Skip to content

පටුනට යන්න

දෙවිට ඔබ සේවය කළ යුත්තේ ඇයි?

දෙවිට ඔබ සේවය කළ යුත්තේ ඇයි?

දෙවිට ඔබ සේවය කළ යුත්තේ ඇයි?

එක් දේවභයැති රජෙකු තම පුතුට දුන් අවවාදය මෙයයි. ‘නුඹ නුඹේ පියාගේ දෙවි හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් ඔහුට සේවය කරන්න.’ (1 ලේකම් 28:9) මෙහිදී එක දෙයක් පැහැදිලිය. එනම්, යෙහෝවාට අවශ්‍ය කරන්නේ තම සේවකයන් කෘතඥපූර්වක හා අගය පිරි හදකින් යුතුව ඔහුගේ සේවයේ නියැලීමය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපට මුලින්ම බයිබලයේ තිබෙන පොරොන්දු පැහැදිලි කර දුන් විට අපේ හදවත් කෘතඥතාවෙන් පිරී ඉතිරී ගියේය. එපමණක්ද නොව, දිනෙන් දින අපි යෙහෝවාගේ අරමුණු ගැන අලුත් දේවල් ඉගෙනගත්තෙමු. මෙලෙස යෙහෝවා ගැන වැඩිපුර දේවල් ඉගෙනගනිද්දී “සම්පුර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින්” ඔහුට සේවය කිරීමට තිබෙන අපේ ආශාව ශක්තිමත් වූයේය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වූ අය අසීමිත සතුටකින් නොකඩවා සේවයේ නියැලෙන බව ඒ අයගේ ජීවිත තුළින් දැකගත හැක. කෙසේවෙතත්, සමහර ක්‍රිස්තියානීන් දේවසේවය හොඳින් ආරම්භ කරන මුත් කාලයාගේ ඇවෑමෙන් ඇති වන විවිධ බලපෑම් නිසා දෙවිගේ සේවය සඳහා තමන් පෙලඹිය යුත්තේ මන්දැයි ඔවුහු අමතක කර දමති. මේ දේ ඔබටත් සිදු වී තිබේද? එසේනම්, බලාපොරොත්තු සුන් කර නොගන්න. ගිලිහී ගිය ප්‍රීතිය යළි ලබාගත හැකිය. කෙසේද?

ඔබ සතු ආශීර්වාද ගැන මොහොතක් සිතන්න

දිනපතා දෙවි දෙන ආශීර්වාද ගැන ඔබ මුලින්ම සිහි කළ යුතුය. එපමණක්ද නොව, යෙහෝවා සපයා තිබෙන වටිනා තෑගි ගැන කල්පනා කර බලන්න. කුමන ආර්ථික හෝ සමාජීය මට්ටමක සිටියත් සියලුදෙනාටම ඔහුගේ මැවිල්ලෙන් විවිධ ප්‍රයෝජන ලබාගත හැක. තවද ආහාර හා ජලය වැනි ස්වභාවික සැපයුම්, ඔබ භුක්ති විඳින සෞඛ්‍යය, බයිබල් සත්‍යයන් ගැන ලැබී තිබෙන දැනුම සහ වටිනාම ත්‍යාගය වන තම පුත්‍රයා දීම වැනි දේවලින් ලැබෙන ප්‍රයෝජන ඔබට මෙපමණයි කියා මිල කළ හැකිද? ඔහුගේ මරණය ඔබට පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතිව දෙවිට සේවය කිරීමට මාර්ගය විවෘත කර ඇත. (යොහන් 3:16, යාකොබ් 1:17) ඔබ නිතරම දෙවිගේ යහපත්කම මෙනෙහි කරනවා නම් ඔබට ඔහු කෙරෙහි තිබෙන අගය හා කෘතඥතාව ඉහළ නංවාගත හැක. ඔහු කළ සියල්ල උදෙසා ඔහුට සේවය කිරීමට ඔබ තුළ හෘදයාංගම පෙලඹීමක් ඇති වෙනවා ඇත. ගීතිකාකරු ලියූ ආකාරයටම ඔබටත් හැඟෙන්න පටන්ගන්න බවට කිසිම සැකයක් නැත. “මාගේ දෙවිවූ [යෙහෝවා], ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; . . . ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.”—ගීතාවලිය 40:5.

මෙම වචන ලියූ දාවිත් දුක් කම්කටොළුවලින් තොර ජීවිතයක් ගත කළේ නැත. සාවුල් රජ හා ඔහුගේ ආරක්ෂක භටයන් දාවිත්ව ඝාතනය කිරීමට මාන බැලූ නිසා දාවිත්ගේ යෞවන කාලයෙන් වැඩි හරියක්ම ගෙවුණේ අවදානම් තත්වයකය. (1 සාමුවෙල් 23:7, 8, 19-23) ඒ විතරක් නොවේ, දාවිත්ට පෞද්ගලික දුර්වලතා සමඟ පොරබදින්ට සිදු වූ බව ඔහු පිළිගත්තේය. මෙය ගීතාවලිය 40හි සඳහන් කර ඇත. “ගණන් නැති උවදුරින් වටකරනු ලදිමි, හිස නගන්ට බැරි තරම් මාගේ අයුතුකම් මා පිට පැමුණුණේය; ඒවා මාගේ හිසකෙස්වලට වැඩිය, මාගේ සිතද මා හැර ගියේය.” (ගීතාවලිය 40:12) දාවිත් විවිධ පීඩාවලට ගොදුරු වූ කෙනෙකු වුවත් ඔහු මුළුමනින්ම ඒවායින් යටපත් වූයේ නැත. එයට හේතු වූයේ ඔහු ඔහුගේ ඇස නාභිගත කර තිබුණේ යෙහෝවා තමන්ට කළ ආශීර්වාද මත වීමයි. එනිසා යෙහෝවා තමන්ට කළ ආශීර්වාද ඔහු විඳින දුක් කම්කටොළු සියල්ල අභිභවා යන බව ඔහු වටහාගත්තේය.

ඔබට පෞද්ගලික ප්‍රශ්න තිබෙන විට හෝ නොවටිනාකමේ හැඟීම් ඇති වන විට කළ යුතු හොඳම දේ වන්නේ එවැනි දේවලින් යටපත් නොවී, දාවිත් සිතූ ආකාරයටම ඔබ සතු ආශීර්වාද ගැන සිතා බැලීමය. එවිට එම සියලු ආශීර්වාදයන් සම්බන්ධයෙන් ඔබේ හෘදය අගය කිරීමකින් පිරී යනවා ඇත. එවැනිම ආශීර්වාද නිසා ඔබ තුළ ඇති වූ අගය කිරීම මගින් ඔබේ ජීවිතය යෙහෝවාට කැප කිරීමට නිතැතින්ම ඔබ තුළ පෙලඹීමක් ඇති කළා විය යුතුය. එවැනි සිතුවිලිවලට හැකියි ඔබෙන් ගිලිහී ගිය ප්‍රීතිය නැවත ලබා දීමට හා අගය පිරි හදකින් දෙවිගේ සේවයේ නියැලීම සඳහා ඔබව පෙලඹවීමට.

සභා රැස්වීම් ඔබට උපකාර කරයි

යෙහෝවාගේ යහගුණ මෙනෙහි කිරීමට අමතරව අප සෙසු ක්‍රිස්තියානීන් සමඟද ආශ්‍රය කළ යුතුය. දෙවිට ප්‍රේම කරන හා ඔහුට සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින පුරුෂයන්, ස්ත්‍රීන් හා යෞවනයන්ව නිතිපතා ආශ්‍රය කිරීමට ලැබීම අපට ධෛර්යයක් වනු ඇත. තවද, යෙහෝවාට හෘද පූර්ණ සේවයක් පිරිනැමීම සඳහා ඔවුන්ගේ ආදර්ශ අපව පොලඹවනු ඇත. එමෙන්ම රාජ්‍ය ශාලාවට අපේ පැමිණීම ඔවුන්ටද දිරිගැන්වීමක් විය හැක.

රැකියාවට ගොස් වෙහෙස මහන්සි වී ගෙදර පැමිණි විට හෝ අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා හෝ දුර්වලතාවක් නිසා අධෛර්යය වූ විට අපට රාජ්‍ය ශාලාවට ගොස් රැස්වීම්වලට සහභාගි වීම පහසු නොවිය හැක. නමුත් එවැනි අවස්ථාවලදී අප අපේ ‘ශරීර දමනය’ කරගනිමින් දැඩි ස්ථාවරයක සිටිය යුතුයි. එලෙස කරනවා නම් සෙසු ක්‍රිස්තියානීන් සමඟ එකට රැස් විය යුතුයි යන ආඥාවට කීකරු විය හැක.—1 කොරින්ති 9:26, 27; හෙබ්‍රෙව් 10:23-25.

ඉහත සඳහන් ආකාරයට දැඩි පරිශ්‍රමයක යෙදිය යුතු බව ඔබට වැටහෙනවා නම් හා ඒ දේවල් කිරීම සඳහා ඔබවම පොලඹවාගැනීමට සිදු වේ නම් එයින් අදහස් කරන්නේ ඔබ ඇත්තටම යෙහෝවාට ප්‍රේම කරන්නේ නැති බවද? කොහෙත්ම නැත. මන්ද අතීතයේ විසූ මේරූ ක්‍රිස්තියානීහු පවා දෙවිගේ කැමැත්ත කිරීම සඳහා තමන්ට දැඩි වෑයමක් දැරීමට සිදු වුණ බව අවිවාදයෙන් පිළිගත්හ. (ලූක් 13:24) ප්‍රේරිත පාවුල්ද එවැනි ක්‍රිස්තියානියෙකි. ඔහු තම අදහස් විවෘතව මෙලෙස ප්‍රකාශ කළේය. “මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.” (රෝම 7:18, 19) එමෙන්ම ඔහු කොරින්තිවරුන්ට මෙසේ පැවසුවේය. “මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.”—1 කොරින්ති 9:16, 17.

පාවුල්ට මෙන්ම අපටත් නිවැරදි දේ කිරීමට තිබෙන ආශාව වළක්වන පව්කාර නැඹුරුවාවන් තිබෙන්නට පුළුවන. නමුත් ඔහු දැඩි පරිශ්‍රමයක් දැරූ නිසා එවැනි නැඹුරුවාවන්ට එරෙහිව කටයුතු කිරීම තුළින් බොහෝවිට සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට ඔහුට හැකි විය. ඇත්තෙන්ම පාවුල් ස්වඋත්සාහයෙන්ම මේ දේ සිදු කළා නොවේ. ඒ ගැන ඔහු කීවේ, ‘මා බලවත් කරන්නාවූ තැනැත්තා තුළ මට සියලු දේ කරන්නට පුළුවන’ කියාය. (පිලිප්පි 4:13) පාවුල්ව බලවත් කළ එකම තැනැත්තා වූයේ යෙහෝවාය. ඔබත් නිවැරදි දේ කිරීම සඳහා උපකාරය ඉල්ලූ විට ඔහු ඔබව අනිවාර්යයෙන්ම බලවත් කරනු ඇත. (පිලිප්පි 4:6, 7) එසේ නම්, “ඇදහිල්ල සඳහා දැඩි සටනක යෙදෙන්න.” එවිට යෙහෝවා ඔබට ආශීර්වාද කරන බව නිසැකයි.—යූද් 3NW.

ඔබ මෙම සටන තනිවම කිරීම අවශ්‍ය නැත. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල නොපසුබටව “ඇදහිල්ල සඳහා සටනක” යෙදෙන මේරූ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ඔබට උපකාර කිරීමට සූදානම්ව සිටිනවා ඇත. තවද ඔවුන්ගෙන් උපකාර ඉල්ලා සිටිනවා නම්, “සැනසිලිදායක වචන” වලින් ඔබව සනසනවා ඇත. (1 තෙසලෝනික 5:14NW) ඔවුන්ගේ එකම ඉලක්කය වන්නේ “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්” ක්‍රියා කිරීමයි.—යෙසායා 32:2.

‘දෙවි ප්‍රේමය’ වන නිසා ඔහුගේ සේවකයන් ප්‍රේමය පිරුණු හදකින් සේවය කරනවාට ඔහු කැමති වනු ඇත. (1 යොහන් 4:8) දෙවිට ඇති ඔබේ ප්‍රේමය නැවත පණගැන්විය යුතු බව ඔබට හැඟෙනවා නම්, ඉහත දී ඇති උපදෙස් අනුගමනය කරන්න. එසේ කිරීමෙන් ඔබට අසීමිත සතුටක් නොඅනුමානවම ලැබෙනු ඇත.