Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

විශ්වාසවන්ත ක්‍රිස්තියානි භාර්යාවකගෙන් ස්වාමිපුරුෂයා දික්කසාද වීමට ඉල්ලා සිටින විට ඇය කටයුතු කළ යුත්තේ කෙසේද?

ස්වාමිපුරුෂයාද භාර්යාවද එකිනෙකාට “ඇලුම්” විය යුතුයි කියා මිනිසාගේ විවාහය ආරම්භ වූ දා දෙවි ප්‍රකාශ කළේය. (උත්පත්ති 2:18-24) විවාහය එලෙස ආරම්භ වුණත්, මිනිසා අසම්පූර්ණත්වයට පත් වූ නිසාවෙන් විවාහ බොහොමයක ගැටලු ඉස්මතු වී ඇති ආකාරය දැකගැනීමට පුළුවන. කුමන තත්වයන්ට මුහුණ දුන්නත් දෙවිගේ එකම ආශාව වන්නේ විවාහක සහකරුවන් ජීවිතාන්තය දක්වා එකට විසීමයි. ඒ පිළිබඳව ප්‍රේරිත පාවුල් මෙසේ අදහස් දැක්වීය. “විවාහකයන්ට මම ආඥා කරමි. එහෙත් ආඥා කරන්නේ මා නොව ස්වාමින්ය. එනම්, භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයා යුතුයි. අහක්ව ගියොත් ඇය විවාහ නොවී සිටිය යුතුයි, නැතහොත් ඇගේ පුරුෂයා හා සමගි විය යුතුයි. පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහැරිය යුතුයි.”—1 කොරින්ති 7:10, 11NW.

ඉහත සඳහන් එම වචනවලින් පෙන්නුම් කෙරෙන්නේ අසම්පූර්ණ මිනිසුන් අතර සිටින සහකරුවෙකු හෝ සහකාරියක යම් අවස්ථාවලදී වෙන්වීමට තීරණය කළ හැකි බවයි. එහිදී පාවුල් පවසන්නේ, එක් සහකරුවෙකු වෙන්ව ගියහොත් දෙදෙනාම “විවාහ නොවී” සිටිය යුතුයි කියායි. ඔහු එලෙස පවසන්නේ, එක් සහකරුවෙකු වෙන් වුවත් ඔවුන්ගේ විවාහ ගිවිසුම දෙවිගේ ඇස් ඉදිරියේ අහෝසි වන්නේ නැති නිසයි. පාවුල්ට මෙවැනි දෙයක් පැවසීමට හැකි වූයේ යේසුස් විසින් ක්‍රිස්තියානි විවාහය පිළිබඳ ප්‍රමිතියක් පිහිටුවා තිබූ නිසාය. යේසුස් පැවසුවේ, “මම නුඹලාට කියමි—වේශ්‍යාකම [ග්‍රීක් භාෂාවෙන් පෝ·නෙයිʹආ] නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය” කියායි. (මතෙව් 19:9) මෙයින් පෙන්නුම් කරන්නේ ශුද්ධ ලියවිල්ලට අනුව, දික්කසාද වීමට ඇති එකම පදනම “වේශ්‍යාකම” එනම් ලිංගික දුරාචාරය බවයි. පෙනෙන ආකාරයට පාවුල් පෙන්නුම් කළේ එක් සහකරුවෙකු හෝ දෙදෙනාම දුරාචාරයෙහි යෙදීම ගැන නොව, නමුත් වෙනත් යම් හේතුවක් උඩ ඔවුන් දික්කසාද වීම ගැනයි. එවන් අවස්ථාවකදී විවාහය දෙවි ඉදිරියෙහි අහෝසි වී නැත.

ඉන්පසු පාවුල්, සැබෑ ක්‍රිස්තියානියෙකුට නොඇදහිලිවන්ත සහකරුවෙකු සිටින විට මුහුණ දීමට සිදු වන තත්වය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘නොඇදහිලිකාර පක්ෂය අහක්ව යනවා නම් අහක්ව යන්ට ඉඩහරින්න. මෙබඳු කාරණාවලදී සහෝදරයා හෝ සහෝදරී හෝ බැඳී නැත. නමුත් දෙවි විසින් අප කැඳවා තිබෙන්නේ සමාදානයෙහි පැවතීමටය.’ (1 කොරින්ති 7:12-16) විශ්වාසවන්ත භාර්යාවකගේ නොඇදහිලිවන්ත පුරුෂයා ඇයව අත්හැර දමා තිබේ නම් හෝ ඇගෙන් නීත්‍යානුකූලව දික්කසාද වීමට පවා අදහස් කරනවා නම් ඇය කටයුතු කළ යුත්තේ කෙසේද?

ඇය තම පුරුෂයා තමා සමඟ රැඳී සිටිනවාට කැමති විය හැක. සමහරවිට ඇය තවමත් ඔහුට ආදරය කරන අතර එකිනෙකාගේ හැඟීම්, ලිංගික අවශ්‍යතා සහ ඇගේ හා දරුවන්ගේ ආර්ථික අවශ්‍යතාවන් පිළිබඳවත් ඇය අවබෝධයකින් සිටිනවා විය හැකියි. සමහරවිට කාලයත් සමඟම පුරුෂයා ඇදහිලිවන්තයෙකු වී ගැළවීම ලබයි කියාත් ඇය බලාපොරොත්තු වෙනවා විය හැක. නමුත් ඔහු (කිසිම ශුද්ධ ලියවිලි පදනමක් නොමැතිව) දික්කසාද වීමට කටයුතු කරයි නම් පාවුල් පැවසූ ආකාරයට ‘ඔහුට යන්න’ ඉඩහැරීමට භාර්යාවට හැකියි. එමෙන්ම ඇදහිලිවන්ත ස්වාමිපුරුෂයෙකු පවා විවාහය පිළිබඳ දෙවිගේ සැලැස්මට අගෞරව කරමින් වෙන්වීමට බල කර සිටියි නම් ඒ අවස්ථාවේදීත් මෙය අදාළ වෙයි.

මෙවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වන විට දරුවන්ට හා තමන්ට නීතියේ පිහිට අවශ්‍ය බව ඇයට හැඟෙන්න පුළුවන. මන්ද දරුවන්ට දිගටම තම ආදරය ලබා දීමටත්, ඔවුන්ව නිසි සදාචාරාත්මක ප්‍රමිතිවලට අනුව හැඩගැස්වීමට සහ බයිබලයේ ඉගැන්වීම් මත ගොඩනැඟූ ඇදහිල්ලක් ඔවුන්ගේ හෘද තුළ පැලපදියම් කිරීමටත්, දරුවන්ව තමන්ගේ රැකවරණය යටතේ තබාගන්න අවශ්‍ය බව ඇයට හැඟී යා හැකියි. (2 තිමෝති 3:15) නමුත් දික්කසාදය නිසා ඇගේ අයිතිවාසිකම් යම් දුරකට ඇයට අහිමි වීමට ඉඩ තිබේ. මේ හේතුව නිසා ඇගේ දරුවන් වෙතට යෑමේ ඇගේ අයිතිය රැකගැනීමට සහ ස්වාමිපුරුෂයා විසින් අත්හැර දැමූ පවුලට ඔහු නඩත්තු ගෙවනවාද යන්න සහතික කරගැනීමට නිලධාරීන්ගෙන් කරුණු විමසීම සඳහා සුදුසු ආකාරයෙන් පියවර ගැනීමට ඇයට පුළුවන. සමහර ප්‍රදේශවල ස්ත්‍රියක් නඩු මඟට බැසීමේදී, ස්වාමිපුරුෂයා විසින් ඉදිරිපත් කර ඇති දික්කසාදයට ඇය එකඟ වූ බව සඳහන් නොකර, දරුවන් තමන්ගේ රැකවරණය යටතේ තබාගැනීමට සහ මූල්‍යමය සහයෝගය ලබාගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලිවලට අත්සන් කිරීමට ඇයට හැක. නමුත්, වෙනත් ප්‍රදේශවල භාර්යාවක් දික්කසාදය සඳහා නඩු මඟට බසිනවායයි කියා සිටි විට, දික්කසාදයට ඇයත් කැමතියි කියා අඟවන ලියකියවිලිවලට අත්සන් කිරීමට ඇගෙන් ඉල්ලා සිටිය හැක. ඇය එවැනි ලියකියවිලිවලට අත්සන් කිරීමෙන් අදහස් වන්නේ කාමමිථ්‍යාචාරයෙහි නියැලුණු ස්වාමිපුරුෂයාව ඇය ප්‍රතික්ෂේප කරන බවයි.

අසල්වැසියන් හා සභාවේ සිටින බොහෝදෙනෙකු ඇගේ දික්කසාදය ගැන සෑම තොරතුරක්ම දන්නේ නැති බව භාර්යාව මතක තබාගත යුතුයි. උදාහරණයකට දික්කසාදය සඳහා ශුද්ධ ලියවිලිමය පදනමක් තිබුණාද නැද්ද වැනි දේවල් නොදන්නවා විය හැකියි. එමනිසා ඇය විසින් රහසිගතව (හැකි නම් ලිඛිතව) සභාවේ මුලසුන භාර අවේක්ෂකට සහ වෙනත් වැඩිමහල්ලෙකුට සැබෑ තතු දැනුම් දීම සුදුසුයි. මන්ද යම් දිනක විවාහය කටු ගා දැමුවේ ශුද්ධ ලියවිලිමය පදනමක් ඇතිවද නැතිවද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතු වුවහොත් එම තොරතුරු ප්‍රයෝජනවත් විය හැකි බැවිනි.

නැවතත් අප යේසුස්ගේ ප්‍රකාශයට අවධානය යොමු කරමු. එහි පවසන්නේ, “වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය” යනුවෙනි. ස්වාමිපුරුෂයා ඇත්තටම ලිංගික දුරාචාරය සම්බන්ධයෙන් වරදකරු වී සිටියත් ඔහු තම භාර්යාව සමඟ විසීමට කැමති නම්, ඔහුට සමාව දෙනවාද නැද්ද කියාත් දිගටම අඹු සැමියන් වශයෙන් ජීවත් වෙනවාද කියාත් තීරණය කරන්නේ ඇයයි (යේසුස්ගේ උදාහරණයට අනුව වරදක් නොකළ පුද්ගලයායි). ඇය සමාව දී තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වීමට තීරණය කරයි නම් ඇය වේශ්‍යාකමක් නොකරයි.—හොෂෙයා 1:1-3; 3:1-3.

දුරාචාරයේ යෙදුණු ස්වාමිපුරුෂයා දික්කසාද වීමට තීරණය කළත් ඔහු තමා වෙතට නැවත හැරී ඒවි යන බලාපොරොත්තුවෙන් ඇය ඔහුට සමාව දීමට කැමැත්තක් දැක්විය හැක. ඔහුගේ දික්කසාද නඩුවේදී ඇයත් නඩු මඟට බසිනවාද නැද්ද යන්න හෘදය සාක්ෂියට සහ තත්වයන්ට අනුව ඇය තීරණය කළ යුතුයි. සමහර ප්‍රදේශවල ස්ත්‍රියක් නඩු මඟට බැසීමේදී, ස්වාමිපුරුෂයා විසින් ඉදිරිපත් කළ දික්කසාදයට ඇය එකඟ වූ බව සඳහන් නොකර තමන්ගේ දරුවන් තමන්ගේ රැකවරණය යටතේ තබාගැනීමට සහ මූල්‍යමය සහයෝගය ලබාගැනීමට අවශ්‍ය ලියකියවිලිවලට අත්සන් කිරීමට ඇයට හැක. ඇය එවැනි ලියකියවිලිවලට අත්සන් කිරීමෙන් තම ස්වාමිපුරුෂයාව ප්‍රතික්ෂේප කළ බවක් අදහස් නොකරයි. නමුත්, වෙනත් ප්‍රදේශවල භාර්යාවක් දික්කසාදය සඳහා නඩු මඟට බසිනවායයි කියා සිටි විට, දික්කසාදයට ඇයත් කැමතියි කියා අඟවන ලියකියවිලි අත්සන් කිරීමට ඇගෙන් ඉල්ලා සිටිය හැක. ඇය එවැනි ලියකියවිලි අත්සන් කිරීමෙන් අදහස් වන්නේ වරදෙහි නියැලුණු ස්වාමිපුරුෂයාව ඇය ප්‍රතික්ෂේප කරන බවයි.

වරදවා වටහාගැනීමක් සිදු විය හැකි නිසා, මෙවැනි අවස්ථාවකදීත් භාර්යාව විසින් සභාවේ වැඩිමහල්ලන්ට ගෙන තිබෙන පියවර සහ එයට හේතු පැහැදිලි කරමින් ලිපියකින් සංක්ෂිප්තව කරුණු දන්වා සිටීම යෝග්‍යයි. එමෙන්ම ස්වාමිපුරුෂයාට සමාව දී ඔහුගේ භාර්යාව වශයෙන් දිගටම විසීමට තමා කැමති වූ බවත් ඇයට එම ලිපියේ සඳහන් කළ හැක. එවිට දික්කසාදයට ඇගේ කැමැත්තක් නොතිබුණු බවත් ඇය ස්වාමිපුරුෂයාව ප්‍රතික්ෂේප නොකළ බවත් තවමත් සමාව දීමට සූදානමින් සිටින බවත් ඉන් අදහස් වෙයි. මෙසේ විවාහය රැකගැනීමට කැමති බව පැහැදිලි කළ පසු, මුල්‍යමය කාරණා හෝ දරුවන්ගේ රැකවරණය පිළිබඳ කාරණා ඇතුළත් ලියකියවිලිවලට අත්සන් කිරීමෙන් ඇගේ ස්වාමිපුරුෂයාව ප්‍රතික්ෂේප කිරීමක් අදහස් නොකරයි. a

දික්කසාදවීමෙන් අනතුරුව සමාව දීමට ඇගේ කැමැත්ත ප්‍රකාශ කළ පසු ස්වාමිපුරුෂයාටවත් භාර්යාවටවත් තව කෙනෙකු සමඟ විවාහ වීමට හැකියාවක් නැත. වරදෙහි නොවැටුණු ඇය සමාව දුන් විට එය ඔහු ප්‍රතික්ෂේප කිරීම නිසා පසු කාලයකදී ඔහුගේ දුරාචාර හැසිරීම හේතුවෙන් ඔහුව ප්‍රතික්ෂේප කිරීමට ඇය තීරණය කළොත්, දෙදෙනාම නැවත වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමට නිදහස්ව සිටියි. එවන් තීරණයක් ගැනීමට වරදක් නොකළ සහකරුට අයිතියක් තිබෙන බව යේසුස් පෙන්නුම් කළේය.—මතෙව් 5:32; 19:9; ලූක් 16:18.

[පාදසටහන]

a නීතිමය ක්‍රියාදාමයන් සහ ලියකියවිලි ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්ය. එමනිසා දික්කසාදයේ කොන්දේසි අඩංගු ලියකියවිලිවල අත්සන් තැබීමට පෙර ඒවා හොඳින් පරීක්ෂා කර බැලිය යුතුයි. වරදක් නොකළ සහකරු ලියකියවිලිවල අත්සන් කිරීමෙන් (ඔහු හෝ) ඇය දික්කසාදයට විරුද්ධ නැති බව ඇඟවේ නම් එය සහකරුව ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකේ.—මතෙව් 5:37.