළේය. මෙවැනි හැකියාවන් සහ වෙනත් බොහෝ ගති ලක්ෂණ අපගේ ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් නොවේ. එනමුත් දෙවි ඒවා අපට දී ඇත්තේ අප ජීවිතය භුක්ති විඳිනවා දැකීමට ඔහු කැමති නිසාය. සැබවින්ම දෙවි ත්‍යාගශීලී, කාරුණික මෙන්ම ප්‍රේමනීය දෙවි කෙනෙකි. එසේ නම් දෙවි “ශුභාන්විත” නොහොත් ප්‍රීතිමත් කෙනෙකු වීමට හොඳ පදනමක් ඇත.—1 තිමෝති 1:11; ක්‍රියා 20:35.

යෙහෝවාගේ පරමාධිපත්‍යය ප්‍රකාශ වන්නේ ප්‍රේමය පදනම් කරගෙනය. ඔහුගේ බුද්ධිමත් මැවිලි ඊට යටත් වන්නෙත් ප්‍රේමය නමැති පදනම මතය. මෙලෙස යටත් වීම යෙහෝවාගේ ඉමහත් සතුටට හේතුවකි. (1 යොහන් 4:8) යෙහෝවා විශ්වනීය පරමාධිපති බව ඇත්තය. එනමුත්, ඔහු මනුෂ්‍යයන්ව, විශේෂයෙන් තම පක්ෂපාත සේවකයන්ව සලකන්නේ ප්‍රේමනීය පියෙකු තම දරුවන්ව සලකන්නාක් මෙනි. (මතෙව් 5:45) ඔවුන්ගේ යහපතට හේතුවන යමක් වේ නම්, එය දීමෙන් ඔහු වැළකෙන්නේ නැත. (රෝම 8:38, 39) කලින් සඳහන් කළ පරිද්දෙන්, ඔහු අප උදෙසා තම ඒකජාතක පුත්‍රයාගේ ජීවිතය පවා දීමට පසුබට වූයේ නැත. ඇත්තෙන්ම, අප ජීවත් වන්නෙත්, සදාකාල ජීවනයේ අපේක්ෂාව ඇතුව සිටින්නෙත් දෙවිගේ ප්‍රේමය නිසාය.—යොහන් 3:16.

යේසුස් තම පියාව පූර්ණ ලෙස අනුකරණය කළ නිසා, දෙවිගේ පෞද්ගලිකත්වය ගැන ඉතා පැහැදිලි අවබෝධයක් අපට ඔහු තුළින් ලැබේ. (යොහන් 14:9-11) යේසුස් පරාර්ථකාමී මෙන්ම සැලකිලිමත්ව කටයුතු කළ, කල්පනාකාරි පුද්ගලයෙක් වූයේය. එක් අවස්ථාවකදී, බිහිරි මෙන්ම ගොළු පුද්ගලයෙක් යේසුස් ළඟට ආවේය. මෙවැනි පුද්ගලයෙකුට ජන සමූහයක් ඉදිරියෙහි කොතරම් අපහසුතාවක් දැනෙන්න ඇද්දැයි ඔබට සිතාගත හැක. එනමුත්, මෙහිදී යේසුස් කළ දේ සැලකිල්ලට ගැනීම වටී. යේසුස් මෙම මනුෂ්‍යයාව හුදෙකලා ස්ථානයකට ගෙන ගොස් එහිදී ඔහුව සුව කළේය. (මාර්ක් 7:32-35) ඔබේ හැඟීම් ගැන සැලකිලිමත් වන, ඔබට ගෞරවය දක්වන පුද්ගලයෙකුව ඔබ අගය කරනවාද? එසේ කරනවා නම්, යෙහෝවා සහ යේසුස් ගැන දැනගන්නා තරමටම, ඔවුන් වෙත ඔබ තව තවත් සමීප වනවාට සැකයක් නැත.

දෙවිගේ ගුණාංග ගැන කල්පනා කර බලන්න

යමෙකුට විශිෂ්ට ගුණාංග තිබෙන පළියට අප ඔහුට ළං වන්නේ නැත. ඔහු වෙත ආකර්ෂණය වීමට නම් ඔහු ගැන කල්පනා කළ යුතුය. යෙහෝවා සම්බන්ධයෙන්ද මෙය අදාළ වේ. යෙහෝවාට සමීප වීම සඳහා තිබෙන අතිවැදගත් වූ දෙවන පියවර වන්නේ ඔහුගේ ගුණාංග ගැන මෙනෙහි කිරීමයි. දාවිත් රජ, යෙහෝවාට සැබවින්ම ප්‍රේම කළ, ‘යෙහෝවාගේ සිතට එකඟව’ කටයුතු කළ කෙනෙකි. ඔහු මෙසේ පැවසීය. “පුරාණ දවස් සිහිකරමි; ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි. ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි.”—ක්‍රියා 13:22; ගීතාවලිය 143:5.

මැවිල්ලේ අරුමයන් නිරීක්ෂණය කරන විට හෝ දෙවිගේ වචනය වන බයිබලය කියවන විට, ඔබත් දාවිත් මෙන් ඔබ දකින හා කියවන දේ ගැන මෙනෙහි කරනවාද? තමා මහත් සේ ආදරය කරන පියාගෙන් පුතෙකුට ලිපියක් ලැබෙන විට සිදු වන දේ සිතින් මවාගනිමු. ඔහු එම ලිපිය සලකනු ඇත්තේ කෙසේද? ඔහු එය නිකම්ම උඩින් පල්ලෙන් බලා, පැත්තකට විසි කර දමාවිද? නැත. ඔහු එය හොඳින් කියවා, හැකි සෑම තොරතුරක්ම ලබාගැනීමට උත්සාහ කරයි. ගීතිකාකරු මෙසේ ගායනා කළේය. “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.” (ගීතාවලිය 119:97) ඒ හා සමානව දෙවිගේ වචනය අපහටද අනර්ඝ වූ යමක් විය යුතුය.

හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගන්න

ඕනෑම සම්බන්ධතාවක් රැකගැනීමට හොඳ අදහස් හුවමාරුවක් අත්‍යවශ්‍ය වේ. කතා කිරීම සහ සවන් දීම යන දෙකම ඊට ඇතුළත් වේ. මෙය මනසින් පමණක් නොව මුළු හදවතින්ම කළ යුතු වේ. අප මැවුම්කරුට කතා කරන්නේ යාච්ඤාව තුළිනි. දෙවිට එසේ කතා කරද්දී, අපි නමස්කාරයේ අංගයක නිරත වන්නෙමු. යෙහෝවාට ප්‍රේම කරමින් ඔහුට සේවය කරන හා යේසුස් ක්‍රිස්තුස්ව තමාගේ ප්‍රධාන නියෝජිතයා ලෙස පිළිගන්නා අයගේ යාච්ඤාවලට යෙහෝවා සවන් දෙන්නේ ඉමහත් සතුටිනි.—ගීතාවලිය 65:2; යොහන් 14:6, 14.

අතීතයේදී, දෙවි දර්ශන, සිහින සහ දේවදූතයන් වැනි විවිධ මාධ්‍යයන් යොදාගනිමින් මනුෂ්‍යයන්ට කතා කළේය. කෙසේවෙතත්, වර්තමානයේ ඔහු කතා කරන්නේ තම ලිඛිත වචනය වන ශුද්ධ බයිබලය මාර්ගයෙනි. (2 තිමෝති 3:16) දෙවිගේ වචනය ලිඛිතව තිබීමෙන් වාසි බොහොමයක් ඇත. ඕනෑම අවස්ථාවකදී එහි උපදෙස් පැතිය හැක. ලිපියකට සමානව, එහි වටිනා තොරතුරු නැවත නැවතත් රස විඳිය හැක. මුඛ පරම්පරාවෙන් පැමිණෙන අදහස්වල යම් වෙනස්කම් සිදු වුවද, මෙහිදී එවන් වෙනසක් දක්නට නැත. එමනිසා බයිබලය සැලකිය යුත්තේ කෙසේද? ඔබේ ප්‍රේමනීය ස්වර්ගික පියා ඔබට එවා ඇති ලිපි සම්භාරයක් ලෙසය. මෙම ලිපි තුළින් දිනපතා ඇසෙන ඔහුගේ හඬට ඔබේ හදවත නැඹුරු කරන්න.—මතෙව් 4:4.

නිදසුනකට, හරි වැරැද්ද පිළිබඳව යෙහෝවාගේ දෘෂ්ටිය බයිබලයෙහි පැහැදිලිව දක්වා ඇත. මිනිස් සංහතිය ගැනද පොළොව පිළිබඳ ඔහුගේ අරමුණ ගැනද එහි පැහැදිලි කර ඇත. එයින් තවදුරටත් හෙළි වන දෙයක් නම්, විවිධාකාර පුද්ගලයන් සහ ජාතීන් සමඟ ඔහු කටයුතු කළ ආකාරයයි. ඔවුන්ගෙන් සමහරක් පක්ෂපාත සේවකයෝ වූ අතර, තවත් සමහරක් බලවත් සතුරෝ වූහ. මනුෂ්‍යයන් සමඟ ඔහු කටයුතු කළ ආකාරය මෙලෙස වාර්තා කිරීමට සැලැස්වීමෙන්, යෙහෝවා තම පෞද්ගලිකත්වය ගැන ඉතා පැහැදිලි පින්තූරයක් අපට දී ඇත. යෙහෝවා තම ප්‍රේමය, ප්‍රීතිය, ශෝකය, හිත් වේදනාව, කෝපය, දයාව, සැලකිල්ල, ඔව්, ඔහුගේ සිතුවිලි සහ හැඟීම්වල මුළු පරාසයද, ඒවා ඇතිවීමට හේතුද, මනුෂ්‍යයන් වන අපට පහසුවෙන් තේරුම්ගත හැකි අන්දමකින් හෙළි කරයි.—ගීතාවලිය 78:3-7.

දෙවිගේ වචනයෙහි කොටසක් කියවීමෙන් පසු, එයින් ප්‍රයෝජන ලබාගන්නේ කෙසේද? විශේෂයෙන්ම, දෙවිට තවත් ළං විය හැක්කේ කෙසේද? මුලින්ම, ඔබ කියවා ඉගෙනගත් දෙයින්, පුද්ගලයෙකු හැටියට දෙවි ගැන ඔබට එය කියාපාන්නේ කුමක්දැයි සිතා බලන්න. එසේ කරද්දී, එම කාරණා ඔබේ හදවත තුළට කිඳා බැසීමට සලස්වන්න. ඊළඟට, ඔබ සලකා බැලූ තොරතුරු ගැන ඔබට ඇති වූ සිතුවිලි සහ ගැඹුරු හැඟීම් මොනවාද, ඒවායින් ඔබ ප්‍රයෝජන ලැබීමට උත්සාහ දරන්නේ කෙසේද යන්නත් යාච්ඤාව තුළින් යෙහෝවාට කියන්න. අප අදහස් හුවමාරුව ලෙස හඳුන්වන්නේ එයයි. ඔබේ මනසෙහි තවත් දේවල් තිබෙනවා නම්, ඒවාද ඔබේ යාච්ඤාවට ඇතුළත් කළ හැකි බව අමතක නොකරන්න.

දෙවි හා එක්ව දේවල් කරන්න

පුරාණයේ සිටි ඇදහිලිවන්ත පුරුෂයන් සැබෑ දෙවි සමඟ නැතහොත් දෙවි ඉදිරිපිට ගමන් කළ බව බයිබලය පවසයි. (උත්පත්ති 6:9; 1 රාජාවලිය 8:25NW) ඉන් අදහස් කරන්නේ දෙවි ඔවුන් සමඟ සිටිනවා යන හැඟීමෙන් යුතුව ඔවුන් සෑම දවසක්ම ගත කළ බවය. ඔවුන් පව්කාරයන් වූ බව සැබෑය. එනමුත් දෙවිගේ නීති සහ ප්‍රතිපත්තිවලට ඇල්මක් දක්වමින්, දෙවිගේ අරමුණට එකඟව ඔවුහු දිවි ගෙවූහ. යෙහෝවා එවන් අයට ළං වන අතර, ගීතාවලිය 32:8හි පෙන්වන්නාක් මෙන් ඔවුන් ගැන සැලකිල්ලක්ද දක්වයි. එහි මෙසේ පැවසේ. “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.”

යෙහෝවාව ඔබ සමඟ ගමන් කරන, ඔබට සැලකිල්ල දක්වන, පියෙකු මෙන් ඔබට උපදෙස් දෙන කුලුපග මිතුරෙකු කරගැනීමට ඔබටත් පුළුවන. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත්” යෙහෝවා බව අනාගතවක්තෘ යෙසායා පැහැදිලි කළේය. (යෙසායා 48:17) මෙලෙස කිරීමෙහි ප්‍රයෝජන අද්දකින විට, යෙහෝවා ‘අපගේ දකුණු පැත්තෙහි’ සිටින බව දාවිත්ට හැඟුණාක් මෙන් අපටත් හැඟේ.—ගීතාවලිය 16:8.

දෙවිගේ ගුණාංග තුළින් කියාපාන ඔහුගේ නාමය

බොහෝ ආගම් සහ වැඩි වන බයිබල් පරිවර්තන සංඛ්‍යාවක් තිබුණද, දෙවිගේ පෞද්ගලික නාමය භාවිත කිරීමට සහ ප්‍රචලිත කිරීමට ඒවා සමත් වී නැත. (ගීතාවලිය 83:17) එනමුත්, මුල් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි යෙහෝවා නමැති ඒ නාමය 7,000 වාරයකට ආසන්නව දැකගත හැක. (බයිබල් පරිවර්තකයන් බොහෝදෙනෙක් දිව්‍ය නාමය ඉවත් කළත්, මුල් පිටපත්වල සඳහන් බාල්, බේල්, මෙරොදක් සහ සාතන් යන බොරු දෙවිවරුන්ගේ නම් ඉවත් නොකිරීම පුදුමයට කරුණකි.)

දෙවිගේ නාමය ඉවත් කිරීම එතරම් බැරෑරුම් ලෙස සැලකිය යුතු කාරණයක් නොවන බව ඇතැම්හු සිතති. නමුත්, මේ ගැන කල්පනා කර බලන්න. නමක් නැති පුද්ගලයෙකු සමඟ කිට්ටු, අවබෝධයෙන් පිරුණු සම්බන්ධයක් වර්ධනය කරගැනීම පහසු වේද නැතහොත් දුෂ්කර වේද? දෙවි සහ ස්වාමීන් වැනි පදවි නාම (බොරු දෙවිවරුන් සඳහාත් භාවිත කෙරේ) යෙහෝවාගේ බලයට, අධිකාරයට හෝ තනතුරට යොමු දක්වන බව සැබෑය. එනමුත් ඔහු කවුද යන වග අද්විතීය ලෙස හඳුන්වා දෙන්නේ ඔහුගේ පෞද්ගලික නාමය පමණි. (නික්මයාම 3:15; 1 කොරින්ති 8:5, 6) සැබෑ දෙවිගේ පෞද්ගලික නාමය ඔහුගේ ගුණාංග සහ ගතිලක්ෂණ මොනවාද කියා අපට කියාපායි. දේවධර්මාචාර්ය වෝල්ටර් ලෝරි නිවැරදිව මෙසේ අදහස් දැක්වීය. “කෙනෙක් දෙවිව නමින් හඳුනන්නේ නැත්නම්, ඔහු දෙවිව පුද්ගලයෙක් ලෙස හඳුනනවා කියා ඇත්තටම පැවසිය නොහැක.”

ඕස්ට්‍රේලියාවේ වෙසෙන අවංක කතෝලික ස්ත්‍රියක වූ මරියාගේ අද්දැකීම සලකා බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇයව මුලින්ම මුණගැසුණු දා, ඔවුහු බයිබලයෙන් දෙවිගේ නාමය මරියාට පෙන්වූහ. ඇගේ ප්‍රතිචාරය? “බයිබලයෙන් දෙවිගේ නාමය මුල් වතාවට දකිනකොට මට ඇඬුණා. දෙවිගේ පුද්ගලික නාමය ගැන දැනගන්නත්, එය පාවිච්චි කරන්නත් පුළුවන් බව මම දැනගත්තා. ඒක මගේ සිතට හොඳට කාවැදුණා.” මරියා බයිබලය දිගටම පාඩම් කළ අතර, ජීවිතයේ මුල්ම වතාවට, යෙහෝවාව පුද්ගලයෙකු හැටියට දැන හඳුනාගෙන, ඔහු සමඟ කල්පවතින සබඳතාවක් ගොඩනඟාගැනීමට ඇයට මෙයින් හැකි විය.

අපගේ ඇස්වලින් දෙවිව දැකගත නොහැකි වුවද, ‘ඔහුට ළං වන්න’ අප සැමටම පුළුවන. යෙහෝවාගේ අද්විතීය වූ, චිත්තාකර්ෂණීය වූ පෞද්ගලිකත්වය අපගේ සිත් නමැති ඇස්වලින් “දැකබලා” ගැනීමට අපට හැකි වන අතර, ඔහු සඳහා අපගේ ප්‍රේමයද ඉන් වර්ධනය වනවා ඇත. එවන් ප්‍රේමයක් බිඳ නොයන ‘එක්සත්කමේ පරිපූර්ණ බැම්මකි.’—කොලොස්සි 3:14NW.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ ප්‍රේමයට යෙහෝවාගේ ප්‍රතිචාරය

සම්බන්ධතාවකට දෙදෙනෙකුගේ දායකත්වයක් අවශ්‍යය. අප දෙවිට ළං වන විට, දෙවිගේ පැත්තෙන්ද ප්‍රතිචාරයක් ඇත. ඔහු ප්‍රතිචාරය දක්වන්නේ අපට ළංවීමෙනි. බයිබලයෙහි විශේෂයෙන්ම සඳහන් කර ඇති මහලුවියේ පසු වූ දෙදෙනෙකු වන සිමියොන් සහ ආනා ගැන යෙහෝවාට හැඟුණු ආකාරය සලකා බලන්න. සිමියොන් මෙසියස්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි “ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ” කෙනෙකු බව සුවිශේෂ ලේඛක ලූක් අපට කියයි. සිමියොන්ගේ මෙම කදිම ගුණාංග දුටු යෙහෝවා, ඔහු වෙනුවෙන් තමාගේ ප්‍රේමය පෙන්නුවේ ‘ක්‍රිස්තුස්ව දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදකින’ බවට එළිදරව් කිරීමෙනි. යෙහෝවා තම පොරොන්දුව ඉටු කළේය. බිළිඳු යේසුස්ව ඔහුගේ දෙමාපියන් යෙරුසලමෙහි දේවමාළිගාවට රැගෙන ආ අවස්ථාවේදී, යෙහෝවා සිමියොන්ව ඔවුන් වෙත යෑමට සැලැස්වීය. ඉමහත් සතුටට පත් සිමියොන්, මහත් අගයකින් යුක්තව බිළිඳාව තුරුළු කරගෙන, මෙසේ යාච්ඤා කළේය. ‘ස්වාමිනි, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයාට සමාදානයෙන් යන්ට හරින්න. මක්නිසාද ඔබ විසින් පිළියෙළ කරන ලද ගැළවීම මාගේ ඇස්වලින් දුටිමි.’—ලූක් 2:25-35.

“ඒ පැයෙහිම” 84 වියැති ආනා කෙරෙහිද යෙහෝවා තම ප්‍රේමය විදහාපෙන්වීය. යේසුස්ව දැකීමට ඇයටද ප්‍රස්තාව උදා විය. බයිබලයට අනුව, මෙම ආදර්ශවත් වැන්දඹුව යෙහෝවාට ‘රෑ දාවල් දෙකෙහිම’ දේවමාළිගයෙහි “නමස්කාරකළාය.” සිමියොන් හා සමානවම අගයකින් පිරුණු ඇය, තමා ලැබූ කරුණාව වෙනුවෙන් යෙහෝවාට හදවතින්ම ස්තුති කළාය. අනතුරුව, “යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට” බිළිඳු යේසුස් ගැන කතා කළාය.—ලූක් 2:​36-​38.

සිමියොන් සහ ආනා තමාට කොතරම් ගැඹුරින් ප්‍රේම කළාද, භය වූවාද, තම අරමුණ ඉටු වෙනවා දැකීමට කොතරම් උනන්දුවෙන් සිටියාද යන්න යෙහෝවා හොඳ හැටි නිරීක්ෂණය කළ බව පැහැදිලිය. මෙවැනි බයිබල් වාර්තා කියවීම, ඔබව යෙහෝවාට ළං කරවන්නේ නැද්ද?

තම පියාට සමානව, යේසුස්ද, පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය හොඳින් තේරුම්ගත්තේය. දේවමාළිගයෙහි උගන්වමින් සිටි අවස්ථාවක, “දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක්” පරිත්‍යාග කරන ආකාරය ඔහු නිරීක්ෂණය කළේය. ඇගේ ක්‍රියාව බොහෝදෙනෙකු ගණනකට නොගත්තද, යේසුස් ඊට තියුණු අවධානයක් යොමු කළේය. මේ ස්ත්‍රිය තමා සන්තක සියල්ල දුන් නිසා, යේසුස් ඇයව ප්‍රශංසාවට ලක් කළේය. (ලූක් 21:​1-4) එමනිසා, අප තිළිණ කරන දේ ලොකු වුවත්, කුඩා වුවත්, එය අපගේ උපරිමයෙන් පිරිනමන්නේ නම් යෙහෝවා සහ යේසුස් අපව අගය කරන බවට නිසැක විය හැක.

දෙවි තමාට ප්‍රේම කරන අය ගැන ප්‍රීති වුවද, මනුෂ්‍යයන් ඔහුගෙන් ඉවත් වී, වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන විට ඔහුට ඉමහත් වේදනාවක් දැනේ. නෝවාගේ කාලයේ සිදු වූ ජලගැලීමට කලින්, මනුෂ්‍යවර්ගයාගේ නපුරුකම නිසා, යෙහෝවා “තමන් සිතෙන්ම ශෝකවූ” බව උත්පත්ති 6:6හි අපට කියවිය හැක. පසු කාලයකදී, අකීකරු වූ ඉශ්‍රායෙලිතයෝ, ‘නැවත හැරී දෙවි පරීක්ෂා කළෝය. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා උදහස් [ශෝකයට පත්, NW] කළෝය.’ (ගීතාවලිය 78:41) දෙවි සියල්ල සෑදූ, සිත් පිත් නොමැති බලවේගයක් නොවේ. දෙවි සැබවින්ම පුද්ගලයෙකි. ඔහුට හැඟීම් ඇත. තවද අප මෙන් අසම්පූර්ණ නොවන නිසා, ඔහුගේ හැඟීම් අසමබර හෝ අස්වාභාවික වූ ආකාරයකින් ප්‍රකාශ නොවේ.

[7වන පිටුවේ පින්තූර]

යෙහෝවාට ළං විය හැකි එක් මාර්ගයකි ඔහුගේ මැවිල්ල ගැන මෙනෙහි කිරීම